මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, December 17, 2012

..සතුට රැදි බත් ඇට....



“අපෝ...මෙයාගෙ මහත්තයා පව්…”

“මොකෝ බැන්දා කියලා ගෙදර උයපු බත් එකක්වත් කන්න ලැබෙන එකක්යැ...හැමදාම කඩෙන්….”

“අනිත් දේවලුත් පිටින්ම කරගන්න පටන් ගත්තොත් තමයි වැඩේ...”

මේ සියල්ලම විහිලුය.නැත්නම් ඔවුන් කියන්නේ එහෙමය.හිත නරක් කර ගත්තොත් කියන්නේ "අපෝ විහිලුවක්වත් තේරෙන්නේ නෑ"කියලාය. කන්තෝරුවේ අය එහෙමය.විහිලුවෙන් තහලුවෙන් කියන්නට උවමනා දෙය කෙසේ හෝ කියාගනියි. කතන්දර වලට හිත රිදෙන බව ඇත්තය.නමුත් මම හිත නොරිදා ගෙන ඉන්නට උත්සාහ දරමි.

ඔහුට බත්පතක් සාදා දෙන්නට මගේ ඇති කම්මැලිකම සමහර වෙලාවට මටම ලැජ්ජාවකි.මට එලවලු දෙකක් සමග මසක් මාලුවක් සාදා දෙදෙනෙකුට බත් පිසීමට යන්නේ පැයක පමණ වෙලාවකි.හැමදාම උදේ හයට නැගිටින එක පැයකට පලමුවෙන් නැගිට්ටා නම් ඔහුට බත්මුලක් බැද දිය හැක.

කලාතුරකින් දවසක මම එසේ බත්මුල් සකසමි .එවන් දවසක ඔපීසියේදී මට මහත් නිදිමතක් දැනේ. "ඊයේ රෑම ඇහැඇරිලා ඉදලා වගේ"කෑම පිසදෙන්නේ නැතැයි කී යහලුවන් එවන් දවසට කියන්නේ එහෙමය.මහපාන්දර නැගිට බත් උයා ඇතිබව එවන් දවසට ඔවුන්ට පෙනෙන්නේ නැතුවා වාගේය.

“අපෝ අපේ වයිෆ් නම් උයන්න දන්නේ නෑ...වයිෆ්ගේ අම්මා තමයි උයන්නේ” කියලා සමහර ලොකු පුටුවල ඉන්නා ටයි මහත්තුරු කියන්නේ මහත් ආඩම්බරයකිනි.ඔවුන්ගේ නෝනලා බැලූ බැල්මට බෝනික්කියන් වාගේ හැඩය. අත්පොඩි බොහොම සිනිදු පාටය. ඒ රෙදි සෝදන්නේ නැති නිසා වන්නට ඇත.එකිනෙකා හා තුරුලු වී ඉන්නා පින්තූර මුහුණු පොතේ ඕනෑතරම් ඇත.

මම ඒතරමට හැඩ ඇත්තියක් නොවෙමි.වැඩදා හැඩවෙන්නට උත්සාහ දරන්නියක්ද නොවෙමි. උයන විට අත් ගොරෝසු වන බව ඇත්තක් වන්නට ඇති නමුත් මම උදේ නැගිට ඉවීමට උත්සාහ නොදරන්නේ ඒ නිසා නොවේ.ඒ වෙනුවෙන් හිතේ ඇතිවන කම්මැලිකම නිසාය.

"ඔන්න පිස්සු නැතුව ඉන්න අනේ.ඔය ඔයා කරන හරිය මදැයි.රෙදි සෝදලා මැදලා දෙනවා.උදේට තේ හදලා දෙනවා.මට ඒ හොදටම ඇති." ඒ ඔහුය.

"ඒ වුනාට ඉතින් ඔයාට කන්න නෑනෙ..මට ඒකට දුකයි." මම එසේ කියමි.

“මම හොද වයිෆ් කෙනෙක් නෙවෙයි නේ?”

මා ඉදහිට එසේ අසන්නේ මා හොද නැති බිරිදකැයි මට සිතෙන නිසා නොවේ.මා හොද බිරිදකැයි කියා ඔහුගේ මුවින්ම අසා දැනගන්නටය.

