මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 29, 2012

අලුත් ගෙදර....

 

 

 "දැන් ඔයාට අලුත් ගෙදර මොනවගේ වෙන්නද ඕන?"

 

"අලුත් ගෙදරක්...මගේම,අපේම ගෙදරක්....ඒ හරිම සුන්දර හීනයක් මතක් වෙනකොටත්....


මම කැමතියි  ලස්සන මැද මිදුලකට.මැද මිදුලට හොදට එලිය වැටෙන්න ඕන.දැල් වගේ ඉර එලිය වලක්වන කිසිම දෙයක් තියෙන්න බෑ.ඇත්ත හොරුන්ටත් එන්න පුලුවන්.ඒකට මට කමක් නෑ.හොරෙක්ට ඇවිත් ගෙනියන්න පුලුවන් රත්තරන්, සල්ලි මහගොඩක් මම මේ කියන ගෙදර නෑ.


 මැද මිදුලට මුහුනදාලා ඉදගන්න මට ඕන උන්චිල්ලාවන් වගේ එකක්.ඒ උන්චිල්ලාවක්ම නෙමෙයි ඉතින්.ලෑලි වලින් හදපු  කොන් හතරට යකඩ දම්වැල් එල්ලුනු.මට නිදහසේ ඉදගෙන පැද්දි පැද්දි ඉන්න පුළුවන් තැනක්...


තව මට ඕන පුස්තකාල කාමරයක්.හොදට එලිය වැටෙන්න දිග ජනේල තියෙන්න ඕන.ෆ්‍රෙන්ච් වින්ඩෝස් කියලත් කියනවා.මේ කාමරේ මගේ ආදරණීයයන් රදවන්න ලෑලි වලින් රාක්ක හදලා තියෙනවා.මම මගේ ජීවිතේ හුගක් ආදරේ කරන අජීවී වස්තු ටික රාක්කවලට වෙලා මම ලියන දිහා බලාගෙන ඉන්නවා.ලියන මේසෙ තියෙන්නෙ  දිග ජනෙල් වීදුරු වලට මූන දාලා.


මම මිදුල දිහා බලාගෙන ලස්සන කතන්දර ලියනවා......"


"හ්ම්ම්...එතකොට කුස්සිය මොනවගේද වෙන්න ඕන???"


"අහ්හ්...කුස්සිය...එහෙම එකකුත් ඕන නේද".........

ප්‍රේමය දැකීම

ඇය:- 

මම කවියක් වෙලා සිත අස
ගැයෙන්නම්..
තනුවක් වෙලා සවනත
වැයෙන්නම්...
සයුරක් වෙලා ඔබ අස
හඩන්නම්...
අදුනක්  වෙලා ඔබ නෙත
සරසවන්නම්...

 

 

 

ඔහු:-

මම නුඹේ බත සරි කරන්නම්
ඇදුම් කැඩුමුත් ගෙනෙන්නම්
දරුවන්ට මුදල් රැස් කරන්නම්
ඔබට රැකවරනය දෙන්නම්
ඉතින්
තවත් කවි නොගයනු මැනවි....

කවියකට වත්
තනුවකට වත්
සාගරයටත්
නෙතදුනකටත්
අපේ ප්‍රේමය අසම වෙත්

ප්‍රේමය වනාහී කවියක් ලෙස දකින්නේ ගැහැණුය.පිරිමි ප්‍රේමයේත් යතාර්ථය දකිත්.ඔවුහු යතාර්ථයම හඹායත්.ගැහැනු තව තවත් මායාවටම නැඹුරුවෙත්....

Friday, September 28, 2012

සමුගැනීම සහ බස් රේඩියෝ බ්ලොග් සම්මාන උලෙලේ නිර්දේශිත නාම අතරට Unsaid තේරුන වගයි.

 සමුගැනීම

අදත් සුපුරුදු විදිහට නැතුව නුපුරුදු විදිහට සරල සාමාන්‍ය ලිපියක් ලියන්න හිතුවා.ඊයෙ මම රැකියාව කල තැනින් අයින් උනානේ.හැමදාටම ගෙදර ඉන්න නෙමෙයි. අලුත් තැනකට යන්න.මම අයින් වෙන්න කලින් හිතන් හිටියා මට එතන ඉන්න සමහර අය එච්චර කැමති නෑ කියලා.ඇත්තම තත්වෙ ඒක නෙමෙයි කියලා මට තේරුනෙ අස් වෙන්න තීරණය කලාට පස්සෙ.ඇත්තටම මට කැමති නැති අයත් දෙන්නෙක් විතර ඉන්න ඇති.ඒත් අනිත් අය ඔක්කොම මට කැමැත්තෙන්(වැරදියට හිතන්නෙ එපා මේ ඒ විදිහෙ කැමැත්තක් නෙමෙයි )තමයි ඉදලා තියෙන්නෙ.

ඇත්තටම ඒක තේරුනෙ ඊයෙ.

මම එච්චර සංවෘත කෙනෙක් නෙමෙයි නෙ.ඒ නිසා මගේ හිතට හිතෙන දේවල් මම හැමවෙලාවෙම කියනවා.හිතේ රහස් තියන් ඉන්න ටිකක් අමාරු කෙනෙක් තමයි මම.ඉතින් කොහොම හරි මටමල් වලට ඇති කැමැත්ත ගැනත මේ ගොල්ලො දන්නවා. ඉතින් මට ඊයෙ තෑගි ගොඩක් හම්බුනා.ඊයෙ තමයි මට හිතුනෙ මට මෙච්චර ආදරේ කරපු පිරිසක් දාලා යන එක අපරාදෙ කියලා.

