වාට්ටු අoක 81
මුහුදේ සැඩ ගතිය එන්න එන්නම වැඩිවෙයි.සිරි නිමල්ට බයක් නොදැනුනාම නොවේ.තනියම මූදු එන්නට එපා යැයි කොයිතරම් කීවද කනකට ගන්නේ සිරිනිමල් නොවේ.මේ දවස් වල මාලු දැල්වලට අහුවෙන්නේ නැත.අවාරෙට ඇමකන මාළු දෙතුන්දෙනාගේ බෙදා ගන්නට ලාබයක්ද නැත.තනියම මූදු එන්නේ ඒ නිසාමය.
ඒත් දැන් ඒ පණ්ඩිත කම්වලින් වැඩක් නැත.මූද එන්න එන්නටම සැඩවෙයි.සිරිනිමල්ට හිතුනේ දැන් මැරෙන්නට වෙන්නේ තනියම බවය.එක අතකට තමන් සමග ඉපදෙන්නට කවුරුත් ආවේත් නැත.තනියම මැරෙන්නට බය වෙන්නේ මොටදැයි සිරිනිමල්ට සිතුනි.
දැන් කන උඩින් මූද ගලන්නාක් මෙනි.මූද හයියෙන් කෑගසයි.ඒ මදිවාට පුන්චි බෝට්ටුවටත් ලුණු රස වතුර ගොඩවෙයි.අන්තිම පාරටත් දැල අදින්නට සිරිනිමල්ට සිතුනි.මාළුවෙක් හිටියොත් කාලා හරි මැරෙන්නට පුළුවන.දැල හරිම පහසුවෙන් බෝටුව තුලට ඇදගන්නට පුළුවන්විය.
විමතියකට මෙන් දැලත් සමග බෝට්ටුව තුලට ආවේ රත්තරන් පාට මාළුවෙකි.කියුවාට පව් නැත.ඌ රෝල් ගෝල්ඩ් නොවෙන දඹ රත්තරන් පාටය.කොරපොතුම දාහකට වැඩි ඇත.ඉතින් කොරපොත්තෙන් කොරපොත්ත ගලවා විකිණුවත් පාඩු නැත.
සිරිනිමල් පුදුමෙන් මාළුවා දිහා බලා සිටින්නට විය.ඛේදයකි.මාළුවා මියගොස් නොසිටියේය.ඌ වරල් වලින් අඩි තබමින් බෝට්ටුව පුරාම ඇවිද යන්නට විය.තමන් මරු විකාරෙන් සිටින බව සිරි නිමල්ට තේරුනේය.ඇවිදින මාළු ගැන හැමදාම මූදු යන හත්මුතු පරම්පරාවේ කවුරුවත් කියුවා මතකයට එන්නේත් නැත.අන්තිම මොහොතට පිනක් මතක් කලගත යුතුයයි සිරිනිමල්ට සිතුනි.
හරියට හරිය ...දවසක් බෝට්ටුවෙන් ගෙනියන්නට අමාරු දවසක (එදා වැඩිවැඩියෙන් මාළු ඇම කෑවෝය )මාළු ටිකක් ආපහු මූදට දැම්ම බව සිරිනිමල් මතක් කර ගත්තේය.ඒ කියන්නේ සතුන් නිදහස් කිරීමේ මහා පින්කමකි.
දැන් හිත හදාගෙන මැරෙන්නට හැකිය.
.............................................................
හදිසියේම රත්තරන්පාට මාළුවා නිල්පාට ඇසක් ගසා කතා කරන්නට පටන් ගත්තේය.
"ඔයා මාව කන්නද යන්නෙ?"
සිරිනිමල් බයවුන පාරට කටත් ඇරෙන්නට ඇත.
"ඔයා කතාකරන්න දන්නෙ නැද්ද?"
මාලුවා කතා කරන්නේ හරි ලද බොලද තාලෙටය.
"ඇයි?" සිරිනිමල් කට ඇරියේය...
