මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, June 21, 2012

කීර...(කෙටිකතා)


"අම්මා ගියා කීර මිටි විකුණන්න...."

"හ්ම්ම්....ඉතින් මට කතා කලේ???"

"නිකන්..."

"ඇත්තටම නිකන්මද?"

"හොරා වගේ අහන හැටි...දන්නෙම නෑ"

"නෑ තමයි...."

"කතා කලේ අපිට අපිව හොයා ගන්න පුලුවන් කියන්න"

"ඇදුම් අහවර කිරීමත් ආපහු ඇගලා ගැනීමත් අතරෙ හදුනා ගැනීමක් නෑ.එතන තියෙන්නෙ විකෘතියක්"

……………………………………………………………………………………………………………………………………………………….

පොල් අතු අතරින් ඉර එලිය සෙමින් ගලා එයි.සමන්තිට සිහි වුනේ මේ හිදැස් අතරින්ම වැහි බින්දු වැටෙනා බවකි.වැස්ස දවසට  ගොම ගෑ පොලව මත තියන්නට ඇති තරම් බාජන නිවස තුල නැත.නින්දත් නොනින්දත් අතර ඉන්නා අම්මා තෙමාගෙන වතුර ගලා යනු ඇත. තමන් සැතපෙන කුඩා ඇද මතට වතුර වැටෙන්නට අම්මා ඉඩ දුන්නේ නැත. අම්මා යනු අමුතු වචනයකි.වචනයේ අමුත්ත තේරුම් ගන්නට වයස විසිහයක්ම ගතවින. තාත්තා හිරේ ගියේත් හිරේ ගිය පසු අම්මා කසිප්පු විකිනුවේත් අම්මා යන වචනයේ ඇති අමුත්ත නිසාය.අම්මා තාත්තාට බිරිදක් විය.නමුත් සමන්තිට අම්මාය.

බිරිදක් අයාලේ යාමත් බිරිද අයාලේ යාම නිසා සැමියා හිරේ යාමත් සිදුවිය හැක.යකඩ කූරු වලට හැගීම් නැත. තාත්තා හිරේ ගිය පසු බිරිද මියගොස් අම්මා වෙනදාටත් වඩා ජීවමානව ජීවත් වූවාය.

අම්මා අයාලේ ගියේ නැත.කීර විකුනන්නට ගියාය.

………………………………………………………………………………………………………………………………………………………

දොර පැලැල්ල අඩවන්ය.සමන්ති තාත්තාගේ නොවන පිරිමි උණුසුමකට තුරුලුවී සිටියාය.

"ඔයාගේ ලග ගදයි.."

"මම හෙව්වෙ ඔය ගද නැති කෙනෙක්...තාත්තගේ ලග තිබුන ඔය ගදටත් මම කැමති නෑ"

"ගෑනු ළමයි තාත්තා වගේ අය හොයනවා. නෑ කියුවට ඇත්ත ඒක. "

"කසිප්පු ගදක් එක්ක මට පිරිමි සුවදක් එන එක ඇත්ත.ඒත් කාණු අස්සෙ  වැටෙන පිරිමින්ට මම කැමති නෑ."

…………………………………………………………………………………………………………………………………………………………

"අපි සල්ලි හොයන්න ඕනෙ සමන්ති."

"ඒ ලෙවලුත් පාස් එකේ රස්සාවක් හොයා ගන්න. අම්මට කියන්නත් පුලුවන් එතකොට.."

 

"රස්සාවෙන් දියුණු වෙන්න දැන් අමාරුයි.බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ"

"මම ඔයාට කියන්න හිටියෙ .මම හෙට මහත්තයෙක්ව එවනවා.අම්මා දවල්ට කොහොමත් නෑනෙ.ටිකක් හොදින් කතා බහ කරලා ඉන්න ඒ මහත්තයත් එක්ක."

"මට තේරුනේ නෑ"

"තේරුම් ගන්න තරම් දෙයක් නෑ.ඔයා දැන් පොඩි බබෙක් නෙමෙයිනෙ.ලොකු ගෑනියෙක්"

"තමුසෙ හදන්නෙ මාව විකුණන්නද?"

