මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, April 12, 2012

අලුත් අවුරුද්දක්...(ඔබ සැමට සුබ වේවා)





ජීවිතේ හැමදාම අලුත් වෙනවා නම් මම හරිම කැමතියි.අවුරුද්දට නිලාකූරක් පත්තු කරගෙන ගේවටේට දුවලා පුලිගු පිටවෙන ලස්සන බලන්න,කැවිලි හදන අම්මට කජු පියලි කපන්නට උදව් කරන අතරෙ සෙරක් වගේ කජු පියල්ලක් කටේ දමා ගන්න.
අවුරුද්දක් ඉපයු සල්ලි වලින් තාත්තට හුගක් වටින සරමක් එක්ක ලස්සන ටීෂර්ට් එකක් ගෙනල්ල දෙන්න."කෝ දූ ගෙනාපු සරම අදින්න "කියලා තාත්තා කියන හඩ අහගෙන ඉන්න.දුප්පත් මිනිස්සු ගෙදරට ආවම අතේ තියෙන හැටියට කීයක් හරි දෙන්න. "සුදු නෝනට හුගක් පින් කියලා දත් හැලුනු කටවල් වලින් කියනවා අහන්න"ඇත්තටම මම හරිම ආසයි.
අවුරුද්ද වෙලාවට කැවිලි මේසෙ හදන්නෙ මම.අවුරුදු පහනට තෙල් දාලා,සුදු ඉද්ද මල් වලින් පිරිසියම වහලා,(තාත්තා ලොකු මල් පිපෙන රෝස ගහේ අලුත්ම මලක් කඩලාදෙනවා මට පීරිසිය සරසන්ට )පාන්තිර තුනක් දාලා ලස්සනට හදනවා නැකත් වෙලාවට පත්තු කරන්න.
අවුරුදු නැකතට අම්මයි තාත්තයි දෙන්නම ඉස්සෙල්ලාම බත් කට කවන්නෙ මට. කිරිබත් කටින් මගේ අවුරුද්දටම හරියන ආශිර්වාදය ලැබෙනවා.ඊට පස්සෙ ගනුදෙනු කෙරෙනවා.මට පුන්චි කාලෙ ඉදලම හම්බුනු ලොකු සල්ලි කොලේ මේ පාර තාත්තා කවුරු අතට දේවිද කියලා මම දන්නෙ නැහැ.
මේ පාර මම අලුත් ගෙදරක.අම්මා තාත්තා වෙනුවට මට තවත් අම්මෙක් තාත්තෙක්...පවුලෙ තනි ළමයා වුනු මට මල්ලියෙකුත් ලැබිලා.හදිස්සියෙම.අපේ ගෙදරට හාත්පසින්ම වෙනස් ගෙදරක මම....ඒත් සතුටින්.නොනගතේට පන්සල් යන්නට වුවමනාව තිබුනත්,අහන්න හිත බයෙන්.
"අවුරුද්දට අලුත් ඇදුමක් අදින්නට,පොඩි ලමයෙක් වගේ නොවැ ඔහෙ".මෙහෙ තාත්තා,අම්මාට කියමින්.මට හරිම අමුත්තක් දැනෙමින්.
මට දැනෙන මේ මහා වෙනස්කම ගැහැනු දරුවන් සහසක් ලබා ඇති.අවුරුදු විසි හයක් පවුලේ එකම දරුවා විදියට ගෙදර ඉදලා,විසි හත්වෙනි අවුරුද්ද තමන්ගේබවට අලුතින් පත්වුනු ගෙදරක ගෙවන්නට සිදුවීම. අමුතු හැගීම කවදාවත් පිරිමි දරුවෙක් ලබන්නේ නැති.
කෝ දැන් තාත්තට අලුත් සරමක්???ඉද්දමල් පීරිසියට සුදු ඉද්ද මල්???පලමු කිරිබත් කට කවන්නට සුදු දෝණියෙක්???
අලුත් අවූරුදු මේසයක් ඇති
කැවිලි කිරිබත් මේසයට ඇති
අලුත් අවුරුදු පහන වටකොට
සුදු ඉද්ද මල් ඉපදිලා නැති

අන් සතුව ඇත දෝණියක්
සිනා නොමසෙත මා පියන්
අවූරුද්ද ඇවිදින් අදත් 
දෙතැනකට වී සිත් තුනක්...

3 comments:

  1. සංක්‍රාන්තියක ආරම්භයද.කාලයෙ වෙනසද ?

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!

    ReplyDelete
  2. කිරිබතින් රස මේසය සැරසී
    කැවිලිවල රස පුසුඹ ඉතිරෙයි.
    පීරිසිය නෑ මලින් සැරසී
    දෝණියන්දෑ කොයි ගිහින්..

    ReplyDelete
  3. icmanin apasu ennata nam
    icmanin ya yuthuya...:)

    ReplyDelete