මම ලියන දෑ කියවන්න කැමති අය...
Thursday, August 30, 2012
Monday, August 27, 2012
නළුවා
"අන්න අර නළුවා.."
"කෝ???
" ඔව්මයි නේද ? "
"ඒ නළුවා...."
"එන්න අදුන්වා දෙන්න
මේ..........."
"අපි දන්නවා,අහල දැකලත් තියෙනවා"
"අර ටෙලියෙ ඉන්නවා මම හැමදාම බලනවා"
කතා නොකරන නළුවා
'හෙලෝ' විතරක්
ඉංගිරිස් උරුවට
කියන නළුවා...
හිනා විතරක්ම වෙන
නළුවා...
ප්‍රේක්ෂකයින්ව
ගනන් නොගෙනම ඉන්න නළුවා...
අපිත් ආසයි
කතා කරන්න...
එකට ඉදලා
පින්තූරයක් ගන්න
ඔය කටහඩ ඇහෙන්නෙ
රූප පෙට්ටියෙන් විතරමද??
දත් ටික පෙන්නන්නෙ
කැමරාවට විතරද?
ගගෙන් එගොඩට ගිය පසුව
බෝට්ටුව මොකට
කරතියාගෙන යනවද?
"එක අතකට ඒකත් ඇත්ත..."
"නළුවා එළුවා
එළුවා නළුවා..."
සිනමා
කළුවරට ඇස් හුරුවන්නේ ඉබේමය.සමහර රූප වලටද එසේමය.තිරය මත සිනමා පටයක් දිගහැරේ .සුදුපාට බස් බෝඩ් එක මත ප්‍රධාන නළුවා නිල්පාට පින්සලකින් "කොළඹ" යනුවෙන් ලියයි.ඔහු රතුපාටට අකමැතිය.මමද...
යාබද අසුන නොපෙනෙයි.වම්පස අසුනේ හිදිනා ජීවිතයේ අලුත් සමීපතමයා අතකින් අල්ලා ගනියි.තිරයේ ආදර ගීතයකට කහපාට ගවුමක් තාලයට නොගැලපෙන නර්තනයක යෙදෙයි.සුදුපැහැති මුහුනෙහි රෝසපැහැ උඩුතොලට කලුපැහැති උපන් ලපයක් ආවරණ සලසයි.ඇය අවමානයට ලක්වී ඇත.නමුත් ඇය දිගටම නර්තනයේ යෙදෙයි.රගපෑම් පැසසීමට තරම් වන බව මගේ මනසට සිතෙයි.ඇයට ජීවිතය තවමත් ගීතයකි.
ආසන පේලි දෙකක් ඉදිරියෙන් අසුන්ගෙන සිටි යුවලක් හදිසියේ නැගිටියි.අළු පැහැති නොසැලකිලිමත් කමිසයක් සාමාන්‍ය කලිසමක දෙකකුල් වලින් වම්පස අසුන් පෙල දෙසට ගාටයි.'ඇය' පසුපසින් යයි.තිරයෙන් සුදු පැහැති ආලෝකය විහිදෙයි.'ඇය'ලාකොල පැහැති රෙද්දක සුදු පැහැති මල්වැටුනු චීත්ත ගවුමක් ඇද සිටී.කැරලි සහගතවූ කෙස්කලඹ මදක් උස්කොට කලු පැහැති ඉලාස්ටික් පටියකින් ගැටගසා ඇත.
ඇය පාද තබන්නේ නුහුරටය.දෙකකුල් එකිනෙකින් ඈත්වන්නටය.
"හරි අමුතුයි නේද ?"
"හ්ම්ම්...."
මුහුණ අදුරේ දකින්නට තරම් සුන්දර එකක් නොවුනි.ඇය ඔහුට සෑහෙන පිටුපසින් යුවලක් නොවන බව පෙනෙන්නට ඇවිද යමින් සිටියාය.නමුත් ශාලාව තුල අඩ අදුරේ එක්වර නැගීහිද එක පසකටම ගමන්කලෝ සියළු ප්‍රේක්ෂකයන්ට මේ යුවලක්ම බව පසක් කරමිනි
ප්‍රධාන නළුවා රතුපාට චිත්‍රය මත නිලපාට අතුල්ලයි.ඉතා විශාල සායම් පින්සලකින්..
චිත්‍රය විනාශ වී අවසන්ය...
නිළිය හඩාගෙන දිව එයි.
"ඇයි ඔයා චිත්‍රෙ නිල්පාට කලේ?අනේ මට ඒක රතුපාට කරලා දෙන්න...."
"මේක ආපහු රතුපාට වෙන්නෙ නෑ.දිගටම නිල් පාටටම තියෙයි."
දකුණු පස සහා මැද අසුන් පෙලවල් එලෙසින්ම පවතිද්දී වම්පස අසුන් පේලිය රතු පැහැ වනු පෙනේ.රක්ත වර්ණය.ලේ රතු පාට.වම්පස අසුන් පේලිය මත නිල්පාට තවරන්නට කවුරුත්ම නැත.
විවේකකාලයේදී මගේ දෑස වම්පස අසුන් පෙලෙ දෙසට යොමුවුනේ 'ඇය'ව හමු නොවුනි.ඔහුද නොසිටියේය.
චිත්‍රපටයේ අගබාගයේදී ප්‍රධාන නළුවා ජීවිතය පසක්කරගනී.