තෑගි වල පින්තූර මේත් එක්ක අමුණලා තියෙනවා ඒ වගේම මම ගැන හුගක් සන්වේදී කතන්දර එහෙම එතනදි කියවුනා.මට හරිම සතුටුයි.මේ තෑගි ඔක්කොටම වැඩිය එයාලගෙ ආදරේ මට වටිනවා.






BUZZ RADIO BLOG AWARDS

තවත් සුබ ආරංචියක් තියෙනවා.unsaid-නොකී දෑ බ්ලොග් සම්මාන උලෙලේ නිර්දේශිත නාම අතරට එකතු වෙලා.ඒ ගැන මට හරිම සතුටුයි.පහත අංශ වලට තමයි තේරිලා තියෙන්නේ.

1.හොදම නිර්මාණශීලී බ්ලොග් අඩවිය
2. හොදම රැඩිකල් බ්ලොග් අඩවිය

ඉතින් මට හරිම සතුටුයි.ඒ වගේම මේ නිර්දේශිත නාම නිසා හරවත් බ්ලොග් අඩවි බොහොමයක් දැන ගන්න ලැබුනා.මේ තියෙන්නේ ඒ බ්ලොග් ලිස්ට් එක ඇත්තටම මේ බ්ලොග් හරිම නිර්මාණශීලියි.ඒකෙන් මම කියන්නේ නිර්දේශ වුනේ නැති බ්ලොග් නිර්මානශීලී නෑ කියලා නෙමෙයි.උදාහරණයක් විදිහට හිරුහිමාවි නංගි ගේ බ්ලොග් එක රතු හැට්ටකාරිගේ බ්ලොග් එක දක්වන්න පුලුවන්.ඒවා හරිම නිර්මාණශීලියි.ඒවගේ තව හොද බ්ලොග් ගොඩක් තියෙනවා.

නිර්මාණශීලි බ්ලොග්කරණය


පර්යේෂණාත්මක හා විවරණශීළී බ්ලොග්


කාන්තා බ්ලොග්කරණය


අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය


අධ්‍යාපනික බ්ලොග් අඩවිය


රැඩිකල් බ්ලොග්කරණය


නවක බ්ලොග්කරණය


සාහිත්‍ය බ්ලොග්කරණය


තාක්ෂණික බ්ලොග්


Monday, September 24, 2012

හැරී පොටර්

 

 

කවි ලියවෙන්නෙ නැති
හරි අපල කාලයකි...
ලොකු පොතක් කියවන..

හොග්වර්ඩ්ස් වල තරු එලි ලාම්පු
හරි සෞම්‍යව...
හැරී සමගින් ක්විඩිච් සෙල්ලම්...

හර්මයිනි හොරෙන් රොන්ට හාදුවක් දෙන
අපිට ඒ බව නොපෙනෙන්ට
මායාවකුත් කරන...

මම හීනෙනුත්
මායාවන් පුරුදු වෙන...

තරහ ගිය විට
අත යශ්ඨියක් කොට
"අවාඩා කඩවේරා කියන"....
ඇගිලි තුඩගින්
කොල එලිය නික්මෙත
තරහකරු
මියැදී 'ඩොං' ගා
බිම වැටෙන...

මම ආයෙමත්
ඉස්කෝලෙ යන වයසට
කොස්සක් උඩ නැගී
පියාඹායන...

Thursday, September 20, 2012

නෙල්ලි කතන්දර "රෝස පාට කමිස"-දිණමින බද්දර මල්ල...


මේ දිණමිණේ මේ සතියේ පලවෙන මගේ කොලම "රෝසපාට කමිස"(නෙල්ලි කතන්දර).කියවලා බලන්නකෝ.බලලා හොද නරකත් කියන්නකෝ...


අනේ මන්දා ඔෆිස් එකේ නම් ඉන්න බැරිතත්වෙටම ප්‍රතිචාර තියෙනවා... :D


http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F21%2Fpg14_0&pt=p&h

Saturday, September 15, 2012

අම්මා නැතිදාට



නුඹ නැතිදාට ඉර මාමා වඩින්නැති

සද නැති රෑක ගනදුර දුරුවෙන්නෙ නැති

පෑ සෙනෙහේ උණුහුම මට දැනෙන්නැති

නුඹ උන්දොහේ මෙන් කුස ගිනි දැනෙන්නැති


කිරි නැති දෙතන කිරි සුවදයි මට අම්මේ

දෙතොලග සිනා පෙරදා වාගෙම දිලිසේ

නුඹෙ උණුහුමේ ගුලිවෙමි පෙරදා වාගේ

තුරුලට අරන් මා නිදියාපන් අම්මේ

නෙල්ලි කතන්දර-මගේ තීරු ලිපිය

ඔයාල දන්නවද?මම දිනමිණ පත්තරේට තීරු ලිපියක් ලියනවා.තීරු ලිපියෙ නම "නෙල්ලි කතන්දර".ඊයෙ ඉදලා හැම සිකුරාදා දවසකම දිනමිණ පත්තරේ "බත්තර මල්ල" කියන අතිරේකයේ මේ තීරු ලිපිය බලන්න පුළුවන්....


