මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 30, 2012

මල් මාල

මම දැක්කා මල් මාල හොරාගෙන...

මගේ කවියෙන්...

ලියන්නට හිටි කවිය...
මගෙන් හොරාගෙන....


පත්තරේ පිටුවක ලියවිලා...

 

ඒත්,
මම ලියනවා
ලියන්නට හිටි කවිය...


පහුවෙලා...
කමක් නැහැ
පහුවෙලා හරි ලියනවා...


රතුපාට එක්සෝරා මල් මාල
සුදුපාට පිච්චමල් මාල....
කලුපාට අත්වලින් ගෙතෙනවා

හැමදාම බස් එකෙන් හිස දමා බලනවා...


සියුමැලි වැඩිය ඔය මල්
කළු අත් වලට...
ගොරහැඩිය ඔය අත්....


දිග මදිය මගෙ කෙස්
මල්මාල පලදන්න....


අපි දුරය...


සල්ලි කොල මල් සුවද
හුවමාරුවෙන එක
මගෙ හිතට හරි බරය....

Monday, August 27, 2012

නළුවා

 

"අන්න අර නළුවා.."

"කෝ???

 

" ඔව්මයි නේද ? "

 "ඒ නළුවා...."

 

"එන්න අදුන්වා දෙන්න
මේ..........."



"අපි දන්නවා,අහල දැකලත් තියෙනවා"
"අර ටෙලියෙ ඉන්නවා මම හැමදාම බලනවා"

 

කතා නොකරන නළුවා
'හෙලෝ' විතරක්
ඉංගිරිස් උරුවට
කියන නළුවා...

 

හිනා විතරක්ම වෙන
නළුවා...
ප්‍රේක්ෂකයින්ව
ගනන් නොගෙනම ඉන්න නළුවා...

 

අපිත් ආසයි
කතා කරන්න...
එකට ඉදලා
 පින්තූරයක් ගන්න

 

ඔය කටහඩ ඇහෙන්නෙ
රූප පෙට්ටියෙන් විතරමද??
දත් ටික පෙන්නන්නෙ
කැමරාවට විතරද?

 

ගගෙන් එගොඩට ගිය පසුව
බෝට්ටුව මොකට
කරතියාගෙන යනවද?
"එක අතකට ඒකත් ඇත්ත..."


"නළුවා එළුවා
එළුවා නළුවා..."

සිනමා

 

 

කළුවරට ඇස් හුරුවන්නේ ඉබේමය.සමහර රූප වලටද එසේමය.තිරය මත සිනමා පටයක් දිගහැරේ .සුදුපාට බස් බෝඩ් එක මත ප්‍රධාන නළුවා නිල්පාට පින්සලකින් "කොළඹ" යනුවෙන් ලියයි.ඔහු රතුපාටට අකමැතිය.මමද...


යාබද අසුන නොපෙනෙයි.වම්පස අසුනේ හිදිනා ජීවිතයේ අලුත් සමීපතමයා අතකින් අල්ලා ගනියි.තිරයේ ආදර ගීතයකට කහපාට ගවුමක් තාලයට නොගැලපෙන නර්තනයක යෙදෙයි.සුදුපැහැති මුහුනෙහි රෝසපැහැ උඩුතොලට කලුපැහැති උපන් ලපයක් ආවරණ සලසයි.ඇය අවමානයට ලක්වී ඇත.නමුත් ඇය දිගටම නර්තනයේ යෙදෙයි.රගපෑම් පැසසීමට තරම් වන බව මගේ මනසට සිතෙයි.ඇයට ජීවිතය තවමත් ගීතයකි.


ආසන පේලි දෙකක් ඉදිරියෙන් අසුන්ගෙන සිටි යුවලක් හදිසියේ නැගිටියි.අළු පැහැති නොසැලකිලිමත් කමිසයක් සාමාන්‍ය කලිසමක දෙකකුල් වලින් වම්පස අසුන් පෙල දෙසට ගාටයි.'ඇය' පසුපසින් යයි.තිරයෙන් සුදු පැහැති ආලෝකය විහිදෙයි.'ඇය'ලාකොල පැහැති රෙද්දක සුදු පැහැති මල්වැටුනු චීත්ත ගවුමක් ඇද සිටී.කැරලි සහගතවූ කෙස්කලඹ මදක් උස්කොට කලු පැහැති ඉලාස්ටික් පටියකින් ගැටගසා ඇත.

 

ඇය පාද තබන්නේ නුහුරටය.දෙකකුල් එකිනෙකින් ඈත්වන්නටය.


"හරි අමුතුයි නේද ?"


"හ්ම්ම්...."


මුහුණ අදුරේ දකින්නට තරම් සුන්දර එකක් නොවුනි.ඇය ඔහුට සෑහෙන පිටුපසින් යුවලක් නොවන බව පෙනෙන්නට ඇවිද යමින් සිටියාය.නමුත් ශාලාව තුල අඩ අදුරේ එක්වර නැගීහිද එක පසකටම ගමන්කලෝ සියළු ප්‍රේක්ෂකයන්ට මේ යුවලක්ම බව පසක් කරමිනි

 

ප්‍රධාන නළුවා රතුපාට චිත්‍රය මත නිලපාට අතුල්ලයි.ඉතා විශාල සායම් පින්සලකින්..


චිත්‍රය විනාශ වී අවසන්ය...


නිළිය හඩාගෙන දිව එයි.


"ඇයි ඔයා චිත්‍රෙ නිල්පාට කලේ?අනේ මට ඒක රතුපාට කරලා දෙන්න...."


"මේක ආපහු රතුපාට වෙන්නෙ නෑ.දිගටම නිල් පාටටම තියෙයි."


දකුණු පස සහා මැද අසුන් පෙලවල් එලෙසින්ම පවතිද්දී වම්පස අසුන් පේලිය රතු පැහැ වනු පෙනේ.රක්ත වර්ණය.ලේ රතු පාට.වම්පස අසුන් පේලිය මත නිල්පාට තවරන්නට කවුරුත්ම නැත.


විවේකකාලයේදී මගේ දෑස වම්පස අසුන් පෙලෙ දෙසට යොමුවුනේ 'ඇය'ව හමු නොවුනි.ඔහුද නොසිටියේය.


චිත්‍රපටයේ අගබාගයේදී ප්‍රධාන නළුවා ජීවිතය පසක්කරගනී.

බස් රථයේ නාම පුවරුව රක්තවර්ණයට හරවයි."කොළඹ"...

 

කහපාට ගවුමේ ජීවිතයට මල් වැසි වසියි.සිනමා තිරය අදුරු වෙයි.

කොලපැහැති මල් වැටුන සුදු පැහැ ගවුම වැසිකිලියේ සිට කඩිනමින් දිව එයි.මගේ අතකින් අල්ලා පසකට කරයි.අතට සෑහෙන රළුබවක් දැනෙයි.'ඇය'කඩිමුඩියේ තරප්පු පෙල බසියි.


ටොක්...ටොක්...මම පසුපසින් බසිමි.


මට අපොයින්ට්මන්ට් නැත.


ඇගේ අත ගැටුනු මගේ අත අසාත්මිකතාවයකට ලක්වන්නට ඉඩ ඇත.රතුපාට පලු දමනු ඇත.අත විසබීජ නාශක දියරයකින් සේදිය යුතුව ඇත.ඉතාමත් තදින් ඇතිල්විය යුතුව ඇත.

මම අඩිය ඉක්මන් කරමි.

තරප්පු පෙල අග හරියේදී මම ඇයව පසු කරමි.

Saturday, August 25, 2012

හදිසියේ අත ගැටුන අත...

ඇය
මා පසුකරන් යනතර
අත මත තැබූ අත
ගොරහැඩිය....

කමිස කර
සෝදමි තව වරක්...
තව වරක්...

ඒ අත
මා අත
නො ඇල්විය යුතු....

අප
එක් අයෙකුගෙන් පමණක් කිලිටිව
පාරිශුද්ධව...

