මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, September 10, 2013

ලස්සන මනමාලි

 දිණමින නෙල්ලිකතන්දර ලින්කුව :-
http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F09%2F10%2Fpg23_0&pt=p&h

ඉරිදා පත්තරේ මංගල යෝජනා තීරුව කියවන එක මගේ සති අන්ත පුරුද්දක්.පුරුද්දකටත් වැඩිය විනෝදාංශයක් කියුවත් හරි. වැඩියෙන්ම "මනාලයෝ" තීරුව කියවන්න හුරුවෙලා ඉන්නේ "මනාලියෝ" තීරුව මට අදාල නැති හින්දා වෙන්න ඇති කියලා හිතෙනවා. ඉස්කෝලේ යන කාලේ,කැම්පස් යන කාලේ,මට මනමාලයෝ හොයපු කාලේ වගේම මටම කියලා සැමියෙක් ඉන්න අදකාලෙත් මම "මනාලයෝ" තීරුව කියවනවා. පොඩි කාලේ ඉදලම තිබුන විනෝදාංශයෙන් මම සෑහෙන්න සතුටක් ලැබුවෙ මිනිස්සු තමන්ගේ සහකරුවාගෙන් හරි සහකාරියගෙන් හරි බලාපොරොත්තු වෙන දේවල් වෙලාවකට හරිම විහිලු සහගත හින්දයි. සමහරක් මනමාලයෝ රූපවාහිනිය නරඹන්නේ නැති මනමාලියෝ හොයන අතරේ තවත් අය ෆේස්බුක් ගිනුමක් නැති මනමාලියෝ හොයනවා. සමහර දැන්වීම් කියෙව්වම මට හිනාව නවත්තගන්න බැරි වෙනවා. එහෙම වෙලාවට මම හයියෙන් හිනා වෙනවා.
"මනාලයෝ"හුගක් දෙනක්ම තමන්ගේ දැන්වීම අහවර කරන්නේ, "රූමත් මනාලියක් සොයයි..."කියලයි. වගේම මනමාලියෝ හැමෝගෙම වගේ දැන්වීම් වල "අතිශය රූමත් දියණියට/සොයුරියට"කියන වචන පේලිය අනිවාර්යයි. එහම බැලුවම ලංකාවේ ඉන්න හැම ගෑණුළමයම "අතිශයින් රූමත්"ද කියලා නෙල්ලි කතන්දර ලියන මට හිතෙනවා. ඒ වගේම "රූමත්" වෙන එක විවාහයකට ඔය තරමටම වැදගත්ද කියලත් මගේ හිත මට කොනිත්තලා අහනවා.
බෙන් කියන්නේ මම කසාද බැදපු ආදරණීය ස්වාමිපුරුෂයයි.කසාද බදින්න ඉස්සර දවසක මංගල ඇරයුම් පතකුත් අත්දෙකින්ම අරගෙන බෙන් එක්කල එයාගේ ශාන්ත බොස්ගේ ගෙදර ගිය හැටි මට මතක් වෙනවා. ගෙදර මම විතර තුන්ගුණයක් විතර උස තාප්පයක් තියෙනවා. ලොකු කලුපාට කාටවත්ම අරින්න බැරි ගේට්ටුව දැක්කහම හෙමි හෙමීට මගේ හිතට බයක් ඇතුලු වෙනවා."බොස් අපි ඇවිල්ලා ඉන්නේ.."බෙන් ගේට්ටුව ලග ඉදන් ගේ ඇතුලේ ඉන්න ශාන්ත බොස්ට කෝල් එකක් ගන්නවා.ටික වෙලාවකින් ඉබේම ගේට්ටුව ඇරෙනවා.මම ඇතුලට යන්න කලින් බෙන්ගේ අතින් අල්ලගන්නවා. අතේ තිබුන ආදරේ උණුහුමට හිතේ බය ලාවට මැකිලා යනවා.
අපි ගේට්ටුවෙන් ඇතුලට යනවා.මහා මන්දිරයක් වගේ ගෙයක් මට හැන්දෑ කලුවරේ වුනත් පේනවා."අප්පේ මේ ගෙදර කීදෙනෙකුට නම් ඉන්න ඇහැකිද?" අතරේ මට හිතෙනවා.එහෙම වුනාට "අනේ අපිටත් මේ වගේ ගෙයක් තිබුනා නම්.."කියලා මට හිතෙන් නෑ.කලුපාට, ලොකු බඩක් තියෙන, මූණ මහන්සියෙන් පෙගුනු අවුරුදු හතලිස් පහක් විතර වෙන ශාන්ත බොස් ඇවිල්ලා දොර අරිනවා."..එන්න එන්න.."එයා කියනවා. හැන්දෑ කලුවර ඕනැවටත් වැඩිය ගෙට රිංගගෙන ඉන්නවා. ඒත් එක ලයිට් එකක්වත් දැල්විලා නෑ."ඇයි ?"මම කල්පනා කරනවා. "මමයි උදව්වට ඉන්න ගෑනු කෙනයි විතරනේ ගෙදර ඉන්නේ.."කියලා ශාන්තබොස් මගේ හිතේ තිබුනු ප්රශ්නේ තේරුම් අරගෙන වගේ කියනවා."අනික මමත් දැන් ආවේ.."එයා උත්තරේට අඩුවැඩිය එකතු කරනවා.