ඊයෙ ලියමන ඔයාලට කියවන්න පුළුවන් මේ ලින්කුව ඔස්සේ....


http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F14%2Fpg15_2&pt=p&h

 

කැමතිනම් එන්න ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න...ඔයාලගෙ අදහස් දැනගන්න බලාගෙන ඉන්නවා...

 

http://www.facebook.com/nellikathandara?ref=hl


Tuesday, September 11, 2012

මායාකාරයෙක්

මායාකාරයෙක්
මායා යෂ්ඨියක්
අතින් ගෙන,
මායාවක වෙලා මම....


අකමැතිව
නොකැමතිව
කැමති නැතිවම

මායාවෙහි
වෙලී ඉමි....


මායාකරුට
පෙම් කරමි....

Saturday, September 8, 2012

ඔහු වෙනුවෙන්ම වූ සටහනක්...

සුබ උදෑසනක් හැමෝටම...අද හරිම ලස්සන දවසක්.මට හිතෙනවා කුරුල්ලොත් වෙනදට වැඩිය ලස්සනට සින්දු කියනවා කියලා.මට හොදටම විශ්වාසයි මට විතරයි එහෙම හිතෙනවා ඇත්තෙ කියලා..සමහර වෙලාවට අද ඔයාලටත් විශේෂ දවසක් නම් ඔයාලටත් එහෙම හිතෙනවා ඇති.


මම ජීවිතේ හුගක්ම ආදරේ කරන අජීවී වස්තුව තමයි මේ බ්ලොග් එක.බ්ලොග් ලියන අයට නම් මමමේ කියන දේ හොදටම තේරෙනවා ඇති.ඒ අය තමන්ගේ ජීවිතය අත්දැකීම් බෙදාගන්නෙ තමන් ලියන බ්ලොග් එකත් සමගයි.කතන්දර පොත් ලියන අය නම් ගම් මනංකල්පිතයි කියලා ලියන්නෙත් තමන්ගේ අත්දැකීම්ම තමයි.


ඇත්තටම කියනවා නම් මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් මේ බ්ලොග් එකත් එක්ක බෙදාගත්තෙ හරිම අඩුවෙන්.පෞද්ගලිකතවයට එපිටින් ලබපු සමාජ අත්දැකීම් තමයි මම හුගක් වෙලාවට අකුරු කලේ.ඒත් අතිශයම පෞද්ගලික ජීවන අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්න මම හිතුවා.


සරලවම කියනවා නම් මම විවාහවෙලා අදට හරියටම අවුරුද්දයි.


විවාහය සිදුවුනේ  09-09-2011 දවසෙ.

 

මට අද හරිම සතුටු දවසක්.ජීවිතයේ නොදන්නා කෙනෙක් එක්ක අලුත් ආරම්බයක් ලබාගන්නකොට හැමෝගෙම හිත්වල තියෙන්නෙ තිගැස්මක්.මටත් ඒ තිගැස්ම ඒ විදිහටම සමහරවිට ඊටත් වඩා ටිකක් වැඩිපුර තිබුනා..


ඒත් ඔහු පහුගිය අවුරුද්ද පුරාවට මට ඉතාමත් දයාබර සැමියෙක් වුනා.මගේ ජීවිතය සතුටින් පුරවන්නට ඔහු සමත් වුනා.ඔහුගේ දෙමව්පියනුත් මට ඉතාමත් ආදරයෙන් සැලකුවා.ඉතාමත් බරපතල රැකියාවක් කරන්නෙක් වුනත් ඔහු හැකි උපරිමයෙන් උත්සාහ කලා රැකියාවේ බර මට නොදැනෙන්නට තබාගන්නට.


විශ්වාස කරන්න ඔහු පහුගිය වසර පුරාවටම මට සැරෙන් එක වචනයක් හෝ කතා කර නැහැ.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ආදරණීය කරුණාබර සැමියෙක්.ඒ වගේම ජීවිතයට ආදරණීය මගපෙන්වන්නෙක්.ජීවිතයේ වරදින තැන් නිවැරදි කරගන්නට මගපෙන්වන්නෙක්.


මේ ඔහු වෙනුවෙන් වූ ස්තුතිපූර්වක සටහනක් පමණයි...


Friday, September 7, 2012

කැන්ඩි ලයිට්

තම්බලීනාවරු
හැම මල් වලම නැත
කහපාට ඉස්කෝප්ප මල් වල
උදේම පිපී හිනැහෙත
....

පුන්චි පෝනිවරු
සීතලෙන් ගැහෙමින්
හිම කබා ඇදි මිනිසුන්ට
පාර පෙන්වන
....

ගේ කුරුලුතෙම
කලගෙඩියක නිවෙස්න
සුබ උදෑසනක්
ගීතය ගයන
.....

Tuesday, September 4, 2012

!

 

 

 

සියල්ල ඇරඹෙන්නේ ලිපියකිනි.අවසානවන්නේත් ලිපියකිනි.