Thursday, August 23, 2012

ප්ලේන් බනිස්


ආදරේ පෙන්නන්න
නවකතාවක කවියක
රූප පෙට්ටියක වගේ
සුරුවමට...

 

ඇස් නටවලා
නොරිදෙන්න කණ මිරිකලා
ආදරේ වලදමින්
හිස් බඩ පුරවන්න

පොරොන්දු වෙන්න....


කොයි තරම් ආසද මමත්
අත් බැදන් ඇවිදින්න

නුවර වැව වටේ
රවුමක්....
දෙකක්...


උරහිසේ හිස තියන්
ආදරේ මීපැණි කන් මතට
පුරවන්න...


..............................................


ඇත්ත
ඇත්තටම
කොයිතරම්
වෙනස්ද?????


මහන්සි මූණු,
ලැප්ටොප් බෑග් කරතියන්
කප්පරක් වැඩ හිසතියන්
එන්නන්වාලේ
ගෙදර එන.....


"අද කන්න මොනවද?"
අහන....
හිස් පිගන් හැලි වලන්
සෝදන්න උදව් දෙන..


ලයිට් නිවලද
ජනෙල් වහලද බලන....
"ඔයා නිදියන්න මට තවත් වැඩ"
කියන...


"ආදෙරයි"කියලත්
සමහර විට කියන...
ප්ලේන් බනිසක්
බුදිනවා මෙන් දැනෙන...


මම නිදි දෙව්දුවට
හාදු දෙන...
කම්පියුටරේ එලිය
හීනෙන් පෙනෙන....

 

ඇත්ත

ඇත්තටම

කොයිතරම්

වෙනස්ද?????


Tuesday, August 21, 2012

ආදරේ ....

අපි
කවි ගනන් නොගන්නා අය
ගනන් විතරක්ම ගනන් ගන්නා අය
ප්‍රේමය පාගාගෙනයන අය
පයට පෑගුන දුහුවිලි
සෝදා හරින අය...

-දසුනි හෙට්ටිආරච්චි 

 

ඉස්සර
අඬ අඬා ප්‍රේම කවි ලියූ අය
දැන්
කරගන්න දෙයක් නැති අය
ඒ නිසා
නිදහසට කාරණා කියන අය

-සමර විජේසිංහ

 

අපි
කවි නිසා හුස්ම හිරවෙන අය

-කාංචනා කරුණාමුණි 

 

අපි
ඔපීසියේ රෑ වෙනකල් වැඩ කරන අය...
ආදරේ අමතක වුන අය... 

-දසුනි හෙට්ටිආරච්චි 

 

පා දූවිල්ල සේ සලකා
අතහැර දමන්න
එන්න තපසට යන්න
මෙතනින් ඉදිරි අඩවිය
සාතන්ගෙ අයිතිය
අප බොහොම මිතුරු අය

-සමර විජේසිංහ

  

මේ ඔක්කොම ආදරය ඉල්ලා
හඩා වැටෙන අය..

-Leera De Silva 

 

ලීරාට මල් මිටක්!

-සමර විජේසිංහ 

 

එන්න...
අපෙනුත් මල් ගන්න...:)

-දසුනි හෙට්ටිආරච්චි 

Saturday, August 18, 2012

කඩවෙන පොරොන්දුව....

 

ඉද හිටක හායි කියනට එන,
සුදු හිනාවක් සහිත,
කලුපාට බලාපොරොත්තුව....
නුඹ මට උස වැඩිය...


කොහොමටත්,
කවි කතන්දර
කෑවාට බඩපිරෙන්නේ නැත....


අවාසනාවකට,
නුඹට ඒවා නොතේරෙන...

නවක ලේඛක...



මගේ හීනය
තීන්ත කූඩුවක ලා
රකින්නට දෙන්න...

ඇගේ ගෑවුන විට කසන
ගවුම් අදිනා
නිය ආලේපන සිහින
ඔබ තියාගන්නම ගන්න...

 

කන්ටේනර් පිරෙන්නට
ගෙවල් පිළිබද සිහින
පැජරෝ වල යතුරු
නැන්දම්මා දකින
හීනවල යතුරුලා  ඇතිය...

 

මුණුබුරෙක් පිළිබද හීනය
මාමාට
සුරකින්න කියන්නට...

 

මගේ හීනය
පාකර් පෑනකින්
නවකතාවක් කර
ලියන්නට දෙන්න...

 

හීන
තනි තනිව දැකිය යුතු වේ
හීන මිශ්‍රණ
විස සහිත විය හැකිය...


රතිඤ්ඤා

රතිඤ්ඤය...


පත්තුවෙන්නට
පත්තරේ පත්තුවෙනකල්
මග බලන...


රතිඤ්ඤා
වහා ඇවිලෙන සුළුය...


පත්තු කරනට
පත්තර
සියුමැලිය...

තාත්තගෙ ආදරේ...

කවි වලට පණ ඇවිත්
ටයිප් කල කලු අකුරු
එහෙ මෙහේ දුව ඇවිද
මගෙ කවිය වෙනස් කර

"ඇයි කවිය හොද නැද්ද?"
එහෙමමත් නොවෙන බව කියන
ඒත් තවමත් පිටුව මත
එහේ මෙහෙ දුවන....


කවිය තනිවම ලියවී
අකුරු නිශ්චල වෙත....

මම අකුරු ලියවූ කවිය කියවන...


"අකුරු කරවන්ට හීන විකිණූ
නින්ද යන්නට කතන්දර කී
පැණි රස අල්ලසින් හිත් දිනූ
ඒ ආදරේ අකුරු කරනට බර වැඩිය

තාත්තගෙ ආදරේ
කිලෝ ගානට
කොල වල ලියන්නට බැරිය..."


Friday, August 17, 2012

බම්ප්

 

 

රබර් බෝලයක් බම්ප් වෙනවට වඩා බම්ප් වීමේ හැකියාවක් ටෙනිස් බෝලෙකට තියෙනවා.ලෙදර් බෝල ගැන මම දන්නෙ නෑ මොකද මම ලෙදර් බෝල වලින් සෙල්ලම් කරලා නෑ.දන්නවද ???ඉදුනිල් බම්ප් වෙනවා  කියලා.....නෑ ... ඉදුනිල්ව දැන ගන්න ඕන නෑ කතාව දැනගන්න.


සමහර වෙලාවට ටෙනිස් බෝලෙකටත් වැඩිය හරිම දක්ෂවිදිහට එයා බම්ප් වෙනවා.


රීබොක් එක ලග තියෙන පිට්ටනියෙ රවුමට දිව්වා කාලයක්.ඒකාලෙ එයාගෙ බඩ සෑහෙන්න ලොකුවට තිබුනා.පර්ස් එක ලොකුවට පිම්බෙන්න සල්ලි කොල තිබුනා.මම හිතන්නේ ඒ දිව්වෙ බඩ පුංචි කරගන්න.ඒත් පස්සෙ කාලෙක එයා අත් බෑගයක් කරේ එල්ලගෙන බස් එකක් අල්ලගන්න දුවනවා මම දැක්කා.ඒ කාලෙ එයාට එච්චර සල්ලි තිබුනෙ නෑ.කොහොමත් එයා සල්ලි තිබුනත් නැති වුනත් දිව්වා.


ඉදුනිල් කාලයක් කොල්ලෙක් පස්සෙ ගියා කොල්ලෙක් කියුවට එක කොල්ලෙක්ම නෙමෙයි.'කොල්ලො' කියලා කියන්නත් පුළුවන්.ඒ කාලෙ කොල්ලො එයා පස්සෙ ආවෙ නෑ.ඒ අර අත් බෑග් එකත් කරේ දාගෙන බස් එක පස්සෙ දිව්ව දවස් වල.පස්සෙ කාලෙ කොල්ලො එයා පස්සෙ එන්න පටන් ගත්තා.තෝරා ගැනීමේ හැකියාව තිබුනේ එයාට.ඒකට හේතුව වුනේ බාර් එකක බියක් එකකට ගෙවීමේ හැකියාව ඒ වෙනකොට එයා සතුවීම.

