මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 1, 2012

"නැන්දම්මා මාමා" සහ "අම්මා තාත්තා"

මේ හිත් රිදෙන රිදවා ගන්න මාතෘකාවක්.ඒ වගේම හිත් හැදෙන මාතෘකාවක්.


ඒත් එක්කම කියන්නට ඕනෙ මේ ඔස්සේ මගේ ලෝකයේ ඉන්න නැන්දම්මා වත් මාමා වත් අම්මා තාත්තා වත් කියවන්න ලෑබෙන්නෙ නැති බව.මම කියන්නෙ සමස්ථයක් විදිහට මම අහල දැකලා තියෙන දේවල්.මට කියපු දේවල් එහෙම.සමහර දේවල් තියෙනවා කියන්නෙ නැතුව දැනුන දේවල්.

 

අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක් පුන්චි කාලෙ ඉදලම හදනවා බලා කියා ගන්නවා.මට හිතෙන විදිහට අම්මෙක් ගෙ තාත්තෙක්ගෙ ආදරේ දැනෙන්න ඇත්තටම තමුන්ට දරුවෙක් ඉන්න ඕනෙ.


එතකල් ඔය මොන මොන තාලෙන් කියුවත් අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ ආදරේ තරම දැනෙන්නෙ නැහැ.ඒ අය තමන්ගෙ දරුවා වෙනුවෙන් මුළු ජීවිතයම උනත් කැප කරන්න ලෑස්තියි.අවුරුදු අසූවක් වයස වුනත් ඒ අය කියන්නෙ..."අපි වෙනුවෙන් මහන්සි වෙන්න එපා පුතේ" කියලයි.මම කියන්නේ බහුතරයක් පිලිබදව.

 

මේ අතර සුළුතරයක් වෙනස් වෙන්න පුළුවන්.තමන්ගේ දරුවටත් ශාප කරන්න පුලුවන්.ඒ දේවල් වලට බලපාන මානසික තත්ව සහ ආර්ථික තත්ව තියෙනවා.උදාහරණයක් විදිහට රජයේ රැකියාවක් කරලා විශ්‍රාම අරගෙන ඉන්න අම්මෙක් තාත්තෙක්ගෙ විශ්‍රාම වැටුප නිසා තමන්ගෙ දරුවන් මත යැපෙන්න සිද්ධ නොවෙන්න පුළුවන්.නමුත් පෞද්ගලික  අංශයේ රැකියාවක් කරපු කෙනෙක්ගේ තත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.


ඒ අය දරුවන්ගෙන් යැපීමක් බලාපොරොත්තුවෙන අතරෙ ඒ දෙය නොලැබිම නිසා දුක්වෙන්න පුළුවන්.තවදුරටත් වත්මන් සමාජ ක්‍රමය යටතේ දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් ගතකරන්න පුළුවන් කාලය වෙනස් වෙන්න පුළුවන්.


ඒ හැමදෙයක්ම යටතේත් බොහොමයක් අම්මලා තාත්තලා තමන්ගෙ දරුවන්ට ආදරේ කරනවා.අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොයිවෙලාවකවත් තමන්ගෙ දරුවෙක් වැරදියි කියලා දකින්නේ නැහැ.එහෙම දැක්කත් ඒ බලන බැල්මේ ආදරයත් තැවරිලා තියෙනවා.සැබෑ ආදරයක්.


ඒ අතරෙ වැඩිවියට පත්වෙලා විවාහ වෙනවාත් සමගම තමන් ජීවිතයට ලගා කරගන්නවා තව ආකාරයක අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්.ඒ තමයි මාමා සහ නැන්දම්මා.ඒ තමන්ගෙ සහකරුගෙ අම්මා සහ තාත්තා.ඒ අම්මා සහ තාත්තා තමුන්ට තමුන්ගෙ දමව්පියන් ආදරේ කරනවා වගේම තමුන්ගෙ සහකරුවාට/සහකාරියට ආදරේ කරනවා.ඒ දෙය පිලිගැනීමට තමන් සූදානම් විය යුතුයි.ඒත් හැම වෙලේම තමුන් පිටස්තරයෙක්.අළුත් සාමාජිකයෙක්.තමුන් අඩිය තබන්නේ තමුන්ට වඩා වෙනස් සමාජ පරිසරයකට.මම එක උදාහරණයක් කියන්නම්.මේ උදාහරණය හරිම සරලයි.ඒ වගේම උපුටාගැනීම මගේ ජීවිතයෙන්.


පහුගිය අලුත් අවුරුද්ද දවසෙ මම හිටියෙ මගේ සහකරුගෙ ගෙදර.මම අලුත් අවුරුද්ද වෙලාවෙ බලාගෙන ඉන්නවා කවුරුත් අලුත් ඇදුම් අදින පාටක් නෑ.ඒ පාර මම අලුත් ඇදුම ඇන්දා.සහකරුටත් අන්දවා ගත්තා.ඒත් අම්මාවත් තාත්තා වත් මල්ලී වත් අලුත් ඇදුම් ඇන්දෙ නෑ(සහකරුගෙ පාර්ශවය ).ඒත් අලුත් අවුරුද්දෙ සතුට අඩුවක් නැතුව තිබුනා.අපි හුගක් සතුටු වුනා.මට මේ සරල වෙනසට හැඩ ගැහෙන්න සිද්ධ වුනා.


