මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, July 18, 2012

ගැහැණිය රැකියාවට යා යුතුද?

විවාදිත මාතෘකාවක් මේ තරම් දියුණු සමාජයක වුවත්.මම මේ සම්බන්ධයෙන් කතා කරන්නට(සමාවෙන්න ලියන්නට )හිතුවෙ හේතු කාරණා බොහොමයක් මුල් කරගෙන.ඒ කරුණු කාරණා පුද්ගලිකයි.මොකද ඒ පුද්ගලික කාරනාවලට සම්බන්ධ පුද්ගලයනුත් මේ ලිපිය කියවන්නට පුලුවන්.හදිසි සිත් රිදවීම් ඇති වන්නට පුලුවන්.සිතේ ඇතිවන තුවාල වලට බෙහෙත් බොහොම හිගයි.

කාන්තාව කියනේ "ගැහැණු මනුෂ්‍ය ජීවියා"කියන අර්ථය.පලවෙනි දේ තමයි ලෝකේ කොහේවත් පෙන්වලා දීලා නැහැ ගැහැණියගේ දරාගැනීමේ හැකියාව අඩු බව වත් හැකියාවන් අඩු බව වත්.ඒ දේවල් රදා පවතින්නේ පුද්ගලයා මත.පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයම සිටිනවා දරා ගැනීම අඩු.ඒ අනුව කියන්න පුලුවන් ගැහැණියට පිරිමියා නියුක්ත වන සියලු කර්මානත වල නැතත් සමහර කර්මාන්ත වලට දායක වන්නට පුලුවන් බව.උදාහරණයක් විදිහට පතල් කර්මාන්තයේ ගැහැණු නියුක්තවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.එය රළු රැකියාවක් ලෙසට සැලකෙන බැවින්.

අද ලාන්කීය සමාජ ක්‍රමය තුල අද වන විට ගැහැණු දරුවන්ටත් ,පිරිමි දරුවන්ට සමානවම අධ්‍යාපනයක් ලබාදෙනවා.හෝඩියේ පන්තියේ සිට උසස් පෙලෙ දක්වා.සරසවි අධ්‍යාපනයත් බොහෝ යුවතියන්ට හිමියි.ඉතින් අනතුරුව???ගැහැණිය නිවසේ රැදී සිටිය යුතුද?

මේ සම්බන්ධයෙන් මගේ යහළුවන් වන පුරුෂයන්ගේ මුවින් පිටවුනු අදහස් කිහිපයක් පහත දක්වන්නම්.

"වයිෆ් වැඩට ගියාම කවුද දරුවා බලාගන්නේ?...දරුවො නිකන් ආතක් පාතක් නැතුව හැදෙනවා.ඔයා දන්නවද මගේ වයිෆ්ටත් දරුවෙක් ලැබුනම මම ගෙදර නවත්ත ගන්නවා... "

"ඔයා දන්නවද මගේ නoගි ඉන්නෙ ඇමරිකාවෙ.එයා පුතාව Day Care  එකක දාලා ගිහින් හවස එනකොට වෙන ලමයෙක් බබාව හූරලා මූණ පුරාම.නoගි මෙහෙ හිටියා නම් මම දෙනවා මූණ හරහට එකක්"

"ගැහැනු ඉන්නෙ ගෙදර  වැඩ කරන්න.දන්නවද?එයාලා රස්සාවක් නොකලට ගෙදර ඉදන් ගෙදර වැඩ කරලා යමක් ඉගන ගන්නවා"

"ගෙදර උනත් ගෑනිව නිකන් තියන්න එපා මචන්.ගෑනු නිකන් ගෙදර හිටියම හරි කරදරයි.ස්වයo රැකියාවක් වගේ එකක් කරන්න පුලුවන්නෙ.නැත්නම් දරුවො දෙතුන්දෙනෙක් හදලා දෙන්න ඕන." 

 

මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.

 

"එතකොට කොහොමද දැන් තියෙන ආර්ථික තත්වෙත් එක්ක ජීවත් වෙන්නෙ?අනික ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් තරමටම ඉගන ගෙන ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෙන්නෙ නැද්ද?කෝ ගැහැණු අයට සමාජ ආශ්‍රයක්?"