 

ඉදුනිල් පුද්ගලික ලේඛම් කෙනෙක් විදිහට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් යටතේ  රැකියාව කලා.අර බස් එකක් පස්සෙ ගියෙ එහාට යන්න.ඒත් පස්සෙ කාලෙක අර ව්‍යාපාරිකයා ඉදුනිල්ගේ පුද්ගලික ලේඛම් විදිහට පත්වුනා.තාමත් වැඩ කරන්නෙ එහෙමයි.ඒකට හේතු වුනේ පර්ස් එක පිරෙන්න තිබුන සල්ලි.


සල්ලි ඉදුනිල් ගෙ ජීවිතේ බෝලෙකටත් වැඩිය හරිම සුරුවම් විදිහට බම්ප් කලා.

මගේ මීලග හිටපු බිරිද....

මම විවාහකයෙක්මි.

වරක් දෙවරක් විවාහ වී තිබීම අවිවාහක වීමට බාධාවක් නොවේ.

අවිවාහක වී නැවත විවාහ වීමට බලාපොරොත්තුවෙමි.

වීදුරුවක් අත්වැරදීමකින් බිදී යා හැකිය.නො එසේ නම් පොලව මත පතිත කොට බිදී යාමට සැලැස්විය හැකිය.මම වීදුරු පොලව මත පතිත කොට බිදී යාමට සලස්වා ඇතිවාක් මෙන්ම අත්වැරදීමකින් බිදී ගිය වීදුරුද ඇත.එකදු වීදුරුවක හෝ මතකයක් මාසතුව නැත.

මේ ප්ලාස්ටික් සමග ඇති මගේ පලමු ප්‍රේමයයි.ප්‍රේමයේ අළුත් බව හෝ පැරණි බව තීරනය වන්නේ සම්බන්ධය පවත්නා පුද්ගලයා මතය.ප්ලාස්ටික් ප්‍රේමයට අපූරුය.බිදී යනවා යයි බියවිය යුතු නැත.පරිස්සම් විය යුතු නැත.

ප්ලාස්ටික් බිදී ගොස් ඇත.වීදුරු මෙන්වම.අපරික්ෂාකාරී වීම නිසා මට ප්ලාස්ටික් ඇතිලියක් කසාද බැදීමට සිදුවිනි.දැන් මම  ක්ලිනික් ගානේ යමි.කියනා බෙහෙත් ගෙනත් දෙමි.මාසෙ පඩියෙන් අටෙන් පංගු දෙකක් බෙහෙත් සදහා වැය කරමි.

අවලාද අපවාද වලට සවන් දෙමි.නීති දෙකක් පිලිපදිමි.

1.බිරිද හැමවිටම නිවැරදිය
2.බිරිද වැරදි යයි මට හැගේ නම් පලවෙනි නීතිය පිළිපදිමි

අවවාදයයි:-නොරැවටෙන්න..ප්ලාස්ටික්ද බිදී යා හැකිය.

Thursday, August 16, 2012

මිහිරි මරණය

ස්ට්‍රෝබටයක් දිගේ දිව එන
තැඹිලි පැහැ සීනි මිශ්‍රිත දියරය
රතු පැහැති දිව තෙත් කරන....

පැණිරසින් මා මත් කරන...

සුදු පැහැති බටයක කොනින් පිලිපන
අළු පැහැති වලාරොද
කරදාසි කොලවලට
මැජික් පුළුවන් බව කියාදෙන
අතීතය සිතුවම් පටක් කොට පෙන්වන...


දුඹුරු පැහැ තව දියරයක් ඇත
සිරුර ගිනියම් කරවන
ගල් ගැහුනු හදවත
ගිනි අවුලවන....


සියල්ලම 

මරණයට යන පාර පෙන්වන
මරණය හරිම මිහිරි වනු ඇත...

Wednesday, August 15, 2012

මම බිමින් යමි...

 

කාර් සහ බයිසිකල්
බැලුම් එල්ලන් උඩ යන
නොකියුවාට හරිම බයානක
පිපිරෙන්න දෙහි කට්ටකුත්
සෑහෙන....


ඉගිල්ලෙන්නට කලින්
හිතන්නට බොහෝදේ ඇත
කුරුල්ලෙක්
කරකාර බැදගත්තාම නම්
කමක් නැත...


මට නම් කොහොමටත්
කුරුල්ලොත්
බැලුනුත්
අවිශ්වාසය...


ඉතින් මම
බිමින් යමි
ඉගිල්ලෙන්නට

නොසිතමි....

තැපැල් පත දුටු ගමන්

 

 

ෂර්ලොක් හෝම්ස්
තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....

අහිමි වී ඇත
දියමන්තියකට ,

පෙම් හසුනකට,
සල්ලි  මල්ලකට,
වැඩි යමක්...


"අලුත් බව"
කවුරුන් හෝ
සොරාගෙන ඇත...

ශීතකරණයේ බහාලූ ප්‍රේමය
කල් ඉකුත් වන්නට
කල් තිබියදී
පිළුණු වී ඇත...

කුලියට නිවස්නා
යාබද නිවස්නෙහි
අලුත බැදි යුවල
සැක සහිතමය....

තැපැල් පත දුටු ගමන්
වහාම එනු මැනවි....

 

http://www.dinamina.lk/epaper/?id=16&tday=2012%2F08%2F17

 

තෙල් කුහුඹි තෙම...



කරදරකාරී තෙල් කුහුඹු තෙම
වැඩ ඇරී ගෙදර යන...
ප්‍රියම්බිකාවට
අන්නාසි ජෑම් ගෙනයන...



වතුර ඇතිලියකට පුළුවන්ද
ආදරේ මරන්නට...

ගෙදරටත් පාවහන් ලන
සායම් තොල් වලට
නොතේරෙත....


කුහුඹි තෙම
වතුර පහරට
සින්කිය තුල ගිලෙන
අන්තිම පාරටත් ආදරේ කියන....

 

ආදරේ නොදත්
අදුන් ලූ දෙනයන
ගිලී මියයන ප්‍රේමය දෙස බලා
ඇස් වලින් සිනා වෙන...


Tuesday, August 14, 2012

රතු පුටුව

 

 

හරියටම නම කියන්න මතක නැති හංදියක තියෙනවා රතුපාට ප්ලාස්ටික් පුටුවක්.කකුල් කඩා ඉවත් කරන ලද හෝ කැමැත්තෙන්ම ඉවත්වෙන ලද කකුල් සහිත.මට හංදියේ නම අසා දැනගන්නට පුලුවන් කමක් තිබුනත් එයින් සිදුවෙන්නේ කතාව කියන්නට පමාවක් පමණයි.කොහොමටත් කතාවට හංදියේ නම එතරම් අදාල වන්නේ නැහැ.මොකද මේ ඕනෑම හංදියක සිදුවන්නට හැකි කතාවක්, රතුපාට පුටුවක් තිබෙන...

 

ඔය කියන රතුපාට පුටුවට තියෙනවා ඇස් දෙකක්.ඇස් දෙක තියෙනබව වසන් කරන්නට වගේ රතුපාට පුටුව හැම වෙලාවෙම තමන් මත ඉන්දවාගෙන ඉන්නවා ගැහැනියක්.සුදුපැහැ ලේස් හැට්ටයක් සහ චීත්තයක් අදින ලද.ඇගේ ඇස් විදිහට ඇත්තටම අපට පෙනෙන්නේ පුටුවේ ඇස්.ඒත් පුටුව හිතාගෙන ඉන්නවා අපිට ඒ බව නොතේරෙන බවක්.ඇත්තටම හුගක් අයට තේරෙන්නේ නෑ.මොකද කකුල් නැති පුටුවක් මත ඉදගෙන ඉන්න නාකි ගැහැනියකගෙන් වැඩක් නැහැ.ඔබටත් මටවත් ලෝකයටවත්.

