මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, May 26, 2014

පිණ්ඩපාත චාරිකාව - දිනමිණ බද්දරමල්ල


 ඉර කාෂ්ඨකේට අහස හරි මැදින් පායලා තියෙනවා.
මම ඉර නලල මතුපිටට ගේන දාඩිය බිදිති වලට හිතෙන් ආඩපාලි කියමින් ඇවිදිමින් ඉන්නවා.හදිසියේ ආලෝක පරාවර්තනයකින් මගේ ඇස් නිලංකාර වෙනවා.
 සැටින් සිවුරු වලින් සැරසුනු සුපින්වත් බව මවා පෙන්වන මහ සගරුවන පේලියට පිණ්ඩපාතේ වඩිනවා. පෙල පෙරමුණෙන් අරහත් බව පසක් කල බවට විවාදයෙන් වුව පිලිගැනෙනා ආර්ය ස්රාවක සගරුවනක් වඩිනවා.එතුමන් බිම බලාගෙන නොවැඩ හාත්පස චමත්කාරය විදිමින් වඩිනවා.මිල අධික  සෙවනක් එතුමන් වහන්සේගේ හිසට ඉහලින් සෙවන සදනවා.දායක නමක් කුඩය යයි කිවහැකි මිල අධික සෙවන එතුමාගේ හිසට ඉහලින් ඉහලාන ඉන්නවා. ක්‍රේල් කොණ්ඩා කෙලින් කල,දෙතොල් සායම්කල උපාසිකාවන් දෙපලක් උන්වහන්සේහේ ඉදිරියෙන් සක්මන් කරමින් අසිරිමත් දෙපා තබනා මග පුරාවට පිච්චමල් අතුරනවා.
උන්වහන්සේ මල්පාවඩ මතුපිට දෙපා තබනවා.උන්වහන්සේ පිටුපසින් සංඝරත්නය එක පෙලට වඩිනවා. හැමෝමත් මිල අධික කුඩ ඉහලාන ඉන්නවා. අරහත්යැයි කියාගන්න උතුමන් මෙන් නොවී උන් වහන්සේලා තමන් වහන්සේලා විසින්ම කුඩ ඉහලාන වඩිනවා.සග රුවන පසුපසින් සේසත් ඔසවාන තවත් උපාසිකාවන් පිරිසක් වඩිනවා.ඊටත් පිටුපසින් සේසත් ඔසවාන සිටිනා පාසල් ළමුන් පිරිසක්. දවුල් බෙර වයනා ඇත්තන් පේලියේ පසුපසින් පැමිණෙනවා.
සුදුවතින් සැරසුනු පොෂ් උපාසිකාවන් මගදෙපස හිටගෙන මහත්වූ චමත්කාරය හදවතින් විදිනවා. පැකට්කල ආහාර දුඹුරුපැහැ වටිනා කඩදාසි බෑග් වල නොමැති නම් තෑගි ඔතනා කොලවල එතී උන්වහන්සේට පිලිගැන්වෙනවා.
ප්රධාන සගරුවනගේ ආශ්රමයේ නිලධාරී ඇත්තන් බව සදහන් නාමපුවරු රදවාන මේ පෙරහැරට ආරක්ෂාව සපයනවා.
මම දෑස් දල්වාන මේ මහත්වූ චමත්කාරය දෙස බලාසිටිනවා.
"අම්මේ මේ පිණ්ඩපාතේ  නේ?"යයි තරුණ අම්මා කෙනෙක් අතින් අල්ලාන සිටිනා කුඩා පිරිමි දරුවෙක් ප්රශ්නාර්ථ ඇස් දෙකක් තියාගෙන  අහනවා.
"ඔව් පුතේ" තරුණ අම්මා පින් පිරුණු ඇස් දෙකක් දල්වාන කියනවා.
ඉදිරි අනාගතයේ ලංකාවේ පිණ්ඩපාත කලාවම මේවගේ වෙයි නේද කියලා හිතිලා මගේ හිත සතුටෙන් පිරෙනවා.මේ ගැන ප්රශ්න කරන්නට නොවටිනා බවත් මේ සියල්ලම උතුමානන්ට පෙරකල කුසල් නිසා ලැබෙනා දෑ බවත් මට සිහිවෙනවා.