"අපෝ ඔයා මට හොද වැඩි..."ඔහු එවන් විටක කියයි. මම සතුටෙන් ඉපිලෙමි.

ඔහුට වඩාත් වටින්නේ මා ඔහු සමග සිටීමය.අත්වැල් පටලවාගෙන නුගේගොඩ හන්දිය තෙක් ඇවිද යාමය.බඩුමලු ඔසවාගෙන පෙම්වතුන් යුවලක් මෙන් නැවතත් නිවසට ඇවිදගෙන ඒමය. එකට තුරුලුව නිදා ගැනීමය.මූණකට සෝදා අහවරවූ සැනින් වතුර පිරි හාදුවක් ලබාදීමය.ඒ හාදුවෙන් මත්වී මා සිනාසෙනු දැකීමය.

ඒ ප්රේමය යැයි මම සිතමි.බත් පතක් උයන්නට මහන්සිවී හෙම්බත්වූ මා අතින් ඉතිරි යුතුකම් මගහැරුණහොත් ඔහු සතුටු වේ යයි මම නොසිතමි.

නිවන්ති සිටියේත් අපේ කන්තොරුවේමය. ඇය සිය ස්වාමියාට බත්පත උයා බැද දෙයි.සමහර දිනක පදමට සීනි යෙදූ පලතුරු බීම බෝතලයකුත් ලැබ දෙයි.

“එයාට හරි සතුටුයි අනේ.මගේ කෑම එක කාලා හරිම රසයි කියුවා.” මට යාබද මේසයක ඉන්නා ඇය එසේ කියන්නේ මාදිහා ඇස් කොනකින් බලන ගමන්ය. ඒ වචන කිනිසි තුඩු මෙන් මගේ ඇගේ වැදී නොවැදී යයි. මම ගනන් නොගෙන ඉන්නට උත්සාහ කරමි.

ජීවිතය යනු බත් ඇට නොවේ.මම එසේ සිතන්නට උත්සාහ ගනිමි. මම ඔහු වෙනුවෙන් කවි ලියමි.කවි කියමි.සමහර විටක දරු නැලවිලි කියමින් ඔහුව නලවමි.තවමත් මා ඇකයේ මා කුස උපන් දරුවකු සැතපී නැතත්,මට ඔහු මගේ පලමු දරුවා මෙන් දැනේ. ඔහු මා සමග ඉතාමත් සතුටින් ඉන්නා බව පෙනේ. නමුත් සමහර විටක මම සැක කරමි.ඇත්තෙන්ම ඔහු සතුටින්ද?

එදත් මා බත් නොඉව් දවසකි.කඩෙන් මිලට ගන්නා බත්පත ගැන විශ්වාසය තබා මම රැකියාවට පිටත්ව ගියෙමි. නිවන්ති හැඩූ කදුලිනි.ඇයිදැයි අසන්නට මගේ සිත කීවත් මට එසේ අසන්නට බය සිතුනි. හිත හදාගෙන රාජකාරි කටයුතු කරන්නට වෙරදැරුවෙමි.පරිගණක තිරය දෙස බලාගෙන ධාන්යයකට සමවැදී තිබුනු මගේ සිත් ඉන් මිදෙන්නේ නිවන්තිගේ කටහඩිනි.

“අනේ කසුනි...බලන්නකෝ මගේ මහත්තයා මගෙන් දික්කසාද වෙන්න ඕනේ කියනවා.මම එයාට කිසිම වැරැද්දක් කරලා නැහැ.ඔයා දන්නවානේ දරුවො දෙන්නෙකුගේ වැඩත් කරන ගමන් මම එයාට එක වේලක්වත් වරද්දන්නේ නැතුව බත් එකත් බැදලා දෙනවා. එයා කියන කිසිම දේකට කවදාවත් නෑ.. බෑ...කියලා නෑ. මට මොන අමාරුකම තිබුනත් මම බලන්නේ එයාව සතුටින් තියන්න. ඉතින් එහෙම එකේ ඇයි එයා මට මෙහෙම කරන්නේ?”