 

මම දැනගෙන හිටියා ඔය කියන පුටුව කතන්දර එකතු කරනා බවත් ලගදීම කතා එකතුවක් පලකරන්නට හිතාගෙන ඉන්නා බවත්.කොහොමටත් දවස පුරාම හංදියක ඉදගෙන පාරදිහා බලාගෙන ඉන්නා පුටුවකට පුලුවන් කතන්දර රාශියක් එකතු කර ගන්න.සීතල කාමර ඇතුලේ ගල් සීතලෙන් වෙව්ලමින් පිටව යන්නට වෙලාව බලමින් ඉන්න මට වඩා.

 

මම ඉරිසියා කලා රතුපාට පුටුවට.ඒත් ඒ ඉරිසියාවත් එක්කම ඇතිවුනා හදුනා ගැනීමේ ආශාවක්....

 

දවසක් පුටුව ලගට කිට්ටුවෙන්නට පුලුවන් තරම් බොරුවක් හදා ගත්තා තදබල වීර්යකින් පසුව.

 

"ආත්තම්මෙ කොහොමද?"මට උවමනා වුනා පුටුවට පෙන්නන්න මම රැවටී ඇති බව.

 

මම පුටුවට රැවටී ඇති බව සබෑවක් වනවා මෙන්ම පුටුව මටත් රැවටී ඇති බව පසක් කරමින් වයසක කටහඩක් කතා කරන්නට පටන් ගත්තා.

 

"උඹ කවුද පුතේ?"

 

"මම මේ ලොන්ඩරියට රෙදි ටිකක් දෙන්න ආවා.දන්නෙ නැද්ද ආත්තම්මේ රෙදි හෝදන්න වෙලාවකුත් නෑනේ..."

 

"උඹ දන්නවද උඹ ලග බෙහතකට වත් ගන්න නැති,මාසෙ පුරාම මැරිලා මැරිලා අතට ගන්න පඩි පතෙන් කවදාවත් මිලට ගන්නට බැරි දෙයක් මගේ ලග තියෙනවා පුතේ..."

 

පුටුව මායාවකින් මවා පෙන්වන ගැහැනිය ඉතා වයසය.ඇය සතුව ඉතා විශාල වත්කමක් තිබෙන්නට බැරි නැත.මම පුටුව ආසන්නයේ බිම ඇණ තබා ඉද ගතිමි.ඇගේ මුහුණේ කපටි හිනාවක් ඇදින.දත් නැති කටවල් වලටද කපටි හිනා පාන්නට පුලුවන.

 

"ඉතින් ආත්තම්මා දවස පුරාම පුටුව උඩ ඉදගෙන මොනවද කරන්නේ?"

 

"පුතා දන්නවනේ ඔය ලොන්ඩරිය.ලොන්ඩරියට ගේන රෙදි ඔක්කොම එක පාරට හෝදන මැෂිමට දාන්න බෑ.කිළුටු කූඩෙට වෙලා ඉන්න කම්මැලි කමට සමහර රෙදි එනවා මා ගාවට.පුතා දන්නෙ නැති වුනාට හැම රෙද්දටම තියෙනවා පුතේ කතාවක්..." 

 

මම බිරාන්ත වී ගියෙමි.සලිත වී ගියෙමි.ආදරවන්තිය නොවන අන් ලදක් දුන් හාදුවකින් මෙන් මගේ ඇගේ හිරිගඩු පිපින.ඇත්තටම අප අපව රවටා ගනිමින් සිටිමු.පුටුවකට මේ තරම් බොරු කියන්නට පුලුවන්ද?නමුත් පරදින්නට බැරිය.තරගයට බොරු කිව යුතුය.සමහර විටක තරගයෙන් පුටුව පරාද වන්නටද ඉඩ තිබේ.

 

"මමත් රෙදිටික හෝදලා දෙනකම් ඉන්න එකේ කියන්නකො බලන්න ආත්තම්මෙ ඔය රෙද්දක් කියපු කතාවක් එහෙම."

 

"හ්ම්ම්...උඹ දන්නවද රතුපාට ඇද රෙදි වලට තියෙන්න පුළුවන් බොහොම කතන්දර.දවසක් මම දැක්කා රතුපාට ඇද රෙද්දක් බොහොම කනගාටුවෙන් වගේ කිළුටු කූඩෙ උඩටම වෙලා ඉන්නවා.මම ඉතින් අතින් කතා කලා වාස දේස එහම කොහොමද අහන්න.එත් ඒ රෙද්දට තිබුනෙ කඩිසර ගමනක් එහෙම නෙමෙයි.කකුල් අද්ද අද්ද තමයි මේ පැත්තට ආවෙ."

 

"මොකෝ මේ කකුල අද්ද අද්ද..."මම ඇහුවෙ ලෙංගතු කමටමයි.

 

"ග්‍රෑන්ඩ්මා මට හරිම අමාරුයි..."මේකි ඉන්ගිරිස් විදියට හැදුනු එකියක් බව මට තේරුනා.

 

"මොකෝ කියපන්කො බං කාරණාව"

 

"ආත්තම්මා මම -----මිනිස්ටර් ගෙ ගෙදර පුතාගෙ රූම් එකේ ඇද රෙද්ද...එයා හරිම විසේකාරයා කොහොමත් සතියකට තුන්පාරක් වත් මගේ ඇගේ පැචස්...රෙඩ් කලර්මයි අනේ ඒවා..."



"ඒ මොකෝ බං ඌ දියසායම් කර්මාන්තයක් වත් කොරනවයි..."

 

"චීයා ඒ වගේ ලාබ වැඩ කරන්නෙ නෑ අනේ එයාලා.එයාට ඉන්න ගර්ල්ස් ලා හුගාක් අය වර්ජින්...ආත්තම්මට තේරෙනවනේ.හෙයාර් එක වයිට් කලර් වෙලා තියෙන්න නිකන් වෙන්න බෑනෙ නැද්ද ආත්තම්මා..."

 

"මගේ කෙස්ස ඉදිලා තියෙන්න අකාලෙට නොවුනට මෙහෙම විජ්ජුම්බර නම් මම දැකලා තිබුනෙ නෑ පුතේ.අපේ ජීවිත කාලෙටම රතු පාට පැල්ලමක් ඇද රෙද්දක් මට ඉන්නවා දැකලා තියෙන්න එක පාරයි.එහෙම නොවෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා පුතේ."

 

රතුපාට පුටුව උඩ ඉදපු වයසක ඇස්දෙක එහෙම කියුවෙ මට.

 

"අපිව තවත් ඕන වෙනවා ග්‍රෑන්ඩ්මා ප්‍රෙග්නන්ට් ලේඩීස්ලගෙ ඩිලිවරි වෙලාවට.ඒක හරි කැත ජොබ් එක ආත්තම්මා.අයි ඇම් වොරීඩ් ටු ඉන්වොල්ව් දෙයාර්..."

 

"මේකි මේ කොච්චර වැදගත් රස්සාවක් දාලද අර වගේ අසමජ්ජාති වැඩකට උදව් දෙන්න ගිහින් තියෙන්නෙ කියලා මට හිතුනා පුතේ"

 

ආත්තම්මා එහෙම කියුවා.

 

මේ ඔක්කොම බොරු කියලා තමයි මට හිතුනෙ.මුලින්ම පුටුවලට පුළුවන්ද කතා කරන්න.අනික ඇද රෙදි වලට.හැම අජීවී වස්තුවකම කතා කරන්න ගියොත් මොකද වෙන්නේ.මේ ලෝකෙ මිනිස්සුන්නට ජීවත් වෙන්න පුලුවන්ද?

 

"ආත්තම්මා ලග තියෙන මට සල්ලි වලට ගන්න බැරි වටිනම දේ මොකක්ද?"



මට තහවුරු කරගත් යුතුව තිබුනා මේ කියන්නේ ඇත්තක්ද යන වග.බොරු කියලා ඔප්පු
කරන්නට මට උවමනා වුනා.



"හං...හං....හා....කාලය පුතේ කාලය..."



