මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, December 7, 2013

දීපිකා පදුකෝන්

දීපිකා පදුකෝන්
නුඹ
මායාකාරියකි..
අනවරතයෙන්ම....
ඔය ඇස් දෙකට,නලලතට
බෝමැ අගේ ඇති නිතඹට
මායාවන් කල හැකිය..

පියවි ලොව
ප්‍රේමයක් සිද දමා
ඒ කතාවේ පෙම්වතා
නුඹ වෙතට
ප්‍රේමයෙන් වෙලා පටලා ගත හැකිය...

ඇස් දෙකෙන් හිනාවෙන හිනාවට
ගැහැනියකගේ හද වුවද
මොහොතකට නැවැත්විය හැකිය...

Saturday, November 23, 2013

කවි

ඔබ ගොසින්
බොහෝ කල් ගතව ඇත
ඒ වුවත්
තවමත් ඉදහිට දිනක
වැටෙන වැහි බින්දුවක
සැගව ඇත
ආදරේ කවි..

Friday, November 15, 2013

ජේසු පිහිටයි!


එවක මට වයස නමයක් හෝ දහයක් වන්නට ඇත.නොඉවසිලිවන්තව කියවීමට පුරුදුව සිටි මම අතට අසුවූ ඕනෑම දෙයක් කියවූවෙමි. අතර "මහල්ලා සහ මුහුද" පොත මෙන්ම "නපුරු යෝධයා"සිටි චිත්රකතා පත්තරද තිබුනා මතකය. චිත්රකතාවේ වීරයා වන කඩවසම් කුමාරයා විසින්"නපුරු යෝධයා" ගේ  මාලිගාවෙහි සිරව සිටි රුවැති කුමරිය බේරාගනිද්දී සිතට දැනුනු සතුට මෙන්ම වූ සතුටක් නොවුනද "මහල්ලා සහ මුහුද"නවකතාව අවසානයේදීද නිරාමිස ප්රීතියට ආසන්න ප්රීතියක් ලැබුවා මතකය.

"ටොම් මාමාගේ කුටිය"මේ පොත් අතර මගේ ලපටි සිත කෝවක දමා උණු කරන්නට සමත්වූ පොතකි. ක්රිස්තියානි ආගමික කාපිරි වහලෙකු වූ "ටොම්"නැමති සේවකයා මුදලට වහල් වෙලදසල් වල විකිනෙන අයුරුත් එහෙත් ඔහු තම ස්වාමිවරුන්ට ඉමහත් බැති සිතින් ප්රේම කරන අයුරුත් මේ කතන්දරයෙහි සදහන්ය.ක්රිස්තියානි ආගමේ ඉගැන්වෙන "සතුරාට ප්රේම කිරීමේ න්යාය" මා විසින් මුලින්ම අවබෝධ කලේ ටොම් මාමා තමන්ට පණ මෙන් ආදරය කල  කුඩා දැරියක වූ ඊවා නැමති සිය ස්වාමිදුවට ප්රේම කල ආකාරයෙන්ම තමන්ට කස පහර දුන් 'සයිමන්'නැමති කෲර හිතැති පාලකයාටද ප්රේම කරනු දැකීමෙනි.

මගේ බෞද්ධාගමික ලපටි හිත ක්රිස්තියානි ආගමේ මෘදු ඉගැන්වීම් වලින් පිරිමැදීමේ අවසාන ප්රථිඵලය වූයේ මා ලපටි සිතකින් දැඩි තීරණයක් ගැනීමය.එදින අම්මා රැකියාව නිමවී නිවසට පැමිණෙනා තෙක් සිටි මම;

"අම්මේ මට ක්රිස්තියානි ආගමට යන්න ඕනෑ"යයි කීවෙමි.

" මොකද ?"මාගේ කියමන් බොහොමයක් මා ක්රියාවට නොනගන බවද, අනික තනිවම ආගම වෙනස් කිරීමට නම් තවත් අවුරුදු අටක් එනම් වයස දහ අටක් පිරෙන තෙක් සිටියයුතු බව හොදින්ම දත් අම්මා වෙනසක් නොපෙන්වා ඇසුවාය.

"අම්මා ගෙනත්දීපුටොම් මාමාගේ කුටිය'පොත කියෙව්වාට පස්සේ මට එහෙම හිතුනා"මම කීවෙමි. අම්මා වෙනත් කතාවකට මාගේ සිත යොමුකල අතර ඉන් අනතුරුව මා වැඩුනු ගැහැණු ළමයෙකු වනතෙක්ම "ටොම් මාමාගේ කුටිය" පොත මට දකින්නට ලැබුනේ නැත."අම්මේ පොත නැති වෙලානේ.."යයි මා පැවසූ සෑම වාරයකම,"ඔය කොහේ හරි ඇති පුතේ..."යයි කියන්නට අම්මා පුරුදු වී සිටියාය.

