මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 13, 2012

සීගිරි කාෂ්යප


කිඹිස්ස කියන්නෙ සීගිරියට අල්ලපු ගම.එදා වගේම අදටත් ඒක එහෙමයි.ඒත් මේ එදා වෙච්ච කතාවක්.එදා කියුවෙ අවුරුදු හතලිහකට විතර එපිට.


කාෂ්ඨෙට අව්ව පායලා තිබුනා. අක්කර පහකට කිට්ටුවෙච්ච ඉඩමක පත්තක්කා,කැකිරි ,බඩ ඉරිගු එහෙම ඕසෙට වැවිලා.වැවිලම නෙමෙයි වවලා. බැංකුවෙ මහත්තුරු දෙන්නෙක් අයිතිකාරකම් කියුව මේ වගාවට යාබදව තමයි  බැංකුව පිහිටලා තිබුනෙ.


බැංකුවටම හිටියෙ නිලධාරීන් දෙන්නයි.නමින් දැනගෙන හිටපු නැති මේ දෙන්නටම ගමේ මිනිස්සු ගෞරවයටත් එක්කලම කියුවෙ බැංකුවෙ මහත්තයා කියලා.ගමේ මිනිස්සුන්ගෙ හද ගැහෙන සද්දෙ ටක්කෙටම අදුරගෙන හිටපු බැංකුවෙ මහත්තුරු දෙන්නා හදිස්සි වැඩකට බැංකුවට ගොඩවුන ඕනම ගමේ මනුස්සයෙකුට හිත පතුලෙන්ම උදව් කලා. හින්දම ගමේ මිනිස්සුත් මේ මහත්තුරු දෙන්නා මුණට මුන ගැහෙන වෙලාවට ඔළුව පැත්තකට නමලා හිනාවෙන්නත් කරේ තිබුන ලේන්සුව අතට ගන්නත් පුරුදු වෙලා හිටියා.


ඒකාලෙ ලංකාවෙ විශේෂෙන්ම සීගිරියට කිට්ටුවෙච්ච ගම්බද පැති වල මිනිස්සුන්ට බැංකුවත් එක්ක ඒතරම් ගනුදෙනුවක් තිබුනෙ නැත්තෙ අය තමන්ගෙ එදා වේල වත්තෙපිටියෙන් සරි කරගත්තු හින්දමත් නෙමෙයි.හදිස්සියකට ගන්න කියලා ඉතුරු කරපු කාසි පෙට්ටගමක් අස්සෙ හංගලා තිබුනා මිසක බැංකුවේ දාන්න තුන් හිතකින්වත් හිතුවෙ නැති නිසයි .


බැංකුවෙ වැඩ කලාට මොකද මේ මහත්තුරු දෙන්නා සුද්දගෙ භාෂාව කියුවෙ ඉංග්රීසි භාෂාව කතාකරන්න එච්චරකට දැනගෙන හිටියෙ නෑ.ඉංග්රීසි  කියවන්න ලියන්න හොදට පුළුවන් වුනාට මොකද,කතාකරනකොට පොඩ්ඩක් විතර දිව පැටලෙනවා.ඒක ඉතින් බොහොම දෙනෙකුගෙ ස්වභාවෙනේ.විශේෂෙන්  ඉංග්රීසි භාෂාව මව්බස වෙච්චි සුදු මහත්තුරු නෝනලා එක්ක කතා කරනකොට ඕක කොහොමත් එහෙමයි.


මේ බැංකුවට වැඩිපුරම ආවෙගියෙ සුදු මහත්තුරුයි නෝනලයි.ඉතාලියෙන් ජර්මනියෙන් එහෙම ජෝඩු වැඩිපුර ආවා සීගිරිය දැකබලා ගන්න.ඉතාලියෙ ජර්මනියෙ මිනිස්සුත් තමන්ගෙ මව්බස මිසක වෙන භාෂාවල් දන්නෙ සෑහෙන්න අඩුවෙන්.ඉතින් භාෂා ප්රශ්නෙ මේ මහත්තුරුදෙන්නට වගේම එන සුදු මිනිස්සුන්ටත් සෑහෙන්න බලපෑවා. කාලෙ ගනන් හදන්න කැල්කියුලේටර් එහෙම තිබුනෙ නෑ.කොලේක ලියලා අපි ඉස්කෝලෙදි ගනන් හදන්න වගේ තමයි මේ මහත්තුරු දෙන්නත් බැංකුවෙ ගනන් හැදුවෙ.


