මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 16, 2012

සිගරට් අoකල්

 

 

දැන් පාර බොහොම කලබලය.තුන් රෝද රියවල් පෙරේරා මහතා පසුකර ඇදෙයි.මහත්තයාට පෙන්නන්නට බැරි ඒවායේ ඇතුලේ ඉන්නා ගැහැනු අමුතු සත්වයෙක් දිහා බලන්නාක් මෙන් තමන් දෙස බලන අයුරුය.ඒ  අය තම තමන් දෙස මුලින් බලාගත්තානම් අපූරු යයි ඔහුට සිතේ.රඹ කදන් වන් දෙකලවා අත් බෑගයකින් වසාගෙන තුන් රෝද රිය වල රැකියාවට ඇදෙන්නේ අදින ඇදුමින් පොදු වාහන වල ගමන් කල නොහැකි නිසා වන්නටත ඇත.ඒත් තමන් පසුකර යන ටිකට ඔවුන් තමා දිහා බලන්නේ මහ වැරැද්දක් කරන එකෙකු දෙස බලන්නාක් මෙනි.තමන්ගේ ඇස් වල ඇති පොල් කීර පෙනෙන්නේ නැතිවුන්ය ඒ.

විදුලි බල මණ්ඩලයේ වැඩ ආරම්බවන්නේ උදෑසන අටයි තිහටය.පෙරේරා මහත්තයා මාතර හාමිනේ දෙන බත්ගෙඩියත් අතේ ගෙනියන පුන්චි කළුපාට බෑගයට දමාගෙන ගෙදරින් එන්නේ පාන්දර හයටය.මාතර හාමිනේට ඒ නම ලැබුනේ මාතර ටවුමෙන් කැන්දාගෙන ආනිසාය.ඒගියා ගියාමය තිහගොඩ ගමටම සීමාවී සිටින ඇය මාතර යන්නේ බොහොම කලාතුරකිනි.හාමිනේත් දැන් තමන් වාගේම වයසට ගොස්ය.ඒ ඇත්තී පාන්දර ජාමේ නැගිටගෙන කරන යුද්ධය කරන්නට එපායයි පෙරේරා මහත්තයා කියුවේ වරක් දෙවරක් නොවේ.

ඒත් එතකොට ඇගේ මුහුණ ඇඹුල් වෙයි.

"ඔය ඉතින් කඩචෝරු කන්න නොවැ යන්නෙ.එයිට නරකද මම උයලා දෙන දෙයක් කෑවහම."

පෙරේරා මහත්තයා ආයෙමත් බත් එක ගෙන එන්නට හිත හදාගනියි.

තව විනාඩි තිහක් පසුවී හයයි තිහට පමණ ගෙදරින් ආවා  නම් හොදටෝම සෑහෙන බව පෙරේරා මහත්තයා දනී.ඒත් ඒ පැය බාගය තමන්ගේ පනස්වියක් වයසැති ජීවිතයේ අගනාම වටිනාම පැය බාගය බව දන්නේ පෙරේරා මහත්තයා පමණක්ය.

 ඇපලෝ රෝහල ගාවින් බස් එකෙන් බහින්නේ පෙරේරා මහත්තයාට රාහුල  හන්දියෙන් බැස විදුලිබල මණ්ඩලයට පැමිණීම ලෙහෙසියයි නොවැටහෙන බැවින් නොවේ.ඔහු ඇලවේල්ල පාරට කැමතිය.ඇලවේල්ල පාර නොමැතිව 'කුණු ඇල පාර' යයි කියනවා නම් වඩාත් කැමතිය.පෙරේරා මහත්තයා තරුණ කාලයේ ඒ පාරට කීවේ එහෙමය.

ඇලපාර දිගේ හෙමිහෙමින් ඇවිදගෙන එන පෙරේරා මහත්තයාට කොන්ක්‍රීට් කර ඇති ඇල පතුල පෙනේ.දැන් ඉතින් වතුර නම් පිරිසිදුය.ඒත් ස්වබාවිකත්වය ගිලිහිලා ඇති සෙයකි.කොන්ක්‍රීට් තට්ටුව මතුපිටින් ගලායන වතුරට මොනතරම් දේ හිතෙනවා ඇතිද?

ඉස්සර මේ පාරේ තිබුනේ ගස් වැල්ය.ගස් වැල් අතින් ඈත් කරමින් පාසල් යන නිල් පාට ටයි පටි පැලදි සුදු ගවුම් කාරියන් ඒ කාලේ බොහෝ සිටියහ.නමුත් දැන් උන් නැත.ඒ අය පාසල් යනවා ඇත්තේ වාහන වලින්ය.

නිල් පාට ටයිපටිවල කතාවේ සද්දය බෝඩිම් කාමරයට ඇහුනු කල ජනේලය දිහාට තමන්ගේ දෙපා ඇදුනු හැටි.ඒත් තවම ඒ අසලට පැමිණ නැත.ඇලපාර අතරමගදී අනාරක්ෂිත දුම්රිය මගක් හමුවෙයි.

දුවණිය දීග ගිය නිසා හිතේ බයක් නැත.ඒත් ඉතින් තමන් නැති කලෙක අර අසරණ ඇත්තී කුමක් කරන්නද?රේල්පාර විමසිලිමත්ව පසුකරන ඔහු ඇලපාරේ දෙවන අඩට පිවිසෙයි.

තාත්තා ගේ අතින් අල්ලාගෙන පාසලටයන තදකළුපාට කොණ්ඩ කරල් දෙක කළු පැහැති පීත්ත පටියකින් ගැටගැසූ කතාකෝච්චිය..ඒ කොයිතරම් නම් කාලයකට පෙරද.

