මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, March 17, 2011

ඔයයි ...දෝණියි...(මගේ ලෝකය )

හද පායන්න පටන් අරගෙන තිබුනා.ඇල්බීසියා ගස් අස්සෙන්...තේ දලු වල ලා කොල පාට ටිකකුත් හොරකම් කරගෙන,තේ ගස් වලට උඩින්.කිරි පැණි නැතිව හද එලියෙන් විතරක්ම නෑවෙමින් තිබුනා දොර පඩිය උඩ හිටි මාව තාත්තගෙ උණුහුමේ.... ඒ ඉස්සර….අද මගේ දුව ඔයාගෙ ලගට වෙලා ඉන්නෙ කොළඹ කොටු වෙච්ච තාප්පයක් ඇතුලෙ.ඒ උනත් එදා මට තාත්ත ලග ඉන්නකොට දැනුනු හැගීමම මගේ දෝණිටත් ඔයා ලග ඉන්නකොට දැනෙනවා ඇති.

තාත්තා කන්ද දිගට නගින පාරෙ කරාබු නැටි ගස් වවල තිබුන.මම පුන්චි කාලෙ ඒ ගස් වලින් කඩාගෙන කරාබුනැටි වේලලා බෝතලේට දාල තාත්තටම විකුනනවා.ඒව ලස්සන මතක…. රජ්ජුරුවෝ උඩයි උඩයි ...මිටි කොල්ලෝ බිමයි බිමයි කියල මාව කර උඩින් තියාගෙන කන්ද බැස්සෙත් ඒ තාත්තමයි....

දෝණිත් තාත්ත ලගටම තමයි දුවන්නෙ.දොයියන්න...අම්මගෙ ආදරේට තාත්තගෙ උනුහුම දෙන්න බෑ කියල මම අත්දැකීමෙන්ම දන්න නිසා මම ඒ අසාධාරනේ ඉවසගෙන ඉන්නව.ඉස්සර මම දොයියන්න තාත්ත ලගට දුවගෙන යද්දි අපේ අම්මටත් ඔහොමම හිතෙන්න ඇතිනෙ.

අන්දරේගෙ කතා අන්දරේවත් දන්න නැති තරමට හදල කියල දුන්න.හැමදාම රෑට කියන්න අන්දරේගෙ කතාවක් තාත්තට තිබුන.ඔයා අන්දරේගෙ කතා දුවට නොකියුවට,එයාට නින්ද යනකල් ඔලුව අතගගා ලගට වෙලා ඉන්නෙ අපේ තාත්ත මට නින්දයනකල් හිටපු විදියටමයි.දුවත් ඔයාගෙ උණුහුමට වෙලා නිදියන්න හරිම ආසයි.මම මේ ලියන අතරෙත් තාත්තගෙ උණුහුමේ සුවද මට දැනෙනවා.ඒ දාඩිය සුවද වෙන්නැති.අපේ දුවත් කවද හරි ඔයාගෙ උණුහුම ගැන මම වගේම කාත් එක්ක හරි කියවයි…මම ඒ දවස එනකල් බලාගෙන ඉන්නවා….

හ්ම්ම් ඔයා දන්නවද ...අද මම පොඩ්ඩක් දෝණිට සැර වුනා.වෙනද වගේ ඇඩුවෙ නෑනෙ..මමත් බැලුව මේ මොකෝ කියල.පස්සෙ බලනකොට ගෙදර ඉස්සරහ සමන්පිච්ච වැල ලගට ගිහින් එයා සමන් පිච්ච වැලට තුරුල් වෙලා කියනව අම්ම එයාට බැන්නලු.පුන්චි ඇස් වල කදුලු...මගේ ඇස් වලටත් කදුලු ආව, බැන්න දුකටමත් නෙමෙයි.පුන්චි කාලෙ අපේ ගෙදර ඉස්සරහ තිබුනු කහපාට වද මල් ගහට නඩු කියපු හැටි මතක් වෙලා.එයා තමයි මට ඒ කාලෙ හිටපු හොදම යාලුවා....

අපේ දෝණිට මම වගේ තනි වෙන්න දෙන්න බෑ.එයාට මල්ලියෙක් ගෙනත් දෙන්න ඕනෙ .ඉක්මනටම නැතත් කවද හරි.තනි ළමයෙක් වෙන එක හරිම අමාරුයි.ආදරය හිගමනේ යන්න වෙනවා.අපේ දෝණිට එහම කරන් නෑ මම.අපි එයාට මල්ලියෙක් ගෙනත් දෙමු.සෙල්ලම් කරන්න...රණ්ඩු වෙන්න...එතකොට ආයෙමත් තාත්තගෙ ආදරෙන් ටිකක් අම්මටත් හොරකම් කරන්න පුලුවන් වෙයි.

අන්තිමම වාක්‍ය...

මම ඔයාටයි දෝණිටයි හරිම ආදරෙයි...


අපර කතාව...


අපි තවම බැදල නෑ.
තවම ඔයාගෙ උණුහුමේ දුවෙකුත් නෑ..

ඒත්...
දැන් දන්නවා නේද...
බොරුවට රණ්ඩු වුනාට,
මගේ හීනෙත් දුවෙක් ඉන්නවා....


6 comments:

  1. ලස්සනයි අක්කෙ කතාව....

    ReplyDelete
  2. Dear U'r an Angel. i can't imagine this. Thanks a lot my Dear. I love You lot.

    ReplyDelete
  3. හරිම ලස්සනයි..ඇත්තටම තාත්තාගේ උණුසුම කොයි තරම් සනිපද හිතට කියලා මමත් මහා හුගාක් දන්නවා.... එ වගේමයි තනි දරුවෙක් උනාම ඔයා ආදර කම කොහොමද කියන්න මමත් දන්නවා එ මමත් එහෙම කෙනෙක් නිසා...ඔයා හරියට ලියලා තියෙන්නේ මගේම හිනයක්..එකම දෙයක් ඇරෙන්න..එ මම ආස පුතාලට විතරක් හන්දා...

    ReplyDelete
  4. Beautiful and colorful story..very nice

    ReplyDelete
  5. හැමෝටම බොහොම ස්තුතියි...

    ReplyDelete
  6. අක්කේ. ඔයාගේ සිතිවිලි ගැන තාම හිතා ගන්න බෑ... ලස්සන්යි... ගොඩාක්..
    ජය...

    ReplyDelete