මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, July 28, 2015

ආදරණීය සත්සර

ආදරණීය සත්සර,

ෆිල්ම් එක බලන අතරමගදි ආදරෙයි කියලා ලියලා එවන්න හිතුනා.ලියමනක් තැපෑලෙන් එනවා තරම් මේක සුන්දර නෑ, මම දන්නවා.ඒත් මට ආයෙමත් අකුරු වලින් ආදරේ කරන්න පුළුවන් වෙලා.මගෙ හිතට තන්තෝසයි.

මට ඔයාව සෑහෙන්න මතක් වෙනවා.කොටින්ම කියනවා නම් මිස් වෙනවා.ඒක වචන වලින් විස්තර කරන්න බෑ.පිරිමි සුවදකට ගැහැණියක් ආදරේ කරන්න පටන්ගත්තාම ඒ බැදීම හරිම තදයි.යකඩ එකට පෑස්සුනාම එන තදගතියටත් වැඩිය. ඉතින් මම ඔයාගේ සුවදට ආදරේ කරන්න පටන් අරගෙන..

ඔයත් මම වගේම තනියම ගෙදර එනවා ඇති.මොනවා හරි ලිපේ නැත්නම් මයික්රොවේව් එකේ තියලා රත්කරගෙන කනවා ඇති.රහ නැති කෑම වලින් බඩගිනි නිවෙනවා ඇති.ගැහැණියක් ජීවිතේට අවශ්යම කාලෙ තනිකම හිත ඇතුලෙ වගේම ගේ පුරාමත් පිරිලා ඉතිරිලා තියෙනවා ඇති.

මම අද නුගේගොඩ ඉදලා තනියම පයින් ඇවිදගෙන ආවා. එකිනෙකා හා වෙලුන පැටලුන ගැහැණු සහ පිරිමි දෑත්,සමහර තැන් වලදි මුණ ගැහිලා හිත රිද්දුවා.මගේ දකුණු අතෙත් ඔයාගේ වමත පැටලිලා තියෙනවා වගේ මට දැනුනා.ඔයාගේ එක අතක් මගේ උරහිස වටේ රැදිලා තියෙන වෙලාවක දැනෙන ඔයාගෙ සුවද,නාස් පුඩු ඔස්සේ හදවතට කිදා බැස්සා.

"මමත් ඔහොම ගිය හැටි මතකයි"කියලා කොහේදෝ ඉදගෙන ගායකයෙක් සින්දුවක් කියුවා.හැම දේම හැම තත්පරේම වෙනස් වෙන හන්දා,එක තත්පරේක "ඔයාව මට තවත් එපා!"කියලා ඔයා කියයි කියලා මට නිතරෝම හිතෙනවා.හිතිලා හිත බය වෙනවා.ඊට පස්සේ ඇස් වලට කදුළු පිරෙනවා.

අපි අස්ථිර ලෝකේ ස්ථිර නැති පදාර්ථ වලට බැදෙනවා.බැදිලා හිත් රිද්දගන්නවා.ඒත් ආයෙමත් හිත ඇතුලෙන්ම ආදරේ කරනවා.

එක වෙලාවක ඔයාගේ ඇස් මගේ ඇස් ඇතුලට කිදාබැහැලා වචන වලින් නැතුව ඇස් වලින් හුවමාරු කරගත්ත ආදරේ අනුරාගයත් එක්ක මිශ්රවෙලා,මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් දිව්යමය මිහිරක් වින්ද මතකය මගේ හිතට හිටිගමන් ඇවිත් යනවා.

මම එකදවසක් පහේලි කියලා හින්දි පින්තූරයක් බැලුවා.ඒකෙ නළුවත් අකවුන්ටන්ට් කෙනෙක්.එයා බැදපු පළවෙනි දවසෙත් මුළු රෑම ගනන් හදනවා.ඊට පස්සේ මහන්සියි කියලා එතනම වැටිලා නිදියනවා.කරදාසි කොල වලින් අපේ ජීවිතේ පාලනය කරනවා. ඉතින් ඔයත් හම්බ කරන්න ඕනේ.ඔයා දන්නවද?සල්ලි කොල වලට පුළුවන් කතා කරන්න.

මම අද පාරේ කකුල කැඩිලා වගේ පෙන්නගෙන හිටපු සීයා කෙනෙක්ට රුපියල් විස්සක් දුන්නා.දහයෙ කාසි දෙකක් දීපු අයියා කෙනෙක්ට පින් නොදීපු ඒ සීයා,මට "බෝම පින් නෝනේ!"කියලා කියුවා.ඒකයි මම ඔයාට කියුවේ.සල්ලි කොල වලට ඇහැකි කතා කරන්න.

මට තව හුගක් ලියන්න පුළුවන්.

ඒත් ඔයා මෙලහකට වලාකුළු රෙද්දක් පොරෝගෙන හීතලට ගුලිවෙලා නිදි ඇති.ඉතින් නිදි ළමයින්ට තව මොකටද කතන්දර.

ආදරෙයි මං

සත්සරණි

Thursday, July 16, 2015

හිතට දුක නොදැනෙන්න

පිය සටහන් නොතියා යන්න....

ඉගිල්ලී එන්න....

ආදරෙයි කියා
බිම බලාගෙන ඉන්න....
සුලැගිලි කොනක් ඉඩ තියෙයි තාමත්
දැනෙන නොදැනෙන ලෙසින්
අතින් අත් පැටලෙන්න....

මතකැතුව,
පියාඹා එන්න...

පිය සටහන් නොතියා යන්න....

***

සද වතුර
ඉහෙයි තාමත්
ඇහි පියන් උඩ
කලාතුරකින් රෑක.