මේ බොරුවක් බවත් කතා කරන්නේ පුටුවම බවත් මට පැහැදිලි වුනා.චීත්තයක් හැට්ටයක් ඇදි කෙස්ස සුදු පැහැ ගැන්වුන ගැහැණෛයකට මේතරම්  නැණවත් බවක් තිබිය නොහැකියි.සැබැවින්ම...



නමුත්,මග තොටදී හංදියක රතු පැහැ පුටුවක් දුටුවහොත් නැවතත් බලන්න.

 


එක්වරක්.....මහළු ඇස් සහිත මායාකාරී බවක් ඔබට පෙනේවි...

Monday, August 13, 2012

ඔහු

ඔහු
නොවන
ඔහු
 පින්තූරයේ
හිනාවීගෙන.....

දුහුවිලි
ගසමි...


පින්තූරයට
හාදුවක් දෙමි...

Sunday, August 12, 2012

නිරුවත් ගැහැනිය

 

 

 

දිටිමි,

ඇය නිරුවත්ව ....
අගහරුවාදා දවසක ,
කහ පැහැති පාවහන් ඇගලා...
රෝස පැහැ අත් බෑගයක් ගෙන....
කෝල බවකින් එපිට බලමින්,
ගමන් යන.....


සැබැවින්ම
ඈ නිරුවත්ය...
දෑස බොරු නොකියත...


වෙනදාත්
අද මෙන්ම

මෙතන පසුකර යත...

බාජු ඇදුමෙන් සැරසි වත
වක්‍රයන් නොපෙනෙත....


නමුත්

මා ඇය
ඇසින් බලමින්
සිතින් නිරුවත් කරමි....


අද
ඇය
සැබැවින්ම නිරුවතිනි...

නමුත්
ඇදුම් ඇද සිටියේ නම්
මැනවයි සිතමි...


(http://www.thinkland.net-අගහරුවාදා රෑ කතාවෙන් උපන් සිතුවිල්ලකිනි... )

Friday, August 10, 2012

හූණාගේ මරණය

 

ඇස් දෙකත් පියාගෙන හූණෙක් මියගොස්ය.මිය ගොස් සිටියේ හරිම ශාන්ත  අයුරකිනි.ඒත් නිවස තුලම දිවිනසා ගැනීම .සමහර විටක බිරිද තවත් හූණෙක් සමග පලා ගොස් විය හැක.අනේ මන්දා යැයි ඇයට සිතින.මියගිය හූණා සර්ව සම්පූර්ණවම මිය ගොස් සිටියේය.වලිගය තිබූ තැනම ඒ විදියටම තිබුණි.වලිගය අහිමිවීම නම් දිවිනසා ගැනීමට කාරණයක් විය හැක.නමුත් සර්ව සම්පූර්ණව මිය යාම ප්‍රශ්නයකි.

ඇය සිතුවාය.සිතුවාය.මිය යනවා නම් තමන්ටද මිය යන්නට කරුණු කාරණා තිබේ.ඒත් නිදිපෙති පනහක් බොන්නට හිත හදා ගන්නට අමාරුය.කොහොමටත් මිය යාමේදී සිදුවන අහිමිවීම් විශාලය.ඇරත් ඔය කරුණු කාරණා එකින් එක සලකා බැලීමේදී මිය යන්නට තරම් බරපතල තීරණයක් ගන්නට තමන් තවමත් හදිසි වැඩිය.

කමිසයක දිගු කෙස්ගසක් හමුවීම අහඹුවක් විය හැක.තමන් ලග නොමැති කාන්තාවිලවුන් සුවදක් කමිසයෙන් හැමීමද නාසයේ ගන්ධ සෛල වල වැරදීමක් විය හැක.කොහොමටත් රෙදි සෝදන්න නියමිතව විවෘත කරගත් මුඛයෙන් යුතුව බලා හිදිනා මැෂිමට දැමීමට පලමු කමිසය සිඹීම ඇගේ වරදක් මිස ඔහුගේ වරදක් නෙමේය.

තමනුත් දිවිනසා ගන්නවා යයි තර්ජනය කල යුතුබව ඇය සිතුවාය.ඒත් බොරුවට අකමැත්තක් පෙන්වා ආහාර වලට වස මිශ්‍ර කර දෙන්නටද බැරි නැත.වරද ඔහු අත නොවේ යයි සිත සදා ගැනීමටද එවිට තමන් ඔහුට අත්වැලක් සපයා ඇත.ඔහු සිදු කරන්නේ තමන්ගේ අරමුණ වෙතට යාමට උදව් කිරීමකි.නමුත් සත්‍ය වශයෙන්ම තමන්ට දිවිනසා ගැනීමට උවමනා වක් නැත.

තමන්ට උවමනා ඔහු තමන් වෙත රදවා ගැනීමටය.දිනෙන් දින නෙරා එන උදරය ඔහුව තමන් වෙතින් තවදුරටත් ඈත් කරවයි.උදරය  නෙරා ඒම සමහර විටක ඈත් කිරීම ද  තවත් සමහර විටක ලං කිරීම්ද රැගෙන එයි.මේ ඈත් කරවීමක් ලං කරවන උදරය නෙරා ඒමකි.

සත්‍ය වශයෙන්ම කෙට්ටු කරවන් පෙතිද රාත්‍රී නිරාහාරව සිටීමද උදරය සිහින් කරවීමට උපකාරී නොවෙයි.දිග කෙස් ඇති නාදුනන විලවුන් සුවදේ හිමිකාරියට සිහින් උදරයක් තිබිය හැක.නැතුවා වන්නටද බැරි නැත.

ජනේලයෙන් පිටත ඇති කරපිංන්චා  ගස හූණාගේ මරණයට ශෝකය ප්‍රකාශ කරමින් රෑ වට වැස්සෙන් කදුළු සරිකරගෙන ඇත.තමන්ටද අඩන්නට හැක.ඒත් නොසලකා හැරිය යුතූ හූණාගේ මරණයට නොවේය.

 

හූණා මිය ගොස් ඇත්තේ සත්‍ය වශයෙන්ම බිරිද පලා ගිය ශෝකයෙනි.ඒ පිරිමි කමට පහරකි.හූණා දවස ගනනක් නිරාහරාව කල්පනා කරන්නට ඇත.තමන්ට වඩා බිරිද අන් පිරිමියෙකුගේ ආලිංගනය ඉවසනවා නම් පිරිමි කමට රිදේ.නමුත් තමුන්ගේ නොමනා ක්‍රියාවකින් සිත් රිදවාන ඇය මිය ගියොත් ඒ ආඩම්බර වීමට හේතුවකි.ඇයට තමන්ව නැතිවම බැරිබවට සාක්ෂියකි.

 

ඇය විසින් සිදු කල යුතුව ඇත්තේ පලා යාමය.නැත්නම් පලා යන බවට තර්ජනය කිරීමය.වඩාත් හොද තර්ජනය කිරීමය.ඔහුගේ ප්‍රතිචාර මත පලා යාම තීරණය වනු ඇත.නොදන්වා පලා ගියහොත් තවත් හූණු මරණයක් සිදුවිය හැක.

හදිසි පෙනී සිටීමක්.උකුල මත තැබිය යුතු පරිගණකය මේසය මත තබා විද්‍යුත් තැපෑලෙන් ආ ලියමනක් කියවන ඔහු අසල.

"ඇයි?උදේට ඕන දෙයක් කමු..."

"මම හිතුවා...මම හිතුවා ...පලා යනවා..."

ඇස් සහ ඇස් හමුවීමක්.තත්පර දෙකක නිසල තාවයක්.ශෝකය ප්‍රකාශ කිරීමකට විය හැකි.

"පලා යනවා නම් ගිහින් ගේන්න.කොහොමටත් සතියකට සැරයක් වත් පලා ටිකක් කන එක හොදයිනෙ..."

නිමිද???

Thursday, August 9, 2012

සිoහ කමිස

මම සිoහ කෙදි වලින්,
කමිසයක් මහමින...
බැටළු ලොම් කපා විකුණමි,
සිoහ කෙදි කමිසය ඇගලාමි...
බැටළු ගුණ ඇති,
සිoහයෙක් වෙමි...


