මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, April 10, 2012

මම සහ මම....


පුන්චි දුඹුරුපාට බන්කුවක් උඩ අවුරුදු තුනක පිරිමි ළමයෙක් වෙලා මම ඉදගෙන ඉන්නවා.අදත් හුග අය ඇවිත්.මට හරිම බඩගිනියි.අද බත් ඇත්තෙ මොනවා එක්ක වෙන්න පුලුවන්ද?මම කැමතියි සැමන් මාලු වලට.ඒ මාලු දෙන්නෙ අඩුවෙන් සල්ලි දෙන දවසටලු.ඒත් මට ඒ මාලු ඕන.

සුදුපාට බත් හැන්දක් පුරවලා සුදුපාට පිගානට බෙදලා තිබුනා.ඒ පිගාන බිදෙන්නෙ නැහැ."ටක..ටක..ටක"සද්දෙන් පොලවෙ හැප්පෙනවා විතරයි.මම ඒ බව හොයාගත්තෙ හුගක් බයවෙලා බිම බලාගෙන ඉන්න වෙලාවක.බයවෙන්න හේතු වුනේ පිගාන ලිස්සලා බිම වැටුනු එක.

මම මේ බන්කුව උඩ වාඩි වෙලා හැමදාම අතින් කෑම කනවා.ඇන්ටි මට බත් අනලා දෙනවා.මම හෙමි හෙමින් කටින් කට කනවා.මදි උනාම මාලු කෑල්ලක් ඉල්ලනවා."ඔච්චර බත් බෙදන්න එපා මිස් .පොඩි ලමයිනෙ.ටිකයි කන්නෙ"...මට ඇහෙනවා.ලස්සනට ඇදගත්තු ඇන්ටිලා බත් බෙදනවා.ටක්...ටක් සද්ද ඇහෙනවා.සපත්තු ගලවන්න ඕන උනාට ඇන්ටිලා සපත්තු ගලවලා නෑ.

මට පුන්චි පත්තරේ මතක්වෙනවා.නරිහාමිගෙ කතන්දරේ කියවන්න මේ සතියෙ පත්තරේ තාම ලැබුනෙ නැහැ.මට පත්තරේ කියවන ලොකු අය්යා කෙනෙක් ඉන්නවා.

 අපි ඉන්නෙ කොන්ක්‍රීට් වලින් හදපු ගෙදරක.ගෙදරක් කියුවට ඒක මට නම් තේරුනෙ තීරුවක් වගේ.

මම අද රෑ හීනෙන් දැක්කා ලස්සන කාර් එකක්.බිමදිගේ යන.මම සෙල්ලම් කර කර හිටියා ඒ කාර් එකත් එක්ක."බ් රූම් බ් රූම් "කියාගෙන ඒ කාර් එක ගියා.අපේ ගෙදර ඇතුලෙමයි ඒ කාර් එක ගියෙ.

ලගදි දවසක් අපිට කන්න දෙන්න ආපු අය්යා කෙනෙක් ලගත් තිබුනා ඒ වගේම එකක්.

මම අතින් කාලා හෙමින් නැගිටිනවා."අනේ හරි ශෝක්"ඇන්ටිකෙනෙක් කියනවා.මගේ දිහාම බලාගෙන ඒ ඇන්ටි ඉන්නවා."හරි පව් අප්පා "තව ඇන්ටි කෙනෙක් සුදු අන්කල් කෙනෙක්ට කියනවා.

මම බන්කුව තල්ලු කරන්න යනවා එලියට යන්න.මට අමාරුයි.බන්කුව තල්ලු කරලා අන්කල් කෙනෙක් මාව එලියට ගන්නවා.මගේ පිගාන ගන්න හදනවා.මම පිගාන දෙන්නෙ නැහැ.ඒකෙ තව සැමන් කෑලි තියෙනවා.මම ඒවා අහුලගෙන කනවා.

++++++++++++++++++++++++++++++

මම හුගක් දේවල් ගෙනාවා.මිදි...ඇපල්..පේර...රෙදි සෝදන කුඩු....

පොඩි එවුන්ට එක බත් හැන්දක් බෙදන්න කියන අතරෙ මහ ගෑනු කොත වගේ පිගන් පුරෝ ගත්තා.පඩි ගෙවනවා මදිවට,පොඩිඋන්ට කන්න නොදී පාලකයො තමයි කන්නෙ.මගේ හිත කච කච ගාලා කියවන අතරෙ පොඩි එවුන් බලාගන්න හිටපු මනුස්සයෙක් එක්ක මගේ මූණ හිනා වුනා.ඒ මනුස්සයත් කට පුරෝලා මුකුලු හිනාවක් පෑවා.

හැම කෑමජාතියක්ම පොඩිවුන්ගෙ අතටත්,අතින් කටටත් ගියා.අවුරුදු තුනක පොඩි එකෙක් මම ඉස්සරහා වාඩිවෙලා තනියම අතින් කෑම කමින් හිටියා.කෑම කාලා ඉවරයි කියලා පෙනුන පොඩි එකා නැගිටින්න උත්සාහ කලා.මම බන්කුව ඉස්සරහට ඇදලා පොඩි එකාට එලියට එන්න ඉඩ හදලා දුන්නා.පිගාන ඉල්ලුවාට දුන්නෙ නැති පොඩි එකා ,ආයෙමත් සැමන් කෑලි අහුලගෙන කන්න පටන් ගත්තා.

