මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, October 28, 2012

යාළු මාළු

කාලෙකට පසුව හමුවූ
ඉස්සර යාළුකම්
ලෙන්ගතුව හිනාවෙන...

අම්මලා වූ අය
පොඩි පුතාලා ඇති අය
ගෙදර යන්නට මග බලන අය...


අළුත දෑගිලි බැදි අය
වට පිටේ ගැන වගක් නැති අය
උනුන්ගේ ලෝකවල ඉඩ හොයන අය...

හොද යාළුවෝ වෙලා හිටි අය
එහෙම බව දැන් මතක නැති අය
දැක්කා නොදැක්කා වගේ යන්තමට හිනාවෙන...

 

කතා නොකරම හිටි අය
ලගට ඇවිදින් කතා කල අය
සම සමව සිටි හෙයින්
රිදී නොරිදුනු හිත පිරිමදිමි මම...

 

යාළු මාළුන් අතර හිද

සතුටුවී

දුක්වී

නිවස්නට විත්

උන් හැවොම

කවියක සැගවීමි මම....


Saturday, October 27, 2012

ඇහි පිහාටුව

ඉටු නොවුනු පැතුමක්
ඇහි පිහාටුවකට අලවා
පා කර අරිමි මම...

ඔබ ඈත
මට නොපෙනෙනා දුරක හිද
අල්ලාගනු ඇතැයි,
පිරිමැද ,
හාදුවක් දෙනු ඇතැයි...
ඔබේ ඇසි පියන් මත
අලවා ගනු ඇතැයි
සිතමින්...

සමහර විටක
දුටුවාත් නුදුටුවා මෙන්
සිටිනු ඇත...
පාවෙලා යන
දන්නා කෙනෙකුගේ
නොදන්නා ඇහි පිහාටුව....

Thursday, October 11, 2012

සමනල් ජීවිත...



සමනල ජීවිත පිටුපස
දලඹු අතීතයක් ඇත
ගෑවුන විට කසන...

සමනලුන් අල්ලා ඇති කරන අය
ඒ ගැන දන්නෙ නැත..
බොහෝවිට
සමනලුන් කියන් නැත....

අකුරු මිතුරු-බද්දර මල්ල....

ඔන්න මේ සතියේ කතාවත් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...

http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F10%2F12%2Fpg16_1&pt=p&h


Monday, October 8, 2012

හැංගුනු කතාවක්

නිදිගැට කඩන සමන්පිච්චා මල් අතර
මම වැලපුනෙමි
පිනිබින්දුවක් මල් වලට කිතිකවා හිනැහෙන
ඔබට බැදි පෙම නිසා...

ඉර එලිය හොරෙන් විත් සුදු පාට රැගෙන යන

හිත හුගක් රිද්දන්න ඇති මම

සමන්පිච්චා මල් කෝල ලෙස හිනැහෙත

මගෙ වචන හරි සැරයි,කිනිසි තුඩු පරාදයි

 

ඉර එලිය පිච්ච මල් අත පතන

නුඹ මට වචනයක් වත් සැරෙන් නොදොඩන

ඉර සමග මිය යන්ට පිච්ච මල් සතුටින්ය...

මගේ හිත ඒ නිසා තවමත් ඇදුම් කන..

 

මගේ හිත පිස හමනු මැන
සිහිල් සීතල සුලගක්ව
 මල් සුවද හද මත තවරාන...

Saturday, October 6, 2012

සුදුපාට කසාදය

මම කැමති නෑ
සුදු මදිය
කියනවා නම් බදින්නම්ය
මල්ලී එහෙම කියුවේ
අද උදේය....


මල්ලියේ බදින්නේ
කණුවක නොවේ
එලදෙනක් වත් නොවේ
බදින්නේ ගෑනියෙකි...


පෝරුවේ නැග
මාලයක් බැද
කෝට්ටෙක ඇද
පින්තූර ගත්තාට
ඒ බැදීමක් නොවේ
බැදීම එන්නේ බැන්දාට
පසුවය....


ඉන් පස්සෙ
දුක කියන්නේ නුඹටය
කවි ලියන්නේ නුඹටය
ලෙඩ දුකට බේත් ඇන්න දෙන්න වෙන්නේද
නුඹටය...


සමහරක් සුදවල්
හේදෙන්ට
එක වැස්සකුත්
ඇතුවා ඇතිය...


මල්ලියේ
මම මේවා කීවේ නිකමටය
කට අද උදැහැනැක්කේ හිට
හරියට කසන හින්දාය...

 

සුදුපාට නම්
හුණුකොට්ටාද එමටය
කළු ලෑලි මැකුවාට
ඒ සුද වෙනස් වෙන්නේ නැතුවාය...

Thursday, October 4, 2012

නෙල්ලිකතන්දර - බලු ආදරේ

සුබම සුබ උදෑසනක්...මේ සතියේ මගේ තීරුලිපිය පහල තියෙන ලින්ක් එකෙන් බලන්නකෝ.

http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b1210052

මේ දවස වල ඉතින් ටිකක් කාර්යබහුලයි.අලුත් රස්සාවනේ.වෙනදට වැඩිය කලින් ගෙදරින් එන්නත් වෙනවා.මොනවා කරන්නද නේද ඉතින්.ඒ නිසා අලුතින් ලිපි ලියන්න වෙන්නෙත් නැහැ.කොහොම වුනත් මේ කතන්දරේ කියවලා හොද නරක එහෙමත් කියලා යන්නකෝ.