 

 


43 comments:

  1. මට නම් ඔහොම කියන මිනිස්සු එක්ක එන්නෙ මාරම තරහක්..කෙල්ලෙක් කිව්වම කට්ටිය හිතන්නෙ මොකුත් කර කියාගන්න බැරි,මෙලෝදෙයක් දරාගන්න බැරි කෙනෙක් කියල..අනික ලෝකේ තියන ඔක්කොම වැරදි වලට අහුවෙන්නෙත් ගෑනු ළමයි..පිස්සුවක් මේක,.

    මම නම් කියන්නේ ජොබ් එකක් කරන්න ඕන..
    තමන්ට කියල කෙලින් ඉන්න කොන්දක් තියෙන්න ඕන..
    ජොබ් එකක් නොකලොත් වැඩි හරියක් වෙන්නෙ අනවශ්‍ය ලෙස යටත් වෙලා ජිවත් වෙන්න,.

    ReplyDelete
    Replies
    1. ඔය තත්වය ගැහැණු උදවිය තුලත් තියන දෙයක්. ඒ නිසා පිරිමින්ට විතරක් ඇඟිල්ල දිගු කරන්න බෑ. මම ඉන්න ඔෆීස් එකේ(සහ පොදුවේ රාජ්‍ය සේවය ගත්තම) කාන්තාවන් වැඩියි. ඒ වගේම එයාල හිතෙන් මවාගෙන තියනව "ගෑහැණු වැඩ" සහ "පිරිමි වැඩ" කියල දෙකක් තියනව කියල. උදාහරණයක් විදියට කාර්යාලෙ වැඩ බෙදනවිට භාරගන්න අකමැති ලිස්ට් එකක් එයාලට තියනව. (දුවල පැනල කරන වැඩ) ඒවට කරගහන්න වෙන්නෙ පිරිමින්ට. මේව විශාල ප්‍රශ්න මතු කරනව. ඉස්සරවෙලාම කරන්න ඕන දේ තමයි හීනමානය නැතිකර ගැනීම.

      අද තියන තත්වයත් එක්ක දෙන්නටම රැකියා කරන්න සිදුවෙනව. ළමයින්ට මේකෙන් යම් අසාධාරණයක් වෙනඑක වලක්වන්න බෑ.

      Delete
    2. ඇත්තටම හැමෝම මෙහෙම හිතන්නෙ නෑ.කාන්තාවට නිදහසේ රැකියාවක් කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෙ කියලා කියන අයත් ඉන්නවා.බොහොමයක්.ඔවුන්ට ගරුත්වය පුද කල යුතුයි.

      ඒත් එක්කම රාජ් කියන දේත් ඇත්ත එහෙම ගැහැනු අය ඉන්නත් පුලුවන්.

      නමුත් ඔය කතා ඇත්තටම ඔය මාතෘකාව යටතේ කියවුන දේවල්.මට ඇතිවුන කලකිරීමට තමයි ඔය අදහස ලියවුනේ.

      Delete
  2. වටින ලිපියක් ....මමනම් කියන්නේ ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම සමානව අයිතින් දෙන්න කියලා.... මොකද බාහිර අංගවලින් වෙනස් වුනත් දෙගොල්ලොම මනුෂ්‍යයින්නේ,
    ගැහැනුන්ටත් තමන්ගේ නිදහසේ ආහාර, ‍රැකියා,නවින විලාසිතා සහ ජිවත් විමේ නිදහස උපරිමයෙන් ලබා දෙන්න ඕනේ, හැබැයි පිරිමින්ටත් එ විදියටම නිදහස දෙන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොන්ටම නිදහස තියෙන්න ඕනේ මමත් කියන්නෙ ඒකයි.සමහර ගැහැණු අයත් ඉන්නවා පිරිමි අයව වෙනස් කරන්නට තනන.තහන්චි දමන්නට තනන...:)

      Delete
    2. ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම සමානව අයිතින් දෙන්න? ස්වභාවයෙන් ගැහැණිය දුර්වලයි.. ඒක අඩුව නැති කරන්න තමයි පිරිමි ඉන්නේ.. සමතැන ගන්න ගිහිං ඇනගන්නවාට වඩා හොඳයි නේද නිසි තැන තියාගෙන ඉන්න එක?

