6 සී පන්තිය වැඩ බැරි පන්තිය.
ටීචර්ලා වගේම අනිත් පන්ති
වල ළමයි කියුවෙත් එහෙමයි.
අපි පොඩිපන්ති වල හිටියේ
විසිවෙනි ශතවර්ශේ.එතකොට "විසි එක්වෙනි සියවසටයි මේ දෙපිය නගන්නේ කියලා" සින්දු
රේඩියෝවේ ඇහුනේ නෑ.මිනිස්සුන්ගේ චින්තන රටාවත් විසි එක්වෙනි ශතවර්ශෙට යාවත්කාලීන වෙලා
තිබුනේ නෑ. පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා හරි ෆේල් වෙලා හරි හයේ පන්තියට
ආවට පස්සේ වැඩ පුළුවන් ළමයි විදිහටයි වැඩ බැරි ළමයි විදිහටයි ළමයින්ව
බෙදලා තිබුනා.වැඩ බැරි ළමයි ඔක්කොම එක පන්තියක ඉගන ගත්තා.එතකොට ඉබේටම අනිත් ඔක්කොම
වැඩ පුලුවන් ළමයි වුනා.
ඒ ගොල්ලො හිටියේ 6 සී පන්තියේ.ඒ පන්තියේ හිටියේ ගනන් වලට ලකුණු 40ට අඩු අය.සමහර අයට කියවන විට ලිවීමත් බෑ.ඔක්කොම පන්තියේ ළමයි හතලිහයි.එතකොට ළමයි හතලිස් දෙනෙකුටම ඔච්චරටම වැඩබැරි වෙන්න පුලුවන්ද කියලා අහන්න කවුරුවත් අපේ ඉස්කෝලේ හිටියේ නෑ. වැඩ බැරිවෙන්න හේතු හොයන්න වෙලාවකුත් කිසිම කෙනෙකුට තිබුනේ නෑ.ඒත් එයාලා “වැඩ බැරි ළමයි “ හැමෝම කියුවේ එහෙමයි. අනිත් පන්තිවල වැඩ පුළුවන්කට්ටිය,ඒ කියුවේ සිංහල වලට ලකුණු 80වට වැඩියෙන් ගත්ත ළමයින්ට වැඩ බැරි පන්තියේ එක ළමයෙක් ගානේ භාරදීලා තිබුනා.වැඩ පුලුවන් ළමයින්ට කියලා තිබුනා වැඩ බැරි ළමයින්ට අකුරු උගන්නන්න කියලා.කොටින්ම කියනවා නම් වැඩ පුලුවන් ළමයි බවට වැඩ බැරි ළමයි පත්කරන්න කියලා.
ළමයෙක් තව තමන්ගේම වයසේ ළමයෙක්ට අකුරු උගන්නන එකේ මනෝවිද්යාත්මක පැතිකඩ ගැන මම හිතන්නේ ඒ වෙනකොට කිසිම ගුරුවරයෙක් හිතලා තිබුනේ නෑ. වැඩ පුලුවන් ළමයි බැරි අයට අකුරු ඉගැන්නුවා.ඒක හොදයි.ඒත් වැඩ බැරි ළමයි ඉස්කෝලේ එන්න අදිමදි කලා.ටීචර් කෙනෙකුගෙන් අකුරු ඉගන ගන්නවට වැඩිය මදිකමක් තමන්ගේ වයසේ ලමයෙක්ගෙන් අකුරු ඉගන ගන්නකොට එයාලට දැනෙන්න ඇති.
ඒත් එහෙම අකුරු ඉගනගෙන දිගටම ඉස්කෝලේ ආපු නයනතාරාට ඉක්මනට අකුරු පුළුවන් උනා. ඒත් එයාට කවදාවත්ම ගණන් පුලුවන් උනේ නැහැ. ඒක නිසා පන්තියෙන් පන්තිය ඉහලට ගියත් එයා දිගටම "සී"පන්තියට සීමා වුනා.ඒත් එයා හැමදාම ඉස්කෝලේ ආවා. උසස්පෙල කලා අංශයෙන් හදාරන
තරමට එයා සාමාන්‍යපෙල සමත් වුනා.
ඊටත් පස්සේ උසස්පෙල භාෂා වලින් හදාරලා යාන්තමට සමත් වුනා.ඒත් තාමත් එයා වැඩ බැරි ළමයෙක්.වැඩ පුළුවන් උදවිය වුනේ දොස්තරලා ඉංජිනේරුවෝ වුන අය.වැරදීමකින් හරි විද්යා විශයයන් හදාරපු අය. නයනතාරා පොඩි රස්සාවකට ගියා.භාෂා හැකියාව නිසා රතුකුරුස සංවිධානයේ පොඩි රස්සාවකට බැදෙන්න එයාට පුළුවන් වුනා.
