මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 27, 2012

හිජාබ් (කෙටිකතා)

 

 

"මාතියා මාතියා...නාටාමි නාටාමි..."


පිටකොටුවෙ බස්නැවතුමේ පයින් ඇවිදගෙන යන දවසක නාටාමි කටහඩක් ඇහිලා මම පාරෙ අයිනට වුනා.

බඩුමල්ලක් කරේ තියාගත්ත මිනිහෙක් මාව පහුකරන් ඉස්සරහට ඇදුනා.නහය කකාරවන දාඩිය ගදක් දැනුනා.

 

අරුමෝසම් කඩයක් ලග කකුල් දෙක නැවතුනේ පොඩි එකීට මාලයක් ගන්න.ඇට මාලයක්.වීදුරු බෝල.

 

ආපහු සැරයක් අර නහය කකාරවන ගද මගේ පිටිපස්සෙන් දැනුනා.නොරිස්සුම් ඇස්දෙකක් පිටිපස්ස හැරිලා බැලුවා.

"මාතියා මේ මම..."

අර මේ දැන් මාව පහුකරගෙන ගිය මනුස්සයා මගේ ලගට ඇවිත් කියුවා.

 

 "කවුද?මට හරියටම අදුරන්න බෑනෙ.."


කටින් එහෙම කියුවත් හිතෙන් හිතුවා ගමේ කෙනෙක් ඒ කියුවෙ යාපනේ මිනිහෙක් වෙන්න පුලුවන් බව.

 ......................................................................

 

"ෂස්නා .....ෂස්නා...."

 

මූණ වටකුරු හිනා වෙනකොට හිල්දෙකක් හැදෙන කම්මුල් එක්ක හීනිවෙන ඇස් දෙක මට හැමදාම මතක තියෙයි.ඒ කම්මුල් දකින්න පුළුවන් උනේ සමහරුනට විතරයි.මමත් ඒ සමහරු අතර එක්කෙනෙක්.පිරිමියෙක් වෙලා නෑදෑයෙක් නොවෙනෙ කෙනෙක් වෙලා ෂස්නා ගේ රූපෙ දැක්කා කියන්නෙ හැබෑම වාසනාවන්තයෙක්.


"රිස්ලාන්..."ෂස්නා මට කතා කලේ එහෙම.හැබෑ නම රිල්වාන් වුනාට රිස්ලාන් කියලා ෂස්නා කතා කරනකොට ලස්සනයි.මම කවදාවත් කතාකරන විදිහ වෙනස් කරන්න කියලා එයාට කියුවෙ නෑ.


ෂස්නගෙ කටහඩ මූණ වසාගෙන පැතිරිලා හිටපු කලුපාට රෙදිකඩ විනිවිද එනකොට ඇහෙන්නෙ අඩුවෙන්.ලාවට.


මම ෂස්නා ලග වාඩිවෙලා ඒ කටහඩ අහගෙන ඉන්න ආස කලා.ඒකට වෙලාවත් තිබුනා.ෂස්නා කොළඹ .මම ජැෆ්නා.අපි හමුවුනේ අහම්බෙන්.ඒ අහම්බයක් නොවෙන්න තිබුන අහම්බයක්.අපි සරසවියෙ හමු වුනේ පුස්තකාලෙ ඇතුලෙ.


ෂස්නට පුස්තකාලෙන් පොත් ගන්න වුනේ නෑ.පොත්ගන්න මූණ පෙන්නන්න කියුවම කෙල්ල කැමති වුනේ නෑ.මම එයාට පොත් අරන් දුන්නා.මුලුඇගම වැහෙන්න අදින ඇදුමට මගේ කැමැත්තක් නොතිබුනාට ඒ අපේ ආගම නේද කියලා මට හිතුනා.ෂස්නා මාත් එක්ක එක මේසෙ ඉදන් පාඩම් කලේ ඒ නිසා.


හැම කෙල්ලගෙම තියෙන කපටි ගති ෂස්නා ඇතුලෙත් නොතිබුනා නෙමෙයි.මට ඇගෑලුම් කම් පෙන්නුවේ කලුපාට තිරරෙද්ද අතරින් හිනාවුනේ  ඒ නිසා වෙන්න ඇති.දල ඇදුම අතරින් ෂස්නගේ සුදුපාට කකුලෙ පොඩි පදාසයක් දැක්කත් සරසවියෙ අසමජ්ජාති කොල්ලන්ට රසබර කතාවක් වුනා.හැමදාම කොටට අදින සිoහල කෙල්ලොන්ගෙ  කෝටු කකුල් ගැන උන් කතා කලේ හරිම අඩුවෙන්.


අපි කතා කලා.මම වැඩියෙන් කතාකරනවා දැනුනද මන්දා.දවසක් පුස්තකාලෙ පාඩම් මේසයක් ලගදි අත්මේස් ගලවනකොට මගේ හදවටත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා.කෙල්ලෙක්ගෙ අතක් දකින්න කලින් කොල්ලෙක්ගෙ හිතක් ඒ තරම් ගැහිලා නැතුවැති.මම ඊට  පස්සෙත් අත්මේස් දාපු අත් නිරුවත් වෙනවා දැක්කා.ඒත් හදවතක් තියෙනවද කියල වත් ඒ වෙලාවල දැනුනෙ නැහැ.


ඒත් මට ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන හැඩතල තියෙන රත්තරන් මුද්දක් ෂස්නගෙ අතේ වෙදැගිල්ලෙ දැක්කවෙලාවෙ ගැහි ගැහී තිබුනු හදවත එක පාරටම ගල්වුනා.අයිස් පෙට්ටියක උඩතට්ටුවේ දාපු පණ තියෙන මාලුවෙක් වගේ.තාම ඒ හදවත සීතලයි.වසන්ත කාල හුගක් පහුවෙලා තිබුනත්.


