මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, February 29, 2012

හිනස්සන්නට කෙනෙක්...(වැටුප සාකච්චා කරගත හැක )

මට සිනා සෙන්නට ඕනෑය...
අතීතෙට ඇහෙන්නට
මට සිනා සෙන්නට ඕනෑය...

කදුලු එලවා දමන්නට
මට සිනා සෙන්නට ඕනෑය...

මතක විසිකර දමන්නට...
දුක කටුගා දමන්නට
ඇඹුල පැණි රස කරන්නට
මට සිනාසෙන්නට ඕනෑය...

Tuesday, February 28, 2012

මහන...(කෙටි කතා)


මම මහන කෙනෙක්.මහන කෙනෙක් කියුවට කලාතුරකින් කහපාට අදින,සිවුරු වගේ ඇග වැහෙන ඇදුම් නම් අදින්නෙම නැති කෙනෙක්.මහන්නෙත් ඇග වැහෙන ඇදුම් නෙමෙයි.පිටරට වල ලස්සන නෝනලට ඇග පේන ඇදුම්.

මට ඉන්නවා එයාල දෙන්නෙක්.එයා 1 සහ එයා 2.එයා 1 කියන්නෙ මුලින් හම්බුනු නිසා මිසක් එයා 2ට වඩා එයා 1 හොද නිසා නෙමෙයි.එයා 1 මට ගැලපෙනවා කියලා මගේ එකම නෑදෑයා වුන අම්ම කියනවා.එයා 1 මාව බදින්නත් කැමතියි.මම එයා 1 බදින්නත් කැමතියි.මට නම් ගැලපීම නොගැලපීම එච්චර  තේරෙන්නෙ නැහැ.

විධායක ශ්‍රේණිය, තේරෙන්න කියනවා නම් එක්සෙකටිව් කෙනෙක් හැටියට තමයි එයා 1 වැඩ කරන්නෙ.හැබැයි මම මහන තැන නොවෙන වෙන මහන තැනක.මහන තැන වෙනස් වුනත් මහන්නෙ රෙදිනෙ.එක්සෙකටිව් කියුවම වැඩිය තේරෙන්නෙත් නැති නිසා මගේ එකම නෑදෑයට එයා 1 ඉහටත් උඩින්.

මම වැඩිය ඉගන ගෙන නෑ.ඒ වුනාට එයා 1 හුගක් ඉගන ගෙන.ඉගන ගත්තෙ නැති උනාට හුගක් ඉගන ගන්නෙ ගිරව් කියල මම දැනගෙන හිටියා.කවුරුහරි කියපු දෙයක්,ලියපු දෙයක් මතක තියාගෙන ගිහින් ආයෙම ලියන එක හරි කියන එක හරිනෙ ඔය ඉතින් ඉගන ගන්නවා කියන්නෙ.ආපහු දවස් 2කින් ඇහුවාම මතක නෑ.ඒ වුනාට එතකොට විබාගෙ පාස්.

විබාග පාස් නැති වුනාට මම තැනේ හැටියට කරන්න ඕන දේ දැනගෙන හිටියා.මුලින්ම ආදරෙයි කියන හැටි. ආදරයේ පලමු හාදුව දෙන හැටි.එහෙම දෙන්න පුලුවන් තැන් වගේ ඒවා මම පලපුරුද්ද නොවෙන ඉවකින් වගේ එකකින් දැනගෙන හිටියා.එයා 1ට මම හිතන්නෙ ඒවගේ දේවල් කොලේක ලියලා දෙන්න ඕන ඇති පාඩම් කරගෙන නියමිත තැනදි විබාගයක් පවත්වලා දක්ෂතාවය මනින්න.මම ඒගැන හරියටම කියන්න දන්නෙ නෑ.මොකද එයා 1 කිසිම දවසක ඒ වගේ දේවල් ගැන වචනයක්වත් කතා කරල නැති නිසා.

එයා 2 මම වැඩ කරන ෆ්ලෝර් එකේම වැඩ කරන තත්ව පරීක්ෂක මහත්තයෙක්.මම වැඩ කරන තැනට නිතර එන්න, "ඔයා අද හරි ලස්සනයි කියන්න",මට ඇහැක් ගහන්න වගේ දේවල් එයා2 ට කියල දෙන්න ඕන වුනේ නැහැ.මගේ වැඩ වුනත් නිකන්ම අනුමත  වුනා.බෝඩිමේ හිටි නිසා කතා කරන්න අයත් මට අඩුයි.එයා 2 මගේ නම්බරේ හොයාගෙන දිගටම කතා කරන්න පටන් ගත්තා.දවසක් එයා දෙක මෙහෙම කියුවා. "මම ඔයාට මේක කියන්න හිටියෙ මෙහෙම නෙමෙයි.ලස්සන මලක් එහෙම ඔය අතට දීලා"...

