මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, June 27, 2012

කවි දෙකක්....

 1

රන් මාල පෙත්තක්
අල්මාරියේ කොනක
ගෙල පැලදෙන්න ආසාව...

සුදු ගෙලක්
ඉමිටේෂන් මාල පෙත්තක්
පැලද...

 

2

ලියන්නට ඕනෑ...
ත්‍රිකෝණාකාර කවියක්...

සම ද්විපාදව
මධ්‍යලක්ෂයේ සිට
සරල රේඛා අදින...

එක ලක්ෂයකට
අඩුවෙන් බෙදෙන....

 

Thursday, June 21, 2012

කීර...(කෙටිකතා)


"අම්මා ගියා කීර මිටි විකුණන්න...."

"හ්ම්ම්....ඉතින් මට කතා කලේ???"

"නිකන්..."

"ඇත්තටම නිකන්මද?"

"හොරා වගේ අහන හැටි...දන්නෙම නෑ"

"නෑ තමයි...."

"කතා කලේ අපිට අපිව හොයා ගන්න පුලුවන් කියන්න"

"ඇදුම් අහවර කිරීමත් ආපහු ඇගලා ගැනීමත් අතරෙ හදුනා ගැනීමක් නෑ.එතන තියෙන්නෙ විකෘතියක්"

……………………………………………………………………………………………………………………………………………………….

පොල් අතු අතරින් ඉර එලිය සෙමින් ගලා එයි.සමන්තිට සිහි වුනේ මේ හිදැස් අතරින්ම වැහි බින්දු වැටෙනා බවකි.වැස්ස දවසට  ගොම ගෑ පොලව මත තියන්නට ඇති තරම් බාජන නිවස තුල නැත.නින්දත් නොනින්දත් අතර ඉන්නා අම්මා තෙමාගෙන වතුර ගලා යනු ඇත. තමන් සැතපෙන කුඩා ඇද මතට වතුර වැටෙන්නට අම්මා ඉඩ දුන්නේ නැත. අම්මා යනු අමුතු වචනයකි.වචනයේ අමුත්ත තේරුම් ගන්නට වයස විසිහයක්ම ගතවින. තාත්තා හිරේ ගියේත් හිරේ ගිය පසු අම්මා කසිප්පු විකිනුවේත් අම්මා යන වචනයේ ඇති අමුත්ත නිසාය.අම්මා තාත්තාට බිරිදක් විය.නමුත් සමන්තිට අම්මාය.

බිරිදක් අයාලේ යාමත් බිරිද අයාලේ යාම නිසා සැමියා හිරේ යාමත් සිදුවිය හැක.යකඩ කූරු වලට හැගීම් නැත. තාත්තා හිරේ ගිය පසු බිරිද මියගොස් අම්මා වෙනදාටත් වඩා ජීවමානව ජීවත් වූවාය.

අම්මා අයාලේ ගියේ නැත.කීර විකුනන්නට ගියාය.

………………………………………………………………………………………………………………………………………………………

දොර පැලැල්ල අඩවන්ය.සමන්ති තාත්තාගේ නොවන පිරිමි උණුසුමකට තුරුලුවී සිටියාය.

"ඔයාගේ ලග ගදයි.."

"මම හෙව්වෙ ඔය ගද නැති කෙනෙක්...තාත්තගේ ලග තිබුන ඔය ගදටත් මම කැමති නෑ"

"ගෑනු ළමයි තාත්තා වගේ අය හොයනවා. නෑ කියුවට ඇත්ත ඒක. "

"කසිප්පු ගදක් එක්ක මට පිරිමි සුවදක් එන එක ඇත්ත.ඒත් කාණු අස්සෙ  වැටෙන පිරිමින්ට මම කැමති නෑ."

…………………………………………………………………………………………………………………………………………………………

"අපි සල්ලි හොයන්න ඕනෙ සමන්ති."

"ඒ ලෙවලුත් පාස් එකේ රස්සාවක් හොයා ගන්න. අම්මට කියන්නත් පුලුවන් එතකොට.."

 

"රස්සාවෙන් දියුණු වෙන්න දැන් අමාරුයි.බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ"

"මම ඔයාට කියන්න හිටියෙ .මම හෙට මහත්තයෙක්ව එවනවා.අම්මා දවල්ට කොහොමත් නෑනෙ.ටිකක් හොදින් කතා බහ කරලා ඉන්න ඒ මහත්තයත් එක්ක."