ඊටත් පස්සේ එයා රට ගියා කියලා ආරංචි වුනා.මට එයා ගැන තිබුන මතකය ගිලිහිලා ගියා. නයනතාරාව අමතකම වුනා. ඊටත් හුගක්ම පස්සේකාලේ දවසක නයනතාරා මූණුපොතේ මට මිතුරු ඇරයුමක් එවලා තිබුනා.එතකොට එයාව අමතකම වෙලා ගිහිල්ලත් හුගක් කල්.එයාගේ රස්සාව විදිහට මනෝ වෛද්‍ය කියලා සදහන් වෙලා තිබුනා.ඇස් අදහාගන්න බැරි වෙච්චි පරණ යාළුවෙක් එයාගේ අලුත් රස්සාව දිහා බලාගෙන හිටියා.
නයනතාරා කොහොමද මනෝ වෛද්යවරියක් වුනේ කියලා මම එයාගෙන් ඇහුවේ නෑ.ඒත් එයයි මමයි අපේ ආගිය තොරතුරු කතාකලා.එයා ජීවිතේ අලුතෙන් පටන් ගත්තා කියලා එයා කියුවා.
"ඇමරිකාවේ වැඩ පුළුවන් ළමයිනුයි වැඩ බැරි ළමයිනුයි කියලා දෙගොල්ලක් නෑ බං"කියලා එයා හිටපු ගමන් කියුවා.
"කොහොමත් ඔය ලංකාවේ හිටපු හුගක් වැඩ පුළුවන් ලමයි දැන් හොයාගන්නත් නෑ බං"කියලා මම කියුවා.
වැඩ පුලුවන් ,හරි දක්ෂයි කියලා කියපු හුගක් උදවිය දොස්තරලා,ඉංජිනේරුවෝ වුනා.ඒත් එයාලා ජීවත් වෙන්න දැනගෙන හිටියේ නෑ.ජීවත්වීමේ කලාව ඉගනගෙන හිටියේ නෑ.ඒ විත්තිය මම දැනගෙන හිටියට නයනතාරාට කියුවේ නෑ.
නයනතාරා ගණන් ඉගන ගත්තේ නැතුවට ජීවත්වීමේ කලාව ඉගනගෙන තිබුනා.ලැබෙන අවස්ථාවෙන් නියමිත ප්රයෝජනේ ගන්න එයා දැනගෙන හිටියා.
"මෙහේ ඉන්න විශේෂ අවශ්යතා තියෙන දරුවෝ කීපදෙනක්ම මම සල්ලි වියදම් කරලා බලාගන්නවා"කියලා එයා කියුවා.
"ඒක ලොකු පිනක්නෙ ..."කියලා මම කියුවා.
"පිං නම් මට වැඩක් නෑ බං... ඒත් එහෙම දරුවොන්ට ඕනේ කතා කරන්න කවුරුහරි.එයාලගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා නම්,එයාලා කවදාවත් ජීවිතේ පරදින්නේ නෑ."නයනතාරා ඔහේ කියවගෙන ගියා.මම වැරදිලා දවාලියෙන් ඇහැ ඇරුනු බකමූණෙක් වගේ එයාගේ කතාවට හූමිටි තියුවා.
“ඔයාට වැඩ බැරි වුනෙත් ජීවිතේ බෙදාගන්න කෙනෙක් නොහිටි හින්දද?"කියලා අහන්න නියමිතව තිබුනත් මම එහෙම ඇහුවේ නෑ.
"අම්ම නැතිවුනාට පස්සේ තාත්තා එක්කගෙන ආපු කුඩම්මා අම්මා කෙනෙක් වුනේ නෑ බං"කියලා එයාම කියුවා.
වැඩබැරි නයනතාරා ඇමරිකාවේ සීතල හවසක ගිනි උදුනක් ළග වාඩිවෙලා දුකින් පිරුණු මූණක් තියෙන අවුරුදු දහයක විතර පුංචි දුවෙක් එක්ක කතා කරකර හිටියා. ඒ කාමරෙන් එහා පැත්තේ මිදුලේ
ආදරේ පිරුණු ටියුලිප් මලක් පිපිලා තිබුනා.
ඒ
ආදර රශ්මිය නයනතාරාගෙයි අර පුංචි දැරිවිගෙයි හදවත්වලට දිහාවට කවුලුව ඇතුලෙන් ගලාගෙන
ආවා
YES, IT'S TRUE, NO COMMENTS AT ALL................ (Y)
ReplyDelete