දික් + කසාද (දිනමිණ බද්දරමල්ල - නෙල්ලි කතන්දර)
ඇතුළු ගෙදරත් කුස්සියත් අතරෙ තියෙන මැද තීරුව කලින් සිමෙන්ති දාලා තිබිලා දැන් දුඹුරු පාටින් ගොරෝසු ටයිල් අල්ලලා තියෙනවා.සිමෙන්ති දාලා තිබුන කාලේ එතැන තිබුන දිග ලී
බංකුව අයින් කරලා ඒ වෙනුවට අත් ඇදි තියෙන දිග ලී පුටුවක් ඉන්දවලා තියෙනවා.මම ඒ දිග ලී පුටුවේ ඉදගෙන බිම ගෑවෙන්නේ නැති කකුල් දෙකත් වනවන කන්තෝරු නිවාඩුවේ සැහැල්ලුව විදිනවා.
ගෙදර වැඩට උදේ ඇවිත් හවස යන ලීලාවතී කළුවර මූණකුත් පොරෝගෙන හෙමින් හෙමින් කන්ද නැගලා කුස්සිය පැත්තෙන් ගෙට ගොඩවෙනවා."මොකෝ ඊයේ ආවේ නැත්තේ?"අම්මා සැර පෙනුමක් පාලා අහනවා.ලීලාවතී මගේ මූණත් අම්මගේ මූණත් මාරුවෙන් මාරුවට බලනවා.මේවා පුංචි නෝනා ඉන්න තැන කියන එක හොදද මන්දා වගේ බැල්මක් ඒ මූණේ තියෙනවා.ඊටත් පස්සේ අපෙන් උත්තරයක් නැති තැන, "පෙරේදා දිහාවේ අපේ මහ එක්කෙනා කටගොන්නක් බීගෙන ඇවිත් මට හොදටම තැලුවනේ..."කියලා කියනවා.නලලේ ඉන්දුනු අම්මගෙත් මගෙත් ඇස් නොදැක්ක ගානට එයා හැට්ටෙත් යාන්තමට උස්සලා පිටේ තුවාල පෙන්නනවා.
තුවාලම කියලා කියන්න බැරි වුනාට එයාගෙ පිට පුරාවට නිල්පාට තැලුම් සලකුණු තියෙනවා.එහෙම සලකුණු ඇති වෙච්ච හුගක් දවසට නැගිටින්න බැරි නිසා එක දවසක් ඇදටම වෙලා ඉදලා පහුවෙනිදා වැඩට එන එක එයා පුරුද්දකට වගේ කරනවා කියලා ලීලාවතී කියනවා. එහෙම කරන එක කොච්චර මෝඩ කමක්ද කියලා මට හිතෙනවා. "ඇයි ඉතින් දික්කසාද වෙන්න ඇහැකිනෙ..." මම කියනවා."මොනවා කරන්නද නෝනා...අර පඩිපේලිය වගේ ඉන්න දරුවන්ට අප්පෙක් නැති වෙනවනේ..."කියලා එයා විස්සෝපෙන් වගේ කියනවා."අප්පෙක් නැති වුනාට මොකෝ අම්මෙක් ඉන්නෙ..."කියලා මම කටට ආවටමත් නෙමෙයි,හොදට හිතලා මතලා කියනවා.
"අපෙ අම්මේ නෝනලට ඕවා තේරෙන්නෙ නැති වුනාට පොඩි උන් කොහොමද අප්පෙක් නැතුව ගමේ ඉස්කෝලෙට වත් යන්නේ?"කියලා ලීලාවතී අහනවා. "අනික මට නැහැදෙයිද අනේකවිධ කයි කතන්දර..."කියලා එයා අයෙමත් මගේ දිහා බලනවා. "කයි කතන්දර වලට බයෙන් ජීවත්වෙන්න බෑ ලීලො"කියලා මම නොකියුවට හිතනවා.
