මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 15, 2013

මනුසත් සිදුහත්…..



ශ්‍රී සිද්ධාර්ථ ගෞතම…..
ලිබර්ටි සිනමා ශාලාව අදුරින් පිරිලා.සම්පූර්ණයෙන්ම වගේ පිරුනු ශාලාවේ  හැම අසුනක්ම බොහොම නිශ්ශබ්දව.සිනමා තිරය සුවිසල්ව දිස්වෙනවා.ලස්සන කුමාරිකාවක් මල් අතුරවපු යහනක සිනාමුවින් සයනය කරනවා. පුංචි ඇත් පැටියෙක් සුදු නෙළුමක් හොඩින් ගෙනැවිත් කුමාරිය දෑතට පත් කරනවා.කුමාරිය සිහිනයෙන් පිඹිදෙනවා.
ඒ මහාමායා දේවියයි...
"ප්රජාපතී මම සිහිනයක් දුටුවා."ඇය කියනවා....
සිහින කියවන්නන් මාලිගාවට කැදවෙනවා..සිහිනයේ අරුත නක්ෂ්ත්රකරුවන් මහරජුට පවසනවා.
"ශාක් වංශයේ රජකමට සුදුසු සුපින්වත් කුමරෙක්"...රජුගේ සිත සතුටින් පිරෙනවා.
මහාමායා දේවිය දරු ප්රසූතියට තම දෙමව්පියන් දකින්නට යන අතරමග ලුම්බිනි සල් උයනේදි ,මලින් සපිරුනු සල් අත්තකට වාරුවෙලා සුපින්වත් කුමාරයාට උපත දෙනවා.
ඒත් සමහර දේවල් සිද්ධ වුනේ බුද්ධාගම පොතේ නොතිබුනු විදිහට.
බුද්ධාගම පොතේ තිබුනු විදිහට නෙළුම් මල් හතක් සුපිපුනේ නැහැ.සිද්ධාර්ථ කුමාරයා ඒ පියුම් පිටින් ඇවිද ගිහින් එතුමන් ගේ උදාන වාක්‍ය ප්‍රකාශ කලේත් නැහැ.
 ඒ වගේම ගිහිගෙය හැරයද්දී ඒ අග්‍රවූ කුමරුවාගේ දෙනෙතේ කදුළු බින්දු දිලිසෙනවා.ඔහුට තම ප්‍රියම්බිකාවත් අලුත උපන් පුතනුවාත් හැරයාම හිතට වේදනාවක් වෙනවා.බුද්ධාගම පොතේ කවදාවත්ම සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැරයද්දී කදුළු සැලුවා කියලා කියැවෙන්නේ නැහැ.
ඉතිහාසයේ සදහන් නොවන පරිදි සිනමාපටයේදී කුමරු ගිහිගෙය හැරයන්නට සමීපතමයන්ගෙන් අවසර පතනවා.යශෝධරා දේවියගේ ඉල්ලීම පරිදියි කුමරුන් රාත්රී කාලයේදී ගිහිගෙය හැර යන්නේ.ඇයට අවශ්යවෙනවා තමන්ට නොපෙනී කුමරුන් ගිහිගෙය හැරයන්න.එසේ නොමැති නම් එය දරාගත නොහැකිවනු ඇතැයි ඇය කුමරුට පවසනවා.
ඉතිහාසය විකෘති කිරීමක්...මෙයට විරුද්ධව නැගී සිටිය යුතුයි...එහෙම හිතුනද?
 ඔව් ,එහෙම හිතුනා නම් පුදුමයකුත් නැහැ.ඒත් මට එහෙම හිතුනේ නැහැ.
සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට මනුසත්බවක් ආරෝපනය කිරීමකුයි මා එතුලින් දුටුවේ.ඇත්තටම සිද්ධාර්ථ කියන්නෙත් මනුස්සයෙක්.මනුසත්වයෙක් තුල තිබිය යුතු සියලුම ගුණාංග එතුමන් තුල තිබුනා.එතුමා මව් කුසකින් උපත ලැබුවා.පෙම් කලා.විවාහ දිවියට ඇතුලත් වූවා.තමන්ට දාව රාහුලයන්ට උපත දුන්නා.බුද්ධත්වයට පත්වීමෙන් පසුව වුවත් මහලු වූවා.රෝගී වූවා .මරණයට පත් වූවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මිනිසෙක් වූවා.
වෙනසකට තිබුනේ ඔහු ඉතාමත් ධෛර්යවන්ත මිනිසෙක් වීමයි.තමන්ට ඇවසි වූ බුද්ධත්වය ලබාගැනීම තෙක් වූ අප්රහිත ධෛර්යයයි.එතුමන් පිදිය යුතු වන්නේ එබැවිනුයි.
නමුත් උපතින් බෞද්ධයන් වන අපි සාමාන් මනුෂ්යත්වය පිලිගන්නට සූදානම්ද?
