මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 10, 2012

"අම්මා" ඒ හරි බර වචනයකි....

ඉත්තෑ පැටියෙක්
අන්නාසි ගැටයක වෙස්ගෙන
මගෙ බඩතුරේ සිට
ඉසියුම්ව කටු අනියි...


හිත හීනියට කොනිත්තා ගමි
"අම්මා"
ඒ හරි බර වචනයකි....


මම ඒ කවිය ලියුවෙ මෙහෙම වෙන්න කලින්.දැන් මෙහෙම වෙලා.මම හිතුවා මෙහෙම වෙයි කියලා.ඇත්තටම අපි දෙන්නට එහෙම නොකර ඉන්න තිබුනා.එහෙම නොකලා නම් මෙහෙම වෙන්නෙ නෑ.එහෙම කරත් අරම නොකරා නම් ඒත් මෙහෙම වෙන්නෙ නෑ.


මට දුකයි.හැබැයි තරහ නෑ.සතුටුයි.


එයාට මම ආදරේ නැතුව නෙමෙයි.ඒත් එයා එහෙම නෑ.මම කියුවෙ අරයා වගේ නෑ.ඉතින් මම කැමතියි මෙහෙම වෙච්ච එකට.අරයා ඉත්තෑ පැටියාගේ අයිතිකාරයා වෙච්ච එකට.

 

එහෙම හැමෝටම වෙන්න බෑ.ඉත්තෑ පැටියෙක්ගෙ අයිතිකාරයා වෙන එකත් එච්චර ලේසි නෑ.ඇයි ඉතින් කටු ඇනෙනවනෙ.හාවෙක්ගෙ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.හැබැයි ඉතින් උන් උන්නත් එකයි මලත් එකයි...හිටියත් එකයි නැතත් එකයි.උන්නද මලාද කියලා කවුරුවත් දන්නෙ නෑ.ඒත් ඉත්තෑ පැටව්.දැම්ම ඉදන්ම අනිනවා කටු වලින්.බඩටයි හිතටයි දෙකටම.


මම මේ හීනියට බඩට අනින ඇනිල්ලට තියෙන අමනාපෙකට හෙම කියනවා නෙමෙයි ඉත්තෑ පැටියෝ.උඹේ ඔය සුකුරුත්තන් රිද්දිල්ලට මම කැමතියි.උඹත් අරයා වගේමයි.ඌත් ඔහොමමයි.හිතට රිද්දන රිද්දිල්ල ගතට රිද්දන රිද්දිල්ලට වැඩිය දැනෙනවා මයෙ ඉත්තෑවො...උඹත් අරයා වගේ වෙන්ටද කැමති?එහෙම වෙන්න එපායැ කියලා උඹ කියයි.නැතුව ඉතින් 'එයා' වගෙ වෙන්ටයැ?


මම උඹට ආලෙ නොකරනවා හෙම නෙමෙයි.ඒ උනත් ඉතින් හෙට උදෑහැනක්කෙම අන්නාසි ගැට හොයන්නට එපැයි.නෙල්ලිවල ඇඹුලට මනාප නොවී අන්නාසි ඇඹුලට මනාප වෙන්ට උඹ මට මොකට නියම කොලාද මන්දා...


එක්කො මෙහෙමත් පුලුවන්, උඹ ඉත්තෑ පැටියෙක් නොහී හා පැටියෙක් කියලා හන්ගලා තියාගන්නට පුළුවන්.එතකොට එයත් මනාපයි.කොහොමටත් බැරි වැඩක් ඇහැකියි කියලා ඔප්පු වෙනවා නොවැ එතකොට.


උඹ කොහොමෙයි කැමති.ඉත්තෑවෙක් වෙනවටෙයි?එහෙමත් නැත්නම් හා පැටියෙක් වෙලා හා හූ නැතුව ඉන්ටෙයි?


උඹ හා පැටියෙක් වෙන්ට මනාප නම් ඉතින් මට අන්නාසි වලට තියෙන මනාපෙ අත ඇරලා නෙල්ලි වලට මනාප වෙන්ට ඇහැකි.


ඔන්න ඔහෙ හා පැටියෙක් වෙයන් බන්....


4 comments:

  1. ඉත්තැ පැටියා අරය වගේම වෙන්න එපැයැ.....
    බොහොම තදටම හිතට වැදුණා මේ පෝස්ටුව.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්...:)

      Delete
  2. මගේ ශබ්ද කෝෂයෙත් බරම වචනය! :) දුරින් ඉන්න ඉන්න ඇගේ අගේ වැඩිවෙන හැටි!

    ReplyDelete
  3. හා පැටව් නියමයි දසුනි

    ReplyDelete