මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 6, 2012

සිදුහත් උපත


නෙලුම් මල් හතක්
හරියටම ගනන් කොට
එකක් පසුපස
එකක් ඇද ඇත...

ඈතින්ම ඇති මල්
ඉතාමත් පොඩියට
දුරින් ඇති බව පේන්නට...
කුරුලු සමනල් පියාඹන....

සල්ගසක් නොසදිසි
සල්ගස
සල්මල් බිමහෙලන...

සිදුහත්
පුන්චි කහ සිවුරු පට
සුලගේ ලෙලෙන්නට හැර
තමන් ලෝකයට අග බව කියන..
.
මල් දෙකක් අතරින්
සිදුහත් උපත
කතාවේ නැති
දිය ඇල්ලක් ගලන...
( හැම චිත්රෙටම දිය ඇල්ලක් තියෙන පොඩිකාලෙ )

ඔක්කොටම වැඩියෙන්
මහාමායාව
සාරියක් ඇදගෙන
සල් අත්තත් අල්ලාන….

'අම්මා' චිත්ර වල මම අම්මා ඇන්දෙත්
සාරියක් ඇදගෙන විත්තිය
හීනියට මතක්වෙන..

Friday, May 4, 2012

කසාද බැදීම...

සමහරක් කවි
කියවන කොට
හිත පිරෙනවා
පිරිලා
පිරිලා
ඉතිරිලා
පිටාරත් ගලන්න ලෑස්ති වෙනවා...

කාටවත් දෙන්න
බය හිතෙනවා.
ඒ කවි ඇතුලෙ
සෙරෙප්පු නැතුව
හිත පිච්චෙනා සීතල
කකුලට දැනෙමින්
ගතම සනසන උනුහුමක්
හිතින් විදිමින්
ඇවිදගෙන යන අතරෙ
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
අනිත් කවිය දිහාත් බලනවා...

මට මේ කවිය
ඇතුලින්...
දොරවල්
ජනෙල් පත්
වහගෙන
හිරවෙන්න හිතෙනව...

මට මේ කවිය
කසාද බදින්න ඕනෙ...

Thursday, May 3, 2012

හදිසියේ තාත්තා දැකීම

හදිසියේ තාත්තා දුටුවෙමිය
මහමග...
මේ කොලොම් පුරවර...

රෝද සතරක්
දෑතේ වීරියෙන් තල්ලු කරගෙන
බිම බලන් යන
තාත්තා දුටුවෙමිය...

හතරැස් කොල කෑලි
හතර පැත්තෙන් එල්ලෙන..
කහපාට යකඩ කට
කම්මැලි කමෙන් හිස සලන
මේ සියල් රෝද හතරක් මතට ගෙන
තාර පාරේ
හිස් පයින් ඇවිදයන,
තාත්තා දුටුවෙමිය...

තාත්තේ
අමතකද
බොහෝ ණය ඇත්තවුන්
ඇත නුඹට...

නින්දයන තෙක් කතන්දර කී
බත් දෙවන්නට
නුඹත් ණය වුනු
ණය කාරයන් ඇත නුඹට...

ණය නොදී පලාගිය
උන් දැන්
ලෝකයේ බොහෝ තැන් වල...

නුඹ තාමත්
හිස් පයින්
වාසනා විකුණන...
එදා හිටි තැන හිද...

හදිසියේ මතක් වූ
තාත්තා
මා පසුකර ඇදෙන...

කරදාසි සහ වීදුරු හදවත්...


සමහර සිදුවීම්
හිටිගමන් දුව ඇවිත්
වීදුරු නිර්මිතය බිද දාන...
කරදාසි කොල ඉරන...

වීදුරු කැබලි අලවන
ඇලුම්දිය සොයන...
කරදාසි ඇලවෙනා
ඇලුම් දිය බහුල ලොව...

වීදුරු වුන එකට
මම මක් කරන්නද,

බිදිලාම දැන්
මටම වීදුරු එපාවෙන...

ඉරුනු තැන් නොපෙනෙන්න
සුරුවමට කරදාසි අලවන
නුඹ,
ඉරී ඇති බව නොපෙනෙන...

හදවත් ඇති
වීදුරු වලින් මෙන්
කොල වලින් නිර්මිත..

