මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, March 1, 2013

කන්තෝරු රස්සාව (නෙල්ලි කතන්දර )



හොදම යාලුවෙක් කියලා කියන්නේ ළගින්ම ඉන්න කෙනෙකුට.දුක සැප එක පිගානේ බදාගෙන එකට කන්න කැමති කෙනෙකුට.එහෙම අය හුගක් නෑ.ඉන්නේ බොහොම ටිකයි.නිශානි ඒ අතරින් එක්කෙනෙක්.
පුංචි කාලෙ ඉදලම මාත් එක්ක එකට හැදුනු වැඩුනු නිශානි රස්සාවට ගිහින් දැන් අවුරුදු දෙකක් විතර.ගමෙන් වෙන්වෙලා කොළඹ රස්සාව කරන එක කොහොමත් එයාගෙ හිතට ගෙනාවෙ සතුටක් නෙමෙයි.දුකක්.එයාගෙ ජීවිතේ මෙ දවස්වල තනි කලු පාටින් පාට වෙලා.කන්තෝරුවේ මානසික පීඩනය දරාගන්න බැරිවලා එයා නැවතුනේ මානසික වෛද්‍යවරයෙක් ලග.ඒත දැන් එයා සුවපත් වෙමින් ඉන්නවා.එයාගේ මුවින් වරින් වර පිටවුන දුක අකුරු කරන්න හිතුවේ,ඒ දුක ඒ විදිහට හදවතට දැනෙන අය ඕන තරම් මේ පුංචි දූපතේ ඉන්න පුලුවන් නිසා.
නිශානි මට කියපු දේවල් මගේ විදිහට නැතුව නිශානිගෙ හිතට දැනෙන විදිහට අකුරු කරන්න හිතුවේ,නිශානිගේ හිතට දැනෙන දේ ඒ විදිහටම නෙල්ලිකතන්දර කියවන අයටත් දැනෙන්න ඕන නිසයි.
උදේට ඉර පායනකොට අහසෙ ගෑවෙන ලා තැඹිලිපාටට,හවසට ලාදම්පාට අහසෙ තරහ මූණක් හදාගෙන බැහැලයන දොඩම් ගෙඩියක් වගේ ඉරට නිශානි ඉස්සර වගේම තවමත් ආදරේ කරනවා.ඒත් ඒ ආදරේ පවත්වාගෙන යන්න ,දොර ඉස්සරහ පඩිය උඩට වෙලා ඉර දිහා ඔහේ බලාගෙන ඉන්න දැන් නිශානිට මතක නැති වෙලා.එහෙමත් නැත්නම් එහෙම කරන්න පුළුවන් විත්තිය නිශානි අමතක කරලා. ඒ ඔහේ බලාගෙන ඉන්න කාලය කවුද මන්දා නිශානිටත් නොකියම නිශානිගෙන් උදුරගෙන ගිහිල්ලා.
උදේ නැගිටලා දණිපනි ගාලා ගෙදර වැඩ ටික අහවර කරලා බෑග් එක අඩුම කුඩුම ගොඩකින් පුරවගෙන ඔෆිස් යන්න නිශානි පුරුදු වෙලා. ආයෙමත් හවස ගෙදර එන වෙලාව එනකල් සෙල්සියස් අංශක 22ක විතර සීතලේ බිත්ති හතරෙන් එපිට පායන අව්ව,වහින් වැස්ස ගැන හැගීමක් නැතුව ඉන්න නිශානි පුරුදු වෙලා.
ඔෆිස් එකේ හුගක් අය ඉන්නෙ වෙස් මුහුණු දාගෙන.ඒවා එක එක පාටයි.එක එක හැඩයයි.සමහර මූණු කරුණාවන්තයි.තවත් සමහර මූණු අපායෙ කැලැන්ඩරෙන් අරගෙන ඇති කියලා හිතෙන තරමට කරදරකාරියි.සමහර මූණු හරිම දරුණුයි.ඒත් එයාල හැමෝම හිතාගෙන ඉන්නවා ඒ දාගෙන ඉන්නෙ වෙස්මූණු කියලා අනිත් අය දන්නෙ නැතුව ඇති කියලා.ඒත් හැමෝම දන්නවා තමන්ට මූණ දාලා ඉදගෙන ඉන්න කෙනාගෙ ඉදලා කොම්පැණියෙ අයිතිකාරයා දක්වා හැමෝම දාගෙන ඉන්නෙ වෙස්මූණු කියලා.