ආදරණීය ෆ්‍රැන්සිස්,


මුලින්ම කියන්න ඕන අන්තිම මොහොතෙ(විවාහයට සතියක් තියෙද්දී) වුනත් ඔයාට ආමන්ත්‍රණය කරන්න වෙන විදිහෙ අසාමාන්‍ය බවක් මට දැනෙනවා.ආදරණීය කියන වචනෙයි ෆ්‍රැන්සිස් කියන වචනෙයි එකිනෙකට ගැලපෙන්නෙ නැහැ. Loving Fransis හරි Darling Fransis හරි මීට වඩා ගැලපෙනවා.ඒත් මේ ලියමන ලියන්නෙ අපේ(මගේද මන්දා)මව් භාෂාවෙන් නිසා මට ආදරණීය කියන යෙදුම භාවිතා කරන්න සිද්ධ වෙනවා.ඔයාගෙ තාත්තා ඒකියන්නෙ මගේ මාමා ඔයාට නමදාල තියෙන්නෙ ෆ්‍රැන්සිස් විදිහට.මම ඒ දවස්වල හිටියනම් කවදාවත් ඔයාට ඔය නම දාන්න දෙන්නෙ නැහැ.ඒත් දැන් සිද්ධ වෙලා ඉවර දේවල් වලට මට කරන්න දේකුත් නැහැ.ඔයා කතන්දර නොලියන නිසා මට දැනගන්න බැරි උනාට ඔයා මගේ නමටත් සමහර වෙලාවට කැමති නැතුව ඇති.නෙරන්ජනා කියන්නෙ ඉස්සර සින්දු වල තියෙන කොච්චර ගොඩේ නමක්ද?


මෙයට ,
ඔයාට දුර ඉදලා ලියන
නෙරන්ජනා


නෙරන්ජනාගෙ ලියමන් කොහොමටත් ඉතා කෙටිය.ඉහත පලවන්නේ මට ඇගෙන් ලැබුන පලවෙනි ලිපියයි.ඒ අපේ විවාහයට පලමුවය.ලියමන ලැබුනේ බොහොම සම්ප්‍රධායික විදිහට ගොළුබෙලි තැපෑලෙනි.ඇගේ ලියමන් ඇය මෙන්වම කුතුහලය අවුස්සයි.සමහරදිනක තනි කළු පෑනෙන් ලියවෙනා ලියමන් තවත් දවසක ලියවෙන්නේ දිලිසෙන කොලවල ලුමිනස් පැහැයෙනි.ඇය කෙටි ලියමන් වලින් මා ඇවුලුවාය.ලියමන් ඇගේ මානසික ස්වබාවය කියාපානවායයි ඔබට සිතෙන්නට හැක.ඇත්තෙන්ම නම් නැත.ලුමිනස් පැහැයෙන් දිනක දුක කියන ඇය තවදිනක කලු පැහැයෙන් සිනාසෙයි.ඒ ඇගේ හැටිය.

 

සෑම ලිපියකම කෙලවර මලක් (ඇත්තෙන්ම බොහොම සරළ සාමාන්‍ය මලක්) අදින්නට ඇය හුරුවී සිටියාය.පලවෙනි ලියමනේ තිබුන මලේ හරියටම තිබුනේ එක පෙත්තකි.ඒ පෙත්ත ඇය තද රතුපාටින් පාටකර තිබුනාය.


Dearest Loving ෆ්‍රැන්සිස්,

 

අම්මා ඔයාගෙ තාත්තට හරිම ආදරෙයි.ඔයාගෙ තාත්තට හුරතල් කතා කියනවා.ඇත්තටම මම අහලා නෑ අපේ අම්මා ඒ වගේ හුරතල් කතා තාත්තට කියනවා.ඇත්තටම අම්මා ටෙඩිබෙයෙක් වගේ .හරිම ලස්සනයි. ඒ වගේම හරිම හොදයි.අපේ අම්මා තරම්වත් නීති නෑ.ඇත්තටම කියනවා නම් කිසිම නීතියක් නෑ.එ උනාට ඔයාගෙ තාත්තා හරිම කම්මැලියෙක්. අම්මට කිසිම උදව්වක් කරන්නෙ නෑ.

 

Neranjana


මලට කහපාට පෙත්තක් එකතුවී තිබුනි.මල සතුව මල් පෙති දෙකක් ඇත.රතු පෙත්තක් සහ කහ පැහැති පෙත්තකි.මෙයද ගොලුබෙලි තැපෑලෙන් මට ලැබුන ලියමනකි.අප විවාහ වී එවිට එක් මසකි.කහවනු අවශ්‍යව තිබිනි.මට කහවනු සෙවිය හැකි වූයේ මුහුදෙහිය.ඒ සදහා විවාහ වී දෙසතියකින් මම නැව් නැග්ගෙමි.

 

ඇය සතුටින් සිටින බව පෙනේ.ඒත් මම එක් දෙයක් හැදිනීමි.ලිපියෙහි කොතැනවත් ඇය මගේ අම්මාට "ඔයාගේ අම්මා" යයි අමතා නැතත්,තාත්තාට හැමවිටම "ඔයාගේ තාත්තා" යයි අමතන්නට උත්සුක වී ඇති බවය. එය මට පැනයක් වින .තවමත් ඒ පැනය එසේම තිබේ.


මීලග ලිපිය මට ලැබෙනුයේ ඉතාමත් අනියම් අයුරකිනි.මගේ කොට්ටය යට තිබීය.එවිට මම නිවාඩුවකට ගෙදර පැමිණ සිටියෙමි.මගේ අම්මාත් තාත්තාත් සිටියේ අප සමගය.නිදන්නට ප්‍රථම කොට්ටය සකස් කිරීමේදී ලිපිය ලැබේ.මම අකමැති ගන්ධයක් ලිපියෙන් හමයි.ඒ සුදුලූනු සුවදකි.ඇය මට අකමැත්ත ප්‍රකාශ කරන්නේ ලෝකයේ මම අකමැතිම ගන්ධය යොදාගෙනය.