වෙසක් කූඩුව සහ ලෝකයේ ඉපැරණිම වෘත්තිය...


අටපට්ටමකට
කොහොම හිතෙනවා ඇත්ද....

අත් දෙකම කොයිතරම්
රිදෙනවා ඇත්ද...
එල්ලිලා ඉද,
නූලකම ....

පාරෙ දූවිලි
හුස්මගන්නත් බැරුවැති..

යනෙන අය,
කන්න වගෙ බලනවට
තරහකුත් හිතේ ඇති...

වෙසක් කූඩුවක් වගේ
කියනවා ඇහෙනවත් ඇති
විකිනෙන්න උවමනාවට
ඇහෙන් නෑ වගේ ඉන්නවත් ඇති...

අනාගතේ ගැන මුකුත්ම දන්නෙ නැති...
කොල ඇලවෙනා
පාට ගැන හිතන් නැති...

හෙට්ටු වී අලවි වෙන
ගාන දන්නවත් ඇති...

අපි එක වගේමයි
එහෙමත් හිතෙනවැති...

(මෙම කවිය සිතින් ගලපමින් කැළණිය කොහුවල බස්මාර්ගයේ වෙසක් කූඩු අලවි සැලක් අසල සිටගෙන සිටි ඇය,හෙට්ටු කරමින් මිනිත්තුවක් පමණ සිට හදිසියේ ආ නිසාන් මෝටර් රථයකට නැගී නික්ම ගියාය.)

ලාoකික ලේඛකයා සහ ඔහු සතු සමාජයීය වගකීම.


ලේඛකයා යනු කලාකරුවෙකි.කලාකරුවා විසින් සිදු කරනුයේ සමාජයේ පොදු මධ්‍ය ලක්ෂයක හමුවන  සන්තුශ්ටීන් සහ වේදනාවන් පිළිබද සන්වේදී චිත්‍රනයකි.මෙම චිත්‍රනය පොදු ජනයාගේ හදවත් කම්පනය කල හැකි ආකාරයට නිර්මිතය.හදවත් කම්පනය වන තීව්‍රතාව මත  කලාකරුවාගේ  ප්‍රබලත්වය තීරණය වේ.

මේ අනුව ලේඛකයා විසින් අනේකවිධ උපක්‍රම යොදාගනිමිනුත් සිදු කරනුයේ සමාජ චිත්‍රනයකි.සමහර සිතුවම් සමහර ප්‍රේක්ෂකයන්ට තේරුම් ගත නොහැකිවා මෙන්ම සමහර  ලේඛනද එක්තරා පාඨක සමූහයකගේ අවබෝධතා සීමාවන් ඉක්මවා යයි.එය මුලුමනින්ම ස්වාබාවිකය.එක් පාඨකයෙක් විසින් ඉතා අගනා නිර්මානයක් යැයි පිළිගන්නා ග්‍රන්ථයක් තවත් පාඨකයෙක් විසින් හිතළුවක් යැයි නොසලකා හරින්නට ඉඩ ඇත.ලේඛකයා ගේ ගමන් මග තීරණය වන්නේ මේ අවබෝධතාව පදනම් කරගෙනය.

ශ්‍රී ලාන්කික ලේඛන කලාව ක්‍රි.පූ 3වන සියවසෙනුත් ඔබ්බට විහිදුනු බවට පුරාතන සෙල් ලිපි සාක්ෂිදරයි.දේවානම්පියතිස්ස රජු සමයේ ලියවිනැයි සැලකෙන ලිපි මේ වනවිට සොයාගනු  ලැබ ඇත. ක්‍රි.ව 4වන සියවස වන විට බෞද්ධ දර්ශනය මත පදනම් වූ ලිපි රාශියක් ලියැවී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත.සීගිරිය නැරඹීමට පැමිණි  ජනයා විසින් ලියන ලද සීගිරි කුරුටු ගී ශ්‍රී ලාන්කීය සාහිත්‍යයේ ස්වයන්පෝෂිත වකවානුවක් පිළිබද සාක්ෂි දරයි.