ඔන්න එක දවසක් බැංකුවට ආවා ජර්මන් ජෝඩුවක්.සාමාන් විදිහටම මේ දෙන්නටත් වැඩිය ඉංග්රීසි බෑ.සුදු නෝනට හැබැයි ටිකක් විතර පුළුවන්.නෝනත් ටිකක ඇහැට කනට පේන විදිහකට හිටපු නිසා අපේ බැංකුවේ තරුණ මහත්තුරු දෙන්නත් හරිම කැමත්තෙන් මේ අයත් එක්ක කතා කලා. කාලෙ විදෙස් මුදල් අපේ ලංකාවෙ රුපියල් වලට හරවන කොට සුදු මිනිස්සුන්ට විතරක් "විදේශ විනිමය හිමිකම් සහතිකයක්" දෙන්න රජය නියම කරලා තිබුනා .ඒ කියන්නේ ඩොලර් එකක වටින කම රුපියල් 8 ශත 10 ක් වෙච්ච ඒ කාලෙ ඊට අමතරව 35%ක විතර වටින කමක් පිටරැටියන්ට දෙනවා.මම හිතන්නෙ ලංකාවෙ සංචාරක ව්‍යාපාරයට දෙන අනුබලයක් හැටියට.


මුලින් කියපු සුදු ජෝඩුව ආවෙත් ඩොලර් ලංකාවෙ රුපියල් වලට මාරුකරගන්න. මුදල් හුවමාරුවේ තිබුන සංකීර්ණ ගනනය කිරීම් නිසා සුදු නෝනටයි මහත්තයටයි බැංකුවේ ටික වෙලාවක් රැදෙන්නට සිද්ධ වුනා. මේ අතරෙ සුදු නෝනගෙ හිතගියා බැංකුවේ එල්ලලා තිබුන සීගිරියෙ රූප වලට.තකහනියක්ම ජර්මනියෙ ඉදලා ආවෙ ඉතින් සීගිරිය බලන්නනේ.බැංකුවේ මහත්තුරු දෙන්නත් සීගිරිය ගැන මේ වෙනකොට බොහොම දේ දන්නවා.මේ එක මහත්තයෙක් සීගිරිය  ගැන බොහොම දේවල් හොයා බලමින් හිටියෙ. ඒ නිසා ඉතින් මේ නෝනයි මහත්තයයි අහන් ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරි කැමැත්තෙන්.


පින්තූර හැම එකක් ගැනම විස්තර දැනගත්ත මේ සුදු නෝනටයි මහත්තයටයි හරිම සතුටුයි.බැංකුවේ වත්තෙන් කඩා ගත්ත පත්තක්කා ගෙඩියක රස බලපු නෝනයි මහත්තයයි ඩොලර් වලින් පත්තක්කා වල රසයට ගෙවන්න හැදුවට මොකද අපේ මහත්තුරු දෙන්නා ඒ සල්ලි ඉතාම කරුණාවෙන් ප්‍රතික්ෂේප කලා.


සල්ලි නොගෙන ලංකාවෙන් ලබා දුන්න පලවෙනි දේගැන සතුටින් සුදු නෝනගෙ මූනෙ හිනාකටක් පිපුනා.


"තැන්ක් යූ වෙරිමච් (බොහොම ස්තුතියි )" සුදු නෝනා කියුවා.


