මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 20, 2015

මනෝ සලාද




කතාවක හෙඩිම අමුතු වුනාම කතාවත් අමුතු ඇති කියලා අපිට හිතෙනවා.කවුරු මොනවා කියුවත් පොතේ කවරෙකින් තාමත් පොතේ තියෙන කතාව ගැන මිනිස්සු හිතාගන්නවා. මේ කතාවක් නෙමෙයි. සම්පූර්ණ නොවිච්ච ජීවිතේ තැන්තැන් වලින් මුණ ගැහුන අසම්පූර්ණ සටහනක්.


ඊයේ හැන්දෑවෙ ගෙදර යන වෙලාවෙ මොරසූරන වැස්ස.අහස හෝදගෙන පොළොවට වැටෙනවා.හිගන්නෙක් කියලා අපි හිතන වැරැහැලි ඇදගත්ත මනුස්සයෙක් පුංචි ප්ලාස්ටික් පැණිබීම බෝතලයක් අහස දිහාට අල්ලගෙන බෝතලේට වැහි වතුර පුරවනවා. "බොන්න වෙන්න ඇති" මට හිතෙනවා.මහ වැස්සට මනුස්සයා තෙමෙනවා.


ඉස්පිරිතාලෙ ඇදක් උඩ දිගාවෙලා ඉන්න මනුස්සයෙක් ගෙදර තමන්ගේ නෝනා මහත්තයට කෝල් එකක් ගන්නවා."ටිකට් කපන්න බෑ කියුවා"දුක හඩකින් එයා නෝනා මහත්තයට කියනවා.නෝනා මහත්තයා එහා පැත්තේ ඉදන් මොනවා හරි කියන්න ඇති."නෝනේ, කොහොම හරි හෙට එනකොට රුපියක් එක්දහස් පන්සීයක් හොයාන එන්න.ඉන්ජෙක්ෂන් එකට" මනුස්සයා කියනවා.නෝනා මහත්තයා එක්දාස් පන්සීය අරගෙන ඒවි කියලා මට හිතෙනවා."කොහොම හරි"කියන වචනේ හරි බරක් වගේම අවිනිශ්චිතකමක් තියෙනවා.


ඩයනා කුමාරිගේ මංගල්ලෙ ගැන එන්ගලන්තෙ කතා කලා වගේ ලංකාවෙ මිනිස්සු අනර්කලී කුමාරිගේ මංගල්ලෙ ගැන කතා වෙනවා.බනිනවා,ඇනුම්පද කියනවා,සුබ පතනවා.මනමාලයා සාමාන් නෑ කියනවා.තිරුවානාගල් වගේම සූරියකාන්ත මලුත් පාවිච්චි කරනවා.අඩුම තරමේ අනර්කලීගේ කොණ්ඩේ බැදපුවිදිහ හරි කැතයි කියනවා. ලංකාවේ පත්තර පිටු පෙරලන්නේ නැතිතාක් කල් අනර්කලී ඇමරිකාවේ කසාද මහත්තයත් එක්ක සතුටින් ජීවත් වෙනවා.


ටුක් ටුක් වල ඩ්රයිවර් මහත්තුරුන්ටත් දාර්ශනික අදහස් තියෙනවා. උදවිය තාම රෝද තුනක් පදින්නේ මොකද කියලා සමහර වෙලාවට හිතෙනවා.පාර්ලිමේන්තුවේ මහත්තුරු මෙච්චර මෝඩ තීරණ ගන්නේ පාර්ලිමේන්තුව වතුර උඩ තියෙන හින්දා වෙන්න ඇති කියලා ටුක් ටුක් මහත්තයෙක් දවසක් කියනවා. මොකද කියලා ඇහුවාම,මී හරක් මඩ වතුරේ බැහැලා ගිනියම නිවාගන්න වගේ මහත්තුරුන්ගේ මොලත් වතුරෙ ඉදලා පෙගිලා වෙන්ට ඇති කියලා එයා කියනවා. කතන්දර දෙකේ ගැලපීමක් නැති වුනාට ඒ කියපු කතාවෙත් මොකක් හරි අමුතු ගතියක් තියෙනවා.