ඇගේ කදුලේ තේරුම මට තේරෙන්නේ දැන්ය.ඉතින් මීට කරන්නට හැක්කේ කුමක්ද?සතුට රැදී ඇත්තේ බත් ඇට වල නොවන බව ඇයට තේරුම් කරන්නේ කෙසේද?

“ඔයා මම කියන දේ ගැන වැරැද්දක් හිතන්න එපා.ඒ වුනත් පුලුවන් නම් හෙට ඉදලා ඔයා එයාට බත් උයලා දෙන්න එපා.” මම කීවෙමි.

"මොකක්?ඒ මනුස්සයා හෙටම මාව දික්කසාද කරයි.එයාට තුන් වේලටම බත් ඕනේ.අනික කඩේකෑම කන්නෙත් නෑ...."

"ඒත් මම කියුවට එහෙම කරන්නකෝ.ඔය දික්කසාද කියන වචනෙ ගැන කතාකරන්නවත් එපා.ඒ ගැන කියලා රණ්ඩුවෙන්නත් එපා.ඒත් එයාට පුළුවන්තරම් ආදරේ පෙන්වන්න.ආදරේ දැනෙන්න දෙන්න"ඒ වචන ආයෙමත් මාගේය.

නිවන්ති කිසිත් නොකීවාය.ඒත් පසුවදා ඇය අත වෙනදාට ගේන බත්මුල තිබුනේ නැත. දවසෙන් දෙකෙන් නොවුනත් සතියක් දෙකක් ගතවෙත්ම ඇගේ මුහුනේ රැදි මුසුම්පේත්තු ගතිය පහව යනුද යලිත් මුහුණට එලිය වැටෙනුද දිටිමි.

"ඔයා කීවා හරි කසුනි"සති තුනකින් පසුව මා අසලට පැමිණි නිවන්ති කීවාය.
මම ඇය දෙස බැලුවෙමි.

"අර කියුවත් වගේ බත් ඇට ඇතුලෙ සතුට නෑ.බත් මුලකට ආදරේ පුරවන්නත් බෑ."

එදා සිට අද දක්වා බොහොමයක් දේ වෙනස් වී නැත.නිවන්ති ගේ බත්මුල දකින්නට නැතිවීම හැර සියලුදේ එපරිද්දෙන්මය.

අපි තවමත් සතුටින් සිටිමු.

Friday, December 7, 2012

අංශක 110

 මම
මට තියෙන්නේ තුනට බෙදුනු හදවතක්.හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා.ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි..අංශක 170 යි 110 යි 80යි.ඇත්ත ,බැලූ බැල්මට අංශක 170 ලොකුයි.ඒක එහෙම තමයි.මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා.අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්.උතසව, සාද ,විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්.80 හරිම පටුයි හැබැයි ඒ වගේම ගැඹුරුයි.ඒ වුනාට මම ඒ හිස් කෝඨරකෙ පිරෙන්නම පස් පුරවලා තියෙන්නෙ.දැන් යනකොට ඉතිරි කරලා ගියපු කමිසෙ ගද වත් දැනෙන්නෙ නැහැ.ගද නෙමෙයි ජීවන සුවදද මන්දා...මොක වුනත් මම ඒක සදහටම මකලා ඉවරයි.

ඒ වුනාට අංශක 110 මේ දෙකටම වඩා වෙනස්.එයා ගියෙ නැහැ .මමයි එයාගෙ හදවතෙන් ආවෙ.ඒ හදවතේ හිස්තැනට මොනවා කරාද දන්නෙ නැති වුනත් මගේ හදවතේ කුටීරය තාම එහෙමමයි.ඒ කුටීරය ඇතුලෙ තියෙනවා යූ අකුර සහිත රත්තරන් මුදුවක්,ලස්සන සිනාවක් සහ රෝස පාට ෆලූඩා වීදුරුවක්.තව ජංගම දුරකථන තිබියදීත් ලියූ පෙම් හසුන්.