"ෂැල් වී ටේක් අ පොටෝ ග්‍රාෆ්(අපි පින්තූරයක් ගමුද?)"ඒ ආරාධනාවත් සුදු නෝනාගෙන්මයි


"ඉයස් ඉයස් වී ආර් ඕ.කේ(හරි හරි ගම්මු )"අපේ මහත්තුරු දෙන්නත් පැනපු ගමන් කියුවා.


වත්තෙ වවලා තිබුන සෝගම් පදුරක් ඉස්සරහා දැන් අපේ මහත්තුරු දෙන්නයි, සුදු නෝනයි මහත්තයයි පේලියට හිටගෙන ඉන්නවා.සුදු ජෝඩුවගෙ රියදුරා පිංතූරෙත් ගත්තා.


කට්ටියගෙ සූදානම දැන් ඉතින් වෙන්වෙලා යන්නයි.හතරදෙනාටම බොහොම සතුටුයි.ජෝඩුව කාර් එකටත් ගොඩ වුනා.හදිස්සියෙම කාර් එකේ දොර ඇරපු සුදු නෝනා.


"නේම් ප්ලීස්(නම කියනවද? )"කියලා ඇහුවා.


මේ අහන්නේ රජ්ජුරුවොන්ගෙ නම වෙන්න ඇති කියලා හිතපු බැංකුවේ මහත්තයා


"කාෂ්‍යප" කියුවා.


"ඉනිශියල්ස් ප්ලීස්(මුල අකුරු මොනවද?)" ආයෙමත් සුදු නෝනා ඇහුවා.


ඇත්තම කියනවා නම් කාෂ්‍යප රජ්ජුරුවොන්ගේ නමේ මුල අකුරු මේ දෙන්නා දැනගෙන හිටියෙ නෑ.ඒත් තැනට සුදුසු නුවණ යොදවලා එක බැංකුවේ මහත්තයෙක්


"පී.ජී"කියලා කියුවා.ඒ මේ මහත්තයාගෙ නමේ මුල අකුරු කියලා දැනගෙන හිටියෙ මහත්තුරු දෙන්නා විතරමයි.


සියල්ල සාමකාමී විදිහට අවසන් වෙලා සුදු ජෝඩුව යන්න ගියා.සති දෙකකට විතර පස්සෙ කිඹිස්ස ගමේ ලියුම් බෙදන පියුම් මහත්තයා බැංකුවට එනවා.


"කවදද මහත්තයෝ කාෂ්‍යප රජ්ජුරුවෝ බැංකුවට  වැඩට ආවේ?"පියුම් මහත්තයා එහෙම අහලා ලියමනක් පී.ජී මහත්තයාගේ අතට දීලා ගියා.


බැංකුවේ මහත්තයා ලියමන කඩලා බැලුවා.බොහොම හැඩ ඇති ඉලන්දාරි දෙන්නක් සෝගම් පදුරක් ඉස්සරහා සුදු ජෝඩුවක් එක්ක ඉන්න පින්තූරෙ."ඔබට බොහොම ස්තුතියි"පින්තූරෙ පිටිපස්සෙ එහෙම ලියලා අත්සන් කරලා තිබුනා.


ලියමනේ ලිපිනෙ බැලුවෙ පියුම් මල්ලි කියපු හතර බීරි කතාව ගැන හිතමින්මයි.


ලියුම් කවරෙ මෙහෙම ලියලා තිබුනා.


වෙත :-පී.ජී කාෂ්‍යප


        .......බැංකුව


        කිඹිස්ස.

8 comments:

  1. දසුනි නියමයි කතාව...

    ReplyDelete
  2. කෝ ඉතින් ඒ පොටෝ එක...?

    ReplyDelete
  3. හරි රජ්ජුරුවෝ වැඩට ආවා කියමුකෝ,
    දැන් දසුනි දන්නේ කොහොමද ඒ කතාව,

    කිඹිස්ස. වෙන නමක් තිබ්බේම් නැද්ද දන්නේ නෑ ගමට දාන්න

    ReplyDelete
    Replies
    1. mae aththa kathawak...:)kibissa aththama gamak

      Delete
  4. ෆොටෝ එක දාන්න...:)

    ReplyDelete