මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, July 29, 2012

වදවීම (කෙටි කතා)

තව දවසක්....

 

ඉවෑන්ජලීන් පයින් ඇවිදගෙන වැඩට යන්න පටන් ගත්තා.හැතැප්ම අටක් විතරම පයින් යන්න තියෙන නිසා ගෙදරින් එලියට බැස්සෙ පාන්දර පහට විතර.හරියටම අටයි තිහට කන්තෝරුවෙ ඉන්න ඕනෙ.


පාරෙ දකුණු පැත්තෙන් යන්න ඕන කියන නීතිය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්න යනවා කියලා දැන ගත්තෙ ඊයෙ රෑ.හවස හයේ ප්‍රවෘත්ති වලින්.ඇත්තටම දැන් පාරේ වාහන යන්නේම නැති තරම් නිසා එහෙම නීතියක් ගෙනාවාට වරදක්ද නැත.කලාතුරකින් වාහනයක් ගියත් ඒ හරිම හෙමින්ය.කොහොමත් එහෙම යන වාහන ලිෆ්ට් එකක් දෙන්නට නවත්වන්නේද හරිම කලාතුරකින්ය.


ආඩම්බරෙන් හිසගස්සාගෙන මිසිස් පෙරේරා ඇල්ටො කාර් එකෙන් ඉවෑන්ජලීන්ව පහු කරගෙන ගියේ මේ දැන්ය.මිසිස් පෙරේරා කියුවාට දැන් මිස්ට පෙරේරා නැත.මිස්ට පෙරේරා ඉන්න කාලේ නම් මිසිස් පෙරේරා නැති ඕනෑම වෙලාවක ඉවෑන්ජලීන්ට ලිෆ්ට් එකක් දුන්නේ ය.


පාරේ දකුණු අත පැත්තේ කොනට වන්නට කැම් රියක් නවත්වා තිබුනි.රියදුරු ආසනේ කවුරුත්ම නැත.ඒ කියන්නේ තව වාහනයක් කැඩිලාය.ඉවෑන්ජලීන්ගේ වාහනේ කැඩුනේ ගිය සතියේ හරියටම අද වගේ දවසකය.බම්බලපිටියේ හන්දියේ වාහනේ නවත්වා එනවා ඇරෙන්නට ඉවෑන්ජලීන්ට කරන්නට දෙයක් තිබුනේම නැත.

රක්ෂණ ආයතනයේ කෙල්ලෙක් පද්ද පද්දා ආවාට එයා දන්නා ඉටිගෙඩියක් නැත.අන්තිමට තීරණය වුනේ වාහනය හදා ගන්නට බැරි බවය.දැන් වාහන හොරු නැති නිසා තිබුන තැනම වාහනය තියෙනවා වන්නට ඇත.


..........................................

 

"බුදු අම්මෝ..."ටෙක්ලා කෑ ගැහුවේ කන්තෝරුවේ බාත් රූම් එකේ ඉදගෙනය....

"ඇයි ..ඇයි"කට්ටිය කම්මැලිකමෙන් මෙන් බාත් රූම් එක පැත්තට ගියෝය...කොල්ලන් හිටිය කාලේ නම් ටෙක්ලාගේ කෑගැහිල්ලට මේ වෙනකොට දෙතුන්දෙනෙක්ම බාත් රූම් එක ඇතුලේය....

"ගෙම්බෙක්...ගෙම්බෙක්..."කියාගෙන බාත් රූම් එකෙන් එලියට පැන්නේ ටෙක්ලාය...

ගෙම්බා ඉවත් කරන්නට කිසිම කාන්තාවක් ඉදිරිපත් වූයේ නැතුවාක් මෙන්ම හවස් වෙනතුරු කවුරුත් බාත් රූම් එකට ගියේද නැත.
............................................

 

මිසිස් අල්විස්ව දැන් අදුරන්නට බැරි තරම් වෙනස් වෙලාය.දැන් ඈ කිසිම ආලේපනයක් මුහුනේ උලන්නේ නැත."මම ඉතින් කාට පේන්නට හැඩවෙන්න දැයි..."හිතේ දුක වැඩිකමටදෝ මන්දා මිසිස් අල්විස් සමහර දවස්වල කියයි.


 මිසිස් පෙරේරා ට හිතෙනවා ඇත්තේ මිස්ට පෙරේරා හිටියා නම් කොච්චර හොදදැයි කියලාය.මිස්ට පෙරේරා මිසිස් අල්විස්ගේ මූණට ඒ කාලේ හිටියේ වහවැටිලාය.


එක අතකට මිස්ට පෙරේරා හිටියා නම් මිසිස් අල්විස් මුහුනේ කැරට් අල පෙති තබා යෝගට් ගානා ව්‍යායාමය නවත්වන්නේද නැත.

....................................

තනියම ගෙදර ඉන්නට ඉවෑන්ජලීන්ට කම්මැලි හිතුන සමහර හවස්වරුවල තනිකඩ ගැහැනු යාලුවන්ගේ ගෙවල් දොරවල් වල ගිය නමුත් දැන් කතා කරන්නටද ඒ හැටි ඕපා දූපයක් නැත.ඉස්සර කතා කල වැඩි හරියක් ඕපාදූප වල හිටියේ කඩවසම් පිරිමිය.දැන් කවුරුත් කවුරුවත් එක්ක යාලුවූවා යයි කියන්නටද බැරිය.ඉස්සර නම් මගුල් ගැන ,ලිවින් ටු ගෙදර් ගැන ඕපාදූප ඕනෑතරම් තිබුනේය.