Tuesday, August 7, 2012

කොඳු

 

මම සැත්කමට කලින් නැවෙන්න උත්සාහ කල හැම අවස්ථාවකම මට දැනිලා තිබුනා මට නැමෙන්න අපහසු බව.කොයි පැත්තකට වත්.මම හිතුවා ඒක වෙනස් කරගන්න ඕන කියලා.හැම පැත්තටම නැමෙන්න පුළුවන් නම් කොයිතරම් අපූරුද?ඊයෙ හවස සැත්කම් මේසෙ මත ඇස් පියාගත්තෙ ඒ හීනෙත් අරගෙන.ඒත් ,ආපහු ඇස් අරින්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුනෙ නෑ.

"මේක ලෝකෙ මේ විදිහට සිද්ද වෙන පලවෙනි ශල්‍යකර්මය.ඇත්තටම විශ්වාසද තාමත් ඔයාට මේක කරන්න ඕන කියලා.ජීවිතේ ගැන විශ්වාස කරන්න පුළුවන් සියයට දහයක් විතරයි."

 

දොස්තර මහත්මයා ඇහුවෙ ඉන්ග්‍රීසියෙන්.


"ඉයස් ඉ ඇම් ප්‍රිටි ශුවර්"...මම එහෙම කියුවට හරියටම විස්වාසයක් තිබුනෙත් නෑ. 

 

.....................

 

කොදු නාරටියක් තියෙනවා මිනිස්සුන්ට .හැම පෘශ්ඨවoශික සතෙකුටමත් තියෙනවා.ඒත් කොදුනාරටිය නැති වුනාම හැම පැත්තටම නැමෙන්න ලේසියි.ඒක පහසුවක්.හැමෝටම කොදුනාරටියක් තියෙන්න ඕන කියලා නියමයක් නෑනෙ.කොහොමත් මම ආස නෑ කොන්ද වැඩිය හයිය මිනිස්සුන්ට .එයාලට නැමෙන්නම බෑ.හරියට මෝල්ගස් ගිලපු රිලව් වගේ.

මම මෙච්චර දවස් හොයන්න උත්සාහ කලේ නෑ මට කොදු නාරටියක් පිහිටලා තියෙනවද කියලා.මොකද උවමනාවක් තිබුනෙ නෑ.ඒත් හදිසියෙම මට සිද්ද වුනා වැස්සකට තෙමෙන්න.මම ඇත්තටම කැමතියි සමහර වැහි වලට.සින්දු වැහි....විශේෂයෙන්ම ලස්සන පද තියෙන...සින්දු වැහි වලට තෙමෙන්න කොදු නාරටිය තියෙනවද කියන එක අදාල වෙන්නෙ නෑ.

 

ඒත් මේ බැනුම් වැස්සක්.

 

මම හරිම අකමැති වැහි වර්ගයක්.මට හිතුනෙම ආපිට බනින්න.පිට පැත්ත අතගාල බැලුනෙ ඒ අවස්ථාවෙදී.අවාසනාවකට මට පිටකොන්දක් පිහිටලා තිබුනා.ඉතින් මට සිද්ධ වුනා ආපිට බනින්න.

 

ඒ නිසා ගත්ත හදිසි තීරණයක් තමයි මේ සැත්කම.මම රුපියල්ම ලක්ෂ තිහක් වැයකලා මේකට.මේච්චර කාලයක් හරි හම්බ කල හැම දෙයක්ම වැය වුනා.ඒත් කොයිතරම් අපූරු අත්දැකීමක්ද හැම පැත්තටම නැවෙන්න පුළුවන් වීම.

 

...................................

 

මගේ බොදවුන ඇස් දෙක හෙමින් විවිර වෙමින් තිබුනා.ඇද අවට වටපිටාව හිස් බව මට තේරුනා.කවුරුවත් නෑ.කවුරුවත්ම නෑ.හැමෝම අකමැති වුනා මේ සැත්කමට.

තාත්තා අන්තිමට කියුවෙ.මම පවුලෙම මූණු වල දැලි ගෑවා කියලා.

"කොන්දක් නැතුව ජීවත් වෙන්න අමාරුබව දූට පස්සෙ කාලෙක තේරෙයි."ඇස්වල කදුලු පුරව ගත්ත අම්මත් එහෙම කියුවා.

 සැත්කමෙන් මාසෙකට පස්සෙ මම හැම පැත්තටම නැමුනා.මට හරිම සතුටුයි.ඒත් සැත්කමේ තව පුදුම අන්ශයක් කියන්නේ මට තවදුරටත් කොදු නාරටියක් නැති  බව අනිත් මිනිස්සුන්ට පෙනුනෙ නෑ.මම මස් ගුලියක් වෙලා තිබුනෙ නෑ.හරි කෙලින් හිටගෙන ඉන්න පුලුවන් වුනා.උවමනා වුන වෙලාවට.

හදිසියේ ගත්ත තීරනයක් උඩ ඔලිම්පික් යන්න තේරුන විශේෂ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්නත් පුලුවන් වුනා.

 

මම ගැහුව කරනම් රුමේනියාවෙන් ආපු කෙල්ලොන්ටත් ගහන්න බැරි වුනා.මම පලවෙනියා වුනේ උඩින්ම.මගේ සැත්කමට එපා කියපු හැමෝම මාව බලන්න ගුවන් තොටුපලට ඇවිත් හිටියා.මල් මාල, මල් පොකුරු හුගක් තෑගිලැබුනා.

....................................

 

මම ඊයෙ උදේ ඔපීසියට ගියේ ඔලිම්පික් හීනේ සතුටත් අරගෙන.ඇත්තටම හීනෙන් ඔලිම්පික් පදක්කමක් දිනපු සතුට දිගටම තිබුනා.දවස පුරාම.

දවල් කෑම කන වෙලාවෙ කට්ටිය එකතු වෙලා බොස්ට බැන්නා.මමත් එකතු වුනා එකතු වෙලා එයාලත් එක්ක හොදටම බොස්ට බැන්නා.

හවස බොස් මට කතා කලේ රාජකාරි වැඩකට.

"බොස් දන්නෙ නැති වුනාට නිමල් ලා ගුණපාලලා බොස්ට බනිනවා නොසෑහෙන්න මම නෙමයි කට ඇරියෙ.බොස් වගේ ජෙන්ටල්මන් කෙනෙකුට එහෙම කියන එක හරි නෑනෙ .නැද්ද බොස්..."

"මොනවද එයාලා කියන්නෙ?"

"ඉන්ක්‍රිමන්ට් නැති එක ගැන තමයි ඉතින් හුගක් කතා කරන්නෙ...අනේ ඉතින් මට නම් ලැබෙන පඩිය ඇති.බොස් කියලා මොකෝ ඉතින් සල්ලි ගස් වවනවයැ නැද්ද මම අහන්නෙ?"

 

"ඔයා දැන් යන්නකො. "බොස් අන්තිමට කියුවෙ එහෙම.

...............................

 අදත්  උදේම බොස්මට හදිස්සියෙම කතා කලා.

 

"ඔයාට සතුටු දායක ආරන්චිටක් කියන්නයි මම කතාකලේ.ඔයාට ඉන්ක්‍රිමන්ට් එකක් ලෑස්ති කලා රුපියල් තිස් දාහකින් පඩි වැඩි වෙනවා."

මට හිතාගන්න බැරිවුනා.මේ බොස්මද කතා කරන්නෙ කියලා.

පිට පැත්ත අත ගෑවුනේ පුරුද්දට.ඉස්සර වගේ ඝනකමට කොදු නාරටිය අහුවුනේ නෑ..

බොස්...

බොස්...
කඩේ
නොයන උන්
ජබොස්...

Saturday, August 4, 2012

ජීවිත කතාව කියවන්න දෙන්න කැමතිද?

ඔයාලා කැමති නම් ඔයාලගෙ ජීවිත කතාව අනිත් අයට කියවන්න දෙන්න.කරුණාකරලා ප්‍රතිචාරයක් විදිහට ඔයාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න.රහසිගතභාවය සුරැකෙනවා.පොරොන්දු වෙන විදිහටම.

