මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, June 15, 2012

ප්‍රේමයේ බැල්කනිය සහ හිස්තැන්..(කෙටිකතා)





අපේ කුලී ගෙදර පිහිටා තිබුනේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ නොවන අතුරු පාරකය.කවදත් මා ප්රිය කලේ දෙපතුල් වලට පොලව ස්පර්ශවන  බිමකි.එවැනි බිම් කුලී නිවෙස්න වල ලැබීම ඉතා දුර්ලබ විය.ගෙහිමියෝ කවදත් පහල තට්ටුව කුලීකාරයන්ට නොදෙති.ඔවුන්ගේ උරුමය බොහෝවිට පඩිපේලියකින් ඇරඹෙන ඉහල මහල වෙති.

 

අපේ උරුමයද එයම විය.

 

අප යනු කවුරුනදයි හදුන්වා දීම ඉතා වැදගත්ය.'අප' යන බහුවචන පදය සමන්විත වූයේ මා හා මගේ සැමියාගෙනි.අප විවාහ වූයේ අලුත නොවේ.විවාහයට පස් වසර සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් මාසයටය.නමුත් මේ වසර දෙකක් පැරණි කතාවකි.'ප්රේමයේ බැල්කනිය'හිමි නිවසට අප පැමිණියේ විවාහයට හරියටම වසර තුනක් සම්පූර්ණ වූ දිනයේයි. ඒ අපේ දෙවන කුලී නිවසයි.

 

මගේ කැමැත්ත පලමුව බැලකනියට හිමි නොවුනි.මගේ සිත් දිනාගැනීමට සමත්වූයේ නිවසේ නාන කාමරය සහ නිවස තුල තිබූ දුඹුරුවර්න කබඩ් පේලියයි.විසමිත කබඩ් පේලිය මගේ අපිලිවල ගෙදරට එන අමුත්තන්ගෙන් සැගවීමට සමත්වූ අතර,නාන කාමරයේ පිලිවල වෙහෙසකර දවසක නිමාවෙන් මගේ සිත සැනසූ අතර උනු දියෙන් මගේ ගත සැනසීය.

 

මේ නිවස්නට අයත්වූ අඩි 10*10 බැල්කනිය මගේ ජීවිතයේ මටද නිරාවරනය වී නොතිබුනු පැතිකඩක් නිරාවරණය කිරීමට සමත් වේයයි,මගේ ජීවිතය පිලිබද ලජ්ජාවක් ඉතිරි කිරීමට ලජ්ජා සහගත මිහිරියාවකින් මගේ ජීවිතය පුරවාලීමට සමත්වේයයි නොසිතීමි.

 

වසර තුනක් සපිරුනාවූ මගේ විවාහ ජීවිතයේ හිස්තැන් තුනක් විය.

 

පලමු වැන්න මල් පොකුරකි.නැවුම් සුවදින් පිරීගිය මල් පොකුරකි.මල් වර්ගය කුමක්දැයි නියතයක් නොතිබුනු මේ මල් පොකුර කහ,රෝස සහ සුදුපාට මල් වලින් යුක්ත විය.මෙම මල් පොකුර වෙනුවෙන් වනවිට මම හරියටම වසර තුනක් පෙරුම් පුරා සිටියෙමි.පලමු වෙනි දෙවැනි විවාහ සන්වත්සර,මගේ උපන්දින,මල් පොකුරු නැතුවම ගතවිය.බැරිම තැන මල්පොකුරක් විවාහක සැමියාගෙන් ඉල්ලීමට තරම් මම අකාරුණික වීමි.ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ නමුදු මල් පොකුර ඔහුට මග හැරින. ජීවිතයේ කවරදාවත් මට  මල්පොකුරක් තෑගි ලැබී නොතිබින.

 

දෙවන හිස්තැන තිබුනේ හාදුවක් සම්බන්ධවයි.සැමියාගෙන් හාදුවක් ලැබීම කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නාක් මෙන්ද,හාවා හද දකින්නාක් මෙන්ද විය.මේ හාදුව සාමාන් හාදු ගනයෙන් වෙනස්විය.එය දැනෙන හාදුවක් විය යුතුවිය.දෙතොල් සීතලෙන්ද හදවත උණුසුමෙන්ද පුරවන්නක් විය යුතු විය.ප්රේමය දැනෙන හාදුවක් විය යුතු විය.එම හාදුව දෙනු ලබන පුද්ගලයාට මා නැතුව ජීවිතය ගත කල නොහැකි බවක් මේ හාදුව මගින් මට දැන්විය යුතු විය.

 

විවාහක සැමියා මට ඇති තරම් හාදු පිරිනැමීය.නමුත් හැම හාදුවකටම හේතුවක් තිබින.එක්කෝ ඔහු උදෑසන රැකියාවට යාමට පෙර දෙන සම්ප්රධායික හාදුවයි.එසේත් නොමැතිනම් මිනිසාගේ එක් ප්රධාන ඇවැසිතාවයකට පලමු අවසිහියෙන් දෙන හාදුයි.මගේ 'හාදුවේ හිස්තැන'පිරවීමට මේ හාදු සමත් නොවීය.

