“අපෝ...මෙයාගෙ මහත්තයා පව්…”
“මොකෝ බැන්දා කියලා ගෙදර උයපු බත් එකක්වත් කන්න ලැබෙන එකක්යැ...හැමදාම කඩෙන්….”
“අනිත් දේවලුත් පිටින්ම කරගන්න පටන් ගත්තොත් තමයි වැඩේ...”
මේ සියල්ලම විහිලුය.නැත්නම් ඔවුන් කියන්නේ එහෙමය.හිත නරක් කර ගත්තොත්
කියන්නේ "අපෝ විහිලුවක්වත් තේරෙන්නේ නෑ"කියලාය. කන්තෝරුවේ අය
එහෙමය.විහිලුවෙන් තහලුවෙන් කියන්නට උවමනා දෙය කෙසේ හෝ කියාගනියි. කතන්දර
වලට හිත රිදෙන බව ඇත්තය.නමුත් මම හිත නොරිදා ගෙන ඉන්නට උත්සාහ දරමි.
ඔහුට බත්පතක් සාදා දෙන්නට මගේ ඇති කම්මැලිකම සමහර වෙලාවට මටම ලැජ්ජාවකි.මට
එලවලු දෙකක් සමග මසක් මාලුවක් සාදා දෙදෙනෙකුට බත් පිසීමට යන්නේ පැයක පමණ
වෙලාවකි.හැමදාම උදේ හයට නැගිටින එක පැයකට පලමුවෙන් නැගිට්ටා නම් ඔහුට
බත්මුලක් බැද දිය හැක.
කලාතුරකින් දවසක මම එසේ බත්මුල් සකසමි
.එවන් දවසක ඔපීසියේදී මට මහත් නිදිමතක් දැනේ. "ඊයේ රෑම ඇහැඇරිලා ඉදලා
වගේ"කෑම පිසදෙන්නේ නැතැයි කී යහලුවන් එවන් දවසට කියන්නේ එහෙමය.මහපාන්දර
නැගිට බත් උයා ඇතිබව එවන් දවසට ඔවුන්ට පෙනෙන්නේ නැතුවා වාගේය.
“අපෝ අපේ වයිෆ් නම් උයන්න දන්නේ නෑ...වයිෆ්ගේ අම්මා තමයි උයන්නේ” කියලා
සමහර ලොකු පුටුවල ඉන්නා ටයි මහත්තුරු කියන්නේ මහත් ආඩම්බරයකිනි.ඔවුන්ගේ
නෝනලා බැලූ බැල්මට බෝනික්කියන් වාගේ හැඩය. අත්පොඩි බොහොම සිනිදු පාටය. ඒ
රෙදි සෝදන්නේ නැති නිසා වන්නට ඇත.එකිනෙකා හා තුරුලු වී ඉන්නා පින්තූර
මුහුණු පොතේ ඕනෑතරම් ඇත.
මම ඒතරමට හැඩ ඇත්තියක් නොවෙමි.වැඩදා
හැඩවෙන්නට උත්සාහ දරන්නියක්ද නොවෙමි. උයන විට අත් ගොරෝසු වන බව ඇත්තක්
වන්නට ඇති නමුත් මම උදේ නැගිට ඉවීමට උත්සාහ නොදරන්නේ ඒ නිසා නොවේ.ඒ
වෙනුවෙන් හිතේ ඇතිවන කම්මැලිකම නිසාය.
"ඔන්න පිස්සු නැතුව ඉන්න අනේ.ඔය ඔයා කරන හරිය මදැයි.රෙදි සෝදලා මැදලා දෙනවා.උදේට තේ හදලා දෙනවා.මට ඒ හොදටම ඇති." ඒ ඔහුය.
"ඒ වුනාට ඉතින් ඔයාට කන්න නෑනෙ..මට ඒකට දුකයි." මම එසේ කියමි.
“මම හොද වයිෆ් කෙනෙක් නෙවෙයි නේ?”
මා ඉදහිට එසේ අසන්නේ මා හොද නැති බිරිදකැයි මට සිතෙන නිසා නොවේ.මා හොද බිරිදකැයි කියා ඔහුගේ මුවින්ම අසා දැනගන්නටය.
"අපෝ ඔයා මට හොද වැඩි..."ඔහු එවන් විටක කියයි. මම සතුටෙන් ඉපිලෙමි.
ඔහුට වඩාත් වටින්නේ මා ඔහු සමග සිටීමය.අත්වැල් පටලවාගෙන නුගේගොඩ හන්දිය
තෙක් ඇවිද යාමය.බඩුමලු ඔසවාගෙන පෙම්වතුන් යුවලක් මෙන් නැවතත් නිවසට ඇවිදගෙන
ඒමය. එකට තුරුලුව නිදා ගැනීමය.මූණකට සෝදා අහවරවූ සැනින් වතුර පිරි හාදුවක්
ලබාදීමය.ඒ හාදුවෙන් මත්වී මා සිනාසෙනු දැකීමය.