"මට තේරුනේ නෑ"

"තේරුම් ගන්න තරම් දෙයක් නෑ.ඔයා දැන් පොඩි බබෙක් නෙමෙයිනෙ.ලොකු ගෑනියෙක්"

"තමුසෙ හදන්නෙ මාව විකුණන්නද?"

……………………………………………………………………………………………………………………………………………

සමන්ති ලස්සන කොණ්ඩ කරල් දෙකක් පිට මැදට වැටෙන්නට ගොතාගෙන හිටියා.ඕඩි කොලොන් බෝතලෙන් බින්දු දෙක තුනකුත් බෙල්ල දෙපැත්තෙ තවරගෙන.

"අද හරිම හැඩයිනෙ.කාටවත් දෙන්න ලෝබයි...."

"හ්ම්ම්..."සමන්ති හරි හැඩට හිනා වුනා.

"ඔයා මහත්තයෙගෙන් කීයක් ගත්තද?"

"පන්දහයි..."

"හවසට කීයක් හරි දෙන්නම්..."

…………………………………………………………………………………………

සමන්තිගේ අම්මා ගෙදර ආවා.

ගොම ගාපු පොලවෙ පිරිමියෙක් වැටිලා හිටියා.සමන්ති පිරිමියා දිහා බලාගෙන ඉදගෙන හිටියා.බිම...

ගෙදර පුටුවක් තිබුනා.

අම්මා කීර මිටි ඔක්කොම විකුණලා තිබුණා.

Tuesday, June 19, 2012

ඇල්නිලම් තාරකාව....

(පෘතුවි වාසීන් නිර්මානය කර ඇත්තේ ඔරායන්ගේ බද පටියේ මධ්‍ය තාරකාව වන ඇල්නිලම් තාරකාවේ සිටි දියුණු ජීවීන් විසිනි.පුවතක්...) 

තවම බිම බලාගෙන

පොලොව මත නිම කෙරුන

සුවිශිෂ්ඨ නිමැවුම....

බස් එකේ වැඩට යන

කකුල් කෙඩෙත්තුව රැගෙනගෙදර එන

බත් උයා දරුවන්ට කන්න දෙන...

දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ බලන

පහුවෙනිදාත් වැඩට යන්නට සැරසෙන...

සුවිශිෂ්ඨ නිමැවුම....

නිර්මිතය

තමන් කල නිමැවුමෙන්

වෙනස් බව හිතන

ඇල්නිලම්,

සහෝදර තාරුකා දෙස බලන....

"ගුවනෙ සැරි සරනු ඇති

අලුත් දෑ සොයාගනු ඇති

නව නිමැවුම් තනනු ඇති

අපිට අබියෝගයක් වනු ඇති...."

සල්ලි කොල

නිර්මිතය සොයාගෙන ඇති

විහිලුවකි

කොල කැබලි ජීවිත උකස් ගෙන...

නිර්මිත දෙස බලාගෙන සුසුම් ලන....

ඇල්නිලම් ,

හෙලන කදුලක තැවරි

අපට ඉදහිට වැසි ලැබෙන...


Monday, June 18, 2012

'කපුරු'




'ඉරිදා පොලකට ජීවිතේටම ගිහිල්ලා තිබුනෙ නෑ' කියන්නෙ,අපි හැම බඩුවක්ම ගන්නෙ සුපර් මාකට් එකෙන් කියන එකට තවත් නමක්.ඉතින් හරිනෙ.කතාව ඇත්තනෙ.රෙනලි මොකටද බොරු කියන්නෙ.රෙනලිට ඇත්ත වුනත් ඒ බව වෙන අයට කියන්නට උවමනාවක් තිබුනෙ නැහැ.ඒත් පොල් ,කහම කහ පාට කෙසෙල්ගෙඩි,හින්නාරන් ගොඩවල්,අඹ,පැපොල් ගොඩවල් ගහලා තියෙනවා පොල ලගින් යන රෙනලි දකිනවා.


පහුගිය මාසෙ ඉරිදා දවසක තමයි රෙනලි ඇත්තටම පොලට ගියෙ.පොල ලගින් යනකොට රෙනලි දැක්කා ලස්සන මල් පැල.රෝස,කානේශන් ,ජර්බරාස්,සමන් පිච්ච,වතුසුද්ද පැල මල් වලින් පිරිලා තිබුනා.


සුදු ,කහ,රෝස,රතු මල් වලින් රෙනලිගෙ හිතේ බල්බ් දැම්මා වගේ ආලෝකමත් වුනා.මල් පැලයක් ගන්නම ඕන කියලා රෙනලිගෙ හිත කියුවා.ගෙදර තියෙන හිස් මල් පෝච්චියයි ගෝනියකට දාලා ගෙනාපු පසුයි රෙනලිට මතක් වුනා.රෙනලි එමින් ගමන ජීවිතේ පලවෙනි පාරට පොලට ගියා.