තමන් එක්ක බද්ධ වෛරයි කියලා හොදටම දන්න මනුස්සයෙක් එක්ක කටපුරෝලා හිනාවුනාම හිතට මාර ෆිට් එකක් දැනෙනවා.ආපස්සට හිනාවක් තෑගි නොලැබුනත් තරහ කාරයා ඉන්න්තේරුවෙන්ම මානසිකව වැටෙනවා. මනුස්සයා තමන් එක්ක හිනාවුනේ මොකද කියලා තරහකාරයා කල්පනා කරනවා.උදේ ඉදන් රෑ වෙනකල් හිතිවිල්ල තරහකාරයාගේ හිතේ හොල්මන් කරනවා. සමහර වෙලාවට ගැන කල්පනා කරලා මනුස්සයා පිස්සෙක් වෙන්නත් ඉඩ තියෙනවා. පොඩි සිදුවීම් අපිව පිස්සෝ බවට පරිවර්ථනය කිරීමේ ප්රවේගය ජීවිතේ කණපිට පෙරලන සිදුවීම් වලට වැඩිය වැඩි විත්තිය මටම සමහර වෙලාවට දැනිලා තියෙනවා.


අවුරුදු හතලිහක මනමාලියෙක් බලන්න ආපු අවුරුදු හතලිස්පහක මනමාල මහත්තයෙක් මනමාලි ඇවිත් ළගින් ඉදගත්ත ගමන්ම එයාට ආපිට යන්න ඕනේ කියලා සභාව මැද්දෙදිම කියනවා."කොමන් සෙන්ස්"කියන්නේ වචනයක් විතරයි.සමහර වෙලාවට ඒ වචනේ කිසිම තේරුමක් නෑ."මම එයාට කැමති නෑ.කබායෙ බොත්තමක් පියවිලා තිබුනෙත් නෑ"කියලා මනමාලි පස්සේ වෙලාවක කියනවා.ඒත් මනමාලි ඒක සභාවමැද්දෙදි කියන්නේ නෑ.


කතා කරන මිනිස්සුත් එක්ක ජීවිත වෙන එක කතා නොකරන මිනිස්සුත් එක්ක ජීවත් වෙනවට වැඩිය ලේසියි.තරහ යන මිනිස්සු තරහ නොයන ශාන්තුවරයින්ට වැඩිය ආදරණීයයි.වැදගත් වෙන්නේ "සිදුවීම"ප්රකාශ කිරීම නෙමෙයි,සිදුවීම තමන්ට දැනෙන විදිහ ප්රකාශ කරන එකයි."මනුසතා"කියන වචනේ අන්තිම අකුරු දෙකේ තේරුම තේරෙන්න පටන්ගන්නේ එතකොටයි.


රතුපාට නැත්නම් එයා නිල්පාට පාවිච්චි කරනවා කියලා පැබ්ලෝ පිකාසෝ චිත්‍ර ශිල්පියා දවසක් කියලා තියෙනවා. කතාව අහපු ගෑණු යාළුවෙක් "මොන විකාර කතාවක්ද?රතු පාට නැත්නම් මම රතුපාට හොයාගන්නවා.නිල්පාටට කවදාවත් රතු පාටින් කරනදේ කරන්න බෑ"කියලා කියනවා.


සමහර සුන්දර ගැහැණුන් සතුවත් ගැඹුරු චින්තන රටාවක් තියෙනවා.එහෙම ගෑණු උදවියට රහට උයන්න බෑ.සමහර වෙලාවට මහන්නත් බෑ. දෙල් කරියකට හරි, බොත්තම් කාසෙකට හරි ආදරය කරන මිනිස්සු එහෙම ගැහැණුන්ව කරකාරෙට ගන්න එකට මගේ හිතේ එච්චර මනාපයක් නැහැ. ඒත් මේ ලෝකේ කසාද සිද්ධ වෙන්නේ මගේ හිතට මනාප හැටියට නෙමෙයි. මිනිස්සුන්ගෙ හිත්වල හැඩේට.


කෙලින් මිනිස්සු ඇද මිනිස්සුන්ට වැඩිය ලස්සනයි,පිළිවලයි.ඒත් ඇදේට ඉරක් ගහන්න අඩිරූලක් උවමනා වෙන්නේ නෑ.


සමහරක් කවි වලට තාල නෑ වගේ සමහරක් කතන්දර ඇතුලේ කතාවක් නෑ.