ඒ ප්රේමය යැයි මම සිතමි.බත් පතක් උයන්නට මහන්සිවී හෙම්බත්වූ මා අතින් ඉතිරි යුතුකම් මගහැරුණහොත් ඔහු සතුටු වේ යයි මම නොසිතමි.
නිවන්ති සිටියේත් අපේ කන්තොරුවේමය. ඇය සිය ස්වාමියාට බත්පත උයා බැද දෙයි.සමහර දිනක පදමට සීනි යෙදූ පලතුරු බීම බෝතලයකුත් ලැබ දෙයි.
“එයාට හරි සතුටුයි අනේ.මගේ කෑම එක කාලා හරිම රසයි කියුවා.” මට යාබද මේසයක
ඉන්නා ඇය එසේ කියන්නේ මාදිහා ඇස් කොනකින් බලන ගමන්ය. ඒ වචන කිනිසි තුඩු
මෙන් මගේ ඇගේ වැදී නොවැදී යයි. මම ගනන් නොගෙන ඉන්නට උත්සාහ කරමි.
ජීවිතය යනු බත් ඇට නොවේ.මම එසේ සිතන්නට උත්සාහ ගනිමි. මම ඔහු වෙනුවෙන් කවි
ලියමි.කවි කියමි.සමහර විටක දරු නැලවිලි කියමින් ඔහුව නලවමි.තවමත් මා ඇකයේ
මා කුස උපන් දරුවකු සැතපී නැතත්,මට ඔහු මගේ පලමු දරුවා මෙන් දැනේ. ඔහු මා
සමග ඉතාමත් සතුටින් ඉන්නා බව පෙනේ. නමුත් සමහර විටක මම සැක කරමි.ඇත්තෙන්ම
ඔහු සතුටින්ද?
එදත් මා බත් නොඉව් දවසකි.කඩෙන් මිලට ගන්නා බත්පත
ගැන විශ්වාසය තබා මම රැකියාවට පිටත්ව ගියෙමි. නිවන්ති හැඩූ කදුලිනි.ඇයිදැයි
අසන්නට මගේ සිත කීවත් මට එසේ අසන්නට බය සිතුනි. හිත හදාගෙන රාජකාරි කටයුතු
කරන්නට වෙරදැරුවෙමි.පරිගණක තිරය දෙස බලාගෙන ධාන්යයකට සමවැදී තිබුනු මගේ
සිත් ඉන් මිදෙන්නේ නිවන්තිගේ කටහඩිනි.
“අනේ කසුනි...බලන්නකෝ මගේ
මහත්තයා මගෙන් දික්කසාද වෙන්න ඕනේ කියනවා.මම එයාට කිසිම වැරැද්දක් කරලා
නැහැ.ඔයා දන්නවානේ දරුවො දෙන්නෙකුගේ වැඩත් කරන ගමන් මම එයාට එක වේලක්වත්
වරද්දන්නේ නැතුව බත් එකත් බැදලා දෙනවා. එයා කියන කිසිම දේකට කවදාවත් නෑ..
බෑ...කියලා නෑ. මට මොන අමාරුකම තිබුනත් මම බලන්නේ එයාව සතුටින් තියන්න.
ඉතින් එහෙම එකේ ඇයි එයා මට මෙහෙම කරන්නේ?”
ඇගේ කදුලේ තේරුම මට තේරෙන්නේ දැන්ය.ඉතින් මීට කරන්නට හැක්කේ කුමක්ද?සතුට රැදී ඇත්තේ බත් ඇට වල නොවන බව ඇයට තේරුම් කරන්නේ කෙසේද?
“ඔයා මම කියන දේ ගැන වැරැද්දක් හිතන්න එපා.ඒ වුනත් පුලුවන් නම් හෙට ඉදලා ඔයා එයාට බත් උයලා දෙන්න එපා.” මම කීවෙමි.
"මොකක්?ඒ මනුස්සයා හෙටම මාව දික්කසාද කරයි.එයාට තුන් වේලටම බත් ඕනේ.අනික කඩේකෑම කන්නෙත් නෑ...."
"ඒත් මම කියුවට එහෙම කරන්නකෝ.ඔය දික්කසාද කියන වචනෙ ගැන කතාකරන්නවත් එපා.ඒ
ගැන කියලා රණ්ඩුවෙන්නත් එපා.ඒත් එයාට පුළුවන්තරම් ආදරේ පෙන්වන්න.ආදරේ
දැනෙන්න දෙන්න"ඒ වචන ආයෙමත් මාගේය.