සන්දේශ කාව්‍යන් විසින් සිoහල සාහිත්‍යයේ  එක් යුගයක් බිහිකරන ලදී.සෑම සන්දේශ කාව්‍යකම  පණිවිඩකරුවා වී ඇත්තේ පක්ෂියෙකි.ඒ සෑම කාව්‍යක් හරහාම ප්‍රකට වන්නේ ඒ ඒ කාලවකවානුවල පැවති සමාජයීය පැතිකඩයි.පරවි සන්දේශය,සැළලිහිනි සන්දේශය සහ කෝකිල සන්දේශය ඉහත ප්‍රකාශිතයන්ට සාක්ෂිය.

නැවතත් අපි වර්තමාන ලේඛකයා දෙසට හැරෙමු. ලේඛකයා විසින් පාඨකයා අබිමුවට සැබෑ සමාජය ගෙනයා යුතුව නැත.ගෙනයා යුත්තේ සෞන්දර්යය සහ තමා බද්ධවී ඇති සමාජය අතර, මැද මාවතයි.

එවිට පාඨකයාගේ හදවතට ලේඛයාගේ ගමන් මග කෙටි වෙනු ඇත.සත්‍ය මිනිසුන්ව කම්පනය කරයි,සෞන්දර්යයට මැදිකොට  ගලපාගත් විට තිත්ත බෙහෙතක් මත සීනි තැවරූ කලෙක මෙන් පාඨකයාට සත්‍ය වින්දනය කිරීමට උපකාරී වේ. ලේඛකයා සිටිනුයේ ඒ සදහාය.පාඨක හදවත් කම්පනය වන තීව්‍රතාවය  අඩුකොට රසවින්දනය කැටිකොට සත්‍ය වින්දනාත්මක ආකාරයට ලබාදීමටයි.

ලේඛකයා ඉතිහාසය අකුරු කරන්නා පමණක් වීම නොසෑහේ.ඉතිහාසය නිසා විදින,විදවන මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ වගකීමද ඔහු සතුය.මාටින් වික්‍රමසින්හයන් මේ සමාජ වගකීම මැනවින් හදුනාගත් කලාකරුවෙකි.ඔහු විසින් නිර්මිත ගම්පෙරලිය,කලියුගය සහ යුගාන්තය යන තුන් ඈදුතු නවකතා මීට සාක්ෂි දරයි.මධ්‍යකාලීන වැඩවසම් සමාජක්‍රමය ප්‍රේම කතාවක් අනුසාරයෙන් ප්‍රේක්ෂකයාගේ වින්දනාත්මක නිම් වලලු ඔස්සේ සමාජ ක්‍රමය ඔහු විසින් විවරණය කරනු ලබන්නේ ප්‍රශස්ත ආකාරයකටය.සමාජය වැඩවසම් පාලනයට විරුද්ධව නැගීසිටින අයුරු සහ අවසානයේ නූතන සමාජ ක්‍රමයට අනුගතවන අයුරු කතා ත්‍රිත්වය මගින් ඔහු මොනවට සමාජගත කරයි.වැඩවසම් ගතානුගතික වලව් පන්තියට එරෙහිව සිදුවන උසිගැන්වීම පාඨකයාට නොදැනී හදවතට තට්ටු කරයි.

වර්තමාන ලේඛකයා මෙම කරුණ කොතරම් දුරට අවබෝධ කොට ඇත්ද යන්න ප්‍රශ්නයකි.එක හුස්මට කියවාගෙන යා හැකි ආන්දෝලනාත්මක යැයි කියනු ලබන අනුවේදී ප්‍රේම කතාවක මෙම සමාජ යතාර්ථය ගැබ්ව නැතැයි සරලවම කිව හැකිය.ලිවීම නැමති ව්‍යාපාරය තුල ලේඛකයන්ගේ වගකීම සිදු කල නොහැක.ලේඛකයන් ගැන මිසක ව්‍යාපාරිකයන් ගේ සමාජ වගකීම පිළිබද කතිකාවතක් අරඹන්නට මෙම ලිපියේ ලේඛකයා අදහස් නොකරයි.

ලිවීම සදහා තමාට තමා අහිමිකර ගැනීම අත්‍යවශ්‍යම කාරනයකි.තමාගේ ලේඛන තුල ආත්ම අබිමානය  සදහා මගක් සොයන්නට තැත්කරන ලේඛකයා තමන්ගේ ලේඛන හැකියාවට සීමා මායිම් පනවා ගනී.අබිමානය,පවුල් පසුබිම යන තමා වටා ඇදගත් සීමා පවුරු මත හිද ලියන ලේඛකයන් සම්මානනීය වනවා නම් ඒ කලාතුරකිනි.