නිලීකා මගේ යාලුවෙක් වුනේ ඉස්කෝලෙ හතේ පන්තියෙදි.පුංචි කාලේ ඇති වෙන යාලුකම් ඇත්තම යාලුකම් හින්දදෝ මන්දා ඒ කාලෙ හැටියටම හරි, ඊටත් වැඩිය සවිමත්ව හරි ඒ යාලුකම තාම තියෙනවා.අම්මලගේ කීමට නිලීකා කසාද බැන්දේ දොස්තර මහත්තයෙක්ව.එතකොට එයාට අවුරුදු විසිතුනයි.එතකොටත් එයා විශ්ව විද්යාලෙ ඉගන ගන්නවා.දොස්තර මහත්තයාට වයස තිහයි.කසාද බැදපු දවස කියන්නේ පිරිමි හිතවල වගේම ගැහැණු හිත්වලත් සතුට ඉහිරෙන දවසක් වුනාට මොකද මධුසමය ගතකරන හෝටලයට ගියපු ගමන් දොස්තර මහත්තයා නිලීකා ගෙන් මෙහෙම අහනවා.
"කෝ ඔයාලගේ තාත්තලා අපිට කියලා මුකුත් දුන්නේ නෑනේ..."
නිලීකට දොස්තර මහත්තයා අහපුදේ මුලින් හරියටම තේරෙන්නේ නැති වුනාට ටික වෙලාවකට පස්සේ තේරෙනවා.එතකොට එයාගේ හිත ඇතුලේ විදුලි කොටලා වහින්න පටන්ගන්නවා.ඒ වැහි බින්දු කදුලු වෙලා කම්මුල් දිගේ රූරගෙන ඇවිත් ගුරුත්වාකර්ෂණ බලයට අවනත වෙලා පොලොවට වැටෙනවා.
නිලීකා මේ විත්තිය ගෙදරට කියපු නිසාදෝ මන්දා දෙවනි දවසේ නිලීකාගේ තාත්තා දොස්තර මහත්තයාගේ තාත්තට සල්ලි කීයක්දෝ මන්දා දෙනවා. ඒත් ඒ සල්ලි ගණන දොස්තර මහත්තයට "මදි" වෙනවා.ගෙදර ඇතුලේ ඇවිලෙන ගින්දරට නැන්දම්මලා මාමලාගේ ආඩපාලී දහන පෝෂක වෙනවා.නදීකා ආයෙම ගෙදර එනවා.
නදීකා ආව ආවමයි දොස්තර මහත්තයා එයාට කෝල් එකක්වත් නොදී ඉන්නවා.නදීකා එයාගේ තැලුනු හිත හදාගන්න උපදේශක කෙනෙක් ලගට යනවා.
ඔයිට වැඩිය සෑහෙන්න දේවල් මිනිස්සුන්ට වෙනවා කියලා උපදේශක මහත්තයා කියනවා.
"ඊයේ ආවා මිස් කෙනෙක් එයාගේ කුසට මාස පහක්.එයාගේ මහත්තයා එයාට බයිසිකල් රෝදෙකින් ගහලා..."කියලා
එයා නදීකා දිහා බලනවා. නදීකට "අනේ ඉතින් මට විතරක් නෙමෙයිනේ මෙහෙම වෙන්නේ..."කියලා හිතහදාගන්න මේ කතන්දර අත්වැලක් වෙයි කියලා උපදේශක මහත්තයා හිතනවා.
දැන් නදීකගේ දික්කසාද නඩුව උසාවියේ විභාග වෙනවා.නදීකා එයාව අතැරලා දාලා ගියා කියලා දොස්තර මහත්තයා කියනවා.ආපහු පවුල් කන්න කැමතිද කියලා ඇහුවාම "මාව දාල ගිය ගෑණියෙක් මට ඕනෙ නෑ"කියලා එයා අඩම්බරේට කියනවා.ඇත්ත මොකක්ද කියලා උඩ ඉන්න දෙයියෝ දන්න හින්දද මන්දා දොස්තර මහත්තයා උසාවියෙන් පිටවෙලා යනකොට ගෙඩි නැති අඹ ගහක වහලා හිටපු කාක්කෙක් එයාගේ ඔලුවට වසුරු පිඩක් හෙලනවා.
"දික්කසාද වෙන්න හිතන්න වත් නරකයි.අපේ සංස්කෘතියට ගැලපෙන දේවල්ද ඕවා..."කියලා අපේ අම්මා කටහඩ බරකරලා කියපු වෙලාවක් මට මතක් වෙනවා.එහෙම හිතන උදවිය වැඩි හින්දදෝ මන්දා තවමත් ලංකාවේ දික්කසාද ප්රතිශතය 0.15ක අගයක තියෙනවා.ලෝකේ දියුණු රටවලට වැඩිය ඒ ප්රතිශතය සෑහෙන්න අඩුයි.ඒත් ඇත්ත ඒකද?ඕනම දුකක් විදගෙන පවුල් කන්න ඕනද?