ෆ්‍රැන්සිස්,


මම කැමති නෑ ඔයාට දුක හිතෙනවට.මම හිතන්නෙ ඔයා මේ ලියුම කියවන එකක් නෑ.එහෙම වුනොත් හොදයි.මම මේ ලියමනේ සුදුලූණු ගෙඩියක් ඇතිල්ලුවෙ ඔයාට කියවන්න එපා වෙන්න.ඒත්,හිතහදාගෙන ඔයා මේ ලියමන කියවනවා වෙන්න පුළුවන්.

 

අද ඔයාගෙ තාත්තා කියුවා මම අදින විදිහ හරි නෑ කියලා.මේ ඇගට හිරවෙන ඩෙනිම් කලිසම් හරිම චීප් ලු.මට අර අදින්න හිතෙන්නෙම නැති බැරැක්ක වගේ සායවල් අදින්නලු.එතකොට මම පොඩි එකක් වගේලු.මම ඒත් කියුවා කලිසම් අදින එක ලේසියි කියලා.සායවල් දවස ගානෙ හෝදන්නෙ පොලීසියෙන්ද.මම මෙහෙම ලියුවට මෙහෙම ඇහුවෙ නෑ.හිනා වෙලා නිකම් හිටියා.මම හිතන්නෙ ඒ විදිහ හොදයි.අම්මත් කියනවා කලිසම් අදිනවා නම් දිග බ්ලවුස් අදින්නලු.ඒත් ඔයාට මතකද අම්මගෙ පින්තූරයක් තිබුනා කොට කලිසමක් ඇදපු.සමහර විට මතක නැතුව ඇති.ඒත් ඒ ඔයත් ඉපදිලා ඉන්න දවස් වල.


දුකින් ඉන්න
නෙරන්ජි...


 

ලිපිය කියවා මම ඇය සනසන්නට වෙහෙස වුනෙමි.ඒ වෑයම අසාර්ථක බව මට දැන් පසක් වේ.නමුත් එය සාර්ථකයැයි මම එදවස සිතුවෙමි.මල්පිති තුනක් පිහිටියාවූ මලේ අන්තිම පෙත්ත අළු පැහැයක් ගති.


මම නැවත් නැව් නැග්ගෙමි.මේ ලියමන ලැබුනේ ඉන් අනතුරුවය.

 

ආදරණීය ෆ්‍රැන්සිස්,

 

ඔයාගෙ තාත්තා  කියනවා අපි සල්ලි වියදම් කරනවා වැඩිලු.ඔයා ගෙදර ආපු දවස් වලට පීසහට් යන්නෙ ඇයි කියලා එයා අහනවා.ගෙදරින් කන්නලු.ඔයාගෙ තාත්තා කියනවා මගේ පඩිය මදිලු.වැඩ අඩු වැඩි පඩියක් තියෙන රස්සාවක් හොයා ගන්නලු.මට පිස්සු වගේ.


 කසාද බැදලා අවුරුද්දක් වෙලත් අපිට දරුවෙක් නැතිලු.තාත්තා හැම වෙලාවෙම එහෙම කියනවා.මට කනක් ඇහිලා ගෙදර ඉන්න නෑ.ඒක ඇත්ත. ඒත් ඔයා ලංකාවෙ නැතුව මට දරුවෙක් හිටියොත් ඒක අද්භූත නැද්ද?මට ඇත්ත කියන්න.එහෙම වුනොත් ඒක අසාමන්‍ය නැද්ද?


තාමත් මම දුකින්,

Neranjana 

 

මලට තව පෙත්තක් එක්වී තිබින.එය පැහැ ගන්වන්නට නෙරන්ජිට අමතක වී ඇත.ඒ පෙත්ත සුදුපාටයි.එයාට හිතෙන්න ඇති මල් පෙත්තෙ සුදුපාට අතුල්ලන්නට සුදුපාට පැස්ටල් කූර වියදම් කරන එක අපරාදෙ කියලා.සමහර විටක ඒ හිස් මල්පෙත්තක්.එය එසේ වීමටද හැකිය.


මීලග ලියමන ලැබෙන්නට මසක් වත් ගත නොවුනි.අපේ විවාහයට එවිට එක් අවුරුදු වයස් විය.එය ඉතා කෙටිය.


ෆ්‍රැන්සිස්,

 

අවාසනාවට මේ පස්පෙති මලකි.
දැන් තාත්තා මට කිසිවක් කියන්නේම නැත.
අම්මා රෑ දාවල් නොබලා මට දෝස්මුර තබයි.
සතුටුදායක ආරන්චියකි.
මම ගැබිණියක්මි.
ඔබේ පරම්පරාවේ රුධිරය සහිත දරුවකු බිහිකරමි.

 

ඉතාමත් සතුටින්,
නෙරන්ජි.

 

අවසාන මල්පෙත්ත මොනපාටදැයි මට මතක නැත.මම කියවා අවසන් වුන සැනින්ම පිස්සෙකු බවට පත්වුනෙමි.ආවේශවූවෙමි.නෙරන්ජිට දරුවෙක්.මම නිවසින් පැමිණ දැන් සිවුමසකි.

 

මම නොහඩමි.සුදුපැහැති මල්පෙත්තක් ඇගලා පෙට්ටියක නිදියන සුරංගනාවිය දෙස බලා ඉමි.ඇගේ කුස මදක් උස්ව පෙනේ.

"දුක් වෙන්න එපා.ඔයින් ගිය එක ලොකු දෙයක් පුතේ.නැත්නම් මැරෙන්න වෙන්න අපට..."