 

..................................


ඊශ්රායලය හා පලස්තීනය අතර ගැටුම් තාමත් එහෙමමය.ඊශ්‍රායල් නව ජනාධිපතිනී මුසම්මික් ඊරියල්,පලස්තීන ජනාධිපතිනියට සාම පණිවිඩයක් යවමින් කියා තිබුනේ "ඒ කාලෙ Aziz Duwaik හිටිය කාලේ බෙදාගන්නට දේවල් තිබුනාට දැන් බෙදාගන්නට තරම් දෙයක් නැති නිසා සරණාගතයින් සම සමව බෙදාගෙන ගැටලුව සමතයකට පත් කරගතයුතු බවය."

 

 එක අතකට දැන් සටන් කරන්නට කියලා යුද්ධෙට යවන්නේ කවුදැයි ඇයට හිතෙන්නට ඇත.අනික යුද්ධෙට කියා ගොස් කෙස්වලු පටලවා ගතහොත් කොණ්ඩ ගැට ලිහන්නට පුලුවන් අයවලුන් ගේන්නට වෙනවා ඇත.

 

..................................

දැන් හාල්මැස්සොන්ගේ ඔලුකඩන්නට,දැල්ලන් සුද්ධ කරන්නට ,මිරිස් වල නැටි කඩා දෙන්නට කවුරුවත් නැත.ඉවෑන්ජලීන් බතක් උයන්නේ හරිම කලාතුරකිනි.බත් වෙනුවට කන්නේම පැස්ටාය.පැස්ටා කන්නට ලලිත් සිටි කාලේ නම් කැමැත්තක් තිබුනේම නැත.ඒකටත් එක්කම දැන් ඉවෑන්ජලීන් පැස්ටා කන්නීය.

..........................

 "රාත්‍රී 8.30 ප්‍රවෘත්ති.

ප්‍රකාශිකා සේමිණී කරුණාරත්න.


අවසාන පිරිමි සත්වයාත් මිහිමතින් තුරන් වී සැප්තැම්බර් විසිවනදා එනම් අද දිනට  වසරක් පිරේ.හදිසියේ මිහිමත ජනිතවූ රෙබෙටස් කොකුස් නම්වූ බැක්ටීරියාව හේතුවෙන් පිරිමින් වදවී යාම ඇරඹුනේ 2026 ජනවාරි විසිපස් වෙනිදාය.ගැහැනුන් පමණක් ජීවත්වන පෘතුවියේ ජීවය පවත්වාගෙන යාම සදහා අගහරු ලෝකයෙන් පිරිමි සත්වයන් ආනයනය කිරීමට සැරසේ.එම අබිජනන ක්‍රම මගින් කුමන ආකාරයක ජීවීන් බිහිවේදැයි පැහැදිලි කර නොහැක.අගහරු ලොවින් ආනයනය කරන මෙම ජීවීන් සමග හැකි ඉක්මනින් ප්‍රේම සම්බන්ධතා ආරම්බ කරන්නැයි ජනාධිපති තුමිය ආයාචනා කරයි."




13 comments:

  1. පට්ටම සිරාය...
    ගැමියගේ ගැහැනු ලොවක සිරකරුත් මේ වගේ සීන් එකක් අල්ලලා ලියපු එකක්.
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය.ඊලගට ලියන්නට ඇත්තේ ගැහැනුන් නැති ලොවක පිරිමි කෙසේ ජීවත් වෙන්නේදැයි කියලාය.:P

      Delete
  2. හොඳ වැඩේ :))))
    ඔහොමම තමයි වෙන්න ඕන..:)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කිසි වැරැද්දක් නෑ නේ...;)කාන්තාවන් පමණක් දැහැමෙන් සෙමෙන් ජීවත් වූහ...:P

      Delete
    2. සෙමෙන් කිව්වෙ...සාමයෙන්ද...හපොයි ඉන්නම ඇති :D:D

      ඕකෙ අනික් පැත්තට් ලියන්න...ගැහැණු නැති ලොවක පිරිමි සතුටෙන් ඉන්න හැටි :P

      Delete
  3. මීට අවුරුදු ගානකට කලින් සත්සිරි පත්තරේ ගියා චිත්‍ර කතාවක්. ඒකෙ තිබුනෙ අනුපාතෙ එක පිරිමියෙකුට ගෑනු 20 දෙනෙක් විතර වෙන කාලයක් ගැන.

    ප.ලි.
    ගෑනු වදවෙලා පිරිමි විතරක් ඉතුරුඋනොත් . . .කට්ටිය බීලම මැරෙයිද ???

    ප.ප.ලි.
    @ලකී- ++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බීලම මැරෙන්නත් පුලුවන්...තව ඉතින් ගෙවල් එහෙම හරිම පිලිවලට තියෙයි...:P

      Delete
  4. //දැන් හාල්මැස්සොන්ගේ ඔලුකඩන්නට,දැල්ලන් සුද්ධ කරන්නට ,මිරිස් වල නැටි කඩා දෙන්නට කවුරුවත් නැත.//
    කතාව කෙසේ වෙතත් මට නම් හිතට ඇල්ලුවේ මේ කෑල්ල..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කාගෙ කාගේත් හිතට අල්ලයි.

      Delete
  5. මරේ මරු කතාව නම්...:)

    ReplyDelete