"නෑ ඉතින් ඔයා මාව කන්න හිතනවා නම් කරන්නදෙයක් නෑ.ඒත් එහෙම හිතන්නේ නැත්නම් මම ඔයාට කතාවක් කියන්නම්.හැබැයි පොරොන්දු වෙන්න ඕනෙ මාව කන්නෙත් විකුණන්නෙත් නෑ කියලා."
"පොරොන්දු වෙනවා"හිතේ සැකේ තියාගෙනම සිරිනිමල් කියුවේය.
"මම රාජකුමාරිකාවක්.ඇත්තම කියනවා නම් සාපෙකට අහුවුන කිදුරු කුමාරිකාවක්"
"බොරු නොකිය යනවා අයිසෙ තමුසෙ තනිකරම මාළුවෙක්නෙ"
"ඇයි අනේ ඔයා මට ඔහොම කතා කරන්නෙ"...මාළු කෑල්ල අඩන්නට පටන් ගත්තාය...මේ නම් කෙල්ලෙක්ම විය යුතුබව සිරිනිමල්ට සිතුණි.
"ඉතින් කියන්නකෝ කතාව..."සිරිනිමලුත් එහාගෙදර සෝමෙ අක්කාත් එක්ක හුරුතලේට කියන වචන මිමිණුවේය.
"මම කැමතියි ඔයාගෙ බිරිද වෙන්න.මාව කවුරුහරි මාළු කාරයෙක් බිරිද වුනාම සාපෙන් මිදෙනවා.අපේ තාත්තා දැනගෙන හිටියා මාළුකාරයෙක් කවදාවත් මාළුවෙක්ව බදින්නෙ නැති විත්තිය.ඒකයි මෙහෙම සාපයක්"
.........................................................
සිරිනිමල් කිදුරු කුමාරිගේ අතින් අල්ලන් බෝට්ටුවෙන් බැස්සේය.සෝමෙ අක්කාත් මැගි අක්කාත් මූණට මුණ ගැසිනි.කෝල බැලුම් තමන් දෙසට එල්ල වීමෙන් සිරිනිමල්ට හිතුනේ කිදුරු කුමාරිව කාටවත් පේන්නේ නැති බවය.
"ඔයා හිතුවා හරි .මාව පේන්නේ ඔයාට විතරයි"...කිදුරු කුමාරි කණට කෙදිරුවාය.
කුමාරි මිහිබට දෙවගනක් මෙන් ලස්සනය.ඒරියා එකේ හැම ගෑනිටම වැඩියෙන් උයන්නටත් පුළුවන්ය.ඇදුම් පැලදුමුත් තමන්ම මසාගනී.සිරිනිමල්ටත් රජ සැපය.
.......................................................
කිදුරු කුමාරි හෙමින් කොනිත්තනවා දැනින...
"ඇයි රත්තරන්..."සිරිනිමල් කිදුරු කුමාරිගෙන් ඇසුවේය...
"ඔය තමුන්ගෙ නින්දයන ඉන්ජෙක්ෂන් එක.."
නර්ස් නෝනා බතල කොටයක් මෙනි.ඔරවා බැලුවාය.
"මිසී මට නින්ද යනකොට හීන පේන්නෙ නැති ඉන්ජෙක්ෂන් එකක් දෙන්න බැරිද..."
බැගෑපත්ව සිරිනිමල්ගේ හඩ අවදි විය..
....................................................................
ෂෝයි කතාව..ඉතාම රසවත්..ආසාවෙන් කියෙව්වා..අනේ..හීනයක් නොවෙන්න තිබුනා හැබැයි! :(
ReplyDeleteබොහොම ස්තුතියි හිරු....හැමදාමත් මගේ කතා කියවනවට....:)
Deleteහරිම ලස්සනයි..කවදාහරි හීනෙන් නැගිටින්න වෙනවා නේ..
ReplyDeleteහරිම ලස්සන කතාවක්...
ReplyDelete