ඔව්....බොහොම දෙනෙක් එහෙම කියාවි.බුදු හාමුදුරුවො මනුෂ්යයෙක් කියලා අපි දන්නවනෙ.ඒකෙ අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නැහැනේ.
ඒ වුනත්,අපේ පිලිගැනීම කොයිතරම් දුරට ප්රායෝගිකද?
දැන් බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා අවසානයි.
එතුමන් වදාල ධර්මය අනාගතයට රැගෙන යෑම උදෙසා කැපවී කටයුතු කරන්නේ මහා සංඝරත්නයයි. නමුත් අපි මහා සංඝරත්නය දෙස මානුෂිකත්වයක් ආරෝපණය කොට බලනවාද?
අපි ඔවුන් දෙස බලන්නේ ගෞරවයෙන්.ඔබ එහෙම කියාවි.
ඔව් ඔබ නිවැරදියි.ඒත් මහා සංඝරත්නය ලෙයින් මසින් සැදුනු මිනිසුන්යයි,මානුෂික ගුණාංග ඔවුන් සතුව ඇතැයි මොහොතකටවත් සිතුවාද?
ගමේ  නිවසට යාබද පන්සලේ සවස් යාමයේ ක්රිකට් තරග පැවැත්වෙනවා. ලොකු හාමුදුරුවන් සැතපෙන බවට ඉගිදෙමින්.සිමෙන්ති තාප්පය මත ඉදගත් පඩු පැහැ සිවුරු තරගය නරඹනවා.
පිත්තකින් පහර කෑ ටෙනිස් බෝලය බෝ ගස පාමුලට දිව ගොස් නවතිනවා.බෝලය පසුපසින් දිවගිය කුඩා දෙපතුල් බෝ ගස අසල නැවතෙනවා.හොරාට බෝගස දිහා බලනවා.වරදක් කරනවාදෝ යන හැගීමෙන් බෝලය විකට්ටුව දෙසට යොමු කරනවා.දැවීයාමක්...ඔල්වරසන් හඩ නැගෙනවා.
බුද්ධවන්දනාවට මල් නෙලන කාන්ති නැන්දා මල් නෙලීම ටිකකට නවත්තලා කම්මුලේ අත තියාගෙන"අනේ කාලේ...දැන් හැදෙන පොඩි හාමුදුරුවන්ගේ හැටි…” කියලා කියනවා.
ගුවන් විදුලියේ බණ කියනකොට "දෙව්දත් තෙරුන් බුදු රජානන් වහන්සේගේ හිස මතට ගලක් පෙරලූසේක"කියලා කියුවාමත්,කාන්ති නැන්දා"සාදු...සාදු ..."කියනවා. එයා "බුදු රජානන් වහන්සේ" කියුවම කොහොමටත් "සාදු" කියලා කියනවා.
බුදුන් වැඩ ඉන්නා සමයෙහි විශාකා මහා උපාසිකාව පන්සල් යනවිට කුඩා සාමනේරයන් වහන්සේලාට පැණි රස කෑම රැගෙන ගියේලු.උන්වහන්සේලා ඇය එනතෙක් මග බැලුවේලු.මා දකින විදිහට සැබෑ අවබෝධය නම් එයයි.බෞද්ධාගම පසුපස සැගව ඇති සැබෑ මානුෂිකත්වය අවබෝධකර ගැනීමයි.
කොහොම නමුත් ක්රිකට් තරගය තවම පැවැත්වෙනවා.
වෙනදාට උපාසක උපාසිකාවන්ට පන්සිල් දෙන සැදැහැවත් මුවගකින් විස්තර විචාරයක් කෙරෙනවා.
"පින්වතුනි, හයේ පහරක්..."
මගේ මුවගට සිහින් සිනාවක් නැගෙනවා...

4 comments:

  1. තාම මට මේ සිනමා පටය බලන්නට හැකි වුණේ නම් නෑ.බලලාම විස්තරයක් කරන්නං

    ReplyDelete
  2. චිත්‍රපටිය තාම බලන්න හිතාගෙන ඉන්නව විතරයි. දැනටමත් සෑහෙන්න ස්පොයිල් වෙලා තියෙන්නේ... අපේ ඇතුලෙ තියෙන හිඟ කම අපි වහගන්න උත්සාහ කරන්නෙ උත්තම සංකල්පවලින්. ඒවට ගරු කිරීමෙන්. නමුත් ඒවයින් එහෙමට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැමෝම මිනිස්සු හින්දා... චාමි ලියපු පහල පෝස්ට් එක කියවන්න ඇතිනේ...

    http://reargate.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete
  3. මම බැලුවා.. පොත පතට වැරදිලා.. ඒ වගේ උත්තමයෙක්ට හිතක් පපුවක් නැතුව කඳුලක් සලන්නෙ නැතුව එලෙස යන්න බැ.

    ReplyDelete
  4. සමහර දේවල් තියන විදිහටම තියෙන්න අරණ එක හොඳයි

    ReplyDelete