සමහරුන්ට වෙස්මූණු මහ ගොඩක් තියෙනවා.එක එක්කෙනාට පෙන්නන්නෙ එක එක මූණු.හරියට ආඩම්බරකාර නෝනලට තියෙන පාට පාට සාරි වගේ.එහෙම නැත්නම් ගවුමෙ පාටට දාගෙන එන අඩි උස  සපත්තු වගේ.
සමහරු හරිම සාමාන්‍යයි.ඇවිදින්නේ පොලව උඩ ,පොලවත් එක්ක ගැටෙන්නට පයතියලා.තවත් සමහර අය පොලවට අගල් දෙක තුනක් උඩින්.අඩි පහ හයක් උඩින් යන පොළොවක් තියෙනවද කියලත් අමතක "උඩ පැන්නොත් බිම වැටේ"කියන කියමන දන්නෙ නැති අයත් ඔය අතර ඉන්නවා. ඒ වගේ අය හදිස්සියකදි හම්බුනත් අනිත් අය දිහා බලන්නෙ නැහැ .නොදැක්කා වගේ යනවා.ඒ මොකද උඩින් යන අයට බිමින් යන අය පේන්නෙ නැති නිසා.සමහර වෙලාවට කලාතුරකින් දවසක ඔලුව පහත් කරලා බිම බලලා,කට කොනට ආඩම්බරකාර හිනාවක් දාගෙන යනවා. හරියටම කූඹියක් එක්ක හිනාවෙන අලියෙක් වගේ.
හැමෝටම වගේ දැලි පිහියක් එක්ක කිරි හට්ටියක් දීලා තියෙනවා. පුලුවන් තරම් කිරිකන්න හැමෝම උත්සාහ කරනවා.සමහර හදවත් දැලි පිහියට තුවාල වෙලා රතුපාට ලේ වලින් පෙගෙනවා.ඒත් අනිත් එක්කෙනා වෙනුවෙන් වදවෙන්න තව කෙනෙකුට වෙලාවක් නැති බිල්ඩිමක හැමෝම තනිවෙලා කියලා නිශානිට හිතෙනවා.
ඔය අතර ඉන්න කරුණාවන්ත හදවත් අනිත් කෙනාට උදව් කරන්න උත්සාහ කරනවා.පීනලා එගෙඩ වෙද්දි පිහිටට එන අයත් හුගක් ඉන්නවා.ඒත් උදව් කරන්න එන කෙනා දිහාත් බලලා දෙපාරක් හිතන්න හැමෝම පුරුදු වෙලා ඉන්නවා.හරියට චෙස් ක්‍රීඩාවෙදි ඉත්තෙක් කපන්න පුළුවන් කම තියෙද්දිත් ආයෙම හිතලා බලනවා වගේ.සමහර අය උදව්වට අත දෙන්නෙ අත් වල ග්‍රීස් හුගාරියක් ගා ගෙන.ඉතින් ඒ අත අල්ලන්න කලින් ආයෙමත් හිතන එක කොහොමටත් වටිනවා.
හුගක් අයට මුරුංගා අත්තක උඩට නගින්නට උදව් කරන තරමට වැඩකරගන්න ලේසියි.තමන්ව "මුරුංගා අත්තේ තියලා විත්තිය" මේ අයට තේරෙනකොට පරක්කු වැඩියි.එහෙම දැනුනත් මුරුංගා අතු වල උඩ ඉදගෙන ඉන්න කන්තෝරු වල හුගක් අය කැමතියි.
"එක එක සතා තේරුම් අරගෙන ඒ එක එක්කෙනාට ගැලපෙන විදිහට ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ"නිශානිට ලැබුණු උපදෙසක් මතක් වෙනවා. “සහතික ඇත්ත කතාව” නිශානිට හිතෙනවා.
ඔපීසියේ පඩිපෙලේ උඩට නගින්න හැමෝම උත්සාහ කරනවා.එකම පඩියේ අමාරුවෙන් හිටගෙන ඉන්න හතර දෙනෙක් එක්කෙනෙක්ව හරි බිමට තල්ලු කරන්න බලනවා.බිමට තල්ලු කිරීමේ එක එක විදි තියෙනවා.තමන්ට ගැලපෙන ක්‍රමය හුගක් අය ප්‍රගුණ කරලා තියෙනවා.