හදිසියේ මගේ දකුණු අතේ වේදනාවක් ඇති වෙනවා.දකුණු අත දිගේ උරහිස දෙසට.රිදෙන්න ගන්නවා හදවත.කුමන කුටීරයදැයි හිතාගන්නටත් ප්‍රථම මා ඇතුලත් කෙරෙනවා රජයේ ඉස්පිරිතාලයට."හාට් අටෑක් එකක්"සිහිනැති වීමට ප්‍රථම එහෙම කියනවා මතකයි.ඊට පසුව කිසිවක් මතක නැහැ.

අංශක 110
"ඔයා හදිස්සියෙම ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා කියලා දැනගත්තම මම හිතුවෙ තව ලෙඩෙක් කියලා විතරයි.මම කෑම කාලා එන්න හිතුවේ ඒකයි.ලෙඩ්ඩු කියන්නේ හරිම සාමාන්‍ය දේවල් ගණයට වැටුනෙ දොස්තර කෙනෙක් වුනාට පස්සෙ.ඇස් ඉස්සරහාම මල මිනීවල ඇස් නර්ස් නෝනලා වහනවා දැක්කට පස්සෙ.ඒත් ඒ ඔයා කියලා දන්නවා නම් සුවිශේෂී වෙනවා.සමහර වෙලාවට මගේ හදවත තාම ස්පන්දනය වෙන්නෙ ඔයා නිසා .ඔයා නොදන්නවා උනාට.ඒත් ඔයාගෙ හදවතේ නාල අවහිර වෙන්නට තරම් ප්‍රබල තැනක මම ඉන්න නැතුවැති කියලා මම දන්නවා.එතකොට කව්ද මේක කරපු බූරුවා කියලා හොයන්න වෙනවා.අවුරුදු පහකට පස්සෙ ඔපරේෂන් තියටර් එකේදි දකින්න තරම් අපි (අ )වාසනාවන්ත වුනේ ඇයි.ඒත් ඉස්සර මට නොපෙනෙන්න කෝල බැල්මෙන් බලලා රෝස මල් තිබුනු කුඩෙන් වහගත්ත සුදු කකුල්  වලින් නහරයක් කපා ගන්න මට සිද්ධ වෙනවා.ඔයාගේ අවහිර වුන හදවතේ නාලය වෙනුවට පාස්සන්න.මේක කම්මලක් වගේනෙ.ඔයාට සිහිය තිබුනා නම් කියයි.ඒත් ඔයා එහෙම කියුවෙ නෑ.ඔයාව මම අදුර ගන්නෙ සැත්කම කරන්න පලමුවෙන් අතින් ඉවත් කරපු යූ අකුර තියෙන මුදුවෙන්.ඒ මුදුවත් තිබුනෙ වෙද ඇගිල්ලෙමයි.හැබැයි මගුල් මුදුවට ඉහලින්.රුපියල් පන්දාහෙ යූ අකුරෙ ආදරේ.ඒත් ඉතින් මට දැන් නම් ඊට වටින මුද්දක් අරන් දෙන්න පුළුවන්.මම හිතුවෙ නෑ ඔයා ඕක දානවා ඇති කියලා.හදවතේ පැත්තක්ම පස් වලින් පිරිලා. මේ සේරටම මුල ඒක විත්තිය මම හොයාගන්නවා.ඒත් සැත්කම් කාමරයේ පස් ඉවත් කල හැකි සවලක් තිබුනේ නැහැ.මම අසරණ වෙනවා."

"මට කරන්න පුළුවන් උපරිමය කලා.ඒත් ඔයා ආයෙමත් ඇස් අරින්නේ නැති බව මම දැනගෙන හිටියා.මම ඔයාට ආදරෙයි මම කියුවා."

ගන්ධබ්බ
මට කවුදෝ මන්දා ආදරෙයි කියනවා ඇහෙනවා.පුරුදු කටහඩක්.මම පාවෙලා යනවා.මම වගේ කවුද සැත්කම් මේසයක් උඩ ඉන්නවා.කවුදෝ මන්දා මාව බදාගෙන අඩනවා."අනේ ඒ එයා...අවුරුදු කීයකට පස්සෙද?දන්නවා නම් මැරෙන්නෙ නෑ.ඒත් දැන් මැරිලා ඉවරයි.මම පාවෙලාම යනවා.යනගමන් එයාගෙ නලලට හාද්දක් දෙනවා.

