මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, June 15, 2012

ප්‍රේමයේ බැල්කනිය සහ හිස්තැන්..(කෙටිකතා)





අපේ කුලී ගෙදර පිහිටා තිබුනේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ නොවන අතුරු පාරකය.කවදත් මා ප්‍රිය කලේ දෙපතුල් වලට පොලව ස්පර්ශවන  බිමකි.එවැනි බිම් කුලී නිවෙස්න වල ලැබීම ඉතා දුර්ලබ විය.ගෙහිමියෝ කවදත් පහල තට්ටුව කුලීකාරයන්ට නොදෙති.ඔවුන්ගේ උරුමය බොහෝවිට පඩිපේලියකින් ඇරඹෙන ඉහල මහල වෙති.

 

අපේ උරුමයද එයම විය.

 

අප යනු කවුරුනදයි හදුන්වා දීම ඉතා වැදගත්ය.'අප' යන බහුවචන පදය සමන්විත වූයේ මා හා මගේ සැමියාගෙනි.අප විවාහ වූයේ අලුත නොවේ.විවාහයට පස් වසර සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් මාසයටය.නමුත් මේ වසර දෙකක් පැරණි කතාවකි.'ප්‍රේමයේ බැල්කනිය'හිමි නිවසට අප පැමිණියේ විවාහයට හරියටම වසර තුනක් සම්පූර්ණ වූ දිනයේයි. ඒ අපේ දෙවන කුලී නිවසයි.

 

මගේ කැමැත්ත පලමුව ඒ බැලකනියට හිමි නොවුනි.මගේ සිත් දිනාගැනීමට සමත්වූයේ නිවසේ නාන කාමරය සහ නිවස තුල තිබූ දුඹුරුවර්න කබඩ් පේලියයි.විසමිත කබඩ් පේලිය මගේ අපිලිවල ගෙදරට එන අමුත්තන්ගෙන් සැගවීමට සමත්වූ අතර,නාන කාමරයේ පිලිවල වෙහෙසකර දවසක නිමාවෙන් මගේ සිත සැනසූ අතර උනු දියෙන් මගේ ගත සැනසීය.

 

මේ නිවස්නට අයත්වූ අඩි 10*10 බැල්කනිය මගේ ජීවිතයේ මටද නිරාවරනය වී නොතිබුනු පැතිකඩක් නිරාවරණය කිරීමට සමත් වේයයි,මගේ ජීවිතය පිලිබද ලජ්ජාවක් ඉතිරි කිරීමට ලජ්ජා සහගත මිහිරියාවකින් මගේ ජීවිතය පුරවාලීමට සමත්වේයයි නොසිතීමි.

 

වසර තුනක් සපිරුනාවූ මගේ විවාහ ජීවිතයේ හිස්තැන් තුනක් විය.

 

පලමු වැන්න මල් පොකුරකි.නැවුම් සුවදින් පිරීගිය මල් පොකුරකි.මල් වර්ගය කුමක්දැයි නියතයක් නොතිබුනු මේ මල් පොකුර කහ,රෝස සහ සුදුපාට මල් වලින් යුක්ත විය.මෙම මල් පොකුර වෙනුවෙන් ඒ වනවිට මම හරියටම වසර තුනක් පෙරුම් පුරා සිටියෙමි.පලමු වෙනි දෙවැනි විවාහ සන්වත්සර,මගේ උපන්දින,මල් පොකුරු නැතුවම ගතවිය.බැරිම තැන මල්පොකුරක් විවාහක සැමියාගෙන් ඉල්ලීමට තරම් මම අකාරුණික වීමි.ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ නමුදු මල් පොකුර ඔහුට මග හැරින. ජීවිතයේ කවරදාවත් මට  මල්පොකුරක් තෑගි ලැබී නොතිබින.

 

දෙවන හිස්තැන තිබුනේ හාදුවක් සම්බන්ධවයි.සැමියාගෙන් හාදුවක් ලැබීම කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නාක් මෙන්ද,හාවා හද දකින්නාක් මෙන්ද විය.මේ හාදුව සාමාන්‍ය හාදු ගනයෙන් වෙනස්විය.එය දැනෙන හාදුවක් විය යුතුවිය.දෙතොල් සීතලෙන්ද හදවත උණුසුමෙන්ද පුරවන්නක් විය යුතු විය.ප්‍රේමය දැනෙන හාදුවක් විය යුතු විය.එම හාදුව දෙනු ලබන පුද්ගලයාට මා නැතුව ජීවිතය ගත කල නොහැකි බවක් මේ හාදුව මගින් මට දැන්විය යුතු විය.