මම අත්දෙකම පාලා ඉල්ලන අත් වලට මිදිගෙඩි හතරක් වත් අල්ලගන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.එක අතක් අල්ලන පුන්චි ඇස් වලින් මම අත් දෙකම අල්ලන්න කියලා ඉල්ලුවා.

"අන්කල් තැන්ක්කූ"....

පුන්චි කටහඩක් එහෙම කියුවෙ අර අවුරුදු තුනේ පොඩි ලමයා හිටපු තැනින්.මම ඉබේටම ඒ මූණ දිහා බැලුවා කතානොකරන ,ඒත් කතාකරන්න දන්න බව පේන  ඇස් දෙකක් තියෙන අවුරුදු තුනේ පුන්චි දරුවා එතන ඉදගෙන හිටියා.

මට දැනුනා අපි දෙන්නා අතර නූලක් වැනි යමක් එල්ලී තිබෙන බව.පොඩි එකාගේ කමිස සාක්කුවට ගැට ගැසී තිබූ සිහින් නූල මාවෙතට එන විට දරුණු ලණුවක් බවට පරිවර්ථනය වෙලා මගේ කලිසමේ පටියේ ගැට ගැසී තිබුනා.

මම මිදි තසිම පැත්තකින් තියලා ලණුව ලිහාදාන්න උත්සාහ කලා.ලණුව තවත් හිරවුනා.බිරිද මගේ දිහා අමුතු බැල්මක් හෙලුවා.මම මිදි තසිම අතට ගත්තා.ආයෙමත් මිදි බෙදාගෙන ගියා.ලණුව පොඩි එකාගෙ දිහාවට මාව ඇද්දා.මම පොඩි එකාට පිටිපස්ස හරවගෙන හිටියා.

මම මටම් විහිලුවක් කරනවා වගේ මට තේරුනා.

හිතයටින් මම මගේ බිරිදට හිනා වුනා.මම හැමෝම රැවැට්ටුවා.මට හටිම ආඩම්බරයක් දැනුනා.

"මගේ අම්මයි තාත්තයි නැති වුනා.එයාර් ෆ්ලයිට් ක්‍රෑෂ් එකකින්....පුන්චි ලග තමයි හැදුනෙ.එයා ඉන්නෙ Ausi වල"

බිරිදට කියපු අන්තිම බොරුව මටම ආපහු කියනවා වගේ දැනුනා.

මම හෙමීට හැරිලා බැලුවා.රෝසපාට කේසර තිබුනු සින්හයෙක් මගේ දිහා නිල්පාට ඇස්දෙකකින් බලාගෙන හිටියා.ඌ කහපාට දත් පෙන්නලා හිනාවුනා.

++++++++++++++++++++++++++++++

මට අනිත් අයියලට  නැති ලස්සන තෑග්ගක් හම්බුනා.පාට පාට කොලේකින් ඔතලා තිබුනේ.මට හිතුනෙම මම හීනෙන් දැකපු කාර් එක වෙන්න ඇති කියලා.

මට පිදෙන්නත් අමතක වුනා.

කට්ටියම මම දිහා බලලා ආදරෙන් වගේ හිනා වුනා.

+++++++++++++++++++++++++++++++

මම පොඩිම දරුවට දෙන්න ගෙනාපු තෑග්ග අවුරුදු තුනේ පොඩි එකාට දුන්නා.තෑග්ග දෙනකොට පුන්චි ඇගිලි හතරක මගේ අතේ අක ඇගිල්ලක් ගැටුනා.

මම ආයෙමත් අවුරුදු තුනක පොඩි එකෙක් වෙලා දුඹුරු පාට බන්කුවක ඉදගෙන හිටියා.

6 comments:

  1. කතාව අමුතු සහ ලස්සන ශෛලියකින් ලියලා තිබුනා ..... යථාර්තය ගැන සිහි උනත් මොකක් හෝ පැටලීමක් උනා ගලපා ගන්න ගිහින්.

    ReplyDelete
  2. මේ කතාවෙ ඉන්නෙ මම කියල එක චරිතයක්...එයා අනාථ දරුවෙක් විදියට හැදෙන්නෙ.ඒත් එක දවසක් අනාථ නිවාසෙකට දානයක් දෙන්න ගියාම එයා පුන්චි දරුවෙක් විදියට හැදුනු වැඩුනු හැටි එයාට මතක් වෙනවා.ඒක තමයි කතාව...

    ReplyDelete
  3. ඇත්තටම ලස්සන කතාවක්..

    ReplyDelete
  4. හරිම අව්‍යාජ විදියට මතකය පෙලගස්වලා තියනවා.....කතාවක්ම නොවෙන කතාවක්..

    ප.ලි.

    දසුනි තවම සිංහයාට "සින්හයා", බංකුවට "බන්කුව", කියන්නෙ බිංදුව ලිවීමේ අසීරු අභ්‍යාසය ප්‍රගුන කරල නැතිවද :D

    ReplyDelete
  5. කතාව හරි ෂෝක්.
    දිගටම ලියන්න.
    වෙලාව නැති උනත් මම දෙපාරක්ම කියෙව්වා.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට....:)
    ඔව් නෙ ලකීසිරි මම තාම බින්දුව ලියන්න බෑ.:):)

    ReplyDelete