මගේ අම්මාගේ කටහඩ පසුපසින් ඇසේ.මගේ තාත්තා දොර අසල හිද පැමිණෙනවුන්ට ආචාර කරනු පෙනේ.

Saturday, September 1, 2012

වලාකුලේ මියගිය රෝසමල් කුමාරිය

 පුවත්පත් කලාවේදිනියක්  පොලවෙ පයගහලා ජීවත් වෙන්න ඕන නිසා මම වැඩිය උස අඩි තියෙන බොරු කකුල් වලට කැමත්තක් නෑ.ඒ නිසා දාන්නෙම ෆ්ලැට් සෙරෙප්පු.

 

හිස් බවක් නැති ලිපියක් ලියන්න හිතුනා.ඒත් මම ඉන්නේ හිස් බවකින් පිරුණු ලෝකෙක.ඇත්තටම කියනවා නම් ෆැන්ටසි ලෝකෙක.ඒ අනිත් අය කියන විදිහට.ඒත් මට හිතෙන විදිහට මේ විදිහ හොදයි.කොහොමත් යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි.යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න හුගක් දේවල් උවමනා කරනවා.ඉගනීම,රැකියාව,සල්ලි....ඒත් මායාව ඇතුලෙ ජීවත් වෙන්න ඔය මුකුත් ඕන නැහැ.

මම නිදාගන්නෙ වලාකුලක.මේ දැනුත් නිදාගෙන නැගිට්ටා විතරයි.ඒ වලාකුල සුදුපාටයි.ඇස් දෙකපියාගෙන පුන්චි වලාකුලක් තුරුලු කරගෙන මම නිදාගන්නෙ අහසෙ.සමහර වෙලාවල සුරංගනාවියො මම නිදාගෙන ඉන්න වලාකුල ඒ අතටත් මේ අතටත් පද්දනවා.තොටිල්ලක් වගේ.ඒත් හැමදාම එහෙම කරන්නෙ නෑ.හිතුනම විතරයි.

 

මගේ හීන කුමාරයා ඉන්නෙ බිම.මගේ කාමරේ බිම.හාන්සි වෙලා.සුදු පාටින් පුරවපු බැලමකුත් එක අතකින් අල්ලගෙන.මම එයාට සමාන්තරව බිම හාන්සි වෙලා ඉන්න කැමතියි.මගේ අතේ තියෙන්නෙ හදවතේ හැඩේට හැඩගැහුනු බැලුමක්.ඒ වෙලාවට මම එයාගෙ අතින් අල්ල ගන්නවා.පුන්චි ප්‍රශ්නෙකට තියෙන්නෙ මම විතරයි ජීවමාන.එයා ඉන්නෙ චෝක් වලින් ඇදිලා.මම සම්පූර්ණ පණ පිටින්.අසාමාන්‍යයි කියුවට ඇත්ත ඒකයි.ඒක හරිම සොදුරුයි.

හීන කුමාරයගෙ රූපෙ ඇදලා තියෙන්නෙ චෝක් කූරකින්.පුන්චි ලමයෙක්ගෙ රූපයක් වගේ.ඒත් එතකොට ප්‍රශ්න අඩුයි.මම කැමති කෙනෙක්ව එතනට ආදේශ කරගන්න පුළුවනි.කොහොමටත් මාස තුනකට විතර සැරයක් එතනට ආදේශ කරගන්න කෙනා වෙනස් වෙනවා.

සමහර වෙලාවට දොඹ ගෙඩි වගේ වතුර බින්දු අපේ බැල්කනියට වැටෙනකොට මම ජනේලෙ ඇරගෙන බැල්කනිය දිහාට ඔලුව දික් කරගෙන ඉන්නවා.එතකොට එහාගෙදර බැල්කනියෙ ජනේලෙන් ඔලුව දික් කරගෙන  ජැක් මගේ දිහා බලාගෙන ඉන්නවා.සමහර වෙලාවට අපි හාදු හුවමාරු කරගන්නවා.

"ඔය ළමයට පිස්සුද වැස්සට ඔලුව දික් කරගෙන ඉන්න..."ඒ වගේ සුන්දර මොහොතක් නිමාවට පත්වෙන්නෙ ඒවගේ කටුක වදනකින්.අපේ අම්මා කියන.අම්මට නොපෙනෙන්න ඉන්න ජැක් දන්නවා.මම රෝස් වෙනවා.මට නැවක ඉන්නවා වගේ දැනෙනවා.

මම මගේ දුක ඔක්කොම කියන්නෙ වත්තෙ තියෙන වදගහට.සමහර වෙලාවට මම වදගහට තුරුල් වෙලා අඩනවා.හීන ලෝකෙ ඉන්න හැම පෙම්වතෙකුටම වඩා සුන්දර විසදුම් ,ප්‍රායෝගිකව මට වද ගහ කියලා දෙනවා.ඉද හිටක මට හුගක් දුක හිතුන දවසක බයි කලර් මලක් පිපෙනවා.එතකොට මගේ කදුලු ඔක්කොම  ඒ බයිකලර් මල පිහිනවා.