නිවන්ති කිසිත් නොකීවාය.ඒත්
පසුවදා ඇය අත වෙනදාට ගේන බත්මුල තිබුනේ නැත. දවසෙන් දෙකෙන් නොවුනත් සතියක්
දෙකක් ගතවෙත්ම ඇගේ මුහුනේ රැදි මුසුම්පේත්තු ගතිය පහව යනුද යලිත් මුහුණට
එලිය වැටෙනුද දිටිමි.
"ඔයා කීවා හරි කසුනි"සති තුනකින් පසුව මා අසලට පැමිණි නිවන්ති කීවාය.
මම ඇය දෙස බැලුවෙමි.
"අර කියුවත් වගේ බත් ඇට ඇතුලෙ සතුට නෑ.බත් මුලකට ආදරේ පුරවන්නත් බෑ."
එදා සිට අද දක්වා බොහොමයක් දේ වෙනස් වී නැත.නිවන්ති ගේ බත්මුල දකින්නට නැතිවීම හැර සියලුදේ එපරිද්දෙන්මය.
අපි තවමත් සතුටින් සිටිමු.
හ්ම් බත් ඇට වල විතරක් සතුට තියෙන්නේ නම් නෑ,
ReplyDeleteකරන කියන හැම දෙයින්ම දෙන්නෙක්ගේ ආදරය වැඩිවෙන්න ඕනි.
හැබැයි ගෑණියෙක් උනාම මනුස්සයාට කෑම එකක් හදලා දෙනවා කියන එකට නම් කම්මැලි වෙලා බෑ. ඒ මනුස්සයත් කැමැති , වයිෆ් හදන කෑම එකක් යාළුවොත් එක්ක බෙදාගෙන කන්න.
මොනවා වුනත් හැගීම් ලස්ස්සනට විස්තර කරලා තියනවා
මුදියන්සේ...ඒ ඉතින් එක එක්කෙනා හිතන හැටි....ස්තුතියි කමෙන්ටුවට...
Deleteමේ ලිවීමේ රටාවට මම හරිම ආසයි. අපූරු කතාවක්.
ReplyDeleteහුගාක් ස්තුතියි....
Deleteඇත්ත කතාව.. ඒත් බත් එකෙත් ආදරේ පුරවන්න පුළුවන් කියලා මං හිතනවා...
ReplyDeleteමාත් උදේට උයන්න කම්මැලි වයිෆ් කෙනෙක්.. ඒත් මං දවසටම ගෙදර ඉඳන් කරන වැඩ දෙකෙන් එකක් ඒක.... අපේ මහත්තයා හැමදාම කියන්නේ ජාති දෙකක් හැදුවාම හොඳටම ඇති කියලා... ඒත් මං සමහර දවසට ජාති තුනක් දානවා..
සමහර දවසට බත් එක බඳින ගමන් පොඩි ලියුමක් ලියලා පිට කොලේට තියලා, බත් එක බඳිනවා.. හොරෙන්ම එයාගේ බෑග් එකට දානවා.. එදාට දවල්ට කන්න ගිහින් මට කෝල් කරනකම් මං ඉන්නේ ඉස්කෝලෙ යන කාලේ එයාව දකින්න ස්ටේෂන් එකට වෙලා හිටිය විදියටම.... එදාට එයා කෝල් කරලා කියන මං ඔයාට ආදරෙයි කියන වචන තුනේ මට දැනෙන්නේ පුදුමාකාර ආදරයක්... ඒ ආදරණිය වචන ටික ඇහෙද්දි මං කම්මැලිකම පැත්තක තියලා, උදේ නැගිටලා ඉව්ව එක ගැන පුදුමාකාර ආඩම්බරයක් ඇති වෙනවා...
ආදරේ කියන්නේ සම්ප්‍රදායට කළ යුතු දේ කරන එක නෙවෙයි... අවශ්‍යතාවයට කරලා දෙන දේ නෙවෙයි... ආදරය කියන්නේ එකිනෙකා ගැන අවබෝධය සහ විශ්වාසය... මේ කතාව හරි ලස්සනයි.. ඒක නිසා වෙන්නැති මං හිතන්නේ මගේ අත්දැකීමත් මේ විදියට ලියවුනේ...
කථාවයි මේ කමෙන්ට් එකයි දෙකම ලස්සනයි
Deleteබොහොම ස්තුතියි...හිරු සහ තේජි...
Deleteඇත්තටම ලස්සන කතාවක්.. ආදරයට සරළව ගැඹුරු අර්ථයක්..!
ReplyDeleteබොහොම ස්තුතියි නන්දු...
Deleteහැමදාම කඩෙන් කන එක නම් හොඳ දෙයක් නෙමෙයි... සතුට ආදරය තියෙන්නෙ නම් බත් ඇට වල නෙමෙයි... ඒ උනාට ඉතින් මනුස්සයට කෑම එකක් හදල දෙන එකට කම්මැලි වෙන එක නම් ඉතින් අනේ මන්දා...