ගන්න මල්පැලේ පාට මොකක්ද කියලා රෙනලි සෑහෙන්න කල්පනා කලා.තද කහ,දම් සහ ලාකහ කියන පාට වලින් රෙනලිගෙ හිත නතර උනේ ක්‍රීම් පාට මල් පැලයක් ලග.පැලේ නම 'කපුරු'.

 

රෙනලි 'කපුරු'ව ගෙදර ගෙනාවා.'කපුරු'අතින් බිම තියන්න තරම්වත් රෙනලිට හිතක් නෑ.'කපුරු' දිගටම හිටියෙ රෙනලිගෙ උකුල උඩ.රෙනලි කපුරුට හුගාක් හුරතල් කතා කියුවා.

ගෙදර ආපු ගමන් රෙනලි 'කපුරු'ට ගෙදරක් හදලා දුන්නා.සිමෙන්ති වලින් හදපු ගෙදර ගමෙන් ගෙනාපු පස් පුරවලා තිබුනා.නිල්පාට මැණික් කැට වගේ පෙනුන පෝර කැට  පස් අතර රැදෙව්වා.ගේ ඇතුලෙන් 'කපුරු'ව ඉන්දවපු රෙනලි 'කපුරු'සුවපහසුවෙන් ඉන්නවද කියලා හොයලා බැලුවා.


ඒත් කපුරු රෙනලිව ගනන් ගත්තාද මන්දා...'කපුරු' ගේන කොට තිබුනු මල ඇරෙන්නට කවදාවත් තවත් මල් පිපුනෙ නැහැ.රෙනලි කපුරුට එක එක ජාතියේ පෝර කෑම කන්න දුන්නා.ලෝකෙ තියෙන හොදම පානය හැමදාම බොන්න දුන්නා.ප්‍රේමවන්තයට හොරෙන් හැමදාම රෑටයි උදේටයි හාද්දකුත් දුන්නා.

'කපුරු' ඇහැක්වත් ඇරලා රෙනලි දිහා බැලුවෙ නැහැ.රෙනලිට දුක හිතුනෙ නැතුවමත් නෙමෙයි.රෙනලි හිතුවා කපුරුට ආඩම්බර වෙන්න හේතු තියෙනවා කියලා.රෙනලිට පුලුවන්ද මලක් උපද්දවන්න?බෑනෙ....ඉතින් 'කපුරුට' පුලුවන්නෙ.කපුරුට ආඩම්බර වෙන්න හේතු තියෙනවා.
රෙනලි දිගටම 'කපුරුට'සැලකුවා.

කාලෙ ගතවෙලා ගියා.රෙනලි දවසක් හිතුවා 'කපුරු'ව මරන්න.ගෙදරි එලවලා දැම්මම 'කපුරු' ඉබේටම මැරෙයි.රෙනලි එහෙම හිතලා නිකන් හිටියෙ නැහැ.'කපුරු'ට ඇහෙන්න ප්‍රේමවන්තයට එහෙම කියුවා.

'කපුරු'මරනවා කියුවම ප්‍රේමවන්තයට සතුටුයි.රෙනලිගෙ තොල්පෙති තවදුරටත් අන් ස්පර්ශයකින් කිලිටි නොවෙන නිසා.

පහුවෙනිදා උදේ ම රෙනලි නැගිට්ටෙ තමන්ගෙ අත්දෙකින් 'කපුරු'ව මරලා දාන්න හිතාගෙන.

'කපුරු'සුවදක් කාටත් නොකියාම රෙනලිගෙ ජනේලෙන් ඇතුලට ආවා.


රෙනලිගෙ තොල්පෙති තව සෑහෙන කාලෙකට  දිගටම අන් ස්පර්ශයකින් කිලිටි වුනා.


Saturday, June 16, 2012

තේ මල....

තේ ගස් අතර
කලුපාට සිරියාව
අත් මැසිමෙන්
තේදලු නෙලන....

සුදුපාට තේ මල්
තොල් අතර රදවාන
උදෑසන වඩිනා
නොකුලුදුල් ප්‍රේමය....

වැසි වලට
අව්කාෂ්ඨකේට
තෙමී වේලෙන
පඩිපත....

උණ්ඩි කොට
අත් අතර,

තේ මල් සිනා වස්සන
ලෙච්චමී නොවන
තේ මල....