මේ ලියමන ලියුවට පස්සෙ මම මේ යෝගට් එකට නිදි බෙහෙත් දාලා කනවා.ඒකට දාන්න ස්ට්‍රෝබරියි කොලමිදියි මම ගෙනාවා.එතකොට රහට තියෙයි.මැරෙන්න උනත් මම කැමති කලාත්මක විදිහට.මම රෝස මල් පොකුරක් ගෙන්නගෙන මම නිදා ගන්න වලාකුලේ හැමතැනම ඇතිරුවා.මම වලාකුලක් උඩ මියගිහින් ඉන්නකොට හැමෝටම දුක හිතෙයි."වලාකුලේ මියගිය රෝසමල් කුමාරිය"කියලා අපේ පත්තරේ හෙඩ් ලයින් වැටෙයි.

මේ හැම දුකකටම හැම තීරණයකටම හේතු වුනේ අපේ අම්මා කියනවා මට ඇහුනු කතාවක්.

"අපේ ලොකු කෙලීට කළු කුමාර දිශ්ඨිය කියලා කට්ටඩි මහත්තයා කියුවා.තොවිලයක් නටන්න වෙයි.."

හැබැයි මේ වෙනුවට මට පත්තරේට ආටිකල් එකක් ලියන්නත් තිබුනා...

"කළුකුමාර දිශ්ඨියේ මිත්‍යාව" කියලා.

 

අම්මා දන්නෙ නෑ මම කළු කුමාරයොන්ට කොහොමත් කැමති නෑ.

විලියම් කුමාරයා කේට්ගෙන් දික්කසාද වෙලා මට ආදරෙයි කියුවෙ පෙරේදා....අම්මටත් ඉරිසියාව.

කුඩ....


කඩේ යෑම...

කඩේ යන ගමන් මං...
ලස්සන රූපෙකට...

සීනි තේකොල
හාල් තුනපහ
නොගෙනෙනා මුත්
කඩේ යන්නෙමි මං...


අපි විහිළු කරගන්නවා
හිනා වෙනවා
මම ලගදි කියුවා
අම්මලා මට හොයනවා...

"හොයාදෙන්නට උදව් වෙන්නද මමත්?
අපි දන්න හොද අයත් ඉන්නවා..."


කීව කට කපන්නට හිතුනා
ඒත් කම්මුල් රතු වුනා...


මමත් බැද නැත...
උඹත් බැද නැත...
පේනා හැටියකට
මා බදින්නට උඹ
කැමති නැත...


ඒත් තවමත් කඩේ යමි මම...

"නැන්දම්මා මාමා" සහ "අම්මා තාත්තා"

මේ හිත් රිදෙන රිදවා ගන්න මාතෘකාවක්.ඒ වගේම හිත් හැදෙන මාතෘකාවක්.


ඒත් එක්කම කියන්නට ඕනෙ මේ ඔස්සේ මගේ ලෝකයේ ඉන්න නැන්දම්මා වත් මාමා වත් අම්මා තාත්තා වත් කියවන්න ලෑබෙන්නෙ නැති බව.මම කියන්නෙ සමස්ථයක් විදිහට මම අහල දැකලා තියෙන දේවල්.මට කියපු දේවල් එහෙම.සමහර දේවල් තියෙනවා කියන්නෙ නැතුව දැනුන දේවල්.

 

අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක් පුන්චි කාලෙ ඉදලම හදනවා බලා කියා ගන්නවා.මට හිතෙන විදිහට අම්මෙක් ගෙ තාත්තෙක්ගෙ ආදරේ දැනෙන්න ඇත්තටම තමුන්ට දරුවෙක් ඉන්න ඕනෙ.


එතකල් ඔය මොන මොන තාලෙන් කියුවත් අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ ආදරේ තරම දැනෙන්නෙ නැහැ.ඒ අය තමන්ගෙ දරුවා වෙනුවෙන් මුළු ජීවිතයම උනත් කැප කරන්න ලෑස්තියි.අවුරුදු අසූවක් වයස වුනත් ඒ අය කියන්නෙ..."අපි වෙනුවෙන් මහන්සි වෙන්න එපා පුතේ" කියලයි.මම කියන්නේ බහුතරයක් පිලිබදව.

 

මේ අතර සුළුතරයක් වෙනස් වෙන්න පුළුවන්.තමන්ගේ දරුවටත් ශාප කරන්න පුලුවන්.ඒ දේවල් වලට බලපාන මානසික තත්ව සහ ආර්ථික තත්ව තියෙනවා.උදාහරණයක් විදිහට රජයේ රැකියාවක් කරලා විශ්‍රාම අරගෙන ඉන්න අම්මෙක් තාත්තෙක්ගෙ විශ්‍රාම වැටුප නිසා තමන්ගෙ දරුවන් මත යැපෙන්න සිද්ධ නොවෙන්න පුළුවන්.නමුත් පෞද්ගලික  අංශයේ රැකියාවක් කරපු කෙනෙක්ගේ තත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.


ඒ අය දරුවන්ගෙන් යැපීමක් බලාපොරොත්තුවෙන අතරෙ ඒ දෙය නොලැබිම නිසා දුක්වෙන්න පුළුවන්.තවදුරටත් වත්මන් සමාජ ක්‍රමය යටතේ දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් ගතකරන්න පුළුවන් කාලය වෙනස් වෙන්න පුළුවන්.


ඒ හැමදෙයක්ම යටතේත් බොහොමයක් අම්මලා තාත්තලා තමන්ගෙ දරුවන්ට ආදරේ කරනවා.අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොයිවෙලාවකවත් තමන්ගෙ දරුවෙක් වැරදියි කියලා දකින්නේ නැහැ.එහෙම දැක්කත් ඒ බලන බැල්මේ ආදරයත් තැවරිලා තියෙනවා.සැබෑ ආදරයක්.


