මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, September 4, 2012

!

 

 

 

සියල්ල ඇරඹෙන්නේ ලිපියකිනි.අවසානවන්නේත් ලිපියකිනි.


ආදරණීය ෆ්‍රැන්සිස්,


මුලින්ම කියන්න ඕන අන්තිම මොහොතෙ(විවාහයට සතියක් තියෙද්දී) වුනත් ඔයාට ආමන්ත්‍රණය කරන්න වෙන විදිහෙ අසාමාන්‍ය බවක් මට දැනෙනවා.ආදරණීය කියන වචනෙයි ෆ්‍රැන්සිස් කියන වචනෙයි එකිනෙකට ගැලපෙන්නෙ නැහැ. Loving Fransis හරි Darling Fransis හරි මීට වඩා ගැලපෙනවා.ඒත් මේ ලියමන ලියන්නෙ අපේ(මගේද මන්දා)මව් භාෂාවෙන් නිසා මට ආදරණීය කියන යෙදුම භාවිතා කරන්න සිද්ධ වෙනවා.ඔයාගෙ තාත්තා ඒකියන්නෙ මගේ මාමා ඔයාට නමදාල තියෙන්නෙ ෆ්‍රැන්සිස් විදිහට.මම ඒ දවස්වල හිටියනම් කවදාවත් ඔයාට ඔය නම දාන්න දෙන්නෙ නැහැ.ඒත් දැන් සිද්ධ වෙලා ඉවර දේවල් වලට මට කරන්න දේකුත් නැහැ.ඔයා කතන්දර නොලියන නිසා මට දැනගන්න බැරි උනාට ඔයා මගේ නමටත් සමහර වෙලාවට කැමති නැතුව ඇති.නෙරන්ජනා කියන්නෙ ඉස්සර සින්දු වල තියෙන කොච්චර ගොඩේ නමක්ද?


මෙයට ,
ඔයාට දුර ඉදලා ලියන
නෙරන්ජනා


නෙරන්ජනාගෙ ලියමන් කොහොමටත් ඉතා කෙටිය.ඉහත පලවන්නේ මට ඇගෙන් ලැබුන පලවෙනි ලිපියයි.ඒ අපේ විවාහයට පලමුවය.ලියමන ලැබුනේ බොහොම සම්ප්‍රධායික විදිහට ගොළුබෙලි තැපෑලෙනි.ඇගේ ලියමන් ඇය මෙන්වම කුතුහලය අවුස්සයි.සමහරදිනක තනි කළු පෑනෙන් ලියවෙනා ලියමන් තවත් දවසක ලියවෙන්නේ දිලිසෙන කොලවල ලුමිනස් පැහැයෙනි.ඇය කෙටි ලියමන් වලින් මා ඇවුලුවාය.ලියමන් ඇගේ මානසික ස්වබාවය කියාපානවායයි ඔබට සිතෙන්නට හැක.ඇත්තෙන්ම නම් නැත.ලුමිනස් පැහැයෙන් දිනක දුක කියන ඇය තවදිනක කලු පැහැයෙන් සිනාසෙයි.ඒ ඇගේ හැටිය.

 

සෑම ලිපියකම කෙලවර මලක් (ඇත්තෙන්ම බොහොම සරළ සාමාන්‍ය මලක්) අදින්නට ඇය හුරුවී සිටියාය.පලවෙනි ලියමනේ තිබුන මලේ හරියටම තිබුනේ එක පෙත්තකි.ඒ පෙත්ත ඇය තද රතුපාටින් පාටකර තිබුනාය.


Dearest Loving ෆ්‍රැන්සිස්,

 

අම්මා ඔයාගෙ තාත්තට හරිම ආදරෙයි.ඔයාගෙ තාත්තට හුරතල් කතා කියනවා.ඇත්තටම මම අහලා නෑ අපේ අම්මා ඒ වගේ හුරතල් කතා තාත්තට කියනවා.ඇත්තටම අම්මා ටෙඩිබෙයෙක් වගේ .හරිම ලස්සනයි. ඒ වගේම හරිම හොදයි.අපේ අම්මා තරම්වත් නීති නෑ.ඇත්තටම කියනවා නම් කිසිම නීතියක් නෑ.එ උනාට ඔයාගෙ තාත්තා හරිම කම්මැලියෙක්. අම්මට කිසිම උදව්වක් කරන්නෙ නෑ.

 

Neranjana


මලට කහපාට පෙත්තක් එකතුවී තිබුනි.මල සතුව මල් පෙති දෙකක් ඇත.රතු පෙත්තක් සහ කහ පැහැති පෙත්තකි.මෙයද ගොලුබෙලි තැපෑලෙන් මට ලැබුන ලියමනකි.අප විවාහ වී එවිට එක් මසකි.කහවනු අවශ්‍යව තිබිනි.මට කහවනු සෙවිය හැකි වූයේ මුහුදෙහිය.ඒ සදහා විවාහ වී දෙසතියකින් මම නැව් නැග්ගෙමි.