තමන්ගෙ පඩියට උඩ පඩියෙ ඉන්න කෙනාට තමන් එක්ක එක පඩියෙ ඉන්න කෙනා ගැන ගතු කීම ප්‍රසිද්ධම ක්‍රමයක්.උඩ පඩියෙ ඉන්න කෙනාගේ තේරුම් ගැනීම මත ඒකෙ බලපෑම වෙනස් වෙනවා. තවත් අය ගනන් නොගෙන ඉන්න උත්සාහ කරනවා."තමුසෙව අපි ගනන් ගන්නෙ නෑ.."කියලා නොකිය කියනවා.තමන් හරිම කාර්යබහුලයි කියලා පෙන්නගෙන ඉන්න ඒත් දවසෙ වැඩිහරියක් අනුන්ගේ මේස ලග කියව කියවා ඉන්න අයත් ඉන්නවා.ඒ වගේ අය වැඩකට දුරකථන ඇමතුමක් දුන්නත් උත්තර දෙන්නේ නෑ.ඒක ගනන් නොගන්නාබව පෙන්වීමේ එක ක්‍රමයක්.සමහර අය තමන්ගේ ලගට වැඩක් අහගෙන එන අයව "බයිට්"කරනවා. අනුන්ව විහිලුවට ලක් කිරීම මහ ලොකු දෙයක් කියලා ඒ අය හිතාගෙන ඉන්නවා.ඇස් රතුවෙන විහිලු විනෝදාංශය කරගෙන ඉන්න අයට අනිත් අයගෙ කදුලු වලට හිනාවෙන්නත් පුලුවන්කම තියෙනවා.
ඒ වගේ දරුණු හිත් ඇතුලෙ හිනාවෙන යක්කුන්ගෙ සද්දෙ නිශානිගෙ කන්දෙකේ දෝංකාර දෙනවා.එයාල එනකල් අපායේ යමපල්ලො දරුණු ආයුධ අතේ තියාගෙන බලාගෙන ඉන්න හැටි එයාට පේනවා.
දිගින් දිගටම සිද්ධවෙන මානසික හිරිහැරය දරාගන්න බැරිව නිශානි රෝගී වෙනවා.වෛද්‍ය උපදෙස් මත එයා රැකියාවෙන් ඉවත් වෙනවා.
නිශානිගෙ කතාව එතනින් ඉවරයි
මට සුනාමිය මතක් වෙනවා.හිතක් පපුවක් නැති දරුණු රලපහරට ගොඩට ඇවිත් ලුණු වතුර පෙවිලා ඉදිමුණු මල සිරුරු මතක් වෙනවා.ඒ අයත් ඔපීසිවල එක එක්කෙනා අතරෙ මරාගන්න ඇති.එතකොට තමන් අභියසට එන්න තියෙන මරණය අමතක වෙන්න ඇති.
මම නිකමට පාර දිහාට ඇස් යොමනවා.
ඉපදෙන මැරෙන ලෝකේ, මරණය අමතක කරපු මිනිස්සු ගැහැණු මගේ ඇස් ඉස්සරහින් හරිම කලබලෙන් රතු ඉර වදින්නට කලින් කන්තෝරු දුවනවා මට පේනවා.
 

Sunday, February 24, 2013

නික් කියන්නේ කතන්දර පොතක්(දිණමින-බද්දර මල්ල )



ජීවිතේ කියන්නේ කතන්දරයක්.අපිට හැමදාම මුණගැහෙන ,හිනාවෙන,කතාකරන හැම මනුස්සයෙක්ම කතන්දර පොතක්.ඒ හැමපොතක්ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා.ඒ එක පොතකවත් "නිමි" කියලා තවම කියවිලා නැහැ.හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන සුසාන භූමියක් ලගින් යන වෙලාවක වැරදිලාවත් ඒ දිහා බැලුවොත් කියවලා අවසාන කතන්දර පොත් සමාදානයේ සැතපෙනවා දකින්නට පුලුවන්.
සමහර මිනිස්සු කියවන්න හරිම අකමැතියි.තවත් සමහර අය කියවන්න හරිම ලැදියි.ඒත් මේ ලැදියාව ගැන නොසලකා අපි හැමෝටම ජීවිතේ පොත කියවන්න දෛවය විසින් නියම කරලා තියෙනවා.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ඒ පොත කියවමින් සිටිනවා.අවසානයක් නොපෙනෙන, දිගක් පලලක් අදුනා ගන්නට බැරි මේ කතන්දර පොතේ අවසාන පිටුව කලින් කියවන්නට නොහැකි නිසා මේ පොතේ තියෙන මායාවන් හදුනා ගන්නට අවසානය දක්වාම එක හුස්මට කියවිය යුතුවෙනවා.
