රුක්ෂාන්!
මොකක්දෝ මන්දා හේතුවකට රුක්ෂාන්!ගේ නම අගට විශ්මයාර්ථ ලකුනක් තියෙනවා. රුක්ෂාන් තමන්ගෙ නම ලියනකොට
විශ්මයාර්ථ ලකුනක් එක්ක ලියුවේ නැතත් මට එහෙම පේනවා. එයා ෂර්ට් එක ඇදලා නොගැලපෙන
පාටෙ ටයි දානවා.ගැලපෙන ඒවා නොගැලපෙන විදිහටත්,නොගැලපෙන ඒවා ගැලපෙන විදිහටත් එයාට පේනවා
ඇති කියලා මට හිතෙනවා.
චෛතසික
චෛතසික කියන වචනේ තමන් "සරළයි, කූල්" කියලා එලියට පෙන්නන මනුස්සයෙකුට බර වැඩි වුනාට රුක්ෂාන්!ටත් චෛතසික තියෙනවා.ඒත් එයා එහෙම නෑ වගේ ඉන්නවා. එයාගේ ඇස් වලින් කිසිම හැගීමක් පිටවෙන්න නොදී,එයා ඇස් ඇරගෙන ඒත් වහගෙන වගේ ඉන්නවා.එයාගේ ඇස් කතා කරන්නේ නෑ.ගොළුයි.
හැබැයි අන්ධ නෑ.අනිත් මිනිස්සුන්ගේ හැගීම් දැනීම් ඉස්සරහා එයා බ්ලොටින් පේපර් එකක් තත්වෙට පත්වෙනවා. අනිත් මිනිස්සුන්ගේ ඇස් වල එහෙමත් නැත්නම් මූණු වල අකුරු වෙන කතන්දර එයා කිසිම හිරිකිතයක් නැතුව අවශෝෂණය කරනවා.ඒත් ඒ කතන්දර වෙනුවෙන් එයාගේ ඇස් වලට වත් හදවතට වත් කදුලු උනන්නේ නෑ.එයා කරන්නේ ක්රියාමාර්ග ගන්න එක. උදව් කරන එක.එහෙම නැත්නම් නොකර ඉන්න එක.
ශරීරය ඇතුලත
රුක්ෂාන්!අනිත් හැම අවයවයක්ම නියමිත තැන්වල තියෙන,හදවත තිබිය යුතු තැන සෙන්ට්රිගේඩ් රින සීතල රික්තයක් සහිත. රික්තයක් ඇතුලෙ
සීතලක් තියෙන්න බැරි උනත් එයාගේ හදවත තිබිය යුතු තැන හරිම සීතල වීම.නොවැලැක්විය හැකි හේතුවක්
මත.
සිදුවීම
රුක්ෂාන්!ගේ ජීවිතේ ආතල්.එයා
කියන්නේ කසාද බැන්දේ ට්‍රෙන්ඩ් එකට කියලයි.ආතල් ජීවිතේට හෙනහුරා ලැබුවේ සෙනසුරු මාරුවෙන්
පස්සේ නෙමෙයි,කසාද බැන්ද දවසෙමයි කියලා රුක්ෂාන්!ගේ හිතක් නැති හිතට හිතෙනවා.
වගකීම්
කියනදේ ජීවිතේට ඕනේ නෑ.එයාගේ හදවතක් නැති සීතල රික්තය නිගමනය කරනවා.දරුවෙක් කියන්නේ
ලයබිලිටි එකක් කියලා එයාගේ ව්‍යාපාර විශ්ලේෂණ නුවණ යොදෝලා තේරුම් ගන්නවා. නෝනා
මහත්තැන් දරුවෙක්ගැන බලාපොරොත්තු දල්වගත්තාම ඒවා මහ මෝඩ වැඩ කියලා හිතලා විතරක් නිකන්
ඉන්නේ නැතුව නෝනාට කියනවා.
නෝනා මහත්තැන්ගේ හිත කෑලි
කෑලි වලට ඉරෙනවා.ජීවිතේ සෞන්දර්යය බිම ඉහිරිලා යනවා.නෝනා මහත්තැන් බිදුනු ජීවිතේ වීදුරු
කටු එකතුකරලා ආයෙමත් ජීවිතේ අලවන්න පුළුවන් ගම් එකක් හොයනවා. ඒ
අතරෙ රුක්ෂාන්!ජීවිතේ බිදිලා ඉහිරිලා ගිහිල්ලා කියලා දන්නේ නැතුව එයාගේ ගමන යනවා.එයාට
ළග නොපෙනුනාට දුර පේනවා.තාමත් එයා අනුන් ඉස්සරහ බ්ලොටින් පේපර් එකක් විදිහට හැසිරෙනවා.
රුක්ෂාන්!රෑ වෙලා ගෙදර
එනවා.නෝනව මග අරිනවා.ඒත් එක්ක ජීවිතේ මග ඇරෙනවා කියලා එයාට නොතේරී තියෙනවා.
නෝනට
නොකිය රුක්ෂාන්!ට්‍රිප් එකක් යනවා.ඒ ට්‍රිප් එකේ අනන්ත ගැහැණු උදවිය ඉන්නවා.ට්‍රිප්
එක යන වාහනේ වහන්න බැරි වීදුරු කවුළුවක් ළග ගෑණු කෙනෙක් ඉදගෙන ඉන්නවා.කවුළුවෙන් එලියෙ
හයියෙන් වහින්න පටන් ගන්නවා.රුක්ෂාන්! පිටිපස්සේ ආසනේ ඉදගෙන ගැහැණු කෙනා වැස්සෙන් නොතෙමෙන්න
අතින් කවුළුව ආවරණය කරනවා.
ගෑණු කෙනා පිටිපස්ස හැරිලා
බලලා ස්තුතිවන්ත හිනාවක් පානවා.ඒ හිනාව රුක්ෂාන්!ගේ ඇස් වලින් ඇතුලට ගිහින් හදවත තිබිය
යුතු තැන තියෙන රික්තයේ නතර වෙලා රික්තයට තෙතමනයක් ගේනවා.
"මගේ මහත්තයත් ඔය
වගේ කරුනාවන්ත වුනා නම් මම අද කොයිතරම් සතුටින්ද?"කියලා අර ගැහැණු කෙනා රුක්ෂාන්!ට
කියන්නේ ඇස් වලින් හීනියට හිනාවෙන ගමන්.හිනාවෙන්න දන්නේ නැති රුක්ෂාන්!ගේ ඇස් ඒ හිනාවත්
හැගීමක් රහිතවම අවශෝෂණය කරනවා.
රුක්ෂාන්!ගේ නම අගින් තවමත්
විශ්මයාර්ථ ලකුණක් තියෙනවා.
No comments:
Post a Comment