එක පාරට වතුර පිරුණු බෝලයක් ඇතුලෙ ඉන්නවා දැනෙනවා.මම බඩක් ඇතුලෙ.ඊයා...මට අප්පිරිය හිතෙනවා.ඒ ගමන් කටහඩක්..

"ඉක්මනට ගෙදර එන්න සුබ ආරංචියක්.ලෙඩා මැරුනද?අයියෝ ගනන් ගන්න එපා.ඔය ලෙඩෙක් මැරුණු පලවෙනි පාර නෙමෙයි නෙ."

ටිකකින්  වාහනයක් නවත්වන හඩ සහ  මම ඉන්නා බඩ දොර දෙසට ඇවිදගෙන යන බව දැනෙනවා.
මම හිමිහිට බඩෙන් එලියට ඔලුව දාලා බලනවා.අංශක 110 .මට සතුටුයි..ඒ වගේම දුකයි.අංශක 110 මම ඉන්න බඩේ අයිති කාරයට හාදුවක් දෙනවා.

"මට සතුටුයි"එයා කියනවා."

එහෙනම් ඇස් වල කදුලු?"බඩේ අයිතිකාරිය අහනවා.

"ඒ සතුටු කදුළු"...

මට හිනා යනවා.කොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මම තීරණය කරනවා.

Saturday, December 1, 2012

අමුතු සෙනසුරාදා

අමුතු සෙනසුරාදා
කවි ලියන්නට කම්මැලි හිතෙන
කතන්දර භාගෙට ලියවෙන
කසාදය කටුගාන්නට හිතෙන
කොට්ටය හරි පුසුඹ යයි දැනෙන
ඇදට ආයෙත්,
තව තවත් ආදරේ කරන්නට හිතෙන...

පැන....

මම කවියක් වෙලා
හිස් අහසෙ ඇලවුනොත්
හැමදාම හද බලන අතරෙදි
කියවනවද මාව?

මම සුවදක් වෙලා
ඒ හිසෙහි ගැල්වුනොත්
ඉඹිනවද මාව?
ඒ හිස සිඹින අතරෙම

මගේ හිස් හදවත
දොර ලගින් තියුවොත්
ඇර බලනවද ඒ දොර?
නිකමට...
ගෙයි දොර අරින අතරෙම...

හරිම උණුසුම්
නුඹ ඉන්නා කුටිය...

Friday, November 23, 2012

කටු නැති නටු ඇති මල්(දිණමින බද්දර මල්ල...)


 

 http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/23/pg17_2&pt=p&h=

මම හිටියෙ කවුළුවෙන් එපිට බලාගෙන.එහෙම හොදයි.සමහර වෙලාවට මිනිස්සු දිහා බලන් ඉන්නවට වැඩිය අජීවී දෙයක් දිහා බලන් ඉන්න එක හිතට සනීපයක් ගේනවා.කවුළුවෙන් එපිට මල් පිපිලා තිබුනා.අමුතු රෝසමලක් නටුවෙ කටු නැතුව තියෙනවා මම දැක්කා.බමරෙක් කිසි කතාවක් නැතුව පියාඹලා ඇවිත් මලෙන් රොන් අරගත්තා.මලටත්  නොකියම යන්න ගියා.යනගමන් නටුවෙ කටු නැති විත්තිය අනිත් බමරුන්ටත් කියාගෙන ගියා. කටුතියෙන ආඩම්බර රෝසමල් ලගට වෙලා බලාගෙන හිටපු බමරු මේ රෝසමල දිහාට පියාඹගෙන එන්න පටන් ගත්තා.


අපි,අපියි කියුවෙ මායි මගේ යාළුවෙකුයි දේශන ශාලාවේ තුන්වෙනි පේලියේ දකුණු පැත්තේ කොනේ ඉදගෙන හිටියා.ඉස්සරහ පේලියේ හිටපු අපේ කණ්ඩායමේ දවනියට ලස්සනම ළමයා කියලා මම හිතාගෙන හිටපු ගෑනුළමයා පිටිපස්ස හැරිලා බැලුවා.මම "ගුඩ්මෝර්නින්"කියුවම එයත් "ගුඩ්මෝර්නින්"කියලා ලස්සනට හිනාවුනා.මමත් ගැහැණු ළමයෙක් විත්තිය මොහොතකට අමතක කරවමින් ලස්සන හිනාව මගේ හදවත කිතිකැව්වා. තමයි ශිමාලි.