 

ඇය සතුටින් සිටින බව පෙනේ.ඒත් මම එක් දෙයක් හැදිනීමි.ලිපියෙහි කොතැනවත් ඇය මගේ අම්මාට "ඔයාගේ අම්මා" යයි අමතා නැතත්,තාත්තාට හැමවිටම "ඔයාගේ තාත්තා" යයි අමතන්නට උත්සුක වී ඇති බවය. එය මට පැනයක් වින .තවමත් ඒ පැනය එසේම තිබේ.


මීලග ලිපිය මට ලැබෙනුයේ ඉතාමත් අනියම් අයුරකිනි.මගේ කොට්ටය යට තිබීය.එවිට මම නිවාඩුවකට ගෙදර පැමිණ සිටියෙමි.මගේ අම්මාත් තාත්තාත් සිටියේ අප සමගය.නිදන්නට ප්‍රථම කොට්ටය සකස් කිරීමේදී ලිපිය ලැබේ.මම අකමැති ගන්ධයක් ලිපියෙන් හමයි.ඒ සුදුලූනු සුවදකි.ඇය මට අකමැත්ත ප්‍රකාශ කරන්නේ ලෝකයේ මම අකමැතිම ගන්ධය යොදාගෙනය.


ෆ්‍රැන්සිස්,


මම කැමති නෑ ඔයාට දුක හිතෙනවට.මම හිතන්නෙ ඔයා මේ ලියුම කියවන එකක් නෑ.එහෙම වුනොත් හොදයි.මම මේ ලියමනේ සුදුලූණු ගෙඩියක් ඇතිල්ලුවෙ ඔයාට කියවන්න එපා වෙන්න.ඒත්,හිතහදාගෙන ඔයා මේ ලියමන කියවනවා වෙන්න පුළුවන්.

 

අද ඔයාගෙ තාත්තා කියුවා මම අදින විදිහ හරි නෑ කියලා.මේ ඇගට හිරවෙන ඩෙනිම් කලිසම් හරිම චීප් ලු.මට අර අදින්න හිතෙන්නෙම නැති බැරැක්ක වගේ සායවල් අදින්නලු.එතකොට මම පොඩි එකක් වගේලු.මම ඒත් කියුවා කලිසම් අදින එක ලේසියි කියලා.සායවල් දවස ගානෙ හෝදන්නෙ පොලීසියෙන්ද.මම මෙහෙම ලියුවට මෙහෙම ඇහුවෙ නෑ.හිනා වෙලා නිකම් හිටියා.මම හිතන්නෙ ඒ විදිහ හොදයි.අම්මත් කියනවා කලිසම් අදිනවා නම් දිග බ්ලවුස් අදින්නලු.ඒත් ඔයාට මතකද අම්මගෙ පින්තූරයක් තිබුනා කොට කලිසමක් ඇදපු.සමහර විට මතක නැතුව ඇති.ඒත් ඒ ඔයත් ඉපදිලා ඉන්න දවස් වල.


දුකින් ඉන්න
නෙරන්ජි...


 

ලිපිය කියවා මම ඇය සනසන්නට වෙහෙස වුනෙමි.ඒ වෑයම අසාර්ථක බව මට දැන් පසක් වේ.නමුත් එය සාර්ථකයැයි මම එදවස සිතුවෙමි.මල්පිති තුනක් පිහිටියාවූ මලේ අන්තිම පෙත්ත අළු පැහැයක් ගති.


මම නැවත් නැව් නැග්ගෙමි.මේ ලියමන ලැබුනේ ඉන් අනතුරුවය.

 

ආදරණීය ෆ්‍රැන්සිස්,

 

ඔයාගෙ තාත්තා  කියනවා අපි සල්ලි වියදම් කරනවා වැඩිලු.ඔයා ගෙදර ආපු දවස් වලට පීසහට් යන්නෙ ඇයි කියලා එයා අහනවා.ගෙදරින් කන්නලු.ඔයාගෙ තාත්තා කියනවා මගේ පඩිය මදිලු.වැඩ අඩු වැඩි පඩියක් තියෙන රස්සාවක් හොයා ගන්නලු.මට පිස්සු වගේ.


 කසාද බැදලා අවුරුද්දක් වෙලත් අපිට දරුවෙක් නැතිලු.තාත්තා හැම වෙලාවෙම එහෙම කියනවා.මට කනක් ඇහිලා ගෙදර ඉන්න නෑ.ඒක ඇත්ත. ඒත් ඔයා ලංකාවෙ නැතුව මට දරුවෙක් හිටියොත් ඒක අද්භූත නැද්ද?මට ඇත්ත කියන්න.එහෙම වුනොත් ඒක අසාමන්‍ය නැද්ද?