"තාත්තෙ අර මොන ගහක්ද?"  කතාකෝච්චිය අසයි.


"අට්ටික්කා.."


"අර ඉන්න සත්තු මොනාද?"


"කෝදුරුවො පුතේ"

තාත්තාටත් කතාකර විසුමක් නැත.තමන් ඇයගේ කටහඩ ඇසුවේ ඒ තරම් ඈත අතීතයේය.දැන් මාතර හාමිනේ කැන්දගෙන ඇවිදිනුත් අවුරුදුම විසිපහක් ගතවෙලාය.කෝච්චි පෙට්ටිය දැන් කොහි ඇත්ද?කසාද බැදලානම් මුලින්ම ගියේ ඇමරිකාවටය.ඇමරිකාවේ මේ වගේ පාරවල් නැතිව ඇති බව පෙරේරා මහත්තයාට සිතුනි.

දැන් දැන් විදුලිබල මණ්ඩලය පෙනෙන මානයේය.එත් පළමුව කල යුත්තක් තිබේ.දකුණු පසට තිබුනු පුන්චිපාරට හැරුණු පෙරේරා මහත්තයා කළු පැහැති බෑග් මල්ලට අත යැවීය.

සිගරට්ටුවක් අතට සිරවී බෑග් මල්ලෙන් එලියට පැමිණියේය.වැට ඉනි දෙසට මුහුණලාසිටගෙන අහසට නැගෙන දුම් රොටු දෙස නෙත් යොමුකලේය.මාලිකා මේ පටුපාර දිගේපාසල් යයි.තමුන් බයිසිකලය අතින් තල්ලු කරගෙන ඈ ඉදිරියට එයි.

"ගුඩ් මෝර්නින්..."දවසම එකලු කල සුබ පැතුම ඇය අදත් පතන්නාක් මෙනි.

................

"වහාම සිගරට් බොන එක නවත්තන්න ඕනෙ.පෙනහළු නරක් වෙලා.නැවැත්තුවෙ නැත්නම් ආපහු එන්න වෙන්නේ පෙට්ටියෙන්..."


"අනේ මහත්තයෝ අපි දෙන්නට දෙන්නා විතරනෙ ඉන්නෙ.එක්කෙනෙක් මාරයා අරන් ගියොත් අනෙක් කෙනාටත් එහෙමම යන්නයි වෙන්නේ.මම ගැන හිතලවත් නොබී ඉන්න මහත්තයෝ..."

....................

නමුත් සිගරට් කොටයක් නොමැතිදාට සුදු ඇදුම ඇද මාලිකා එන්නේ නැත."ගුඩ් මෝනින්"කියන්නේද නැත.

තුන් රෝද රියක් ඈත එනු පෙනේ..ඇස් පාට කල නපුරු ගැහැණියක් නැවතත් තුන් රෝද රිය හිද තමන් දෙස බලනු ඇත.ආයෙත් මාලිකා එන්නේ නැත....

 

17 comments:

  1. සිගරට් ගඳ මට නම් Errrrrrrrrrrrr

    ReplyDelete
  2. පැහැදිලි චිත්‍රයක්..දුම අතරින්...

    ReplyDelete
    Replies
    1. දුමෙන් පොඩ්ඩක් විතර වැහුනු චිත්‍රයක් කරන්නයි උත්සාහය වුනේ...ඒත් පැහැදිලිව පෙනුනද?බොහොම ස්තුතියි "මේ දවස්වල කියවන්න හොද බ්ලොග්"වලට මගේ බ්ලොගයත් ඇතුලත් කිරීමට.

      Delete
  3. attha kathwak noki. Samahara aya bonne kisima ganak nathiwa

    ReplyDelete
    Replies
    1. ov eath vadiya vadhagath venne bonne Ayi kiyana eka...

      Delete
  4. තවත් ලියන්න. මේ වගෙ පොස්ට්. මරු. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..

      Delete
  5. අන්න හිතට ඇල්ලුවා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ...කොච්චර කාලෙකට පස්සෙද...මම හිතුවෙ දැන් මේ පැත්තෙ එන්නෙ නැතුවැති කියලා.

      Delete
    2. එහෙම නෑ.මම ටිකක් කාර්ය බහුල වෙලා. මේ සමර් සීසන් එකනේ මෙහෙ. ජය..!

      Delete
  6. වටිනා අදහසක් .....මටත් සිගරට් නම් පේන්න බැහැ, සිගරට් බොන අය එක අනිත් අයට කරදරයක් නැති තැනකට ගිහින් බොනවනම් තමා වඩා හොඳ.... මගේ පාසල් මිතුරෙක් ඉන්නව එයාට උදේ අවදිවුන ගමන් සිගරට් එකක් බොන්න ඔනේ, නැතිනම් වැසිකිලි යාමට අපහසු වෙනව, එ අතින්නම් සිගරට් නොබොන අපි හරිම වාසනාවන්තයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම අය ඉන්නවා.මේ එහෙම කෙනෙක් ගැන කතාවක්.එයාට අතීතය මතකෙට ගන්න සිගරට් එකක් බොන්නම ඕනෙ...

      Delete
  7. ම්..ආදරය කොයි වගේද කියලා ආයෙත් අහන්න හිතුනා..
    මාතර හාමිනේද? නැත්නම් මාලිකා වගේද?..

    ReplyDelete
    Replies
    1. දෙන්නම ආදරේ පැති දෙකක්...

      Delete
  8. mona rasata bonawada dan ne neda

    ReplyDelete