……………………………………………………………………………………………………………………………………………

සමන්ති ලස්සන කොණ්ඩ කරල් දෙකක් පිට මැදට වැටෙන්නට ගොතාගෙන හිටියා.ඕඩි කොලොන් බෝතලෙන් බින්දු දෙක තුනකුත් බෙල්ල දෙපැත්තෙ තවරගෙන.

"අද හරිම හැඩයිනෙ.කාටවත් දෙන්න ලෝබයි...."

"හ්ම්ම්..."සමන්ති හරි හැඩට හිනා වුනා.

"ඔයා මහත්තයෙගෙන් කීයක් ගත්තද?"

"පන්දහයි..."

"හවසට කීයක් හරි දෙන්නම්..."

…………………………………………………………………………………………

සමන්තිගේ අම්මා ගෙදර ආවා.

ගොම ගාපු පොලවෙ පිරිමියෙක් වැටිලා හිටියා.සමන්ති පිරිමියා දිහා බලාගෙන ඉදගෙන හිටියා.බිම...

ගෙදර පුටුවක් තිබුනා.

අම්මා කීර මිටි ඔක්කොම විකුණලා තිබුණා.

13 comments:

  1. කවමදා හරි දවසක මේ වගේම කතාවක් මම කියවලා තියනවා. හැබැයි ඒ මේකමයි කියලා මම කියන්නේ නෑ. ඉතාමත් සමාන කම් තියනවා ඒ කතාවත් එක්ක. ප්‍රශ්නයක් නෑ සමාජයට අපූරු පනිවිඩයක්. මට මේ පද ටික මතක් උනා. අවුලක් නෑනේ මෙතන කෙ‍ටුවට...ජය...!

    කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
    ඇස් රතු කල කොලොප්පමකට හිනා උනී
    මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී

    මෝල්ගහත් ඇවිලුනි කරුම ගින්නට
    උනුසුම මදි උනා ඔය පැලේ ඉන්නට
    ආ ගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට
    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිගන්නිට
    (මේක මගේ නිර්මාණයක් නෙමේ. ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ගීතයක පද කීපයක්.)

    ReplyDelete
    Replies
    1. ඔව මේ ඇත්ත කතාවක් ඇසුරෙන් ලියවුන කතාවක්.ඉතින් ඔයත් කියවලා ඇති.:)

      Delete
    2. අපොයි ඒ උනාට ඔයා කියල නෑ නොවැ මමයි එක වෙලා තියෙන්නේ කියලා. සොරි වෙන්ඩොනේ ඩිෂ්ටර්බ් කොලානම්...!

      Delete
  2. ඒ මිනිහාව සමන්ති මරලද?
    තේරුනේ නැහැ වගේ ටිකක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එයාව මරලා.මානසික තත්ව...

      Delete
  3. බුදු අම්මෝ!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එච්චර බයානකද???

      Delete
  4. මරුවේ කාවද ..අර එනවා කිව්ව මහත්තයාවද..මම සමන්ති නම් මරන්නේ ආදරේට ලඟට ඇවිත් විකුණන්න හදන ගදයාව ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මහත්තයව නෙමෙයි.මැරුවෙ අර ගදයව....:)

      Delete
    2. මේ ගැණු දරුවෝ හරි දරුනුයි නොවැ. හපොයි...!

      Delete
    3. ගැහැනු දරුවෝ හිතනවට වඩා නපුරුයි...:P

      Delete
  5. කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩවුනේ..
    මෙන්න මිනී මැරුමක්...:D

    සුලබ නොවුනත් දුලබත් නොවන දෙයක් දසුනිගෙ භාෂාවෙන් කියලා..හරිම අපූරුයි..හැමදාමත් වගේම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලකී සිරි....මම බැලුවා දැන් මේ පැත්තෙ එන්නෙ නැත්තෙ මොකද කියලා.:)

      Delete