බෙන් මංගල ඇරයුම්පත අත්දෙකින්ම බොස්ට දෙනවා.කතා ලතා පැවැත්වෙනවා.ඒත් ගේ ඇතුලේ මොකක්දෝ මූසල කමක් මට දැනෙනවා.කවුරුවත් නැති ගෙදර ළමයි අම්මත් එක්කලා රට ඉන්නවාලු.ළමයින්ගේ අම්මා ශාන්ත බොස්ගෙන් දික්කසාද වෙලාලු. බොස් ළමයින්ට ඉගන ගන්න සල්ලි යවනවාලු.එයා අවුරුදු ගානකින්ම ළමයින්ව දැකලා නැතිලු. ඒත් එයාගේ හිතේ දුකක් ඇති විත්තියක් පේන්නේ නෑ."මම ඉතින් ජොලියේ ඉන්නවා.."කියලා එයා කියනවා.ඒත් එකම ලයිට් එකක්වත් පත්තුවෙලා නැති ගෙදර ලොකුරෙදි වලින් වහලා පාලුවට ගිහින් තිබුනු ආලින්ද පුටු එයාගේ සතුට යට කාටවත් නොපෙනෙන්න වලලලා තිබුනු කරුමක්කාර දුකක් තියෙනබව මට රහසින් කියනවා.
"අපෝ බෙන්ට ගෑණු ලමයි හොයන්න ලේසි නෑ.සෑහෙන්න හැඩ අය තමයි හෙව්වේ, වුනාට.."කියලා කතාව නවත්තලා ශාන්ත බොස් වෙන තැනකින් කතාව පටන් ගන්නවා.ඒත් වාක්යයේ ඉතිරිටික එයාගේ ඇස් දෙක කියවලා මම සම්පූර්ණ කරගන්නවා.එයාට කියන්න ඕනවුනේ මම හෙව්ව තරමට හැඩ නැති කෙනෙක් බව විත්තිය මට තේරෙනවා. මගේ හිත යාන්තමට රිදෙනවා.ඒත් මම විත්තිය බෙන්ට නොකියා ඉන්නවා.
අපි ආපිට ගෙදර එනවා.මංගල්ලෙට බොසුත් එනවා.සුබ පතලා රුපියල් පන්දාහක් දීලා ආපිට යනවා.අපි දෙන්නා සතුටින් ඉන්නවා.කාලේ ඉගිල්ලිලා යනවා.
බෙන්ගේ මල්ලි කසාද බදින වයසත් එනවා.එයා එක ගෑණු ලමයෙකුට කැමැත්තෙන් ඉන්නවා.බොස් ගෑණු ළමයව දන්නවා.බොස් මල්ලිට මෙහෙම කියලා අපහාසෙට හිනා වෙනවා."තමුසෙගෙ චොයිස් එක නම් හොදයි, වුනාට අයියගේ නම් කට විතරයි. අන්තිමට හොයාගත්තේ ලොරියක්නේ...". මල්ලිට තමන්ගේ තේරීම ගැන සතුටු හිතෙනවා. ඒ වගේම අයියට මීට වැඩිය හොද ගෑණු ළමයෙක් තෝරගත්තා නම් මට මෙහෙම කතා අහන්න වෙන්නේ නෑනේ කියලත් හිතෙනවා.
පවුලේ හැමෝම එකතුවෙලා ඉන්න දවසක බෙන්ගේ තාත්තා බොස්ගේ මේ කතාව මට කියන්නේ වෙන කතාවක දවටලයි. කතාවේ සැහැල්ලු බව යට ඉදලා බරසාර අපහාසයක් මගේ හිතරිද්දනවා.කවුරු හරි මට කැතයි කියලා මූණට කියපු පළවෙනි වතාවේ ඇති වෙන දුකට මගේ ඇස් කදුළු වලින් බර වෙන්නේ අතරයි.ඒත් මම කදුලු වලට එලියට එන්න නොදී ඉන්නවා.
ඒත් මට අතරේ ශාන්ත බොස්ව මතක් වෙනවා.එයාගේ මාලිගාවක් වගේ ගෙදර තිබුනු තනිකම පාලුව ඇතුලේ එයා අනාථ මනුස්සයෙක් වෙලා ඉන්නේ සමහර වෙලාවට තමන්ගේ බිරිදගේ හිතේ හැඩ හොයන්නේ නැතුව රූපේ හැඩ විතරක් හොයපු හින්දා වෙන්න ඇති කියලා මට හිතෙනවා. කවදාවත් නොතිබිච්ච තරමට ශාන්ත බොස් ගැන ඇති වෙච්චි අනුකම්පාවකින් මගේ හිත පිරෙනවා.
"වතට වඩා සිත රූමත් තරුණියක් සොයයි"කියලා අහම්බෙන් දැකපු කලාතුරකින් හමුවන විදිහේ මංගල දැන්වීමක තිබුනු වචන මට මතක් වෙනවා.

