මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, November 16, 2014

දිනමින නෙල්ලි කතන්දර - එකා යකා

එකා යකා
මං හයේ පන්තියේ ඉගන ගන්නකොට යාන්තමට වයස එකොලහයි..ගණන් උගන්නන ටීචර්ලට හැමදාම වගේ හීනියට හිතේ තිබුන බය ඒ දවස් වලත් වෙනසක් නැතුවම හිතේ පැලපදියම් වෙලා තිබුනා. කොච්චර පින්බර මූණක් තිබුනත් හැමදාම ගණන් ටීචව මට පෙනුනේ ලස්සන වසිලිස්සා පොතේ ඉන්න නපුරු මායාකාරියක් හැටියට. ඒක වෙනස් කරන්න කවදාවත්ම කිසිම ගණන් ටීචර් කෙනෙකුට පුළුවන් උනේ නෑ..

ගණන් වලට තිබුන දැනෙන නොදැනෙන දුර්වලතාවය ගණන් ටීචට තියෙන අකමැත්තට අනුලෝමව සමානුපාතික වුනාට එහෙම උනේ හයේ පන්තිය දක්වා විතරයි.ගණන් ටීචර්ව හොදටෝම එපාවෙන හේතුව සිද්ධවුනේ හයේ පන්තියෙදි.එදා ලස්සනට ඉරපායලා තිබුන දවසක් මගේ හිතේ.ගණන් ටීචගේ මූණෙත් වෙනදා නැති සිරියාවක් තිබුනද මන්දා.ගණන් වලට අදාල නැති වුනත් ටීචර් සාමාන් ජීවිතේ ගැන කතාකරපු හින්දා වෙනදා වගේ පන්ති කාමරේ ජනේලෙන් එපිටට යන්නේ නැතුව මගේ ඇසුත් ටීචර් ගාව නතරවෙලා තිබුනා.

"පවුලේ ළමයි තුන්දෙනෙක් ඉන්න අය අත උස්සන්න බලන්න?" ටීචර් කියුවා.ළමයි පනහක් ඉන්න පන්තියේ පහලොවකට අඩු ගාණක් අත් එසවුනා."එතකොට දෙන්නෙක් ඉන්න අය?"ගනන් කරගන්න බැරි තරම් අත් මහ හුගක් ආකාසෙ අල්ලන්න හැදුවා."හොදයි,පවුලේ තනි ළමයා වෙච්ච අය?"ටීචර් අන්තිමට ඇහුවා.මාත් ඇතුලුව අත් තුනක් ඉහලට එසවුනා. ටීචර් නිකන් අගහරු ලෝකෙ ඉදලා වැරදීමකින් මේ ලෝකට ආපු අමුතු පොඩි මිනිස්සු ටිකක් දිහා බලන්න වගේ බැල්මකින් අපි දිහාව බැලුවා.

"එහෙම පවුල් වලට කියන්නේ න්යෂ්ටික පවුල් කියලයි"ටිකක් වෙලා අපි දිහා එක එල්ලේ බලාගෙන හිටපු ටීචර් කියුවා."එහෙම පවුල් වල දෙමව්පියන් අතරේ යහපත් බැදීමක් නැහැ. වගේ ළමයි හුගක් වෙලාවට ආත්මාර්ථකාමියි."සමාජ අධ්යනය ටීචර්වත් නොකියන කතාවක් ගණන් ටීචර් කියුවම මගේ හිත හීරෙන්නේ නැතුව ගැඹුරින්ම තුවාල උනා.වයින් රතුපාට ලේ හිත ඇතුලෙන් ගලනවා මම දැක්කට ටීචර් දැක්කේ නෑ.මොකද අනිත් මිනිස්සුන්ගේ ඇගිල්ලක් පිහියකට යාන්තමට කැපුනාම කලබල වෙන මිනිස්සු හිත් ඇතුලේ තුවාල වලින් දෝරේ ගලන ලේ දකින්නේ නෑ.

ටීචර්ට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. නිසා එයාට හිතේ බයක් නැතුව "තනි ළමයාගේ" කතාවෙන් අපිට රිද්දන්න පුළුවන් උනා.ඒත් වෙනකොටත් මම නංගියෙක් ඉල්ලලා ගෙදර උද්ඝෝෂණයක් පවත්වා තිබීම හින්දත්, උද්ඝෝෂණයට පස්සේ අම්මගේ ඇස් වල පිරිච්චි කදුළු දැකපු හින්දත් ආයෙමත් ඉල්ලීම ඉදිරිපත් කරන්න තරම් දිරියක් මගේ පුංචි හිතට තිබුනේ නෑ.

නිසා ගෙදර ඇවිත් කරබාගෙන හිටියත්, මම ගැන කල්පනා කලා.තනි ළමයෙක් වෙන්න සිද්ධ වෙච්ච එක ගැන.ඒක භාග්යයක්ද අභාග්යයක්ද කියලා මම කෑම කනකොටත්,දත් මදින කොටත් වෙන එකක් තියා නිදියන්න ඇදට ගියාමත් කෙලවරක් නැතුව කල්පනා කලා.ඒත් උත්තරයක් තිබුනේ නෑ.අදටත් උත්තරයක් නෑ.වෙනස තියෙන්නේ දැන් මං ගැන කල්පනා කරන්නේ නෑ.