Friday, June 15, 2012

'යාලු කන්'(සත්‍ය කථාවකි.මගේ ආත්මගත මිතුරියට ස්තුති ලිපියකි.)



මම ඇගේ කන් ගැන විමසිල්ලෙන් නොබැලුව බව සැබැවි.ඒත් ඒවායේ යාලුකම තැවරී තිබෙනයුරු දුටුවෙමි.ඇගේ කන් ඇගේ සමේ පැහැයම වන්නට ඇත.මට හරියටම නිච්චි නැත.

මට ඇයව මග හැරී ගිය කාල තිබිණි.ඒත් ඇයට මාව මග නොහැරින.

අපි පාර මාරු වෙන්නට වත් අතින් අල්ලා නැතිමුත් ඇය මගේ හිතින් තදකොට අල්ලාගෙනම සිටියාය.මම ඇගේ හිතේ ගෑවී නොගෑවෙමින් සිටියෙමි. ඉස්පිරිතාලයකට ජීවිතයේ පලමු වතාවට ඇතුල්වනවිට දැනෙන හැගෙන දේ මම පසුගිය සදුදා අත්වින්දෙමි.මාරාන්තික උණ රෝගයක් මගේ සිතැගි වලට අනුව ඒ වනවිට මට වැලදී තිබිණ.මම අන්තිම කැමැත්තද ඒ වනවිට දැනුම් දී සිටියෙමි.මා සිතුවේ මා මියයතියි කියාය.

ඇය මා වෙනුවෙන් වද වුනිය.මා නොසිතුව ලෙස මා බලන්නට දවසට තුන් වරක් පැමිණියාය.වැඩට යන්නට කලින් සුදු සාරියක් ඇද මා වෙනුවෙන්ම පන්සලට ගොස් පිරිත් නූලක් ගෙන ආවාය.

පරීක්ෂන වාර්ථා ඇයට හැකි අයුරු කියවා බැලුවාය.දොස්තර කෙනෙකුට මම ඇගේ අක්කා යයිද ඇය මගේ නන්ගී යයිද කීවාය.ඒ හැම විටම මම ඈ සමග සිනාසුනෙමි.එහෙත් මගේ හිතේ හැමවිටම කදුළු තැවරී තිබින.ඒ ඇය මග හැරුණු වතාවල් වෙනුවෙනි.මගේ හිතට ඇයව අමතක වුනු මිනිත්තු වෙනුවෙනි.

මගේ ලග සැමියාද ,නැන්දම්මාද,අම්මාද සිටියෝය.ඒ හැමකෙනෙක් ලගම යුතුකමක් තැවරී තිබින.නමුත් ඇයට මා වෙනුවෙන් යුතුකමක් නොතිබින.ඇය සතුව තිබුනේ 'යාලු කන්' පමණි.

යුතුකම් වෙනුවෙන් ආ අය හැරෙන්නට මා බලන්නට කවුරුවත් ආවේ නැත.'යාලු කන්'ඇති අය ආවේ නැත.ඇය පමණක් 'යාලු කන්' ගෙන මා බලන්නට ආවාය.

මා කෑවාද බීවාදැයි සොයා බැලුවාය.රෝගය මදක් වැඩිවූ දිනක රැ ට්රයිෂෝවක නැගී තනිකඩ ගැහැනු ළමයෙකු නොපැමිණෙන ලෙස ඇගේ 'යාලු කන්'ගෙන පැමිණියාය.

මගේ යාලුවන් යයි ඇය දැන සිටි අයට මගේ අලුත්ම තත්වය කීවාය...

මම මගේ රෝගයට පින් දෙමි.මා මිය යා හැකිව තිබුනු බව සැබවි. නමුත් ඇයව මගේ සිතට තබා නැවතත් තදින් බැන්දාට මම පින් දෙමි.

ඇය නැවත හමුවූ විට ඇගේ 'කන්' දෙස සුපරික්ෂාකාරීව බැලීමටත් 'යාලු කන්' වල පැහැය හදුනා ගැනීමටත් මග බලමි.

ප්‍රේමයේ බැල්කනිය සහ හිස්තැන්..(කෙටිකතා)





අපේ කුලී ගෙදර පිහිටා තිබුනේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ නොවන අතුරු පාරකය.කවදත් මා ප්රිය කලේ දෙපතුල් වලට පොලව ස්පර්ශවන  බිමකි.එවැනි බිම් කුලී නිවෙස්න වල ලැබීම ඉතා දුර්ලබ විය.ගෙහිමියෝ කවදත් පහල තට්ටුව කුලීකාරයන්ට නොදෙති.ඔවුන්ගේ උරුමය බොහෝවිට පඩිපේලියකින් ඇරඹෙන ඉහල මහල වෙති.