3 comments:

  1. මම ගොඩාක් ලස්සන කොල්ලෙක්. ඒත් අනිත් අය කියන විදිහට මගෙ කෙල්ල කැතයි, මට ගැලපෙන්නෙනෑ. ඒත් ඒ කෙල්ල ලග තියෙන ගුන යහපත්කම ඔය ලස්සනයි කියන කෙල්ලො ලග නෑ. කෙල්ලෙකුගෙ හෝ කොල්ලෙකුගෙ ලස්සන කියන්නෙ නැතිවෙල යන දෙයක් හැබැයි ගුන යහපත්කම කියන්නෙ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක් ඒ අතින් මන් වාසනාවන්තයි

    ReplyDelete
  2. //වතට වඩා සිත රූමත් තරුණියක් සොයයි\\

    ඉතාම අනර්ඝයි.... විශිෂ්ඨයි....

    ඕකේ සරල කවිකුත් තියෙනවනේ දසුනි මෙන්න මෙහෙම...

    රුව කත ගුණ නැත..
    ගුණ කත රුව නැත...
    රුව ගුණ ඇති කත...
    ලඟ පතිවත නැත...

    ReplyDelete
  3. //වතට වඩා සිත රූමත් තරුණියක් සොයයි
    …ඒක නම් මටත් හිතට ඇල්ලුවා. හැබැයි ගුණ තියෙනවනම් පතිවත නැතිවෙන්නට විදියක් නැත කියලයි මට නම් හිතෙන්නෙ...

    ReplyDelete