අද මම බෞද්ධාගමික ඉගැන්වීම් වල නියම හරය සහ යථාර්ථවාදී ස්වභාවය දකිමි. බුදුරජානන් වහන්සේ යනු ශ්රේෂ්ඨ දාර්ශනිකයෙකු බවද වසර දෙදහස් පන්සියයකට පෙරදී සිදු කල ඔහුගේ දේශනාවන් සමහරක කරුණු අදටත් විද්යාත්මකව තහවුරු නොවුනද සැබෑ ලෙසම ලොව පවතිනා බව විශ්වාස කරමි.

එසේ වුවද ක්රිස්තියානි ආගමට මා තුල ඇති ලැදියාව තවමත් හිත ඇතුලතින් හිද සමහර දිනක හීනියට හිත කොනිති ගසයි. මම එය නොදැනුනා සේ හිදිමි.නමුත් දෙසැම්බර් මාසය ආසන්න වනවිට නත්තලට පල්ලියට යන්නට දින ගනිමි. සමහර අවුරුද්දක නත්තල් ගසක් සරසමි.නත්තල අහවරව යන තෙක් නත්තල් ගසේ හැඩ බලමි.

මේ සියලු ආශාවනට සහ ලැදියාවනට එපිටෙන් ක්රිස්තියානි ආගම පිලිබදව සිතුවිලි අවදි කරවන සිදුවීම් පෙලක් පසුගිය කාලය පුරාවට සිදුවීම හේතුවෙන් ගැන ලියන්නට සිතුවෙමි.

අප නිවසට මෑතක සිට උදව්වට පැමිණෙන වයසක කාන්තාවකි.මෙකල කිසි අයෙකු ඉන්තේරුවෙන්ම විශ්වාස නොකරන නිසාදෝ මසිතෙහි ඇය පිළිබදව වූයේද සැකයකි.ඇය ආගමින් කතෝලිකය.දිනෙන් දින ගත්වෙද්දී ඇය විශ්වාස කල හැකි බව මා ටිකෙන් ටික අවබෝධ කලෙමි.

දිනක මට කතාවක් කීවාය."මැඩම් දන්නවද අපේ ආගමේ කියනවා එක ගමකට වැහි කුනාටු කාලයක් ලැබුවලු.ඉතින් මේ වැස්ස නවතින්නේම නැතිලු.පස්සේ දෙවියන් වහන්සේට මිනිස්සු යාතිකා කරන්නට පටන් ගත්තලු..."

"ඉතින්?"මම හූමිටි තබමි.

"මැඩම් දන්නවද හේතුව?මේ ගමේ හොරකම් කරන මිනිස්සු බොහොමයි ලු. හොරකම් වලට දඩුවමක් විදිහටලු කුනාටු ඇති වෙලා තියෙන්නේ.ඉතින් මිනිස්සු හොරකම් කරන එක නැවැත්තුවාම කුනාටුවත් නැවතුනාලු."

ඇය අහිංසක ලෙස සිනාසෙයි.මට ඇගේ අවංක බව දෙනෙත තුලින් දිසෙයි.මමද ඇය හා සිනාසෙමි.

අතරතුර මට තවත් ක්රිස්තියානි මිනිසෙකු මුණ ගැසෙයි.ඔහු ප්රසිද්ධ ඇගලුම් ආයතනයක සාමාන්යාධිකාරී වරයෙකි.සිය සේවකයෙකුගේ සොරකමක් පිලිබදව දැනගත් ඔහු සේවකයාව තමන් ලගට ගෙන්වා අවවාද කරයි. කිසිවිටකත් සිය සේවකයන්ට දැඩි දඩුවම් නොදෙයි.

මගේ මිතුරෙකු නිසාවෙන් ඔහුගේ නිද්රාශීලී කලමණාකාරිත්වය ගැන විමසන්නට මට හැකිවිනි.

"දසුනි,අපි කවදාහරි දවසක දෙවියන් වහන්සේ ලගට ගියාම අපිට වැරදි කල අයට අපි සමාව දීලා තියෙනවා නම් විතරයි දෙවියන් වහන්සේගෙන් අපි කල වැරදි වලට සමාව ලැබෙන්නේ". ඔහු ඉහල අධ්යාපනයක් ඇති මිනිසෙකි.ජීවිතය අවබෝධ කල හැකි අයෙකි.නමුත් ක්රිස්තියානි ආගම විසින් ඔහුගේ සිතුවිලි රටාව යහපත්ව වෙනස් කොට ඇති අයුරුය.

අත් උදව්වට නිවසට පැමිණෙන කත වැඩ නිමවා නික්ම යයි.

"සිය පවුලටම සමාදානය වේවා! ජේසු පිහිටයි"ඇය මුහුණෙහි පිරී ඉතිරී ගිය සිනහවෙන් යුක්තව කියයි.

"ජේසු පිහිටයි!"යනුවෙන් මමද පිළිවදන් දෙමි.

 

 http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/11/12&id=2013/11/12/b1311125