 

විවාහක සැමියා මට ඇති තරම් හාදු පිරිනැමීය.නමුත් ඒ හැම හාදුවකටම හේතුවක් තිබින.එක්කෝ ඔහු උදෑසන රැකියාවට යාමට පෙර දෙන සම්ප්‍රධායික හාදුවයි.එසේත් නොමැතිනම් මිනිසාගේ එක් ප්‍රධාන ඇවැසිතාවයකට පලමු අවසිහියෙන් දෙන හාදුයි.මගේ 'හාදුවේ හිස්තැන'පිරවීමට මේ හාදු සමත් නොවීය.

'බැල්කනියට'කිසිසේත් මගේ මේ අවශ්‍යතා සැපිරිය නොහැකි බව දනිතත්,ඉර බැස යමින් පවතින සැදෑවල මෙම බැල්කනියට ගොස් නුගේගොඩ සරසවියෙන් ගන්නා පොත් කියවීමට පුරුදුව සිටියෙමි.දවසේ ප්‍රියතම කාලය වූ සවස සැමියා නිවසට එනතුරු මම මේ පොත්වල ඇලී ගැලී වෙලී සිටියෙමි.

 

බැල්කනියට ඉදිරිපස නිවසේ බැල්කනියද,තවත් නිවසක සාලයද දර්ශනය වූ අතර දකුණු පසින් තිබුන නිවසේ මිදුල සහ කෙසෙල් පැල පෙනින.

 

මාස දෙකකට පසු බැල්කනිය පෙනුන නිවසට පොඩි දරුවෙකු පදින්චියට පැමිණියාය.හුරතල් දරුවකු වූ ඇයට ක්‍රේල් කොණ්ඩයක් තිබින.වයස අවුරුදු තුනක් හතරක් පමණ වන්නට ඇත.හවසට ඇය ඇගේ නිවසේ බැල්කනියට පැමිණ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියාය.උරහිසට වැටී තිබුනු කොණ්ඩය ගවුමේ පාටට ගැලපෙන් පීත්ත පටියකින් ගැට ගසා තිබින.ඇගේ දෙතොල් ඇගේ අම්මාගේ මෙන් වන්නට ඇතැයි මට සිතුනේ ඒ දෙතොල් ලා රෝස පාටකින් යුක්තවීම නිසාය.

 

'ඇය'මගේ තුන්වසරක විවාහ ජීවිතයේ තුන් වැනි හිස්තැන එහාගෙදර බැල්කනියේ සිට සවස්වරුවේ පැය දෙකක කාලයකට පිරවූවාය. එක් සෙනසුරාදා දවසක සවස්වරුව ඇගේ දෙතොලේ රෝස පැහැය මවගේ උරුමයක් නොවුන බව මට පසක් කරදුන්නේ අවුරුදු තිහක් පමණවන 'තාත්තා'ඇය සමග සෙල්ලම් කරනුදැකීමය.'අම්මා'කිසිදිනක නොදුටු මේ දැරිය ගේ අම්මා කොහෙදැයි මා වදවෙන්නට පටන් ගත්තේ 'තාත්තා' දැකීමෙන් පසුවය.

 

සතියේ දවස්වල මේ කුඩා දැරිය මා සමග සිනා සෙන්නටත් සෙල්ලම් කරන්නට එන ලෙස අතින් අඩගසන්නටත් පුරුදුව සිටියාය.සතියේ දවස්වල හවස්වරුවල සිනාසෙමින් දැරිය දෙස බලා සිටින්නට හුරුවූ මම සෙනසුරදා දිනවල මම කියවමින් සිටි පොතට ඉහලින් හොරෙන් බැල්කනිය දෙස බලා සිටියෙමි. 'බැල්කනිය'දෙස බලා සිටීම යන යෙදුම වඩා සුදුසු වන්නේ දැරිය දෙසම බලාසිටියා යයි කිව නොහැකි බැවිනි.

 

'තාත්තා'ද දැරිය සමගම සෙල්ලම් කලායයි කිව නොහැකි වන්නේ හොරෙන් බැලූ ඇස් වලට හොරෙන් බැලූ ඇස් හමුවූ බැවිනි

 

දවස් ගතවී ගියේ හරිම වේගයෙනි.

 

හදිසියේ දවසක මම නොසිතු වෙලාවක නිවසේ සීනුව නාද වින.ප්‍රසිද්ධ මල් බෙදාහරින ආයතනයක නියෝජිතයෙක් රෝස,කහ සහ සුදුපාට මල් පොකුරක් අතැතිව දොර ඉදිරිපස හිටගෙන සිටියේය.'ඉස්සරහ ගෙදර ලස්සන ආන්ටිට..'ළදරු අත් අකුරු වලින් මල්පොකුරේ ලියවී තිබින....