 

අපේ උරුමයද එයම විය.

 

අප යනු කවුරුනදයි හදුන්වා දීම ඉතා වැදගත්ය.'අප' යන බහුවචන පදය සමන්විත වූයේ මා හා මගේ සැමියාගෙනි.අප විවාහ වූයේ අලුත නොවේ.විවාහයට පස් වසර සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් මාසයටය.නමුත් මේ වසර දෙකක් පැරණි කතාවකි.'ප්රේමයේ බැල්කනිය'හිමි නිවසට අප පැමිණියේ විවාහයට හරියටම වසර තුනක් සම්පූර්ණ වූ දිනයේයි. ඒ අපේ දෙවන කුලී නිවසයි.

 

මගේ කැමැත්ත පලමුව බැලකනියට හිමි නොවුනි.මගේ සිත් දිනාගැනීමට සමත්වූයේ නිවසේ නාන කාමරය සහ නිවස තුල තිබූ දුඹුරුවර්න කබඩ් පේලියයි.විසමිත කබඩ් පේලිය මගේ අපිලිවල ගෙදරට එන අමුත්තන්ගෙන් සැගවීමට සමත්වූ අතර,නාන කාමරයේ පිලිවල වෙහෙසකර දවසක නිමාවෙන් මගේ සිත සැනසූ අතර උනු දියෙන් මගේ ගත සැනසීය.

 

මේ නිවස්නට අයත්වූ අඩි 10*10 බැල්කනිය මගේ ජීවිතයේ මටද නිරාවරනය වී නොතිබුනු පැතිකඩක් නිරාවරණය කිරීමට සමත් වේයයි,මගේ ජීවිතය පිලිබද ලජ්ජාවක් ඉතිරි කිරීමට ලජ්ජා සහගත මිහිරියාවකින් මගේ ජීවිතය පුරවාලීමට සමත්වේයයි නොසිතීමි.

 

වසර තුනක් සපිරුනාවූ මගේ විවාහ ජීවිතයේ හිස්තැන් තුනක් විය.

 

පලමු වැන්න මල් පොකුරකි.නැවුම් සුවදින් පිරීගිය මල් පොකුරකි.මල් වර්ගය කුමක්දැයි නියතයක් නොතිබුනු මේ මල් පොකුර කහ,රෝස සහ සුදුපාට මල් වලින් යුක්ත විය.මෙම මල් පොකුර වෙනුවෙන් වනවිට මම හරියටම වසර තුනක් පෙරුම් පුරා සිටියෙමි.පලමු වෙනි දෙවැනි විවාහ සන්වත්සර,මගේ උපන්දින,මල් පොකුරු නැතුවම ගතවිය.බැරිම තැන මල්පොකුරක් විවාහක සැමියාගෙන් ඉල්ලීමට තරම් මම අකාරුණික වීමි.ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ නමුදු මල් පොකුර ඔහුට මග හැරින. ජීවිතයේ කවරදාවත් මට  මල්පොකුරක් තෑගි ලැබී නොතිබින.

 

දෙවන හිස්තැන තිබුනේ හාදුවක් සම්බන්ධවයි.සැමියාගෙන් හාදුවක් ලැබීම කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නාක් මෙන්ද,හාවා හද දකින්නාක් මෙන්ද විය.මේ හාදුව සාමාන් හාදු ගනයෙන් වෙනස්විය.එය දැනෙන හාදුවක් විය යුතුවිය.දෙතොල් සීතලෙන්ද හදවත උණුසුමෙන්ද පුරවන්නක් විය යුතු විය.ප්රේමය දැනෙන හාදුවක් විය යුතු විය.එම හාදුව දෙනු ලබන පුද්ගලයාට මා නැතුව ජීවිතය ගත කල නොහැකි බවක් මේ හාදුව මගින් මට දැන්විය යුතු විය.

 

විවාහක සැමියා මට ඇති තරම් හාදු පිරිනැමීය.නමුත් හැම හාදුවකටම හේතුවක් තිබින.එක්කෝ ඔහු උදෑසන රැකියාවට යාමට පෙර දෙන සම්ප්රධායික හාදුවයි.එසේත් නොමැතිනම් මිනිසාගේ එක් ප්රධාන ඇවැසිතාවයකට පලමු අවසිහියෙන් දෙන හාදුයි.මගේ 'හාදුවේ හිස්තැන'පිරවීමට මේ හාදු සමත් නොවීය.