තාමත් මම දුකින්,

Neranjana 

 

මලට තව පෙත්තක් එක්වී තිබින.එය පැහැ ගන්වන්නට නෙරන්ජිට අමතක වී ඇත.ඒ පෙත්ත සුදුපාටයි.එයාට හිතෙන්න ඇති මල් පෙත්තෙ සුදුපාට අතුල්ලන්නට සුදුපාට පැස්ටල් කූර වියදම් කරන එක අපරාදෙ කියලා.සමහර විටක ඒ හිස් මල්පෙත්තක්.එය එසේ වීමටද හැකිය.


මීලග ලියමන ලැබෙන්නට මසක් වත් ගත නොවුනි.අපේ විවාහයට එවිට එක් අවුරුදු වයස් විය.එය ඉතා කෙටිය.


ෆ්‍රැන්සිස්,

 

අවාසනාවට මේ පස්පෙති මලකි.
දැන් තාත්තා මට කිසිවක් කියන්නේම නැත.
අම්මා රෑ දාවල් නොබලා මට දෝස්මුර තබයි.
සතුටුදායක ආරන්චියකි.
මම ගැබිණියක්මි.
ඔබේ පරම්පරාවේ රුධිරය සහිත දරුවකු බිහිකරමි.

 

ඉතාමත් සතුටින්,
නෙරන්ජි.

 

අවසාන මල්පෙත්ත මොනපාටදැයි මට මතක නැත.මම කියවා අවසන් වුන සැනින්ම පිස්සෙකු බවට පත්වුනෙමි.ආවේශවූවෙමි.නෙරන්ජිට දරුවෙක්.මම නිවසින් පැමිණ දැන් සිවුමසකි.

 

මම නොහඩමි.සුදුපැහැති මල්පෙත්තක් ඇගලා පෙට්ටියක නිදියන සුරංගනාවිය දෙස බලා ඉමි.ඇගේ කුස මදක් උස්ව පෙනේ.

"දුක් වෙන්න එපා.ඔයින් ගිය එක ලොකු දෙයක් පුතේ.නැත්නම් මැරෙන්න වෙන්න අපට..."

මගේ අම්මාගේ කටහඩ පසුපසින් ඇසේ.මගේ තාත්තා දොර අසල හිද පැමිණෙනවුන්ට ආචාර කරනු පෙනේ.

18 comments:

  1. Replies
    1. හ්ම්ම් ඒත් මෙහෙම දේවල් වෙනවා

      Delete
  2. ඔබටම ආවේණිකවු ශෛලියකින් ප්‍රබල අදහසක් ලස්සනට...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සම්පත්...

      Delete
  3. මාරයි... මාර විදිහට හිතට දැනෙනවා.. වෙනස් ආකෘති ඇතුලේ සාමාන්‍ය කතා ඉදිරිපත් කරන්න ඔයා මාර විදිහට දක්ෂයි.. ඒ කතා එතකොට දැනෙනෙත් වෙනස් කතා වගේ..
    ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රතිචාර ඇත්තටම මට ධෛර්යයක් ගේනවා...ස්තුතියි...හැමදාමත් වගේම....:)

      Delete
  4. "පිස්සු හැදෙන සද " කියන්නේ මේවටද?නිර්මානිකව ඉදිරිපත් කිරීම ලෙසටම සුපිරිය!!!

    ReplyDelete
  5. නිකන් අමුතු යමක් තේරෙනවා වගේ.නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය...ඇත්තටම...:)

      Delete
  6. ආදරණීය ප්‍රැන්සිස් ඔබට ගොඩාක් ලිපි ලැබී තිබෙන හැඩයි. පරිස්සමට ඔක්කොම කියවන්න. නැත්නම් නේරංජනා පව්... කෙටි උනත් මහන්සියෙන් ලියපුවා නේ.

    ReplyDelete
    Replies
    1. නෙරන්ජනා දැනටමත් පව්ය....මියගොසින්ය...

      Delete
  7. ගිලිහුන පස්පෙති..!

    මේ වෙනස් ශෛලිය ඇත්තටම හිතට ගෙනාවෙ වෙනසක්..!
    සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. හුගාක් ස්තුතියි....

      Delete
  8. Siya divi nasa ganimakda ??

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවන් ඉතින් නොවෙන්නත් පුළුවන්....අනේ මන්දා...

      Delete
  9. හරිම ලස්සනට ලියලා තියනවා දසුනි..සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ..හැමදාමත් වගේම :)

      Delete