මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, February 24, 2013

නික් කියන්නේ කතන්දර පොතක්(දිණමින-බද්දර මල්ල )



ජීවිතේ කියන්නේ කතන්දරයක්.අපිට හැමදාම මුණගැහෙන ,හිනාවෙන,කතාකරන හැම මනුස්සයෙක්ම කතන්දර පොතක්. හැමපොතක්ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා. එක පොතකවත් "නිමි" කියලා තවම කියවිලා නැහැ.හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන සුසාන භූමියක් ලගින් යන වෙලාවක වැරදිලාවත් දිහා බැලුවොත් කියවලා අවසාන කතන්දර පොත් සමාදානයේ සැතපෙනවා දකින්නට පුලුවන්.
සමහර මිනිස්සු කියවන්න හරිම අකමැතියි.තවත් සමහර අය කියවන්න හරිම ලැදියි.ඒත් මේ ලැදියාව ගැන නොසලකා අපි හැමෝටම ජීවිතේ පොත කියවන්න දෛවය විසින් නියම කරලා තියෙනවා.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි පොත කියවමින් සිටිනවා.අවසානයක් නොපෙනෙන, දිගක් පලලක් අදුනා ගන්නට බැරි මේ කතන්දර පොතේ අවසාන පිටුව කලින් කියවන්නට නොහැකි නිසා මේ පොතේ තියෙන මායාවන් හදුනා ගන්නට අවසානය දක්වාම එක හුස්මට කියවිය යුතුවෙනවා.
ලියන්න කැමති මිනිස්සු තමන්ගේ ජීවිත කතාපොතේ හුගාක්ම වැදගත් දේවල් අනිත් මිනිස්සුන්ට අත්වැලක් වනු පිනිස ලියාතබනවා.චරිතාපදාන නම් වන සැබෑ මිනිසුන්ගේ කතන්දරවලට ප්රබන්ධ වලට වඩා වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ ඕනෑම සිදුවීමක් දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් මිහිතලය මත සිදුවිය හැකි නිසා.ජීවිතේ ජයගත්ත මිනිස්සු මුහුණදුන් අත්දැකීම් හැම වෙලාවකම අනිත් මිනිස්සුන්ට අත්වැලක් සපයන නිසා.
නික්ව මට හමුවෙන්නේ නුගේගොඩ සරසවි පොත් මැදුරේ පලවෙනි මහලේ "අලුතින් පැමිණි පොත්"අතර ඉදලා."Life without Limits"(සීමාවන්ගෙන් තොර ජීවිතය )කියන මාතෘකාවම මා ඇදබැද තබාගන්නට සමත්වෙනවා.නික්ගේ ජීවිතය කියවන්නට මා පෙලඹවූවේ අසීමාන්තික ජීවිතයකට මගේ සිතේ තියෙන්නාවූ කැමැත්ත සහ පළමු පිටේ ඡායාරූප ගතවී තිබූ අත් පා රහිත වූ මිනිසාගේ ප්රබාස්වර සිනහවයි.
1982 දෙසැම්බර් මාසේ 04 වෙනිදා ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නගරයේ ආරෝග්යශාලාවක මේ ස්වබාවයෙන්ම අමුතුවූ අත්පා රහිත දරුවා උපත ලබනවා.පවුල් සෞඛ් සේවිකාවක් වන නික්ගේ අම්මා උපතින් පසුව දරුවාව තමන් අතට නොදීම ගැන කලබල වෙනවා.ස්වල්ප මොහොතකින් පසුව වෛද්යවරු තිත්ත රසැති සත් ඇයට පවසනවා.තමන්ගේ කුසින් ඉපදුනු පළවෙනි දරුවා "අත් පා රහිතව"මෙලොව එලිය දුටු බව ඇයට ඇසෙනවා.
ඇය බොහොම කලබල වෙනවා.අලුත් ඉපදුනු බිලිදා අතට ගන්නට ඔහුට ඇවැසි උණුසුම ලබාදෙන්නට ඇය අකමැති වෙනවා.නික් නම්වූ අවාසනාවන්ත යැයි සැලකූ දරුවාගේ මව නොනවත්වාම හඩන්නට පටන් ගන්නවා.නික්ගේ පියාට ඇයව සැනසීමට තරම් වචන සොයා ගැනීමට අපහසු වෙනවා. දරුවන් ලද ඇගේ මිතුරියන්ගේ යහන්  මල් පොකුරු වලින් පිරී ඉතිරී තිබුනත් ඇය වෙතට එකදු මල් පොකුරක් හෝ ලැබෙන්නේ නැහැ. රෝහලට යාබද වෙලද සැලින් මල් ගෙනැවිත් ඇයව සනසන්නට නික්ගේ පියාට සිද්ධවෙනවා.