නැන්දම්මා කියලා අමතන්න නොහිතෙන තරමට සමහර නැන්දම්මලා තමන්ගෙ අම්මා වගේ.ලෙඩ දුක් වලදී තමගෙ රස්සාවල් ගැනවත් නොහිතා උදව් කරනවා.ඒත් සමහර අය සලකන්නෙ තමන්ගෙ දරුවා විනාශ කරන්න ආපු සතුරෙක්/සැතිරියක් විදිහට.


ඒත්, ඇත්තනම් තමන්ගේ දරුවාගේ ජීවිතයට පිටස්තර කෙනෙක් සම්බන්ධ වී ඇති බවයි.ඒ බව පිලිගන්නට ඔවුන් සූදානම් විය යුතුයි.

අපි හිතමු මෙහෙම දෙයක් ලේලි/බෑණා අදින පලදින විදිහ තමන් කැමති විදිහට වැඩිය වෙනස් වෙන්න පුලුවන්.ඒ බව ඔවුන්ට කියාදෙන්නට යාම හොදයි.නමුත් හිත නොතැලෙන විදිහට.කෙනෙක් තමන්ගේ ශරීරයට නොගැලපෙන දෙයක් අදිනවා වෙන්න පුලුවන් ඒ ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත.පුදගලයෙක් තමන් අකමැති දෙයක් කරලා කවදාවත් සතුටින් තබන්නට බැහැ.


සමහරු හිතන්නේ තමන්ගේ දරුවාගේ මුදල්පවුලට සම්බන්ධවූ සාමාජිකයා අතොරක් නැතිව වියදම් කරවන බවයි.ඒත් ඇත්ත වෙනස් වෙන්න පුලුවන්.තමන්ගේ දරුවාම ඒදෙය කරවනවා වෙන්නට පුලුවන්.සමහර වෙලාවක,ගමක ගෙවන ජීවිතයේ වියදමුත් කොලඹ නගරයේ වියදමුත් වෙනස් ස්වරූපයක් ගන්නවා.ඒ වගේම තමයි විවාහක යුවලකුත් තමන්ගේ මුදල් පරිපාලනය පිලිබදව දැනගත යුතුයි.තමන් මුදල් උපයනවා කියන්නේ අරපරිස්සමක් ඇතිව ජීවත් වීමට තමන් හුරුවිය යුතුයි.


සමහර දේවලින් හිත් රිදෙනවා.තවත් දේවල් වලින් හිත් සුවපත් වෙනවා.

කොහොමටත් පෞද්ගලික ජීවිතයේ නම් මට ඉතාමත් හොද නැන්දම්මා කෙනෙක් මාමෙක් ඉන්නවා කියලා  කියන්නට පුළුවන්.ඒක එක්තරා විදිහක භාග්‍යක්.ඒත් අපිට ජීවිතයේ වෙනස්වීම් පිළිබද අනාවැකි කියන්නට බැහැ.


කොහොමටත් තමන්ගේ බෑණට හෝ ලේලිට තමන්ගේ දරුවෙකුට වගේ ආදරේ කරන අතරෙම නැන්දම්මට ,මාමට තමන්ගේ අම්මාට තාත්තට වගේ ආදරේ කරන්න පුළුවන් නම් හොදයි.

 

ඒත් ඒක මේ මම කියන තරම් ලේසි නැහැ.

2 comments:

  1. මෙතනදී ගොඩාක් වෙලාවට ඉඩිපස් තියරි එකේ බලපෑමකුත් තියෙනවා.. සමහර අම්මලා කැමති නැ අවුරුදු ගානක් තමන් ලඟ හිටපු පුතා වෙන කෙනෙක් ලඟ ඉන්නවා බලන්න.. ඒක අම්මයි ලේලියි දෙන්නාම තේරුම් ගන්න ඕනේ.. අම්මා තේරුම් ගන්න ඕනේ පුතා හැදුවට එයාට ජීවිතයක් තියෙනවා කියලා.. ලේලි තේරුම් ගන්න ඕනේ තමන් බැන්ඳට අම්මාට තාමත් එයා පුතා කියලා.. එතකොට ඔය ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා.. කියවලා බලන්න ඩී.එච්. ලෝරන්ස්ගේ Sons and Lovers පොත.. ඒකේ ඔය ගැන ලස්සනට විස්තර වෙනවා. අම්මා කෙනෙක්ගේ හිතේ පුතා ගැන තියෙන ඇල්ම..
    නියම ලිපියක් දසුනි.. :)

    ReplyDelete
    Replies
    1. ඒ පොත ගැන කියුවාට තුති හොයාගෙන කියවන්න ඕන.ඇත්තටම ප්‍රධානම දේ වෙන්නෙ දෙදෙනා වෙනස් පරිසර වල වීම.

      Delete