 

ජීවිතයේ පලමු මල් පොකුර හිමිවිය.හිත සතුටෙන් පිරී ඉතිරී ගියේය.හිත ඇතුලත පසුගිය වසර දෙකටම සුවද කරන්නට ඒ මල් පොකුර සමත් විය.

 

දැන් අප ඒ නිවසෙහි නැත.රෝස තොල් ඇති දැරියද,'තාත්තා'ද නැතුවා වන්නට ඇත.

 

'ප්‍රේමයේ බැල්කනිය' මතදී මගේ විවාහ දිවියේ දෙවනි හිස්තැන පිරවුනේ නැත.නමුත් චපල ස්ත්‍රී චිත්තයෙහි ඒ වෙනුවෙන් බලාපොරොත්තුවක් නොතිබුනා යයිද කිව නොහැක.

 

හිස්තැන් තුනෙන් දැන් ඉතිරිව ඇත්තේ එක් හිස් තැනකි.

 

ඒ හිස්තැන පුරවන්නය 'අප' දෙදෙනාගෙන් මම නොවන අනෙකාට තවමත් හැකියාව ඇත.

 

එක අතකට හිස්තැන් ජීවිතය බලාපොරොත්තුවෙන් පුරවා ජීවයෙන් අවුලුවා ලයි.

 

Saturday, June 9, 2012

බිරිදගේ නිබ්බුත පද...

ඔබ
කවි නොලියන
කතන්දර නොකියවන

මම ප්‍රබන්ධ කියවනාතුරු
රහස් පරීක්ෂක කතන්දර කියවන

අපි හරිම විරුද්ධ...
අපිටම හිතෙන...


මම
ඉදහිටක
නෝක්කාඩු කියන...

මුකුත් නොකියාම
නිහඩවන...
දුක හිතෙන බව
මුහුනෙන් පෙනෙන..


රෝගීව වැදහුන් කල
කවන්නේ

පොවන්නේ

බෙහෙත් ගෙන දෙන්නේ...


කිසිවිටක
තරහක් නොසිතන්නේ...


නුඹ මට
මව්ද
පියද
සොයුරද වන්නේ....

සෙනෙහෙ ගග
මහවැලිය දෙවෙනි කොට ගලන්නේ...

 

ඔවැනි සැමියෙකු ලබන්නිය

බෝ වාසනා කොට ඇත්තී...


දිවි දෙවනි කොට නුඹට පෙම් කරන්නී...


මරණ බිය ජීවිතය උගන්වන බව උගත්තෙමි...

ඉස්පිරිතාල ඇදන් මත

මිනිසුන්,

පින්සෙන්ඩු වී

දොස්තර දෙවියන්ට,


තව හුස්ම ඉල්ලන...


ජරාපත් මහලුවුන්

දිරාගිය ජීවිත

අතරට ,

මෑතකදි ගිය දවසක...


මමද

රෝගීව දිරාගොස්

සිටියෙමි...


අහෝ ජීවිත

සිතුන මුත්,

සසර කල නොකිරුනෙමි...


හැරපියා යනු බියෙන්

තව තවත් බැදුනෙමි...


සිගා යෙමි ජීවිතය...


ඉගන කියා අවසන

සැමියෙකුත් ලැබ

සැලකුම් ලැබිය යුතු මාපියන් ඇති කල


කෙලෙස හැරයම්ද???

ආසාව අන් අය මතට පටවමි.


මරණ බිය ජීවිතය

උගන්වන බව

උගත්තෙමි...

Monday, June 4, 2012

ෆැන්ටසිය....



ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කහපාට මල්පිපුන මග දිග

දෙ අත් පටලමින්  යන..

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


සිනමා සිත්තමක

නලුවා නිලිය වෙත

සෙනෙහසේ හාදුවක් දෙන

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


හිනාවත් තහනම්ව තිබු

විසි වසක් එහා අතීතය

හොරෙන් අත තැබු ලියමනක

තිබු සුමිහිරිබව රැගෙන..


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කුස උපන් දියනියට

පෙම් නොකලයුතුබව කියාදෙන

අද වගේ දවසක...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


පලමු පෙම හරි විසය

දිවිතුරා හද රිදෙත...

පලමුපෙම කිසිදාක

නොකරන්න...

ඔවදනක් දෙමි දුවට...