බස් රථයේ නාම පුවරුව රක්තවර්ණයට හරවයි."කොළඹ"...
කහපාට ගවුමේ ජීවිතයට මල් වැසි වසියි.සිනමා තිරය අදුරු වෙයි.
කොලපැහැති මල් වැටුන සුදු පැහැ ගවුම වැසිකිලියේ සිට කඩිනමින් දිව එයි.මගේ අතකින් අල්ලා පසකට කරයි.අතට සෑහෙන රළුබවක් දැනෙයි.'ඇය'කඩිමුඩියේ තරප්පු පෙල බසියි.
ටොක්...ටොක්...මම පසුපසින් බසිමි.
මට අපොයින්ට්මන්ට් නැත.
ඇගේ අත ගැටුනු මගේ අත අසාත්මිකතාවයකට ලක්වන්නට ඉඩ ඇත.රතුපාට පලු දමනු ඇත.අත විසබීජ නාශක දියරයකින් සේදිය යුතුව ඇත.ඉතාමත් තදින් ඇතිල්විය යුතුව ඇත.
මම අඩිය ඉක්මන් කරමි.
තරප්පු පෙල අග හරියේදී මම ඇයව පසු කරමි.
Saturday, August 25, 2012
හදිසියේ අත ගැටුන අත...
ඇය
මා පසුකරන් යනතර
අත මත තැබූ අත
ගොරහැඩිය....
කමිස කර
සෝදමි තව වරක්...
තව වරක්...
ඒ අත
මා අත
නො ඇල්විය යුතු....
අප
එක් අයෙකුගෙන් පමණක් කිලිටිව
පාරිශුද්ධව...
Thursday, August 23, 2012
ප්ලේන් බනිස්
ආදරේ පෙන්නන්න
නවකතාවක කවියක
රූප පෙට්ටියක වගේ
සුරුවමට...
ඇස් නටවලා
නොරිදෙන්න කණ මිරිකලා
ආදරේ වලදමින්
හිස් බඩ පුරවන්න
පොරොන්දු වෙන්න....
කොයි තරම් ආසද මමත්
අත් බැදන් ඇවිදින්න
නුවර වැව වටේ
රවුමක්....
දෙකක්...
උරහිසේ හිස තියන්
ආදරේ මීපැණි කන් මතට
පුරවන්න...
..............................................
ඇත්ත
ඇත්තටම
කොයිතරම්
වෙනස්ද?????
මහන්සි මූණු,
ලැප්ටොප් බෑග් කරතියන්
කප්පරක් වැඩ හිසතියන්
එන්නන්වාලේ
ගෙදර එන.....
"අද කන්න මොනවද?"
අහන....
හිස් පිගන් හැලි වලන්
සෝදන්න උදව් දෙන..
ලයිට් නිවලද
ජනෙල් වහලද බලන....
"ඔයා නිදියන්න මට තවත් වැඩ"
කියන...
"ආදෙරයි"කියලත්
සමහර විට කියන...
ප්ලේන් බනිසක්
බුදිනවා මෙන් දැනෙන...
මම නිදි දෙව්දුවට
හාදු දෙන...
කම්පියුටරේ එලිය
හීනෙන් පෙනෙන....
ඇත්ත
ඇත්තටම
කොයිතරම්
වෙනස්ද?????
Tuesday, August 21, 2012
ආදරේ ....
අපි
කවි ගනන් නොගන්නා අය
ගනන් විතරක්ම ගනන් ගන්නා අය
ප්‍රේමය පාගාගෙනයන අය
පයට පෑගුන දුහුවිලි
සෝදා හරින අය...
-දසුනි හෙට්ටිආරච්චි
ඉස්සර
අඬ අඬා ප්‍රේම කවි ලියූ අය
දැන්
කරගන්න දෙයක් නැති අය
ඒ නිසා
නිදහසට කාරණා කියන අය
-සමර විජේසිංහ
අපි
කවි නිසා හුස්ම හිරවෙන අය
-කාංචනා කරුණාමුණි
අපි
ඔපීසියේ රෑ වෙනකල් වැඩ කරන අය...
ආදරේ අමතක වුන අය...
-දසුනි හෙට්ටිආරච්චි
පා දූවිල්ල සේ සලකා
අතහැර දමන්න
එන්න තපසට යන්න
මෙතනින් ඉදිරි අඩවිය
සාතන්ගෙ අයිතිය
අප බොහොම මිතුරු අය
-සමර විජේසිංහ
මේ ඔක්කොම ආදරය ඉල්ලා
හඩා වැටෙන අය..
-Leera De Silva
ලීරාට මල් මිටක්!
-සමර විජේසිංහ
එන්න...
අපෙනුත් මල් ගන්න...:)
-දසුනි හෙට්ටිආරච්චි
Saturday, August 18, 2012
කඩවෙන පොරොන්දුව....
ඉද හිටක හායි කියනට එන,
සුදු හිනාවක් සහිත,
කලුපාට බලාපොරොත්තුව....
නුඹ මට උස වැඩිය...
කොහොමටත්,
කවි කතන්දර
කෑවාට බඩපිරෙන්නේ නැත....
අවාසනාවකට,
නුඹට ඒවා නොතේරෙන...
Subscribe to:
Posts (Atom)



