මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, September 1, 2013

බුදු සරණයි!



මේ රාමසාන් දවසට කලින් දවසෙ හැන්දෑව.ඒ කියුවේ  අගෝස්තු මාසේ අටවෙනිදා.හවස් වරුව පුරාවටම කන්තෝරුවේ තිබුනේ නිවාඩු සිරියක්.කට්ටිය ඔක්කෝම 'හොලිඩේ මූඩ්'එකේ. වැඩ නම් ඕසෙට තිබුනට හවස් ජාමේ වැඩිය වැඩක් කෙරුනේ නෑ.
මම ඔරලෝසුව දිහා හොරාට බැලුවා.පොඩි කට්ට හතරේ ඉලක්කමට වෙලා බලාගෙන හිටියා.දිග කට්ට  හිමීට හිමීට  ඇවිදගෙන ගියා."අපෝ වෙලාව යන්නෙත් නෑනේ.."කියලා මම හිතුවා. ටිකින් ටික දිග කට්ට දොලහේ ඉලක්කම ලගට කිට්ටු උනා. "වෙලාව පහයි..."දැන් ගෙදර යන වෙලාව. මම බෑග් එකත් අතට අරගෙන ලෑස්ති වුනා."ගිහින් එන්නම් සර්"කියලා මම බොස්ට කියුවම බොස් මට "හෑව් අ නයිස් වීක් එන්ඩ්"කියලා කියුවා. බොස් වගේම මමත් සිංහල බුද්ධාගමේ වුනාට මම බොස්ට "එයිඩ් මුබාරක්"(Eid Mubarak) කියුවේ විහිලුවකින් ටිකකුත් කවලම් කරලයි. බොස් නුත් හිනාවෙලා "සේම් ටු යූ"කියලා කියුවා. මුස්ලිම් කන්තෝරුවක වැඩකරන අපිට එයාලගේ සුබ පැතුම් එහෙම හොදට හුරුයි.ඉතින් මේකත් ඒ වගේ එක සුබ පැතුමක් විතරයි.
ඒත් මුලු හදවතින්ම බුද්ධාගමේ වෙච්ච කන්තෝරුවේ යාලුවෙකුට මගේ සුබ පැතුමට ටිකක් රිදුනා කියලා මට හිතුනා. එයාගේ මූණ එක පාරටම වැහිලා ගියපු වැහි වලාකුලින් විතරක් නෙමෙයි එයාගේ වචන වලිනුත් මට ඒ විත්තිය දැනුනා. "ඒ සුබ පැතුම අපිට අදාල නෑ"කියලා එයා කියුවා.
"ඉතින් සුබ පැතුවම මොකද වෙන්නේ?"කියලා මම ඇහුවා.
"ඔයාට ගෙදර යනකොට බුදු සරණයි කියලා යන්න පුළුවන්නේ" කියලා එයා කියුවා.
 "ඕන නම් පුළුවන් ඉතින්..."කියලා මම ගනනකට නැතුව කියුවා.
 "ඒ වුනත් එහෙම කියන්නේ නෑනේ...ඒ නිසා තමයි බුද්ධාගම පිරිහෙන්නේ.."කියලා එයා පණ්ඩිතයෙක් වගේ මූණ  හදලා බැරෑරුම් විදිහට කියුවා.
 "බුදු සරණයි! කියලා කියුවම රටක් දියුණු වෙනවා නම් හරි එහෙම නොකියුවම රටක් පිරිහෙනවා නම් හරි බැරියැ ඉතින්..."කියලා මම කියුවා. පස්සේ මටත් ටිකක් විතර තරහා ගියා වැඩියි කියලා මට හිතුනා.එයා ලගට ගිහින් "සමාවෙන්න.." කියලා කියන්නේ නැතුව මම "ගිහින් එන්නම්.."කියුවා.එයා මට "බුදු සරණයි"කියලා කියුවා.
එච්චරයි...
ඒත් එදා මම ගෙදර එන ගමන් සෑහෙන දේවල් හිතුවා."බුදු සරණයි"කියලා කියන්නේ යහපත සැලසෙන බොහොම වටිනා ආශිර්වාදයක් තමයි.ඒත් "බුදුසරණයි" කියලා කියුවා කියලා රටක් දියුණු වෙනවද?එහෙම නොකියුවා කියලා නොකියන කෙනා අදර්මිෂ්ඨයෙක් වෙනවද?
අපි බුද්ධාගම අදහන  විදිහ ඇත්තටම හරිද?
හැම සතියෙම පන්සල් ගියාම , බොධිපූජා කලාම ,නෙලුම් මල් ,මානෙල් මල් ලක්ෂ ගනන් පූජා කරන පූජාවලට සහභාගී වුනාම සැබෑම බෞද්ධයෙක් වෙනවද? මේ හැම දේටම හරියි කියලා මට හිතෙන උත්තරේ මම දැනගෙන හිටියා.හරියටම හරිද කියලා නොදන්න ඒ උත්තරේ නෙල්ලි ගෙඩියක් වගේ තමයි.රස පහම තියෙනවා.එක එක්කෙනාට විවිධ රස දැනෙන්නට පුළුවන්.කියවලා අහවරවෙලා මට බනින්නත් පුළුවන්.
හුගක් අය සාමාන්‍ය ජීවිතේ සෑහෙන්න වැරදි කරනවා. අඩුම තරමේ බුද්ධාගමේ පස් පවු විදිහට සැලකෙන ප්‍රධානම වැරදි පහෙන් එකක් වත් කරනවා.නොදැන නෙමෙයි දැන දැනම එහෙම කරන අය ලෝකෙට පේන්න සෑහෙන්න පින් කරනවා. දන් දෙනවා... වන්දනා මාන කරනවා... සිල් ගන්නවා...භාවනා කරනවා.ඒත් එහෙම කරන්නේ ඇයි?ඒ අයගේ හෘද සාක්ෂිය එයාලට තමන් කරන වැරදි ගැන කියලා වද දෙන නිසයි ඒ. පුංචි කාලේ ඉස්කෝලෙන් එක්කරන් ගියපු විනෝද චාරිකාවේදී දැකපු අපායේ හිටපු යමපල්ලො එයාලට මතක් වෙනවා.මැරුණට පස්සේ මොනවා වෙයිද කියලා හිතෙනවා.හිතේ බයට පින් දහම් කරනවා.