පස්සෙ කාලෙ දවසක මම ෂස්නගෙ පලවෙනිදරුවා මූණු පොතෙන් දැක්කා.ඇගේ මූණුවටම තිබුනා.

 

එච්චරයි.

 

..............................

"මාතියා මම මාතියාව අදුනනවා...."

"කොහෙදිද?"

"මාතියා මාත් එක්ක තේකක් බොන්න එනවද?"

"කොහාටද?"

"මගේ ගුබ්බෑයමට..."කහට පාට දත් දොලහක් මාත් එක්ක හිනාවුනා.


....................................................

 

ෂස්නගෙ බෙල්ල පිටිපස්සෙ තිබුනෙ පුදුමාකාර සුදක්.කොණ්ඩෙ උස් කරලා කොණ්ඩ කට්ටක් ගැහුවම ඒ සුදුපාට බෙල්ල කැපිලා පෙනුනා.

 

මහා බාධකය වුන කළුපාට රෙද්ද නැතුව මම ෂස්නව දැක්කෙ .නෝම්බි කාලෙ දවසක හවස.කැම්පස් එකේ ගැහැනු බෝඩිම් කාමර ලග.මාව දැකලා කලබල වෙලා පඩිපේලිය දිගේ දුවගෙන ගියා.උඩටම.හැරිලවත් බැලුවෙ නෑ.සුදුපාට බෙල්ල මම දැක්කෙ එදා.කොණ්ඩෙ උඩට කරලා කටුවක් ගහල තිබුනා.

 

ඊට පස්සෙ මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ.

මම සුදුපාට බෙල්ල ගැන කතා කලෙත් නෑ.

 

..........................................................

මාතියට මාව මතක නෑ??

නෑ....නෑ...

නෑ????

නෑ....

.....................................


සරම කැහිපට ගැන්නිලා නාටාමිගේ දුඹුරුපාට කෝටු කකුල් පෙනුනා.ඒ කකුල් වල නහරත් තිබුනා.නිල්පාට.කොණ්ඩෙ කෙස්ගස් තැනින් තැන ඉදිලා තිබුනා.කකාරවන දාඩියගද ගුබ්බෑයම් කාමරේ පිරිලා තිබුනා.


එකම එක පුටු කබලක්වත් නැති ගුබ්බෑයමේ තිබුන ඇද උඩ මට රෙදිකෑල්ලක් එලුවා ඉදගන්න.

බීඩිකොට විසිරිලා තිබුනා.අඩිය තියපු හැම තැනම බීඩිකොටයක් පෑගුනා.


"මාතියා මට ආදරේද?"

"මාතියා.... මාතියා...."

"රිස්ලාන්..."


.......................


ඉස්සර සුදුපාටට දිලිහෙමින් තිබුන බෙල්ලක, ඉර  අව්ව විසින් කාලයත් සමග එකතුවෙලා දුඹුරුපාට කරපු පරාසයක මගේ තොල් පැටලුනා.


අනතුරුව බීඩිකොට කළුපාට තවරපු තොල් අතර...


කබල් ඇද මත පරිස්සමට එලපු රෙදිකඩ බීඩිකොට වසාගෙන බිම වැටුනා.

දහඩිය ගද තවත් සද්දෙන් ඇහෙන්න පටන් ගත්තා.

.....................


9 comments:

  1. මට පොඩ්ඩක් පැහැදිලි මදි වගේ කතාව ....

    ReplyDelete
    Replies
    1. මේ කතාව පිරිමියෙක් වගේ ජීවත් වෙන ගැහැණියක් ගැන .ලිoග විපර්යාසයක් සිදු වෙලා නැති.මනුස්සයෙක්ගෙ බාහිර ස්වරූපය කාලයත් සමග කොයිතරම් දුරට වෙනස් වෙන්න පුලුවන්ද කියලා මේ කතන්දරයෙ කියවෙනවා.බාහිර ස්වරූපය කොයිතරම් දුරට වෙනස් වුනස් ශරීර ඇතුලෙ තියෙන හිත් වෙනස්වෙන්නෙ නෑ කියලත් කියවෙනවා.:)

      Delete
  2. ලස්සනට ලියලා තියෙනවා. මරු !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  3. ලිංග විපර්යාසයක්..?

    ReplyDelete
    Replies
    1. ලිoග විපර්යාසයක් නොවුන බාහිර ස්වරූපය වෙනස් වුන කාන්තාවකගෙ කතාවක්...:)

      Delete
  4. පිරිමි වෙසින් සරනා ලදුන්.. ?
    ස්වරුපෙන් පිරිමියෙක් උවත් අභ්‍යන්තරය ස්ත්‍රියක්,
    මෙවැන්නියක් ගැන මන් හිතන්නෙ එයෙ පෙරෙද දවසක කියෙවුව පත්තරයක ලිපියකින්,
    ඔබෙ කතාවෙ වස්තු බිජය.. :) ලසස්නයි, අපුරු ගැලපිමක්..
    එදිනෙදා සන්සිද්දි ඔබ සගවනව අපුරුවට ඔබෙ කතා තුල..
    ඔබට ජය!
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිලූ...

      Delete
  5. සරසවියෙ පුස්තකාලය තුල හම්බවුන දෙන්නෙක් මෙහෙම හම්බවෙන එක ගැන පොඩි සැකයක් ඇතිවුනා..ඒ නිසා අදනං කතාව තේරුනෙ කොමෙන්ට් කියෙව්වයින් පස්සෙ..
    කොහොමවුනත් වෙන්න බැරි දෙයක් නෙවෙයි...

    ReplyDelete