අයේශා...

එක අයෙක් හමුවූ විට
මට මාව මුණ ගැසුනු
සේ දැනෙන...


සුළු සුළු වෙනස් කම් සහිත
ජේදන කුලකය විශාලිත
කොහොමටත්
අපි අපි වගේ අය...

අප සතුව රහස් ඇත
ඔබ දෙපල දන්නෙ නැත...

අපි සිනාසී ඇත්තෙමුය
හඩා ඇත්තෙමුය...

කොණඩය කපමින්ද
වවමින්ද...

පා මුදු දමමින්ද
ගලවමින්ද....

ජීවිතේ සෘතු
පසුකර ඇත්තෙමුය....

ඔබ නොදන්නා රහස්
අප සතුව තවම ඇත...

 

Friday, August 3, 2012

මම චිත්‍රයක...ද්විමාණව...

(ඔහු මට මා දකින්නට සැලැස්වීය. එවිට මට වයස දාසයකි.ම නොදුටු මා ඔහු දැක තිබින.අද ඔහු ඔත්පලය.වයසය.මා ඔහු දකින්නට යා යුතුය.)

 

මම චිත්‍රයක ඉමි...

හිස පර්දාවකින් වසාගත්
ගැහැණු ළමයෙකුව...

පූස් පැටවෙක් අතින් ගෙන...


කැන්වසයක හිදිමි
සම්පූර්ණයෙන් ද්විමාණව...

 

මුස්ලිම් නොවූ කෙල්ලක
පර්දාවකින් හිස්වසන්නේ ඇයිදැයි
නොඇසුවෙමි....


මම 

සීමා බිද යන්න කැමතිබැව්
ඔහු දනිත...


නමුදු 

එසේ නොයන බැව්ද දන්නේ
ඔහු පින්සලෙන්

 මා හිස මතට
පර්දාවක් ලැබින...


චිත්‍රය
සුරැකිව
සේප්පුවක
යතුරු ලා ඇත....


ඉතින් මම චිත්‍රයේ ඉමි...
සීමා බිදනොයමි..


හීන කුමාරයා....


මගේ ඉස්සර පුරුද්දක් තිබුනා කතන්දර පොත් ඇතුලට බැහැලා ඇවිදගෙන යන.ඔහොම ඇවිදගෙන යන අතර තුර පොතේ එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට හුගක් දුර වෙලාවල් එනවා.එහෙම උනාම ඒ හිස් ඉඩ පියව ගන්න හුගක් අමාරුයි.එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට ඇවිදගෙන යන අතරතුරේ දවසක් මට මහන්සියටද මන්දා ඇලවෙන්න හිතුනා. ජේද දෙක අතරෙ ඉඩ නිදාගන්න කියපුම තැන.

 


පිරිමි කෙනෙක් අවුරුදු විසි පහත් තිහත් අතර ලී පුටුවක ඉදගෙන හිටියා .එයාට තිබුනෙ ක්‍රේල් කොණ්ඩයක්.අතේ තිබුනා බොක්ස් ගිටාර් එකක්.එයා මාව දැක්කෙ නැති තාලෙට ඉන්ග්‍රීසි සින්දුවක් වාදනය කරමින් හිටියා.දිග ඇගිලි හරිම සුරුවමින් ගිටාරයේ සන්ගීත අකුරු වයමින් හිටියා.ඇත්තමයි එයා මාව දැක්කෙ නෑ.ඉදගෙන හිටිය පුටුවෙ ලී ඇන්ද හරිම උසයි .ඒකෙන් එයාගෙ උසට ලස්සනක් එකතුවෙලා තිබුනා.ඇත්තම කියනවා නම් මම කියලා කෙනෙක් මෙතන හිටියෙ නෑ.එයා කියලා  කෙනෙක් හිටියෙත් නෑ.තිබුනෙ අකුරු විතරයි.ඒත් මම එයාව දැක්කා.

ටිකකින් එයා ගිටාර් එක ගහන එක නවත්තලා පුටුව ලග තිබුන බිත්තියට හේත්තු කලා.ඊට පස්සෙ හිමීට නැගිටලා මම ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තට ඇවිදගෙන ගියා.කැන්වස් එකක් ආධාරකේක එල්ලලා තිබුනා.පාට පින්සල් සහ දිය සායම් පැත්තකින් තියලා තිබුනා.හදිසියේම එයාගෙ ඇදුම් වෙනස් වුනා.සුදුපාට සරුවාලයක් වගේ එකක් ඇදලා හිටියා.උස ඇගටත් දිගැටි මුහුණටත් ඒ ඇදුම හොදින්ම ගැලපුනා.ඒ එයාමද කියලා හිතන්න බැරි තරමට වෙනස් වෙලා හිටියා .ක්‍රේල් කොණ්ඩෙ කෙලින් ඉත්තෑකූරු කොණ්ඩයක් බවට පත්වෙලා තිබුනා.මම හිතුවෙ නැහැ මාව දැකලා ඇති කියලා ඒත් වැරදියි.මාව දැකලා.මට සතුටු හිතුනා.එයා මගේ දිහා බලාගෙන චිත්‍රයක් අදින්න පටන් ගත්තා.ඒකාලෙ අවුරුදු පහලොවේදී තිබුන කුලෑටි කමත් එක්ක මම බිම බලාගෙන හිටියා.



එයා මුකුත් කියුවෙ නෑ.හෙමින් මගේ දිහාට ඇවිත් නිකටින් අල්ලලා මූණ කෙලින් කලා එයාගෙ පැත්තට හැරෙව්වා.ඉම්රාන් හස්මිගෙ දුඹුරුපාට ඇස් දෙකෙන් මගේ දිහා බැලුවා.

 

මම හිතුවෙම මට කතා කරයි කියලා.කතා කරලා "මගේ දිහා බලන්න එතකොට චිත්‍රෙ අදින්න ලේසියි"කියාවි කියලා.

 

ඒත් එහෙම වුනේ නැහැ.මට කතා කලේ නැහැ.එයා දිගටම චිත්‍රෙ ඇන්දා.චිත්‍රෙ මාව ඇති කියලා මම හිතුවා .නැත්නම් මම ගැන එයා හිතන විදිහවත් ඇති.චිත්‍රෙ අදින කල් මම උස කකුල් තියෙන ස්ටූල් එකක ඉදගෙන හිටියා.එයා චිත්‍රෙ ඇදලා ඉවර වෙලා මට හිස නමලා ආචාර කරලා චිත්‍රෙත් රෝල් කරගෙන මට පිටුපස්ස හැරිලා යන්න ගියා.



පවුලෝ කොයියෝ මිනිත්තු එකොලහ පොතේ ඉදන් මට කියුවා."චිත්‍රකාරයෝ ඔහොමයි හරිම  ගුප්තයි "කියලා.ගුප්ත මිනිස්සු ඇතුලේ තියෙන ලස්සන හරියටම ඇදිරුව කෙනෙක් නිසා මම කොයියෝ දිහා බලලා ලාවට වගේ හිනා වුනා. 

 

චිත්‍ර අදින්න පුලුවන් ගිටාර් ගහන්න පුලුවන් කෙනෙක්.අවුරුදු පහලොවේදී මම මගේ හීනෙ එහෙම අර්ථ කථනය කරගත්තා.

 

ගැස්සිලා ඇහැඇරුන මම පොතේ අනිත් ජේදෙට ඇවිදගෙන ගියා.හිත තෝන්තු වෙච්ච ගතිය එහෙමම තිබුනා.



 ඔය පොතේ හතරවෙනි කොටස එනකොට මට වයස විසිහයත් පිරිලා තිබුනා.එතකොට මම බොලද නැති.ගැහැණු ළමයෙක් කියලත් කියන්නට බැරි ගැහැණියක් වෙලා හිටියා.