ලියන්න කැමති මිනිස්සු තමන්ගේ ජීවිත කතාපොතේ හුගාක්ම වැදගත් දේවල් අනිත් මිනිස්සුන්ට අත්වැලක් වනු පිනිස ලියාතබනවා.චරිතාපදාන නම් වන සැබෑ මිනිසුන්ගේ කතන්දරවලට ප්‍රබන්ධ වලට වඩා වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ ඕනෑම සිදුවීමක් දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් මිහිතලය මත සිදුවිය හැකි නිසා.ජීවිතේ ජයගත්ත මිනිස්සු මුහුණදුන් අත්දැකීම් හැම වෙලාවකම අනිත් මිනිස්සුන්ට අත්වැලක් සපයන නිසා.
නික්ව මට හමුවෙන්නේ නුගේගොඩ සරසවි පොත් මැදුරේ පලවෙනි මහලේ "අලුතින් පැමිණි පොත්"අතර ඉදලා."Life without Limits"(සීමාවන්ගෙන් තොර ජීවිතය )කියන මාතෘකාවම මා ඇදබැද තබාගන්නට සමත්වෙනවා.නික්ගේ ජීවිතය කියවන්නට මා පෙලඹවූවේ අසීමාන්තික ජීවිතයකට මගේ සිතේ තියෙන්නාවූ කැමැත්ත සහ පළමු පිටේ ඡායාරූප ගතවී තිබූ අත් පා රහිත වූ ඒ මිනිසාගේ ප්‍රබාස්වර සිනහවයි.
1982 දෙසැම්බර් මාසේ 04 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ආරෝග්‍යශාලාවක මේ ස්වබාවයෙන්ම අමුතුවූ අත්පා රහිත දරුවා උපත ලබනවා.පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන නික්ගේ අම්මා උපතින් පසුව දරුවාව තමන් අතට නොදීම ගැන කලබල වෙනවා.ස්වල්ප මොහොතකින් පසුව වෛද්‍යවරු තිත්ත රසැති සත්‍ය ඇයට පවසනවා.තමන්ගේ කුසින් ඉපදුනු පළවෙනි දරුවා "අත් පා රහිතව"මෙලොව එලිය දුටු බව ඇයට ඇසෙනවා.
ඇය බොහොම කලබල වෙනවා.අලුත් ඉපදුනු බිලිදා අතට ගන්නට ඔහුට ඇවැසි උණුසුම ලබාදෙන්නට ඇය අකමැති වෙනවා.නික් නම්වූ ඒ අවාසනාවන්ත යැයි සැලකූ දරුවාගේ මව නොනවත්වාම හඩන්නට පටන් ගන්නවා.නික්ගේ පියාට ඇයව සැනසීමට තරම් වචන සොයා ගැනීමට අපහසු වෙනවා. දරුවන් ලද ඇගේ මිතුරියන්ගේ යහන්  මල් පොකුරු වලින් පිරී ඉතිරී තිබුනත් ඇය වෙතට එකදු මල් පොකුරක් හෝ ලැබෙන්නේ නැහැ. රෝහලට යාබද වෙලද සැලින් මල් ගෙනැවිත් ඇයව සනසන්නට නික්ගේ පියාට සිද්ධවෙනවා.

උපතින්ම ආබාධිත නික් යන්තම් තේරෙන වයසට පැමිණි වහාම කෙනෙහිලිකම් වලට බදුන් වෙනවා.අත් පා නොමැති වීම පිලිබදව පාසල් සගයින් ඔහුට ඔච්චම් කරනවා.වයස දහයේදී මේ කෙනෙහිලිකම් දරාගන්නට නොහැකිවන ඔහු නිවසේ නාන තටාකයේ ගිලී සියදිවි නසාගන්නට උත්සාහ කලත් අවසාන මොහොතේ අදහස වෙනස් කරගන්නවා.ඒ තම දෙමව්පියන්ට ඇති ආදරය නිසා.
නමුත් ඔහුගේ ජීවිතය පිළිබදව ඇති කලකිරීම ඉවත්වන්නේ නැහැ.තමන්ගේ අත් පය වර්ධනය කරවන්නැයි ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.කාලය ගතවෙනවා.දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දෙන බවක් පෙන්වන්නේ නැහැ.