'බැල්කනියට'කිසිසේත් මගේ මේ අවශ්යතා සැපිරිය නොහැකි බව දනිතත්,ඉර බැස යමින් පවතින සැදෑවල මෙම බැල්කනියට ගොස් නුගේගොඩ සරසවියෙන් ගන්නා පොත් කියවීමට පුරුදුව සිටියෙමි.දවසේ ප්රියතම කාලය වූ සවස සැමියා නිවසට එනතුරු මම මේ පොත්වල ඇලී ගැලී වෙලී සිටියෙමි.

 

බැල්කනියට ඉදිරිපස නිවසේ බැල්කනියද,තවත් නිවසක සාලයද දර්ශනය වූ අතර දකුණු පසින් තිබුන නිවසේ මිදුල සහ කෙසෙල් පැල පෙනින.

 

මාස දෙකකට පසු බැල්කනිය පෙනුන නිවසට පොඩි දරුවෙකු පදින්චියට පැමිණියාය.හුරතල් දරුවකු වූ ඇයට ක්‍රේල් කොණ්ඩයක් තිබින.වයස අවුරුදු තුනක් හතරක් පමණ වන්නට ඇත.හවසට ඇය ඇගේ නිවසේ බැල්කනියට පැමිණ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියාය.උරහිසට වැටී තිබුනු කොණ්ඩය ගවුමේ පාටට ගැලපෙන් පීත්ත පටියකින් ගැට ගසා තිබින.ඇගේ දෙතොල් ඇගේ අම්මාගේ මෙන් වන්නට ඇතැයි මට සිතුනේ ඒ දෙතොල් ලා රෝස පාටකින් යුක්තවීම නිසාය.

 

'ඇය'මගේ තුන්වසරක විවාහ ජීවිතයේ තුන් වැනි හිස්තැන එහාගෙදර බැල්කනියේ සිට සවස්වරුවේ පැය දෙකක කාලයකට පිරවූවාය. එක් සෙනසුරාදා දවසක සවස්වරුව ඇගේ දෙතොලේ රෝස පැහැය මවගේ උරුමයක් නොවුන බව මට පසක් කරදුන්නේ අවුරුදු තිහක් පමණවන 'තාත්තා'ඇය සමග සෙල්ලම් කරනුදැකීමය.'අම්මා'කිසිදිනක නොදුටු මේ දැරිය ගේ අම්මා කොහෙදැයි මා වදවෙන්නට පටන් ගත්තේ 'තාත්තා' දැකීමෙන් පසුවය.

 

සතියේ දවස්වල මේ කුඩා දැරිය මා සමග සිනා සෙන්නටත් සෙල්ලම් කරන්නට එන ලෙස අතින් අඩගසන්නටත් පුරුදුව සිටියාය.සතියේ දවස්වල හවස්වරුවල සිනාසෙමින් දැරිය දෙස බලා සිටින්නට හුරුවූ මම සෙනසුරදා දිනවල මම කියවමින් සිටි පොතට ඉහලින් හොරෙන් බැල්කනිය දෙස බලා සිටියෙමි. 'බැල්කනිය'දෙස බලා සිටීම යන යෙදුම වඩා සුදුසු වන්නේ දැරිය දෙසම බලාසිටියා යයි කිව නොහැකි බැවිනි.

 

'තාත්තා' දැරිය සමගම සෙල්ලම් කලායයි කිව නොහැකි වන්නේ හොරෙන් බැලූ ඇස් වලට හොරෙන් බැලූ ඇස් හමුවූ බැවිනි

 

දවස් ගතවී ගියේ හරිම වේගයෙනි.

 

හදිසියේ දවසක මම නොසිතු වෙලාවක නිවසේ සීනුව නාද වින.ප්රසිද්ධ මල් බෙදාහරින ආයතනයක නියෝජිතයෙක් රෝස,කහ සහ සුදුපාට මල් පොකුරක් අතැතිව දොර ඉදිරිපස හිටගෙන සිටියේය.'ඉස්සරහ ගෙදර ලස්සන ආන්ටිට..'ළදරු අත් අකුරු වලින් මල්පොකුරේ ලියවී තිබින....

 

ජීවිතයේ පලමු මල් පොකුර හිමිවිය.හිත සතුටෙන් පිරී ඉතිරී ගියේය.හිත ඇතුලත පසුගිය වසර දෙකටම සුවද කරන්නට මල් පොකුර සමත් විය.

 

දැන් අප නිවසෙහි නැත.රෝස තොල් ඇති දැරියද,'තාත්තා' නැතුවා වන්නට ඇත.