 

මාසෙකට සැරයක් පොත් සාප්පුවල ඇවිද යන චාරිකාවෙදි මට ඔය පොතේ හතරවෙනි කොටස දකින්න ලැබෙනවා."ඔයා හරිම බොලදයි"කියන වචන හිතන්නට ස්වාමිපුරුෂයාට ඉඩ තබන්නට ඇති අකමැත්ත නිසාම මම ඔය හතරවෙනි කොටස සල්ලි දීලා ගන්නෙ නෑ.ඒත් මම පොත් රාක්කයක ඇතුලෙ මුළු ගැන්විලා කතාවෙ අන්තිම පිටුව කියවනවා.

 

"ඔහු තම සිහින ලෝකයේ පරිකල්පිත ගැහැණිය නැති සොවින් දුම්වලා අතර තම ජීවිතය අතරමන් කරගෙන සිටියේය. දුම් රොටු තුලින් නික්මෙන වලාකුළු අතර ඇයව දුටුවේය.ඇගේ කැරලි කෙස් කලඹ ඉන දක්වා හෙලා.බද නලවමින් බොලට තෙක් දිග රැලිසාය ඇද යනු දුටුවේය."


ඒ වෙනකොට මම මගේ කැරලි කොණ්ඩෙ බෙල්ල දක්වා කොටට කපලයි හිටියෙ.අනිත් කාරණේ ඇදගෙන හිටියේ සතියපුරාම වැඩට ඇදපු ඩෙනිම.ඉතින් එයාගෙ චිත්තරූප වලට මම ගැලපෙන්නෙ නෑ.එයා දුක් වෙන්නෙ නැති දෙයක් වෙනුවෙන්.අනිත් එක මමත් ආදරේ කලේ සෞන්දර්යවාදියෙකුට මිසක් බීලා ජීවිතේ නාස්ති කරගන්න මනුස්සයෙකුට නෙමෙයි.මම දුක්වෙන්නෙත් ඇත්ත පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි.

 

පොතේ හතරවෙනි කොටස කියවපු මම දෙවනි සහ තුන්වෙනි කොටස් වල නොසිට පලවෙනි කොටසින්ම කතාවෙන් ඉවත්වීම ගැන සතුටුවුනා.මොකද කොහොමත් කතාව ඉවර වෙන්නෙ හතරවෙනි කොටසෙ තියෙන විදිහටනෙ.



ඒත්,



තාමත් සමහර වෙලාවලට දුක නොදැනෙනවාමත් නෙමෙයි. 

 

 

සපත්තු

කළුපැහැති
ගැහැණු සපත්තු යුගලක්ව
පාඇගිලි වල
ආලේපිත වර්ණ ගැන
කම්පිතව....

Thursday, August 2, 2012

අනියම්...


අපි
ලී ගේට්ටු...

මල නොකන....


සියල්ලම
හඩ නොනගාම
උරාගමු...

රහස් රකිනෙමු...


රෝස පාටින් යුතු
තීන්ත බාල්දියට
ආදරෙයි කියනෙමු...


වැස්සට රහසේ පෙම් කරමු...
වැහි බිදි
ලය තුරේ සැගව උන් බැව්
කාටවත් නොකියමු...

අනියම්වද පෙම් කරමු...

ස්ට්‍රෝබරි හාදු...

 

 

 

අහසින් වැටුන
කොහොල්ලෑ බබෙක්
ස්ට්‍රෝබරි තොල් සහිත
මිදි ඇස් සහිත...

බ්ලැක් කරන්ට් මාලයක් පැලද....

මම කැමති ගීයකින්
කමිසයක් ඇද...

කළු ඉරි සහිත
මාරි බිස්කට් පුඩිමකින්
තොප්පියක් පැලද...

මම
ඇගේ තැවරෙනු කැමතිව...

හාදුවක් වුව දෙන්නට
මනාපව...

මිනිසා

2012.07.26
මම කෑම කනවා.කොහොමද දවසෙම කන්න නැතුව ඉන්නෙ.උදේ හතරට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ.



2012.07.30
"Do you wanna fag?" .වරෙන් මචන් යන්න ඉක්මනට .weekend එකම මුකුත් නෑ.මට එපා වෙලා හිටියෙ.come on man....


2012.08.01

මම wife ට කියුවා මුස්ලිම් පොතේ තියෙන්නෙ අඩුවෙන් කාලා නෝම්බි ඉන්න කියලා ඉතින් ඔයා කරදර වෙන්න එපා. උදේට නැගිටින්නත් හොද නෑ.මට කෙසෙල් ගෙඩියයි වතුර එකයි තියන්න.මම ඒක කාල ඉන්නම් කියලා. She does not know that I come here and eat no men...


 2012.08.02

මම බොරු කියනවා එයාට .ඒ හිත රිදවන්න තියෙන අකමැත්තට.What ever said and done I love her men.


මිනිස්සු දෙවර්ගයකි.පෙනෙන හා නොපෙනෙන යනුවෙනි.මේ දෙවර්ගයේම මිනිස්සු මිනිස් සිරුර තුල ජීවත් වෙති.පෙනෙන්නේ සමාජය දකින්නට කැමති පැත්තය.නොපෙනෙන්නේ සැබෑ මිනිසාය.නොපෙනෙන මිනිසා පෙන්වන්නට පුලුවන් නම් යෙහෙකි.එහෙත් සමාජ සබදතා වඩා වටනේය.


ජීවිත කාලයේම එක යහන බෙදා ගත්තද අනෙකා හදුනා ගන්නේ ඉතා අල්පයකි.අප හොදින්ම දන්නේ අප ගැන පමණි.අනෙකෙකු ගැන දන්නේ නම් ඒ ඉතා ස්වල්පයකි.උක්ත මිනිසා අප හදුනා ගත් ප්‍රමාණයටද වඩා ඔහුගේ බිරිද හදුනාගත් ප්‍රමාණය අල්පය.ඇය ඔහුට දිවි හිමියෙන් පෙම් කරයි.ඔහුද එලෙසය.

එකිනෙකා ගැන නොදැනීම එක් අතකට ප්‍රේමයේ යහපැවැත්ම තහවුරු කරයි...

මම උක්ත මිනිසා මනුෂ්‍යයෙක් ලෙස දකිමි.

අප කොහොමටත් සත්වයන් ගෙන් පරිණාමය වුවෝ වෙම්හ...




Wednesday, August 1, 2012

ඇය දුටුවාම සිත සසැලින නොපැතුයුර....

මේ කවිය ලියවුනේ මේත් එක්ක අමුණලා තියෙන කතාවේ අයිතිකාරයා වෙනුවෙන්...ඔබට දැනුනු ඒ අත්දැකීම මටත් දැනිලා තියෙනවා.ඒත් වෙනස් විදිහකට.මේ කවිය කියවන හුග දෙනෙකුට නොවෙයි හැමෝටමත් විරහව දැනිලා ඇති....දැනෙනවා ඇති.... ඒත් එකිනෙකට වෙනස්ව...
 

 

 

 

තහනම් හිතක තහනම් කල අඩවියක
මගෙ හිත සිරවෙලා මෙතුවක් උන් බැවින
නුඹ දුටු වෙලේ පෙරදා එක් නිමේෂෙක
හිත ගල් ගැසුනි නොපැතූ දසුනක් දුටුව....


සොදුරුය නුඹේ වත පෙරදා මෙන්ම
උස්කුස් දරන් බෝමලුවේ ඇවිදයන
සිහිකල පෙමේ සියුමැලි බව නුඹ පිදුව
පින්බිම තෙත්කලේ ගග දිය නෙතින් බට....


සදරැස් පතිත මේ බිම පෙරදා දිනක
අත් පටලමින් අප ගිය යුරු සිහි වෙමින
නිදි නොලබමින් පෙරදා රැය ගත විනිය
පෙම නොවෙනස්ය සැමදා හිත රැදුන...


නුඹ පය තබන තැන්වල මල් පිපීයන්
කිරි හීනෙන් පුත් කුමරෙක් ලැබීයන්
දිවිඇති තුරා හිත සතුටින් පිරීයන්
මගෙ මතකේ කරදරයක් නොවීයන්...