මගේ යාළුවා  අමනාප බැලමක් හෙලුව නිසා මම "ඇයි" කියලා ඇහුවා."මට නම් එයාව අප්පිරියයි"යාළුවා එහෙම කියුවා. හේතුවක් කියුවෙ නෑ."අප්පිරිය වෙන්න ගෑණු ළමයා කෑමක්ය?"මට එහෙම හිතුනට කියුවෙ නෑ.ඔය තියෙන හැඩරුවේ හැටියට ඇත්තටම එයා කෑමක් වුනත් අප්පිරිය වෙන්න විදිහක් නෑ."ඇයි ආරංචි නැද්ද?"මගේ යාළුවා ආයෙමත් කියුවා."නෑ"කියලා මම කියුවෙ ආරංචිය දැනගන්න තියෙන උවමනාවත් එක අකුරක් තියෙන උත්තරේ හංගලා.ඒත් එයා කියුවේ  නෑ.  ආරංචියට වැඩි වටිනාකමක් දෙන්නදෝ මන්දා "පස්සෙ කියන්නම්"කියුවා.එතකොටම මහාචාර්යතුමා දේශන ශාලාවට ආපු නිසා මුළු පංතියම මීයට පිම්බා වගේ නිස්සද්ද වුනා.


හවස්වරුවෙ පරිගණක විද්යාගාරෙ පැත්තෙ ගියෙ වැඩවගයක් කරගන්න තිබුන නිසා.දන්න අදුනන පිරිමි ළමයෙක් වෙනදා නැති විදිහට මාත් එක්ක හිනාවුනා.එන පොට මොකක්දැයි හරියටම තේරුණේ නැතිවුනාට මාත් ඔන්න ඔහේ ඕන එකක් කියලා පුංචි හිනාවකින්  සංග්රහ කලා.හිනාවෙන් කතාවකට පාරකපාගෙන පිරිමිළමයා මගේ ළගට ආවා. "මේ ඔයා දන්නවද වැඩක්?..."නෑ" මම කියුවා.ශිමාලිගෙ වීඩියෝ එකක් තියෙනවා ආවොතින් පෙන්නන්නම්.මගේ ඇග සීතල නොවී එකපාරටම දාඩිය දාන්න පටන් ගත්තා. "ශිමාලි...අපේ ශිමාලිද?"මම එහෙම ඇසිය යුතුව තිබුනත් එහෙම ඇහුවෙ නෑ."නෑ එපා මම ආස නෑ"යන්තම් වචන ගලපගන්න මට පුළුවන් වුනා."ඔයා දැනටමත් බලලා ඇති"පිරිමිළමයා කියුවා."මම යන්නම්"කරන්න ආපු වැඩෙත් අත ඇරලා මම පරිගණක විද්යාගාරෙට ආයුබෝවන් කියුවා.


"ශිමාලි...ඔය කියන්නේ මේ අපේ ශිමාලිද?"මම ආපහු යනගමන් හිතුවා. වීඩියෝ එකක් කියන්නේ නරක වීඩියෝ එකක් වෙන්න ඇති මට හිතුනේ ඉබේටම.බමරු අතරෙ මේ මල්පැණි පොද පිළිබදව ආරංචිය හරි ඉක්මනට පැතිරිලා ගියා.පැණි බින්දුව අතින් අත හුවමාරුවුනා.මල් වුනත් රහසින් මේ ගැන දොඩමළු වුනා. මම පැණිපොද රහ නොබල හිටියා.වැරදීමකින් වුනදෙයක් මෙච්චර ලොකු කරගන්නෙ මොකටද… මට එහෙම හිතුනා.