ඒ අතරෙ වැඩිවියට පත්වෙලා විවාහ වෙනවාත් සමගම තමන් ජීවිතයට ලගා කරගන්නවා තව ආකාරයක අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්.ඒ තමයි මාමා සහ නැන්දම්මා.ඒ තමන්ගෙ සහකරුගෙ අම්මා සහ තාත්තා.ඒ අම්මා සහ තාත්තා තමුන්ට තමුන්ගෙ දමව්පියන් ආදරේ කරනවා වගේම තමුන්ගෙ සහකරුවාට/සහකාරියට ආදරේ කරනවා.ඒ දෙය පිලිගැනීමට තමන් සූදානම් විය යුතුයි.ඒත් හැම වෙලේම තමුන් පිටස්තරයෙක්.අළුත් සාමාජිකයෙක්.තමුන් අඩිය තබන්නේ තමුන්ට වඩා වෙනස් සමාජ පරිසරයකට.මම එක උදාහරණයක් කියන්නම්.මේ උදාහරණය හරිම සරලයි.ඒ වගේම උපුටාගැනීම මගේ ජීවිතයෙන්.


පහුගිය අලුත් අවුරුද්ද දවසෙ මම හිටියෙ මගේ සහකරුගෙ ගෙදර.මම අලුත් අවුරුද්ද වෙලාවෙ බලාගෙන ඉන්නවා කවුරුත් අලුත් ඇදුම් අදින පාටක් නෑ.ඒ පාර මම අලුත් ඇදුම ඇන්දා.සහකරුටත් අන්දවා ගත්තා.ඒත් අම්මාවත් තාත්තා වත් මල්ලී වත් අලුත් ඇදුම් ඇන්දෙ නෑ(සහකරුගෙ පාර්ශවය ).ඒත් අලුත් අවුරුද්දෙ සතුට අඩුවක් නැතුව තිබුනා.අපි හුගක් සතුටු වුනා.මට මේ සරල වෙනසට හැඩ ගැහෙන්න සිද්ධ වුනා.


නැන්දම්මා කියලා අමතන්න නොහිතෙන තරමට සමහර නැන්දම්මලා තමන්ගෙ අම්මා වගේ.ලෙඩ දුක් වලදී තමගෙ රස්සාවල් ගැනවත් නොහිතා උදව් කරනවා.ඒත් සමහර අය සලකන්නෙ තමන්ගෙ දරුවා විනාශ කරන්න ආපු සතුරෙක්/සැතිරියක් විදිහට.


ඒත්, ඇත්තනම් තමන්ගේ දරුවාගේ ජීවිතයට පිටස්තර කෙනෙක් සම්බන්ධ වී ඇති බවයි.ඒ බව පිලිගන්නට ඔවුන් සූදානම් විය යුතුයි.

අපි හිතමු මෙහෙම දෙයක් ලේලි/බෑණා අදින පලදින විදිහ තමන් කැමති විදිහට වැඩිය වෙනස් වෙන්න පුලුවන්.ඒ බව ඔවුන්ට කියාදෙන්නට යාම හොදයි.නමුත් හිත නොතැලෙන විදිහට.කෙනෙක් තමන්ගේ ශරීරයට නොගැලපෙන දෙයක් අදිනවා වෙන්න පුලුවන් ඒ ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත.පුදගලයෙක් තමන් අකමැති දෙයක් කරලා කවදාවත් සතුටින් තබන්නට බැහැ.


සමහරු හිතන්නේ තමන්ගේ දරුවාගේ මුදල්පවුලට සම්බන්ධවූ සාමාජිකයා අතොරක් නැතිව වියදම් කරවන බවයි.ඒත් ඇත්ත වෙනස් වෙන්න පුලුවන්.තමන්ගේ දරුවාම ඒදෙය කරවනවා වෙන්නට පුලුවන්.සමහර වෙලාවක,ගමක ගෙවන ජීවිතයේ වියදමුත් කොලඹ නගරයේ වියදමුත් වෙනස් ස්වරූපයක් ගන්නවා.ඒ වගේම තමයි විවාහක යුවලකුත් තමන්ගේ මුදල් පරිපාලනය පිලිබදව දැනගත යුතුයි.තමන් මුදල් උපයනවා කියන්නේ අරපරිස්සමක් ඇතිව ජීවත් වීමට තමන් හුරුවිය යුතුයි.


සමහර දේවලින් හිත් රිදෙනවා.තවත් දේවල් වලින් හිත් සුවපත් වෙනවා.

කොහොමටත් පෞද්ගලික ජීවිතයේ නම් මට ඉතාමත් හොද නැන්දම්මා කෙනෙක් මාමෙක් ඉන්නවා කියලා  කියන්නට පුළුවන්.ඒක එක්තරා විදිහක භාග්‍යක්.ඒත් අපිට ජීවිතයේ වෙනස්වීම් පිළිබද අනාවැකි කියන්නට බැහැ.


කොහොමටත් තමන්ගේ බෑණට හෝ ලේලිට තමන්ගේ දරුවෙකුට වගේ ආදරේ කරන අතරෙම නැන්දම්මට ,මාමට තමන්ගේ අම්මාට තාත්තට වගේ ආදරේ කරන්න පුළුවන් නම් හොදයි.

 

ඒත් ඒක මේ මම කියන තරම් ලේසි නැහැ.