මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 15, 2013

මගෙ ආදර වැලන්ටයින්…






ආදරවන්තයින්ගේ දවස ආදරයෙන් සැමරිලා අදට හරියටම එක දවසයි.සමහර වෙලාවට මෙහෙම කියනකොට ආදර හිත් තම තමන්ටම මුමුණාගන්නවා ඇති ආදරවන්තයින්ගේ දවසේ සැමරුම්ආදරණීය තිළිණ,සමරු සටහන් අතරෙ ලෝකයාට හොරෙන් හුවමාරුවුන ආදරණීය හාදු එහෙමත් ඇති.
"මොන විකාරද ආදරේ කරන්න මොන දවස්ද?අපිටනම් හැමදාම ආදරවන්තයින්ගේ දවසක් තමයි.."සමහර ගනන්කාර හිත් එහෙමත් කියනවා ඇති.
ඕවා තනිකරම බිස්නස්කාරයින්ගේ කූටප්රයෝග...මේ තරුණ ළමයින්ට ඕවා තේරෙන්න ඉහනිකට පැහෙන්න ඕනෙ...” කොණ්ඩෙ යාන්තමට සුදුවෙලා තියෙන වැඩිහිටි වියට පාතබමින් ඉන්න අය එහෙම හිතනවා ඇති.
ඕනම දෙයක් ගැන එක එක්කෙනා හිතන්නේ විවිධ විදිහට.මේ අතරෙ ආදරවන්තයින්ගේ දිනය කියන්නේ පෙබරවාරි මාසේ 14 වෙනිදා කියන්නෙත් එක දෙයක් විතරයි,විවිධ අය විවිධ විදිහට හිතන.
ආදරවන්තයින්ගේ දවස ගැන මටත් හිතෙන විදිහක් තියෙනවා.ඒත් ගැන කියනවට වැඩිය අපූරුවට ආදරවන්තයිගේ දවසක මගේ හිතට එක්කාසුවුන කවමදාකවත් නොමැකෙන ආදරයක් ගැන කියන්න හිතුවා.
මේ ආදරකතාවට දැන් හුගක් වයසයි.පහුගිය අවුරුදු ගනනාව අතරෙ කතාවට එකතුවුන සිදුවීම් අනන්තයි, අප්‍රමාණයි.ඒ අතරින් හිතට හුගක්ම තදින් වැදුනු,හදවතේ පතුලටම ඒ ආදරේ ආදරණීයත්වය දැනුනු සිදුවීමක් සිද්ධවුනේ මීට  අවුරුදු දහහතරකට කලින්,පෙබරවාරිමාසේ දහහතරවෙනිදා දවසක.
ඒ කාලේ මම හිටියේ ඉස්කෝලේ නමයේ පන්තියේ. හරියටම වයස අවුරුදු දාහතරයි.සුදුගවුමේ රැලි පොඩිකරගන්නේ නැතුව ඉස්කෝලේ ඇරෙන කල්ම ඉන්න ඇප කැපවුන වයසේ.පුන්චි දේටත් මූණ රතුකරගෙන බිම බලාගත්ත,ගවුමේ පාටට ගැලපෙන්න ලේන්සු පාවිච්චි කරපු කාලේ.පිරිමි ළමයෙක් හිනාවුනත් ගැන මහාලොකුවට හිතපු කාලේ.මම දැන් ලොකු ළමයෙක් කියලා පුංචි හිතට හිතෙන්න පටන්ගත්ත කාලේ.
පෙබරවාරි මාසේ දාහතර වෙනිදට කිට්ටු දවසක ඉස්කෝලේ ගිහින් එනකොට මගේ හිත වෙනදට වැඩිය පිරිලා තිබුනා.ඉස්කෝලේ අහවර වෙලා එන මග තිබුනු අට්ටික්කා ගහ වැහෙන්නම මල් පිපිලා තිබුනා.මගේ හිතේ තිබුනේ මම බලන්න නමයේ පන්තියට ආපු දහතුනේ පන්තියේ අක්කලා දෙන්නෙක් ගැන.එයාලගේ පන්තියක ඉන්න අයියා කෙනෙක් මට බොහොම කැමතියිලු. කියපු වචන ටික හදවතට හරි බරට දැනෙන්න පටන් අරගෙන තිබුනා.
පුංචි හිතට දැනුනේ මට කවුරු හරි කැමතියි කියනදේ මහා ලොකු දෙයක් විදිහට...
කොහොමටත් යාලුවෝ ආදරවන්තයින්ගේ දවසට ලැබෙන රසවත් චොක්ලට් ගැන,රසබර ලිපි ගැන කතාකලා.සමහර ආදර කතන්දර ගෙවල් වලින් දැනගත්ත දාට ගෙදරින් ලැබුනු කසාය පාරවල් ගැන විස්තරත් යාලුවන් අතරෙ හුවමාරු වුනා. “ගෙවල්වලින් නොදැන ඉන්න එක තමයි හොද….”කෝඩුකාර ආදරවන්තියෝ කියුවේ එහෙමයි. 