තවදුරටත් ගත් කල ලේඛකයා යනු පාට කන්නාඩි නොදමන රස්තියාදුකාරයෙකු විය යුතුය.ඔහු සමාජයේ සෑම අස්සක් මුල්ලක්ම කරක් ගැසිය යුතුය.ලේඛනයක දිග පලල තීරණය වන්නේ ලේඛකයාගේ සමාජ රස්තියාදුවේ කාල පරාසය අනුවය.තමාට සුවිශේෂීවූ පාට කන්නාඩි දාගත් කල මුළු සමාජ ප්‍රවාහයම එම පාටින් පෙනීම වලකනු නොහැකිය. තමන් දකින දේ වෙනත් පාටකින් සමාජය දකින බව ඔහුට අමතක වෙයි.එවිට ඔහු නිදහස් ලේඛකයෙක්ය යන්න තවදුරටත් සත්‍යක් වන්නේ නැත.ඔහු එවිට වර්ණ ගන්වන්නෙක් නැතහොත් පින්තාරුකරුවෙක් බවට පත්වේ.අවර්ණලෝකයේ පාටක් අතුල්ලා පෙන්වීමට ඔහු වෑයම් කරයි. තමා තුල ජීවත්වන නිදහස් කලාකරුවා ඔහු එක කිනිසි පහරකින් මරා දමයි.

තවදුරටත් ලේඛකයා විසින් පිලිගතයුතු කරුණ වන්නේ තමන් විසින් නිර්මාණය කරන්නේ සමාජයේ තමා ඇසු දුටු චරිත බවයි.බොහෝ ලේඛකයන් එසේ නොවේ යයි කියන්නට උත්සාහ කලත් එය සත්‍ය නොවේ.

සයිමන් නවගත්තේගම මේ බව පවසන්නේ මේ ආකාරයටය.

"බොහෝ ගැහැණුද මිනිස්සුද ඔවුන්ගේ අල්ප ජීවිත වලින් මගේ වෘත්තාන්ත පෝෂණය කළහ. ඔවුන් හා ගත කළ සුළු මොහොතවල් මගේ කතාන්දර තුළ අමරණීයත්වය ලබයි. මට ළංවුණු සියලූම ගැහැණුන් මිනිසුන් සියලූම ළමා ළපටින් මගේ ජීවිතයෙන් පෝෂණය කොට මහා කාව්‍යයන් තුළ අමරණීයත්වයෙන් මහා පුරුෂයන් කිරීමට මං කොච්චර ආසද.. ? එවිට ඔවුන්, ජීවිතයේ සුළු මොහොතකට හෝ මගේ ඇසුර ලැබීමේ භාග්‍ය ලැබීම, වාසනාවක් කොට සලකනු නියතය. මගේ හුදකලාවට පිළියම එයයි."
(
ප‍්‍රස්ථාවනාව- සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)

සමාජ සාධාරණීය කලාකරුවෙක් වීමේ බාග්‍ය තුලින් තමාගේ කාබනික සිරුර යලි සොබා දහමට එකතුවී බොහෝ වසර ගනනක ඇවෑමෙන් පසුවත් ඔවුහු නිවීගිය පහන් තරු නොව පරම්පරාවෙන් පරම්පරාවට මග කියාදෙන පහන් කණු බවට පත්වනු ඇත..

Reference

Wednesday, May 2, 2012

අනාගත අතීතය....

දුර තවත් ඇති
නෑ කියන්නට බැරි
ඔව් කියන්නට දන්නෙ නැති
කළුවර කාල තව ඇති...

ආලෝක වැස්සෙන් තෙතබරිව
අදුර ගැන තව හිතන
තෝකියෝවේ සකුරා මලක්
හදිසියේ මතක් වී අමතකම වෙන...

අධි සැර විදුලි රැහැන් ඇති
පහන් නිමේ යයි බියවිය යුතු නැති
ආලෝකය;
හරි ඉක්මනින් අදුරු වෙන...

පාට පැන්සල් පෙට්ටියක් ගෙන
කලු පාට මත
පාට පාටින්
පාට කල යුතුව ඇති...