ReplyDeleteඅනේ මන්දා...ඒක ඉතින් එක එක්කෙනා හිතන හැටි....බත් වල සතුට හෙව්වෙ නැති වුනාට අසතුටට බත් මුල් කරගන්න අයත් ඇති...
Deleteකතාව එක පැත්තකින් බැලුවම ඇත්ත. ඒත් බතක් මාළුවක් හදන එක ඔය තරම් අමාරුද? අමාරු ඇති.
ReplyDeleteඅපි කොහොමද ඕව දන්නෙ. ඒත් ,
අපේ අම්ම හැමදාම හතරට නැගිටල අපිට බත් උයනව.
අම්ම උදේට බත් පිසුවෙ නැති උනාට අපි අම්මට බනින්නෙත් නෑ. ඒත් අම්ම උයනව.
හේතුව අපේ අම්ම ගෙදර ඉන්නෙ. වැඩකට යන් නැහැ.ඉතින් එයාගේ රාජකාරිය ඒක තම යි. අපිට බත් තම්බන එක.
ඒත්,
වැඩට යන කෙනෙක් උනත් ඒ වෙලාවට නැගිට්ටම(වේලාසනින් නිදාගෙන) තමන්ගේ ගේ දොර වැඩ ඔක්කොම කරගන්න පුළුවන් කම්මැලි නැතිනම්.
දහසක් බුදුන් බුදුවන හිමිදිරියෙ යහපත් සිතින් වැඩ පටන්ගන්න. දවසම සුබ යි.
ඒත් එකක් ඇත්ත!!!
"අර කියුවත් වගේ බත් ඇට ඇතුලෙ සතුට නෑ.බත් මුලකට ආදරේ පුරවන්නත් බෑ."
ජයවේවා!!
බත් එකක් උයන එක ඒ තරම් අමාරු නෑ ඒක ඇත්ත.එලවලුවක් උයන එකත් අමාරු නෑ.ඒකත් ඇත්ත.
Deleteඒ වුනාට උදේ නැගිටින එක අමාරුයි කියලා කියන්නේ මේ කතාවේ කතා නායිකාවට.ඒ වගේ තවත් අය ඉන්න පුලුවන්.උදේ නැගිටලා උයලා පිහලා වලන් හෝදලා රස්සාවකටත් ගිහින් හවසට ඇවිත ආයෙත් උයලා සැමියාට කන්න දීලා ගෙවල් අස් පරස් කරලා රෙදි සෝදලා රෙදි මැදලා නිදා ගන්න එක නිපුන කියන තරම්ම ලේසිද?අනේ මන්දා මට පෞද්ගලිකව නම් එච්චර දෙයක් කරන්න අමාරුයි....
බතක් උයන එක ඔයතරම් අමාරුද?අමාරු ඇති...අපි කොහොමද ඕවා දන්නේ කියන්නේ නිපුන උයන්න දන්නෙ නැතුවැති....මම අහන්නේ නරකද දවසක් දෙකක් අම්මට නිවාඩු ගන්න කියලා ඔය වැඩ ටිකම කරලා බැලුවොත්...:):)
හීනියට ගහපු කනේ පාරක් තියනවා කියලා මට හිතුනේ කතාව දෙවනි පාර කියවද්දි..
ReplyDelete-Appu-
ReplyDeleteමේක උදේට නැගිටල කෑම එකක් උයන්න බැරි කම්මැළි කම සාධාරනීයකරණය කරන්න කරපු සාහිත්‍යමය උත්සාහයක්.
හුඟක් පිරිමි අඬනව අඩුයි; කවි ලියනව අඩුයි.
ඒත් උන් උන්ගෙ හත්වල ගොඩක් බර හංගං ඉන්නව; පවුලට ආදරේ නිසා. අනිත් උන්ගෙ සතුට වෙනුවෙන්. උං හිනා වෙන්නෙ අනුන්ගෙ හිනාව දැකල. මම මේක කව්වෙ බත් වේලට සීමාකරල නෙවෙයි.
සමා වෙන්න හිත රිදුන නම්...
තව දෙයක් තියනව... විවෘත ආර්ථිකයෙ හැල්මෙ දුවන අපේ පවුල් වල ගෑනි උයල මිනිහට පුදනව කියල එකක් නෑ. මිනිහටත් තියනව වගකීමක් බිරිඳ වහළියක් නොකර ඇයට උදව් වෙන්න; වැඩ බෙදා ගන්න. නමුත් ගෑනි 7 වෙනකන් බුදි නම් ඒ ගෙදර කොහොමත් ඉවිල්ලක් නෑ.