සියල්ල වෙනස්වන්නට හේතුවන්නේ එක්තරා පුවත්පත් ලිපියක්.එහි සදහන් වෙන්නේ ඔහුටත් වඩා දරුණු ලෙස ආබාධිත පුද්ගලයෙක් ගැන.නික්ගේ අම්මා විසින් ගෙනැවිත් දෙන මේ ලිපිය ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. ඔහු තේරුම් ගන්නවා ලෝකයේ තමන් මෙන්වම හෝ තමන්ටත් වඩා ආබාධිත මිනිසුන් ජීවත්වෙන බව.ඔවුන් තම තමන්ගේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන බව.අභියෝග ජයගන්නට උත්සාහ කරන බව.
ඔහු යාන්තමට පිහිටා තිබෙන වම් පතුලේ ඇගිලි දෙකෙන් ලියන්නට පුරුදු වෙනවා.කකුලේ පතුල සහ මහපට ඇගිල්ල යොදාගෙන පරිගනකයේ අකුරු යතුරු ලියනය කරන්නට හුරු වෙනවා. තමන්ගේ හිස පීරා ගන්නට, රැවුල බාගන්නට යාන්තමින් පිහිටා තියෙන වම් පතුල සහ ඇගිලි දෙක උපකාරී වෙනවා.
ඔහු වයස අවුරුදු විසි එකක් වනවිට ද්විත්ව උපාධියක හිමිකරුවෙක් වෙනවා.මිනිසුන් ධෛර්‍යමත් කරන දේශකයෙක් ලෙස නමක් දිනාගන්නේ ඉන් අනතුරුවයි. දක්ෂ  කථිකත්වය සහ ආබාධිත වූවෙකු ලෙස ඔහු ජීවිතයට මුහුණ දුන් ධෛර්‍යමත්බාවය ඔහු වෙත වාසනාව රැගෙන එනවා. නික් ඉතාමත් ඉක්මනින් ධනවතෙකු බවට පත්වෙනවා.
2012 වසරේදි ඔහු විවාහ දිවියට ඇතුලත්වන්නේ අත් පා සහිත මිනිසෙකුට වුවත් හිත දිනා ගැනීමට අපහසු තරම් රුවැති කැනා මියාහරා සමගයි.ඔවුන්ගේ යුගල ඡායාරූප අත්පා සහිත මිනිසුන්ව වත් පුදුම කරවනවා. 2012 අගෝස්තු මාසය වනවිට අපට දැන ගැනීමට ලැබෙන්නේ නික් තාත්තා කෙනෙක් වීමට යෑම පිළිබද සුබ ආරංචියයි.
ඒ තමන්ට ලැබී ඇති ජීවිතය සර්ව සුබවාදීව භාරගත් මිනිසෙකු පිළිබදව වූ කතාන්දරයයි.
නික් සමග සමකරන විට අප බොහෝ දෙනෙකුට ලැබී ඇත්තේ සර්ව සම්පූර්ණ ජීවිතයි.අත් පා සතරම හොදින් පිහිටා ඇති අපි බොහෝ දෙනෙක් දවස ගත කරන්නේ මුහුණ අදුරු කරගෙන කල්පනා සයුරේ ගිලෙමිනුයි.
ඒ බොහොම දෙනා සමාජය මත වැඩි වැඩියෙන් රදා පවතින නිසායි.අවට සමාජයේ කෙනෙහිලි කම් ගැන, නින්දා පීඩා ගැන වැඩි වැඩියෙන් සිතීම නිසයි.
අප මේ ලොවට එවා ඇත්තේ යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම සදහායි.හැම ජීවිතයකම සැගවුන අරමුණක් තිබෙනවා.අවට ලෝකය ගැන වදවීමේදී අපේ අරමුණ අපට මග හැරෙනවා.අපේ ජීවිත අනිත් මිනිසුන් ගැන වදවෙන, ඔහේ ගතවෙන ජීවිත බවට පත් වෙනවා.
ඔබට අද මේ මොහොත වනවිට කුමන ප්‍රශ්නයක් තිබුනත් ඒ සියලුම ප්‍රශ්න වලට විසදුම් තියෙනවා. ඒ විසදුම සොයා යන්නට තරම් අප ධෛර්‍යමත් විය යුතුයි.ජීවිතයේ ජයගත නොහැක්කක් නැහැ.අප තේරුම ගත යුතු සරල සත්‍ය එයයි.
සෑම අගුලකටම ගැලපෙන යතුරක් තිබෙන බව අප අමතක නොකල යුතුයි.