එයා දෙක මට ආදරෙයි කියුවා.මමත් එයා 2ට ආදරෙයි කියුවා.ඒ අතරෙ එයා 1 කලාතුරකින්(දවස් දෙකකට විතර සැරයක්)කතා කලාම මම එයාටත් ආදරෙයි කියුවා.මොකෝ ඕක දෙන්නෙකුට කියුවයි කියල මගේ සල්ලි ඉවර වෙන්නෙ නැහැනෙ
.
එයා දෙක මට මුලින්ම දුන්නෙ බුදු පිලිමයක්.මමත් ඒක අගේ කරල ගත්තට රෑට ඒ පිලිමෙන් විහිදෙන ලුමිනස් කිරන බෝඩිමේ කලුවර අතර මට ගෙනාවෙ බයක්.බුදු පිලිමෙ දුන්න දවසෙම මගේ දකුණු අතේ සුලැගිල්ල සෙමින් හැපුවෙත් එයා 2ම තමයි.වැඩ ඇරිලා එන ගමන්(ඕ.ටී නැති දවසක )ටිකක් විතර පාලු පාරක ඒ අතටත් මේ අතටත් ඇවිදින අතරෙ තමයි ඔය දේවල් සිද්ධ වුනේ.පලමු වගේම අන්තිම හමුවීම...මම බයවුනා කාටවත් පෙනෙයි කියලා.එයා 2ට ඕන වුනේ පෙන්නන්න.කාටත් ලෝකෙටම.

එයා 1 මට හැමදාම දුන්නෙ ලස්සන ඇදුම්.කවදාවත් මාව සෙමින් වත් සිපගත්තෙ නැහැ.එයා 1 එක්ක ඉන්න එක ලේසියි කියලා මට තේරෙමින් තිබුනා.එයා 2මට බනින්න පටන් ගත්තා.එයා 1 අත් ඇරල එන්න කියුවා.මට තරහ ගියා.එයා 2 මටත් මම එයා 2ටත් බනින්න පටන් ගත්තා.ඒ අතර මම එයා 1ට දවස් දෙකකට සැරයක් ආදරෙයි කියලත් කියුවා.එයා 2 මට තර්ජනය කරන්න පටන් ගත්තා.මහන තැන කොල්ලන්ටත් තර්ජනය කරන්න පටන් ගත්තා.මාත් එක්ක කතා කරන්න එපා කියලා.එයා 1 මුකුත් දැන ගත්තෙ නෑ.දැන ගත්තත් වැඩිය වෙනසක් වෙන්නෙ නෑ.

ඒ අතරෙ ලොකු සර්ට ප්‍රශ්නයක් වුනා.මහන සීග්‍රතාවය අඩුවීම.විශේෂයෙන්ම කොල්ලන්ගෙ.සර් ඒකට හේතුවත් හොයාගත්තා.දවසක් මාව සීතල කාමරේට ගෙන්න ගෙන,ප්‍රශ්න ඇහුවා."තමුසෙට පිස්සුද අච්චර හොද කොල්ලෙක් තියාගෙන වෙන ඒවට පැටලෙන්න"

මට හිත යටින් බඩ අල්ලගෙන හිනා ගියා.

"අප්පේ සත්ව කරුනාව".

හිනා වෙලා ඇහුව ප්‍රශ්නෙට මමත් පොඩ්ඩක් හිනාවෙලා "සමාවෙන්න සර්"කියුවා.සර්ටත් හිනා .මටත් හිනා.

හිකි හිකි හිකි....

සර් එයා 2ටත් තරයේ අවවාද කරලා තිබුනා."මම ඔයාගෙ කරදර අඩු කරල දෙන්නම්" සර් කියුවා.

ඔහොම කියුවට,සර්ටත් එයාලා 5ක් විතර හිටි බව මම දැනගෙන හිටියා(ගෙදර නෝනත් එක්ක ).මගේ සහජ බුද්ධිය අවදි වුනා.මම ඇස් පුන්චි කරලා හීනියට ඇස්වලින් විතරක් හිනාවුනා.

මගේ එයා 3ට එයාලා 6ක් ලැබෙන ලකුණු පෙනුනා...

කතා සාරාoශය:-පිරිමි වැඩි ඉල්ලුමක් ඇති භාණ්ඩ අනිත් කරුණු නොසලකා හැර මිලට ගනියි.