උපතින්ම ආබාධිත නික් යන්තම් තේරෙන වයසට පැමිණි වහාම කෙනෙහිලිකම් වලට බදුන් වෙනවා.අත් පා නොමැති වීම පිලිබදව පාසල් සගයින් ඔහුට ඔච්චම් කරනවා.වයස දහයේදී මේ කෙනෙහිලිකම් දරාගන්නට නොහැකිවන ඔහු නිවසේ නාන තටාකයේ ගිලී සියදිවි නසාගන්නට උත්සාහ කලත් අවසාන මොහොතේ අදහස වෙනස් කරගන්නවා. තම දෙමව්පියන්ට ඇති ආදරය නිසා.
නමුත් ඔහුගේ ජීවිතය පිළිබදව ඇති කලකිරීම ඉවත්වන්නේ නැහැ.තමන්ගේ අත් පය වර්ධනය කරවන්නැයි ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.කාලය ගතවෙනවා.දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දෙන බවක් පෙන්වන්නේ නැහැ.
සියල්ල වෙනස්වන්නට හේතුවන්නේ එක්තරා පුවත්පත් ලිපියක්.එහි සදහන් වෙන්නේ ඔහුටත් වඩා දරුණු ලෙස ආබාධිත පුද්ගලයෙක් ගැන.නික්ගේ අම්මා විසින් ගෙනැවිත් දෙන මේ ලිපිය ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. ඔහු තේරුම් ගන්නවා ලෝකයේ තමන් මෙන්වම හෝ තමන්ටත් වඩා ආබාධිත මිනිසුන් ජීවත්වෙන බව.ඔවුන් තම තමන්ගේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන බව.අභියෝග ජයගන්නට උත්සාහ කරන බව.
ඔහු යාන්තමට පිහිටා තිබෙන වම් පතුලේ ඇගිලි දෙකෙන් ලියන්නට පුරුදු වෙනවා.කකුලේ පතුල සහ මහපට ඇගිල්ල යොදාගෙන පරිගනකයේ අකුරු යතුරු ලියනය කරන්නට හුරු වෙනවා. තමන්ගේ හිස පීරා ගන්නට, රැවුල බාගන්නට යාන්තමින් පිහිටා තියෙන වම් පතුල සහ ඇගිලි දෙක උපකාරී වෙනවා.
ඔහු වයස අවුරුදු විසි එකක් වනවිට ද්විත්ව උපාධියක හිමිකරුවෙක් වෙනවා.මිනිසුන් ධෛර්යමත් කරන දේශකයෙක් ලෙස නමක් දිනාගන්නේ ඉන් අනතුරුවයි. දක්ෂ  කථිකත්වය සහ ආබාධිත වූවෙකු ලෙස ඔහු ජීවිතයට මුහුණ දුන් ධෛර්යමත්බාවය ඔහු වෙත වාසනාව රැගෙන එනවා. නික් ඉතාමත් ඉක්මනින් ධනවතෙකු බවට පත්වෙනවා.
2012 වසරේදි ඔහු විවාහ දිවියට ඇතුලත්වන්නේ අත් පා සහිත මිනිසෙකුට වුවත් හිත දිනා ගැනීමට අපහසු තරම් රුවැති කැනා මියාහරා සමගයි.ඔවුන්ගේ යුගල ඡායාරූප අත්පා සහිත මිනිසුන්ව වත් පුදුම කරවනවා. 2012 අගෝස්තු මාසය වනවිට අපට දැන ගැනීමට ලැබෙන්නේ නික් තාත්තා කෙනෙක් වීමට යෑම පිළිබද සුබ ආරංචියයි.
ඒ තමන්ට ලැබී ඇති ජීවිතය සර්ව සුබවාදීව භාරගත් මිනිසෙකු පිළිබදව වූ කතාන්දරයයි.
නික් සමග සමකරන විට අප බොහෝ දෙනෙකුට ලැබී ඇත්තේ සර්ව සම්පූර්ණ ජීවිතයි.අත් පා සතරම හොදින් පිහිටා ඇති අපි බොහෝ දෙනෙක් දවස ගත කරන්නේ මුහුණ අදුරු කරගෙන කල්පනා සයුරේ ගිලෙමිනුයි.
බොහොම දෙනා සමාජය මත වැඩි වැඩියෙන් රදා පවතින නිසායි.අවට සමාජයේ කෙනෙහිලි කම් ගැන, නින්දා පීඩා ගැන වැඩි වැඩියෙන් සිතීම නිසයි.
අප මේ ලොවට එවා ඇත්තේ යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම සදහායි.හැම ජීවිතයකම සැගවුන අරමුණක් තිබෙනවා.අවට ලෝකය ගැන වදවීමේදී අපේ අරමුණ අපට මග හැරෙනවා.අපේ ජීවිත අනිත් මිනිසුන් ගැන වදවෙන, ඔහේ ගතවෙන ජීවිත බවට පත් වෙනවා.
ඔබට අද මේ මොහොත වනවිට කුමන ප්රශ්නයක් තිබුනත් සියලුම ප්රශ්න වලට විසදුම් තියෙනවා. විසදුම සොයා යන්නට තරම් අප ධෛර්යමත් විය යුතුයි.ජීවිතයේ ජයගත නොහැක්කක් නැහැ.අප තේරුම ගත යුතු සරල සත්‍ය එයයි.
සෑම අගුලකටම ගැලපෙන යතුරක් තිබෙන බව අප අමතක නොකල යුතුයි.