'බැල්කනියට'කිසිසේත් මගේ මේ අවශ්යතා සැපිරිය නොහැකි බව දනිතත්,ඉර බැස යමින් පවතින සැදෑවල මෙම බැල්කනියට ගොස් නුගේගොඩ සරසවියෙන් ගන්නා පොත් කියවීමට පුරුදුව සිටියෙමි.දවසේ ප්රියතම කාලය වූ සවස සැමියා නිවසට එනතුරු මම මේ පොත්වල ඇලී ගැලී වෙලී සිටියෙමි.

 

බැල්කනියට ඉදිරිපස නිවසේ බැල්කනියද,තවත් නිවසක සාලයද දර්ශනය වූ අතර දකුණු පසින් තිබුන නිවසේ මිදුල සහ කෙසෙල් පැල පෙනින.

 

මාස දෙකකට පසු බැල්කනිය පෙනුන නිවසට පොඩි දරුවෙකු පදින්චියට පැමිණියාය.හුරතල් දරුවකු වූ ඇයට ක්‍රේල් කොණ්ඩයක් තිබින.වයස අවුරුදු තුනක් හතරක් පමණ වන්නට ඇත.හවසට ඇය ඇගේ නිවසේ බැල්කනියට පැමිණ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියාය.උරහිසට වැටී තිබුනු කොණ්ඩය ගවුමේ පාටට ගැලපෙන් පීත්ත පටියකින් ගැට ගසා තිබින.ඇගේ දෙතොල් ඇගේ අම්මාගේ මෙන් වන්නට ඇතැයි මට සිතුනේ ඒ දෙතොල් ලා රෝස පාටකින් යුක්තවීම නිසාය.

 

'ඇය'මගේ තුන්වසරක විවාහ ජීවිතයේ තුන් වැනි හිස්තැන එහාගෙදර බැල්කනියේ සිට සවස්වරුවේ පැය දෙකක කාලයකට පිරවූවාය. එක් සෙනසුරාදා දවසක සවස්වරුව ඇගේ දෙතොලේ රෝස පැහැය මවගේ උරුමයක් නොවුන බව මට පසක් කරදුන්නේ අවුරුදු තිහක් පමණවන 'තාත්තා'ඇය සමග සෙල්ලම් කරනුදැකීමය.'අම්මා'කිසිදිනක නොදුටු මේ දැරිය ගේ අම්මා කොහෙදැයි මා වදවෙන්නට පටන් ගත්තේ 'තාත්තා' දැකීමෙන් පසුවය.

 

සතියේ දවස්වල මේ කුඩා දැරිය මා සමග සිනා සෙන්නටත් සෙල්ලම් කරන්නට එන ලෙස අතින් අඩගසන්නටත් පුරුදුව සිටියාය.සතියේ දවස්වල හවස්වරුවල සිනාසෙමින් දැරිය දෙස බලා සිටින්නට හුරුවූ මම සෙනසුරදා දිනවල මම කියවමින් සිටි පොතට ඉහලින් හොරෙන් බැල්කනිය දෙස බලා සිටියෙමි. 'බැල්කනිය'දෙස බලා සිටීම යන යෙදුම වඩා සුදුසු වන්නේ දැරිය දෙසම බලාසිටියා යයි කිව නොහැකි බැවිනි.

 

'තාත්තා' දැරිය සමගම සෙල්ලම් කලායයි කිව නොහැකි වන්නේ හොරෙන් බැලූ ඇස් වලට හොරෙන් බැලූ ඇස් හමුවූ බැවිනි

 

දවස් ගතවී ගියේ හරිම වේගයෙනි.

 

හදිසියේ දවසක මම නොසිතු වෙලාවක නිවසේ සීනුව නාද වින.ප්රසිද්ධ මල් බෙදාහරින ආයතනයක නියෝජිතයෙක් රෝස,කහ සහ සුදුපාට මල් පොකුරක් අතැතිව දොර ඉදිරිපස හිටගෙන සිටියේය.'ඉස්සරහ ගෙදර ලස්සන ආන්ටිට..'ළදරු අත් අකුරු වලින් මල්පොකුරේ ලියවී තිබින....

 

ජීවිතයේ පලමු මල් පොකුර හිමිවිය.හිත සතුටෙන් පිරී ඉතිරී ගියේය.හිත ඇතුලත පසුගිය වසර දෙකටම සුවද කරන්නට මල් පොකුර සමත් විය.

 

දැන් අප නිවසෙහි නැත.රෝස තොල් ඇති දැරියද,'තාත්තා' නැතුවා වන්නට ඇත.