හවස් ජාමේ රැකියාව අහවර වෙලා අම්මා ගෙදර එනකල්ම හිත පිරිලා තිබුනේ සතුටකින්.මුහුණකට සෝදගෙන මගේ ගෙදර වැඩ බලන්නට එන අම්මාට දවසේ විස්තරය රෙපෝර්තු කිරීමත් මගේ දවසේ කොටසක් වෙලයි තිබුනේ.ඉස්කොලේ වැඩ ගැන,සමාජ අධ්යනය උගන්නන්න අලුතෙන් ආපු ටීචර් ගැන කියන අතරෙ තව දෙයක් කියවුනේ ඉබේටම.
"අම්මේ අද හරි වැඩක් වුනානේ..."
"හ්ම්ම්...මොකක්ද?"අම්මා මගේ ගණන් පොත බලමින් හිටපු නිසා මගේ තොරතෝංචියක් නැති කතාවට සවන් යොමුකලේ අඩුවෙන් වෙන්න ඇති.
අද දහතුනේ පන්තියේ අක්කලා දෙන්නක් ආවනේ මාව බලන්න.එයාලගෙ පන්තියක ඉන්න අයියා කෙනෙක් මට කැමතියිලු.”
අම්මාගේ ඇස් ගනන් පොතෙන් ඉවතට වීසි වුනේ ඉබේටම. ඇස් ඉද්දගැහුවා වගේ මගේ දිහා බලාගෙන හිටියා හැබැයි තත්පර දහයකටත් වැඩිය අඩු කාලයක්.
"ඉතින් පුතා මොකෝ කියුවේ?"අම්මගේ ඇස් වල කුතුහලය ගෑවිලා තිබුනා.
"මුකුත් නෑ.එයාලා මුකුත් ඇහුවෙත් නෑ.ඒත් අයියලා ඉන්න යාලුවෝ නම් කියනවා එයාලට වැලන්ටයින් දවසට චොක්ලට් එහෙම හම්බ වෙයි කියලා.."මම අම්මට කියුවෙ නිකමට.
කතාව එතනින් ඉවර වුනා.ඊට පස්සේ අම්මා ගැන ආයෙමත් ඇහුවේ නෑ.
වැලන්ටයින් දවස ටිකෙන් ටික කිට්ටුවෙමින් තිබුනා.චොක්ලට් පිළිබද හීන හිතේ නොතිබුනාමත් නෙමෙයි.යාලුවොන්ට ලැබුනොත් කොහොමත් එයාලා ඉස්කෝලේ ගේනවනේ.මට එහෙම හිතුනා.
පෙබරවාරි 14 වෙනිදාත් වෙනදා වගේම ලස්සන දවසක් විත්තිය මතකයි.මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්මාට කියන්න හිතාගෙන අම්මාගේ කාමරේට ගියා.වෙනදා වෙලාවට අම්මා ඉන්නේ රැකියාවට යන්න ලක ලැහැස්ති වෙමින්.බොහොම රුවට සාරියකින් සැරසිලා ඉන්න අම්මාගේ රූපය හිතට ගේන්නේ සතුටක්.
"අම්මේ,මම යනවා"කියාගෙනම මම අම්මාගේ කාමරේට එබුනා.
කවදාවත් නැතුව කලිසම්කාර මහත්තයෙක් අම්මාගේ කාමරේ තොප්පියකුත් දමාගෙන පිටුපස හරවාගෙන."අම්මේ..."මට කෑගැහුනේ ඉබේටම.එතකොටම කලිසම්කාර තරුණ මහත්තයා මගේ දිහාවට හැරුණා.
නුපුරුදු ඇදුමක් සමග සුපුරුදු මුහුණක් ...හැමදාම දැනෙන ආදරනීය ලෙංගතුකමක්.අතේ චොක්ලට් පෙට්ටියක්."අම්මේ මොකද මේ?..."මගේ ඇස්වල විශ්මයක් එක්කලා බයක් තැවරිලා තිබුනා.
"ඔන්න පුතාට වැලන්ටයින් දවසට චොක්ලට්..."අම්මා හිනාවෙලා කියුවා.
තාත්තගේ කලිසමකුත්,කමිසයකුත්,තොප්පියකුත් අම්මව අපූරු මහත්තයෙක් බවට පත්කරලා තිබුනා.

එදා ඒක දැනුනේ  විහිලුවක් විදිහට. විදිහට විතරමයි.
ඒත් අද විහිලුවම මහා ගැඹුරක් දනවන ආදරණීය විලංගුවක් විදිහට දැනෙනවා.
අම්මාගේ අත්දෙකින් උදේම ලැබුනු චොක්ලට් පෙට්ටිය පන්තියේ යාලුවන් එක්ක බෙදාගත්තා.
"මෙන්න මෙයාටත් චොක්ලට් ලැබිලා".යාලුවෝ එහෙම කියුවා.
මම යාලුවන්ට හේතු පහදන්න උත්සාහ නොකලේ චොක්ලට් කැබලි වල දැවටිච්ච හදවත් විනිවිද යන ආදර කතාවක් තිබුනි නිසා.
ජීවිතයේ ලැබුනු හොදම ආදරය තදින්ම දැනුන දවස එදා නිසා.
අම්මගේ ආදරේ ලෝකේ වෙන කිසිම ආදරයකට සම කරන්න බැරි නිසා.











No comments:

Post a Comment

Post a Comment