කන්තෝරුවේදී තමන්ගේ සේවකයින්ව කායිකව නැතත් මානසිකව හිරිහැරයට පත් කරන ලොකු මහත්තුරුන්ට ගෙදර ගියාම එයා සේවකයින්ට සලකපු හැටි මතක් වෙනවා.තමන් කලේ වැරැද්දක් නේද කියලා හිතෙනවා.හිතේ බයට සති අන්තෙට පන්සල් යනවා.අවුරුද්දකට සැරයක් මහා සඝරුවනට දානයක් පිරිනමනවා.
ඒ පිනෙන් පව් ටික කැපිලා යයි ,මැරුණට පස්සේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතන් ඉන්නවා.ඒත් එහෙම වෙන්නේ නෑ.පින් පොතේ පින් පව් බැංකු පොතේ වගේ හර,බැර වෙලා ශේෂය ඉතුරු කරන්නේ නෑ.අපි කරන කර්ම ඵල හැම එකකම විපාක අපිට විදින්න සිද්ධ වෙනවා.හරියටම ගැල අදින හරකෙක්ගේ පිටිපස්සෙන් එන කරත්ත රෝදයක් වගේ.
මිනිස්සු කොයි තරම් නම් හරක් නිදහස් කරනවද?ඒ අහිංසක සත්තුන්ට අතියෙන ආදරේකටද?එහෙම නැත්නම් තමන්ගේ අපලෙකින් නිදහස් වෙන්නද?ගොඩක් වෙලාවට බුද්ධාගමේ උදවිය හරක් නිදහස් කරන්නේ කේන්දර බලන ගුරුන්නාන්සේ කියපු නිසා අපලෙකින් නිදහස් වෙන්න.එතකොට ප්‍රාණයක් බේරාගත්තා කියන කුසල කර්මය සිද්ධවෙනවද?අපලෙකින් බේරෙන්න හරකෙක් නිදහස් කරනවට වැඩිය වතුර වීදුරුවකට වැටිලා ජීවිත දානය ඉල්ලන 'කලු කූඹියෙක්ව'පිරිසිදු හිතකින් යුතුව නිදහස් කරන එක පින්  නැද්ද? අපලෙන් බේරෙන්න හරකාව නිදහස් කරන මනුස්සයා එදාම හවස තමන්ගේ ගෙදර මුළුතැන්ගෙයි බිත්තියේ වහලා ඉන්න කැරපොත්තාව විනාශ කරන්න ක්ෂණික කෘමි නාෂකයක් අතට ගන්නේ නැද්ද?
මේවා නොසෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්න...
මූණු පොතේ මේදවස්වල බුද්ධාගම ගැන සෑහෙන්න කතා වෙනවා.බුද්ධාගම අපේ ආගම කියලා ඉහලින් තියන්නත් අනිත් ආගම් පහලින් තියන්නත් හුගක් අය උත්සාහ කරනවා.ලගදි දවසක මූණු පොතේ බුදු හාමුදුරුවන්ගේ පිළිමයක් උඩ ඉදගෙන ඉන්න නිරූපිකාවන්ගේ පින්තූරයක් පලවෙලා තිබුනා.ඒ පින්තූරෙට නමසිය ගනනක්ම උදවිය තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබුනා. ඒ නිරූපිකාවන් නොදැනුවත්ව එතන ඉදගෙන පින්තූර ගත්තා කියලා මම හිතන්නේ නැහැ.ඒත් ඒ පින්තූරය මූණු පොතේ පලකරලා තිබුනේ බෞද්ධාගමට ඉතාමත් හිතැත්තෙක් යයි සිතා ඉන්නා කෙනෙක්මයි.ඔහු බලාපොරොත්තු වෙලා තිබුනේ අර නිරූපිකාවන්ගේ වැරැද්ද උලුප්පා දක්වන්න වෙන්න ඇති . එහෙම වුනත් ඒ පින්තූරයට ,ඒ ඔස්සේ ලැබෙන ප්‍රචාරය ඔහුට අමතක වෙලා තියෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඉතාමත් හොද බෞද්ධයින් ඒ නිරූපිකාවන්ට ඉතාමත් පහත් අයුරින් බැන වැදී තිබුනා.ඒ වචන බෞද්ධාගමට කොයිතරම් නම් කැපද කියලා මම ආයෙමත් සැරයක් කල්පනා කලා.
අපි ජීවත් වෙන්නේ විවිධ ජාතීන් සහ ආගම් අදහන මිනිස්සු ඉන්න රටක විත්තිය අද හුගක් අයට අමතක වෙලා.අන්‍ය ආගමිකයින්ට සබ පතන එකත් වැරැද්දක් වෙලා.ඇත්තටම මට නම් මගේ ආගමේ මිනිස්සු පිළිබදව දුක හිතෙන්නත් පටන් අරගෙන.
නෙල්ලි කතන්දර ලියන මම වැරදියි කියලා සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන්.ඔව් එහෙම  වෙන්නත් පුළුවන්.අපි කවුරුවත්ම සියයට සියයක්ම හරියි කියලා අපිට කියන්න බෑ.
ඒත් හිමින්සැරේ තරහ නිවිලා ගිය වෙලාවක ආයෙමත් ඒ ගැන හිතන්න.
මතක තියාගන්න,බුද්ධාගම අදහන්න ඕනේ හදවතෙන් නෙමෙයි,බුද්ධියෙන්....