 

'ප්රේමයේ බැල්කනිය' මතදී මගේ විවාහ දිවියේ දෙවනි හිස්තැන පිරවුනේ නැත.නමුත් චපල ස්ත්රී චිත්තයෙහි වෙනුවෙන් බලාපොරොත්තුවක් නොතිබුනා යයිද කිව නොහැක.

 

හිස්තැන් තුනෙන් දැන් ඉතිරිව ඇත්තේ එක් හිස් තැනකි.

 

හිස්තැන පුරවන්නය 'අප' දෙදෙනාගෙන් මම නොවන අනෙකාට තවමත් හැකියාව ඇත.

 

එක අතකට හිස්තැන් ජීවිතය බලාපොරොත්තුවෙන් පුරවා ජීවයෙන් අවුලුවා ලයි.

 

Saturday, June 9, 2012

බිරිදගේ නිබ්බුත පද...

ඔබ
කවි නොලියන
කතන්දර නොකියවන

මම ප්‍රබන්ධ කියවනාතුරු
රහස් පරීක්ෂක කතන්දර කියවන

අපි හරිම විරුද්ධ...
අපිටම හිතෙන...


මම
ඉදහිටක
නෝක්කාඩු කියන...

මුකුත් නොකියාම
නිහඩවන...
දුක හිතෙන බව
මුහුනෙන් පෙනෙන..


රෝගීව වැදහුන් කල
කවන්නේ

පොවන්නේ

බෙහෙත් ගෙන දෙන්නේ...


කිසිවිටක
තරහක් නොසිතන්නේ...


නුඹ මට
මව්ද
පියද
සොයුරද වන්නේ....

සෙනෙහෙ ගග
මහවැලිය දෙවෙනි කොට ගලන්නේ...

 

ඔවැනි සැමියෙකු ලබන්නිය

බෝ වාසනා කොට ඇත්තී...


දිවි දෙවනි කොට නුඹට පෙම් කරන්නී...


මරණ බිය ජීවිතය උගන්වන බව උගත්තෙමි...

ඉස්පිරිතාල ඇදන් මත

මිනිසුන්,

පින්සෙන්ඩු වී

දොස්තර දෙවියන්ට,


තව හුස්ම ඉල්ලන...


ජරාපත් මහලුවුන්

දිරාගිය ජීවිත

අතරට ,

මෑතකදි ගිය දවසක...


මමද

රෝගීව දිරාගොස්

සිටියෙමි...


අහෝ ජීවිත

සිතුන මුත්,

සසර කල නොකිරුනෙමි...


හැරපියා යනු බියෙන්

තව තවත් බැදුනෙමි...


සිගා යෙමි ජීවිතය...


ඉගන කියා අවසන

සැමියෙකුත් ලැබ

සැලකුම් ලැබිය යුතු මාපියන් ඇති කල


කෙලෙස හැරයම්ද???

ආසාව අන් අය මතට පටවමි.


මරණ බිය ජීවිතය

උගන්වන බව

උගත්තෙමි...

Monday, June 4, 2012

ෆැන්ටසිය....



ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කහපාට මල්පිපුන මග දිග

දෙ අත් පටලමින්  යන..

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


සිනමා සිත්තමක

නලුවා නිලිය වෙත

සෙනෙහසේ හාදුවක් දෙන

ෆැන්ටසිය රැගෙන ගොස්...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


හිනාවත් තහනම්ව තිබු

විසි වසක් එහා අතීතය

හොරෙන් අත තැබු ලියමනක

තිබු සුමිහිරිබව රැගෙන..


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


කුස උපන් දියනියට

පෙම් නොකලයුතුබව කියාදෙන

අද වගේ දවසක...


ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


පලමු පෙම හරි විසය

දිවිතුරා හද රිදෙත...

පලමුපෙම කිසිදාක

නොකරන්න...

ඔවදනක් දෙමි දුවට...


අතරතුර,

ඔබ එදා වාගෙම එන්න...

පෙනී නොපෙනී සිනාසී යන්න...


Saturday, June 2, 2012

රාග...Simply Lust




අපි ගිනි උදුන ලග වාඩිවෙලා හිටියා.මම හිටියෙ පහසුම ඉරියව්වෙන්.එරමිණියා ගොතාගෙන.තවදුරටත් කාටවත් පේන්න වෙන කෙනෙක් වගේ හැසිරෙන්න උවමනා නැහැ.ගිනි උදුන සිතට ප්රේමය ගෙනාවා.වරදවා වටහා ගන්න එපා. ප්රේමය ...ආදරය නොවෙන.ආදරය......... ලෙන්ගතුකම.....  දයාව.... අනුකම්පාව හා බැදී පවතින...ඒත් ප්රේමය හරි සරලයි,බැදී පවතිනවා රාගයත් සමග .රාගයේ උත්කෘෂ්ඨතම අවස්ථාවෙන් පස්සෙ රාගය අප්රිය බවට පත්වෙනවාත් එක්කම ප්රේමය නැතිවෙලා යනවා.