ළගදිම දවසක ශිමාලි දේශන ශාලාවෙ බැල්කනිය උඩට වෙලා ඉන්නව්වා මම දැක්කෙ පහල ඉදන්.දුරට වුනත් දෙකොපුලේ වියලිලා ගිය කදුළු බින්දු දකින්න මට පුළුවන් වුනා.ඒත් ළගට ගිහින් "අඩන්න එපා"යයි කියන්නට තරම් යාළුකමක් අපි අතර තිබුනෙ නැහැ.එහෙම නැත්නම් මම එච්චර එඩිතර වුනේ නැහැ.


දවසින් දවස ගතවුනා.ගැහැණු ළමයි ශිමාලි එක්ක කතා කලේ අඩුවෙන්.පිරිමි ළමයි වැඩි වැඩියෙන් ලෙංගතුවෙන්න උත්සාහකලා."හිත හොද ගෑණි හැමදාම බඩින්"කියලා කියුවට මොකද ශිමාලිට එහෙම වුනේ නෑ.මම හිතන්නෙ එයා හිත අගුළුදාලා මොලේ පාවිච්චි කරන්න පටන් අරන් තිබුනා. සමහර වෙලාවට එයා රෝසමල වටේට කෘතීම කටු ටිකක් හිටවන්න ඇති.


"දැන් ඔය කියන වීඩියෝ එකේ කොල්ලෙක් නැද්ද?ඇයි කොල්ලා ගැන කතා කරන්නෙ නැත්තෙ?"හුගක්ම තරහ ගිය වෙලාවක ඔය ගැන කතාකරමින් හිටිය මගේම යාළුවන්ගෙන් මම ඇහුවා."මෙන්න මෙයා ස්ත්රීවාදිනියක් වෙලා..."එයාලා මට හිනා වුනා.


එක ගෑණු ළමයෙක් හිටියා.එයාට ආදරවන්තයින්ගේ දවසට චොක්ලට් පෙට්ටි පහක් විතර ලැබෙනවා.එක්කෙනෙක්ගෙන් නෙමෙයි,පස්දෙනෙක්ගෙන්."අපෝ ශිමාලිගෙ ගන්න දෙයක් නැතුවැති"එයා චොක්ලට් පෙට්ටියක් ලිහලා අපි අතර බෙදන ගමන් පෙබරවාරි දහහතර වෙනිදා දවසක කියුවා.


මේ වීඩියෝ එක ශිමාලිගෙ යාළුවෙලා හිටපු පිරිමි ළමයා පටිගත කරපු එකක්.දෙන්නා අමනාපවෙලා.ඒත් පිරිමි ළමයා හිතලා නැහැ වීඩියෝ එක ඇතුලෙ ගෑනුළමයගේ නිරුවත එකපාරක් පෙන්නන අතරෙ පිරිමි ළමයගෙ නිරුවත් දෙපාරක් පේනවා කියලා. පිරිමි ළමයා වීඩියෝ එක ඇතුලෙදි ගතින් නිරුවත් වෙන අතරෙ වීඩියෝ එක යාළුවො අතරෙ බෙදලා දීලා තමන්ගේ නිර්ලජ්ජීකම නිසා හිතෙන් නිරුවත්වුනා.


කොහොම වුනත් වැඩියම වටින්නෙ ශිමාලි හිටගෙන හිටපු විදිහ.එයා දිගටම කියුවෙ පාඨමාලාව අවසන් වෙනතුරුම සීරුවෙන් හිටගෙන හිටියා.කොයිවෙලාවකවත් "පහසුවෙන් සිටින්"කියලා එයාට කවුරුවත් කියුවෙ නෑ.එයා දිගටම කියුවෙ අවුරුදු දෙකයි මාස හයක්ම සීරුවෙන් හිටගෙන හිටියා.


මේ ළගදි දවසක මම ශිමාලිව දැක්කා.එයා හිටගෙන හිටියෙ නෑ.ආයෙමත් ඉදගෙන.බොහොම පහසුවෙන්.වම් අතේ වෙදගිල්ලෙ රත්තරන් මුද්දක් දිලිහෙමින් තිබුනා."ගුඩ් මෝර්නින්"මේ පාර මුලින්ම කියුවෙ එයා.අර ලස්සන හිනාව එහෙමමයි. එදා විදිහටම මම ගෑණුළමයෙක් බවත් අමතක වෙලා මගේ හිත කිතිකැවුනා.