 

'ප්රේමයේ බැල්කනිය' මතදී මගේ විවාහ දිවියේ දෙවනි හිස්තැන පිරවුනේ නැත.නමුත් චපල ස්ත්රී චිත්තයෙහි වෙනුවෙන් බලාපොරොත්තුවක් නොතිබුනා යයිද කිව නොහැක.

 

හිස්තැන් තුනෙන් දැන් ඉතිරිව ඇත්තේ එක් හිස් තැනකි.

 

හිස්තැන පුරවන්නය 'අප' දෙදෙනාගෙන් මම නොවන අනෙකාට තවමත් හැකියාව ඇත.

 

එක අතකට හිස්තැන් ජීවිතය බලාපොරොත්තුවෙන් පුරවා ජීවයෙන් අවුලුවා ලයි.

 

14 comments:

  1. මල කළඹක්, හාද්දක් සහ බබෙක්,,,
    හිතේ තියන දේ අපිටත් දැනෙන්න ලියල තියනව...

    තව කාලයක් ඔතනම හිටිය නම් ඉතුරු දෙකත් අරගෙනම සම්පුර්ණ වෙන්න තිබ්බ...

    ReplyDelete
    Replies
    1. ඔන්න වරද්දාගෙන....උත්තම පුරුෂයෙන් ලියන හැම කතාවක්ම මම ගැන කියල වරදවා වටහා ගන්න නම් එපා.මට ඔය කියන හිස්තැන් වලින් තියෙන්නෙ මල් කලඹක හිස්තැන විතරයි....:)

      Delete
  2. එක අතකට හිස්තැන් ජීවිතය බලාපොරොත්තුවෙන් පුරවා ජීවයෙන් අවුලුවා ලයි.

    මේක තමා ඇත්ත..

    ඉල්ලන හැමදේම ජිවිතෙන් අපිට හම්බවෙන් නැ..ලැබෙන දෙයින් සතුටු විම තමා හොද ..

    ReplyDelete
    Replies
    1. ලද දෙයින් සතුටු වෙන ජීවිත හරිම සරලයි තෘප්තිමත්...ඒත් ඇත්තටම නිම්ශා අපි කවුරුවත් ලද දෙයින් සතුටු වෙනවද?අනේ මන්දා...මට නම් එහෙම හිතෙන්නෙ නෑ...:)

      Delete
    2. ඈහ්... දැන්නේ කමෙන්ට් කියෙව්වේ. මම පහල කොටපු කොමෙන්‍ටුව වැරදියි වත්ද. මොනවද මන්දා හිතේ හංගන් කතා කරනවා වගේ මෙයා.

      Delete
  3. ඔයා හැම වෙලාවෙම අපිව කඩේ යවන්න හදන බව මෙහෙ ආව මුල් දවස් වලම මම නම් තේරුම් අරගෙන තියෙන්නේ.ඒනිසාම පෝස්‍ටුවලට ලියන දේවල් ඔයාට ගලපන්න යන්නේ නෑ මම, නිර්මාණ කියවලා රස විදිනවා හැර. හිකිස්..
    අපි එහෙමයි ඕං..!
    ජය...!

    ReplyDelete
    Replies
    1. හි හී.....එහෙමතමයි අනේ.ලියන කතා ඔක්කොම මම ගැන නෙමෙයි කියලා තේරුම් අරන් ඉන්න එක කොච්චර දෙයක්ද???හැම කතාවකම අපි දන්න චරිත ජීවත්වෙන බව ඇත්ත උනාට ඒ හැම චරිතෙම ලියන කෙනා නම් නෙමෙයි.:):)

      Delete
  4. චිත්ත රූප මැවීමේ ඔබ සතු දක්ෂතාවය අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. මම ලියන කොට චිත්ත රූප මගේ හිතෙත් මැවෙනවා.ස්තුතියි....:):)

      Delete
    2. සාර්ථක ලේඛකයෙක්ගේ ලකුණු පෙන්වීමක් එහෙමනම් :)

      Delete
  5. ඇත්තටම මේ දේවල් විවාහක කාන්තාවක් තම ස්වාමියාගෙන් බලාපොරොත්තුවන දේවල් නේද ?
    හුගක් දේවල් වල ආරම්බය වෙන්නේ සුළු සුළු ප්‍රශ්න තමා ...

    ReplyDelete
    Replies
    1. සමහර පුන්චි දෙවල් අපි කියමුකො මල් පොකුරක් වගේ දෙයක්...ජීවිතේ ලොකු හිස්තැන් ඉතුරු කරනවා...

      Delete
  6. පුදුම ලස්සනයි ............ ජීවීතේ හිද තෙන් නෙත්නම් අපිට ජීවත් වෙන්න අරමුණක් කෝ ? ඉක්මනින්ම හිස්තෙන් පිරෙන්න කියල පාර්ථනා කරනවා ........

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙ මල් පොකුරෙ හිස්තැන විතරයි කියුවනේ...මම හිතනවා ඒ හිස්තැන ඉක්මනට පිරෙයි කියලා.බොහොම ස්තුතියි...

      Delete