ප්රේමය අතරතුර,රාගය අතරතුර ආදරයක් ඇතිවෙලා නැත්නම් ප්රේමයේදී රාගයේදී තමන්ගේ ඉතිරි අර්ධය බවට පත්වුන පුද්ගලයා අමතක වෙලා යනවා.අමතක කරන්න උත්සාහ ගන්නවා.නොසලකා හැරීම් වලට බාජනය වෙනවා.නමුත් ආදරයක් ඇති වුනානම්.දයාව අනුකම්පාව සමග ජීවිතය බෙදා ගැනීමක් බවට හැරෙනවා.

 

ඔහු මට බියර් වීදුරුවක් තොලගාන්නට ආරාධනා කලා.ප්රතික්ශේප කිරීමක්.තිත්ත අප්රසන්නතාවයට මගේ ඇති අකමැත්ත නොබියව කියා පෑමක්.ඔහු බියර් වීදුරුවක් පුරවා ගත්තා.තවත් ආරාධනයක්.

"ඔයා ඔය හිතන්නේ ඔයා ගැන විතරයි.මම බියර් බොනවද කියලා ඇහුවට අකමැතිනම් මොනවද බොන්නෙ කියලා ඇහුවෙ නැහැ"

 

"සමාවෙන්න.ඔයා මොනවද බොන්නෙ."

 

"වයින්"

 

ඔහු එතනින් නැගිට ගියා.මොහොතකට පසුව නිරුවත් කකුල් දෙකක් මා අසලට ආවා.මගේ ඉදිරියෙන් ඉද ගත්තා.ප්ලම් වයින් සමග වීදුරු දෙකක්.ඔහු එරමිණියා ගොතා ගත්තා.මම වගේම. ඔහු කැමතිම ඉදගැනීමේ ක්රමය.

 

ඇස් හතරක් එකිනෙකා දෙස බලාගෙන ඉන්න පටන් ගත්තා.වයින් වීදුරු එකක් පසුපස තව එකක්.මත්වුන ස්වබාවයකට පත්වෙන තුරු.ගිනි උදුන තිබෙන කාමරයේ පොත් රාක්ක හතරක්.මගේ පුන්චි පොත් අල්මාරිය පිලිබදව මට ලජ්ජා කරවන.ඔහු විසින් අදින ලද චිත් හැමතැනම.මා විසින් තේරුම් ගන්නට අසමත්.

ඔහුගේ ඇස් ටිකෙන් ටික සුපුරුදු වර්ණයෙන් වෙනත් වර්ණයකට හැරෙන්න පටන් ගත්තා.රතු පැහැය.ප්රේමයේ හෝ රාගයේ පැහැය.

 

අපි අපි දිහා බලාගෙන හිටියා.වයස තවදුරටත් බාදකයක් වුනේ නැහැ.

 

"හිතා ගන්න අපි තණතිල්ලක එකිනෙකාගේ අත් අල්ලාගෙන ඇවිදගෙනයනවා කියලා.අපේ අත් එකිනෙකාට කිට්ටුවෙන් සමීපව.මගේ හදවතේ උණුසුමත්,ඔයාගෙ හදවතේ සීතලත් අත් ඔස්සේ එකිනෙකාට සන්නිවේදනය වෙමින්." 

 

කවුලුවෙන් පිටත ස්වේතවර්ණ හිම.ඇස් ඉදිරිපිට ගිනි උදුනේ ගිනි දැල්.හිත ඇතුලත සභ්යත්වයේ හිම.හිත මතුපිට රාගයේ  රතු වර්ණය.

 

ඔහු මා දෙස තවදුරටත් බලාගෙන හිටියා.මම මගේ උරහිස් නැති කමිසයේ පිටතට පෙනෙන රෝස පාට සහ ලාකොලපාට ඔහුගේ නෙත්වලට කොයිතරම් ආකර්ෂණීයව පෙනෙනවා දැයි සිතමින්.අවුරුදු ගනන කියාපාන රැලිවැටුනු ඇස් දිහා බලාගෙන හිටියා.කොහොමටත් වයස පනහකට අඩුවෙන්.