අතරතුර,

ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


Saturday, June 2, 2012

රාග...Simply Lust




අපි ගිනි උදුන ලග වාඩිවෙලා හිටියා.මම හිටියෙ පහසුම ඉරියව්වෙන්.එරමිණියා ගොතාගෙන.තවදුරටත් කාටවත් පේන්න වෙන කෙනෙක් වගේ හැසිරෙන්න උවමනා නැහැ.ගිනි උදුන සිතට ප්‍රේමය ගෙනාවා.වරදවා වටහා ගන්න එපා.ඒ ප්‍රේමය ...ආදරය නොවෙන.ආදරය......... ලෙන්ගතුකම.....  දයාව.... අනුකම්පාව හා බැදී පවතින...ඒත් ප්‍රේමය හරි සරලයි,බැදී පවතිනවා රාගයත් සමග .රාගයේ උත්කෘෂ්ඨතම අවස්ථාවෙන් පස්සෙ රාගය අප්‍රිය බවට පත්වෙනවාත් එක්කම ප්‍රේමය නැතිවෙලා යනවා.

ප්‍රේමය අතරතුර,රාගය අතරතුර ආදරයක් ඇතිවෙලා නැත්නම් ප්‍රේමයේදී රාගයේදී තමන්ගේ ඉතිරි අර්ධය බවට පත්වුන පුද්ගලයා අමතක වෙලා යනවා.අමතක කරන්න උත්සාහ ගන්නවා.නොසලකා හැරීම් වලට බාජනය වෙනවා.නමුත් ආදරයක් ඇති වුනානම්.දයාව අනුකම්පාව සමග ජීවිතය බෙදා ගැනීමක් බවට හැරෙනවා.

 

ඔහු මට බියර් වීදුරුවක් තොලගාන්නට ආරාධනා කලා.ප්‍රතික්ශේප කිරීමක්.තිත්ත අප්‍රසන්නතාවයට මගේ ඇති අකමැත්ත නොබියව කියා පෑමක්.ඔහු බියර් වීදුරුවක් පුරවා ගත්තා.තවත් ආරාධනයක්.

"ඔයා ඔය හිතන්නේ ඔයා ගැන විතරයි.මම බියර් බොනවද කියලා ඇහුවට අකමැතිනම් මොනවද බොන්නෙ කියලා ඇහුවෙ නැහැ"

 

"සමාවෙන්න.ඔයා මොනවද බොන්නෙ."

 

"වයින්"

 

ඔහු එතනින් නැගිට ගියා.මොහොතකට පසුව නිරුවත් කකුල් දෙකක් මා අසලට ආවා.මගේ ඉදිරියෙන් ඉද ගත්තා.ප්ලම් වයින් සමග වීදුරු දෙකක්.ඔහු එරමිණියා ගොතා ගත්තා.මම වගේම.ඒ ඔහු කැමතිම ඉදගැනීමේ ක්‍රමය.

 

ඇස් හතරක් එකිනෙකා දෙස බලාගෙන ඉන්න පටන් ගත්තා.වයින් වීදුරු එකක් පසුපස තව එකක්.මත්වුන ස්වබාවයකට පත්වෙන තුරු.ගිනි උදුන තිබෙන කාමරයේ පොත් රාක්ක හතරක්.මගේ පුන්චි පොත් අල්මාරිය පිලිබදව මට ලජ්ජා කරවන.ඔහු විසින් අදින ලද චිත්‍ර හැමතැනම.මා විසින් තේරුම් ගන්නට අසමත්.

ඔහුගේ ඇස් ටිකෙන් ටික සුපුරුදු වර්ණයෙන් වෙනත් වර්ණයකට හැරෙන්න පටන් ගත්තා.රතු පැහැය.ප්‍රේමයේ හෝ රාගයේ පැහැය.

 

අපි අපි දිහා බලාගෙන හිටියා.වයස තවදුරටත් බාදකයක් වුනේ නැහැ.

 

"හිතා ගන්න අපි තණතිල්ලක එකිනෙකාගේ අත් අල්ලාගෙන ඇවිදගෙනයනවා කියලා.අපේ අත් එකිනෙකාට කිට්ටුවෙන් සමීපව.මගේ හදවතේ උණුසුමත්,ඔයාගෙ හදවතේ සීතලත් අත් ඔස්සේ එකිනෙකාට සන්නිවේදනය වෙමින්." 

 

කවුලුවෙන් පිටත ස්වේතවර්ණ හිම.ඇස් ඉදිරිපිට ගිනි උදුනේ ගිනි දැල්.හිත ඇතුලත සභ්‍යත්වයේ හිම.හිත මතුපිට රාගයේ  රතු වර්ණය.

 

ඔහු මා දෙස තවදුරටත් බලාගෙන හිටියා.මම මගේ උරහිස් නැති කමිසයේ පිටතට පෙනෙන රෝස පාට සහ ලාකොලපාට ඔහුගේ නෙත්වලට කොයිතරම් ආකර්ෂණීයව පෙනෙනවා දැයි සිතමින්.අවුරුදු ගනන කියාපාන රැලිවැටුනු ඇස් දිහා බලාගෙන හිටියා.කොහොමටත් වයස පනහකට අඩුවෙන්.