ඉදිරි දිනයක මෙවන් වූ උතුමන් ධර්මය දේශනා කරනා දෙපස තිසරපට වලින් සැරසුනු අපේ කාලයේ මානවිකාවන් දෙපලක් පවන් සලමින් සිටිනු දුටුවොත්,එයටත් පුදුම වීමට කාරණා නැති බවත් බුදුන් කාලයේත් එවන් දෑ සිදුවූ බව කියනු ඇති බවටත් මට සිහිවෙනවා. බෙර වාදනය කරමින්,සැටින් සිවුරෙන් සැරසෙමින්,ලෙදර් සෙරෙප්පු පයලමින්,මහමග සුවද මල් විසිරවමින් මේ වඩිනා පිණ්ඩපාතය කොයිතරම් නම් සිත් බදනා සුළුදැයි මට සිතෙනවා.
මා කුඩා සන්ධියේ දුටු භික්ෂුවක් මේ ආශ්චර්යය දකිනා කල මට සිහිවෙනවා.උන් වහන්සේ දිනපතා අපේ ගෙදර අසලින් පිණ්ඩපාතය සදහා වැඩියා.පරණ යයි කිව හැකි පාත්රය මෙවන් වටිනා සලුවෙන් ඔතා තිබුනේ නැහැ.උන් වහන්සේ මග පිච්ච මල් ඇතිරුනේ නැති වුවත් තෙරුවන් ගුණයේ ආරක්ෂාව සපිරී තිබුන බව මම දැන හිටියා.
සෑම නිවසක් අසලම මොහොතක් නැවතී සිටියා.උන්වහන්සේගේ සිවුර ගොරෝසු රෙද්දෙන් නිමවූවක්.එය රෙදිකැබලි කපා සකසා තිබුනා.දන් පිලිගැන්වූ කල "සුවපත් වේවා!"යැයි පැවසූ වදනින් සිතම නිවී සැනසුනා.
දන් පිලිගන්වන් දෙස නොබැලූ උන්වහන්සේ නෙත් බිමට යොමාන වැඩ උන්නා.
අන්යාගමික නිවසකින් උන්වහන්සේට දන් පිලිගැන්වූ දිනයක් මට සිහිවෙනවා.උන්වහන්සේ දෑතින් පාත්රය වසා තමන්ට ආහාර ප්රමාණවත් බව දැන්වූවා.
"අප යක්ෂයාට වෙන්කල ආහාර ආපහු ගන්නේ නෑ..." නිවසෙහි ගෙහිමි කත කියුවා. ඇසූ සැනින් එතුමන් ඉතිරි ආහාරත් පිලිගත්තා."දෙවි පිහිටයි"කියා පැවසූවා.
අර කාන්තාවගේ මුහුණ ආලෝකමත් වූවා.
උන් වහන්සේ සිදුකලේ ආර්ය මහා සංඝ රත්නයට අපහාස කිරීමෙන් අන්යාගමික කාන්තාවට සිදුවන්නට තිබූ අකුසලය නැවැත්වීමක් බව මට දැන් වැටහෙනවා.
බෞද්ධාගමික හරයන් මොනවට පිලිබිඹු වූයේ කුමන පිණ්ඩපාත දර්ශනයෙන්දැයි මට තේරුම් ගැනීමට අපහසු නොවුනත් බහුතර ජනයාට එය තේරුම්ගැනීමට අපහසු වන්නේ පින්මදකම නිසාදැයි මට හිතෙනවා.
කොලොම්තොට සිද්ධවෙන කරුණු කාරණා සමහරක් මෝහයෙන්,ආලයෙන්,රාගයෙන්,තණ්හාවෙන් වැහිලා තියෙන බුද්ධියේ ඇස් විවරකරනට සමත්. දෙනෙත් විවර කරනා යමෙක් සහ යමක් දැකීමෙන් සිත යම්තාක් දුරකට කැලඹුනත්ත් මිනිසුන් යනු යමක් වෙත බැදුනාම කෙතරම් නම් හරයන් අමතක වන පිරිසක්දැයි මට හැගෙනවා.


No comments:

Post a Comment