"දික්කසාද වෙන එක හොදයි"මට හිතෙනවා.ඒ දෙන්නත් එක්ක එකට ජීවත්වෙන්න බැරිනම් විතරයි.එකට ජීවත් වෙන්න ගන්න උත්සාහයේ අන්තිම තුරුම්පුවත් පාවිච්චි කලාට පස්සෙයි.
අපි
ජීවත්වෙන්නේ වැඩිම වුනොත් අවුරුදු 80-90යි.ඉතින් ඒ කාලේ පුරාවට නොගැලපෙන කසාදයක් නිසා අපි දුක් විදින්න ඕනද?දරුවන්ට අප්පෙක් අම්මෙක් නැතිවෙයි කියලා තමන් නරාවලක ජීවත්වෙන්න ඕනද?මම හිතන්නේ නම් එහෙම නෑ කියලයි.තමන්ගේ දරුවන්ට හයියක් වෙන්න තමන්ට පුලුවන් නම් "තනි පුද්ගලයෙකුගේ"(single
parent)දරුවෙක් වීම එයාලට ප්රශ්නයක් වෙන්නෙ නෑ.හැමදාම රණ්ඩුවෙන දෙමාපිය යුවලකගේ දරුවෙක් වීම එයාලගේ මානසිකත්වයට ඊට වඩා සෑහෙන ප්රශ්නයක්. ටිකක් හිතන්න.සමහරවිටක ජීවිතය ඔබව පරීක්ෂාකරනවා වෙන්න පුලුවන්.හිතේ සතුටයි වැඩියෙන්ම වැදගත්.
totally agree
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. දරුවන්ට තාත්තෙක් ඕනෙ කියල හිතල තමන්ගෙ මුලු ජීවිතේම දුකෙන් ගත කරල තමන් කරන්නෙ කැප කිරීමක් කියල හිතුවට දරුවො ලොකු වෙන කොට ඒ අයම තමන්ගෙ තාත්තගෙ කල් ක්‍රියාව හෙලා දකින්න ගන්නවා. එදාට තමයි හිතෙන්නෙ දරුවන් වෙනුවෙන් කියල අන්තිමට සිද්ද වෙලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතය නැති නාසිති වීමක් කියල. එකට ජීවත් වෙන්න බැරිම නම් හොඳම දේ අයින් වෙන එක.
ReplyDeleteමන්ද්‍රි
ඒක තමයි. :)
ReplyDeleteදසුනි ඔයාගේ මේ අදහස් වලට මම ගොඩාක් කැමතියි. ලස්සනට ලියලා තියනවා.
ReplyDeleteනදීකා පව්. ගොඩාක් යෝජිත විවාහ වල තත්වය ඒ වගේ තමයි. ඒවා විවාහ නෙමෙයි ව්‍යාපාර. සල්ලි, දෑවැද්ද ඉල්ලුවේ නැතත් වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා.
මම බැන්දේ යෝජිත විවාහයකින්. බැඳලා අනිත් ගෙදර ගියාම හැමදේම අලුත්. බැඳපු කෙනත් මාත් එක්ක එච්චර යාලු නෑ. ගෙදරමයි මතක් වෙන්නේ. මම ගෙදර ගිහින් එමු කියල කතා කරාම, නැන්දම්මා කියපි, "ඔයා දැන් ඒ ගෙදර සාමාජිකයෙක් නෙමෙයි. ඔයා දැන් මේ ගෙදර සාමාජිකයෙක්. ඔයා දැන් අයිති මේ ගෙදරට." මට හොදටම දුක හිතුනා. මම බැඳපු කෙනත් මොනවත් දන්නේ නෑ වගේ ඇහැ කණ පියාගෙන හිටියා. මං ආසාවෙන් හිටියේ මං ආදරය කරන පොඩි කාලෙ ඉදන් ජීවත් වුන පවුල අතහැරලා කාගෙවත් ගෙදර සාමාජිකයෙක් වෙන්න නෙමෙයි, ආදරෙන් පිරුණු අලුත් පුංචි පවුලක් හදා ගන්නයි.