Sunday, July 28, 2013

දිව්‍යමය ප්‍රේමය(Fairy Tale Love)

චෙරි ඵලයක්ව
මෘදුව සැපෙනා ප්‍රේමය...

පිරිමි දෑතක රළුබව
අතර සිරවෙන ප්‍රේමය...

අංජනමක්ව
මසිත කියවන ප්‍රේමය...

දුක නොහදුනන
ලුණු රසක් නැති ප්‍රේමය...

අදිසි නුහුලෙන් බැදි
හදවත් සහිත ප්‍රේමය...

මට නොලැබෙනා ඒ
දිව්‍යමය ප්‍රේමය...

Saturday, May 4, 2013

වස්සානයේ දවසක

වස්සානයේ දවසක
සවස
මාවත මතට පිනි බිදැති වස්සන
බඩගිනි සුළග...

අර පෙනෙන
කවුලුවෙන් සපැමිණ
ඉකිලන පහන්සිල
නිවායනු ඇත...

අනතුරුව
නිහඩ බව බිදෙනු ඇත....
කලුවර දොඩමලුවනු ඇත.....

ළද
ඉසියුමැලි ඔබේ අත්තල..
රළු දෑතක
ගිලී යනු ඇත...

දෙහදක්
මිහිදුම තුල දියව
එක් හදක් නිමවනු ඇත...

වදුරු මහතා සහ මහත්මිය...


 

 

වදුරු මහතා


අලිපේර ගසමත හිද


දිගම දිග වලිගය


තවත් අත්තක


පරිස්සම්කර තියාගෙන...


 


මාදෙස බලා


සුබ උදෑසනකැයි කියන...


අළු පාට කබායට


කලු පැහැ මුහුණ


හොදින් ගැලපෙත...


 


වදුරු මැතිණිය


පැටවා තුරුලු කරගෙන


වහ වහා පැන එන


මගුල් මුදුව රැදි සුරත


මදෙස හරවා හිදගෙන...


 


පෙරබත


බුදින්නට


ඔහුට ඇරයුම් කරන...

Friday, May 3, 2013

තනිකම

තනිකම කුරුල්ලෙක් වී විත්

ගීතයක් ගයයි සවනත...

ඒ ගීයේ මිහිරි බව

මට පමනක් දැනෙන...

 

අහස් කුස,

 වැහිබිදු කවක් කොට

නොතෙත් බිම මත ලියවත

තනිකමේ කව...

 

අතින් අතගෙන ඇවිදින

රැහැයි යුවලක්

වයයි ප්‍රේමයේ වීණාව...

 

විදුලි රේඛා අහස්කුස

නුඹේ රුව සිතුවම් කරන

කලු සුදු ආලයක

මතක පොත දිගහැරෙන...

 

ඉදින් නුඹ නැතුවද

රැය තවම තරුණය

සිත තවම සසලය..