හයේ පන්තියෙන් පස්සේ ජීවිතේ එන්න එන්න විසාල උනා මිසක් පුංචි උනේ නෑ.

ඒත් "තනි ළමයා" කියන වචනේ ජීවිතේ පුරාවට මාත් එක්ක ඇවිදගෙන ආවා. එකම මාලු ටැංකියේ ඉන්න පාට පාට වරල් තියෙන මාළුවෝ තම තමන්ව හොදින් අදුරගන්නවා.සමහර වෙලාවට මඩවගුරු වල ජීවිතේ ඇහිදින මාළුන්ව මේ ටැංකි වල කූඩු වෙලා ඉන්න පාට මාළුවෝ අදුරන්නේ නෑ.ඒක පාට වරල් මාළුන්ගේ වැරැද්දක් කියන්න බෑ.

පාට වරල් මාළුවෙක් වෙච්චි මට තව පාට වරල් මාළුවෙක් ලගින් පීනනකොට හිත සෑහෙන්න සැහැල්ලු වෙනවා.පවුලේ තනි ළමයි විදිහට හැදුනු වැඩුනු අය ඉස්සරහා මගේ හදවත පුදුම විදිහට මෘදු වෙනවා. අය එක්ක ජීවිතේ බෙදාගන්න සමහර වෙලාවට වචන නාස්ති කරන්න උවමනා වුනේ නෑ.අපිට අපිව අවබෝධ වුනා.සමහර වෙලාවට වචන හුවමාරුවක් නැතුවම.

හුගක් තනි ළමයි වගේ මම තනිකම ප්රියකරන්න පටන් ගත්තා.හැමෝටම වගේ යාළුවෝ දුසිම් ගනනින් මනින්න නැතිවුනාට අතේ ඇගිලිවලින් ගනින්න පුළුවන් යාළුවෝ ගණනක් ජීවිතේ පුරාවට අත් අල්ලන්නේ නැතුව උනත් ඇවිදගෙන ආවා.

සමහර වෙලාවට හැම තනි ළමයෙක්ම හුරතල් පූසෙක්ගේ ස්වබාවය අනුකරනය කලා.එයාලට උවමනා තරම් අවධානය ලැබිලා තිබුනා. නිසා එයාලා තමන්ට සමාජයෙනුත් අවධානය ලැබෙයි කියලා බලාපොරොත්තු වුනා.එහෙම නැති වුනාම හිත රිද්දගත්තා.හුග වෙලාවට ජීවිතේ පුංචි ,දැනෙන නොදැනෙන දේවල් වලින් හිත අනන්තෙටම රිද්දගත්ත මේ උදවිය ජීවිතේ කණපිට පෙරළන සිදුවීම වලට හිනාවෙලා මුහුණ දුන්නා.
 
සමහර වෙලාවට මේ අයව සමාජයට පෙනුනේ ආඩම්බර වියයුතු තරම් දෙයක් නොමැතිවත් ආඩම්බර වුන උදවිය හැටියට.ඒත් ඇත්ත ඒක නෙමෙයි.මේ අය තමන්ට නොගැලපෙන දේ වලින් ඈතට වෙන්න වගබලාගන්නවා. අනිත් කෙනාට දැනෙන හැගීම් ගැන හිතන්නේ නැතිව. ඒක ආත්මාර්ථකාමී වීමක්.

ආත්මාර්ථකාමී කම විසින් තනි ළමයා තුල ඉන්න මෘදු සෞන්දර්යයවාදී ජීවියාව වසන් කර තබනවා,සමාජය විසින් හදුනාගත නොහැකි තරමට.

Haruki Murakami නම්වුන විශිෂ්ඨ ලේඛකයා තමන්ගේ South of the Border .West of the sun පොතේ අකුරු කරපු කියමනක් මට මතක් වෙනවා.

"එකම ළමයා කියන වචනය මට ඇල්ලුවේම නැහැ. වචනේ ඇහිච්ච හැම වෙලාවකම මට දැනුනේ මගේ මොකක් නමුත් අඩුවක් තියෙනවා වගේ.හරියට මම සර්ව සම්පූර්න මනුස්ස ප්රණියෙක් නෙමෙයි වගේ.එකම ළමයා කියන කියමන හැමවිටම මාදෙසට දබර ඇගිල්ල දිගුකරමින් නැගී සිටියා.

"මොකක් හරි අඩුවක් තියෙනවා යාළුවා"ඒක මට කියුවා. "

Haruki දැනුන අඩුව මම විදිමින් සිටිනවා. අතරතුර ජීවිතය පුරුදු විදිහට ගලාගෙන යනවා.

3 comments:

  1. I love this artical.How any things we did not say in our childhood. Keep up good writing.thanks

    ReplyDelete
  2. දසුනි.............. අදයි මේ පැත්තට අාවේ.............. නියම බ්ලොගයක්.......... අවුරුදු හතරක මහන්සියක්...................... දිගට ම ලියමු............ අපිත් දිගට ම ඒන්නම්.................

    ReplyDelete
  3. දිගටම ලියමු නේද?ස්තුතියි!!!

    ReplyDelete