      Delete
    3. ස්වබාවයෙන් ගැහනිය දුර්වල නිසාද මාස නමයක් දරුවෙක් කුසේ තියන් ඉදලා බිහි කරන්නේ?ඒ දරාගැනීමේ හැකියාව පිරිමියාට නැති නිසයි ගැහැනියට එවැනි හැකියාවක් ලබාදී තියෙන්නේ.සමතැනක් නිසි තැනක් ගැන කතාව්ක් නෙමෙයි මේ..

      Delete
    4. @Kanishka
      එතකොට පිරිමියෙක් ගැහැණියෙක් බඳින්නේ ඒ ගැහැණිය පව් කියල එයාගේ අර 'අඩුව' පිරවීමේ සද් භාවයෙන්ද?
      පව් අප්පා පිරිමි කොච්චර ගැහැණු ගැන හිතනවද? :D :D

      Delete
    5. @නිරොශනී
      මචන් මසුරන් ටිකක් තිබ්බා නම් දානවා උඹේ කටේ...

      Delete
  3. ගැහැණු ,පිරිමි අතරේ සිරුරේ මෙන්ම මනසේද අසමානකම් තියෙනවා.කොහොම තර්ක කලත් සමහර රැකියාවන් ගැහැණු අයට කරන්න අපහසු වෙන අවස්ථා තියෙනවා.කාර්යාල කටයුතු නම් ගැටලුවක් නැහැ එත් සමහර කම්කරු රැකියාවන්,ඒවගේම ක්‍රියාකාරී යුද සේවය වගේ දේවල්.දැන් තර්කයක් ගෙන එන්න පුළුවන් කොටි කෙල්ලන් ගැන.ඔවුන් සැබවින්ම සාර්ථක වුවේ නැත.ගැටුම් වලදී බුරුතු පිටින් මියගියහ.

    ReplyDelete
  4. "ඒ අනුව කියන්න පුලුවන් ගැහැණියට පිරිමියා නියුක්ත වන සියලු කර්මානත වල නැතත් සමහර කර්මාන්ත වලට දායක වන්නට පුලුවන් බව.උදාහරණයක් විදිහට පතල් කර්මාන්තයේ ගැහැණු නියුක්තවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.එය රළු රැකියාවක් ලෙසට සැලකෙන බැවින්."

    ඔබ මෙය කියවන්නට ඇතැයි සිතනවා.මම කියන්නේ කාන්තාවන්ට අපහසුවකින් තොරව කල හැකි රැකියාවන් ගැන.එවැනි රැකියාවන් වලත් නිරත වීමට සැමියන් ඉඩ නොදීම ගැන.

    යුද්ධයේදී පිරිමි පාර්ශවයත් බුරුතු පිටින් මිය ගියා.

    තව දෙයක් ,දෙපාර්ශවයේ වෙනස්කම් තියෙනවා.ඒ කියන්නේ එක් පාර්ශවයක් දුර්වල බව නොවෙයි.

    ReplyDelete
  5. කාන්තාවටත් සමාජය විවර වෙන්න ඕනේ. ඒත් මට මෙහෙම ප්‍රශ්නෙකුත් එනවා දරුවන්ව කුඩා කලේ හොඳට හදාවඩා ගන්න පුලුවන් අම්මලාට නේද ? අම්මා කාර්ය බහුල කෙනෙක් වුණොත් දරුවන්ට මව් සෙනෙහස හරියට ලැබෙනවාද ??

    ReplyDelete
    Replies
    1. මම පිලිගන්නවා සියුමැලි බවත් දරුවන් හදා වඩා ගැනීමේ හැකියාවත් තියෙන්නේ අම්මාට බව.තාත්තලාගේ සෙනෙහසත් දරුවන්ට ඇවැසියි.තාත්තා කෙනෙකුටත් අවශ්‍යනම් හොදින් දරුවෙක් හදාවඩාගන්නට පුලුවන්.ගැහැණියක් දරුවෙක් බලාගැනීම සදහාම ගෙදර නවත්වා තැබීම ඇයට ඇගේ ජීවිතය අහිමි කිරීමක් නෙමෙයිද?

      Delete
  6. අනේ මන්දා හැබැයි රැකියාවකට යනවට වඩා ගෙදර ඉඳීමෙන් කාන්තාවන්ට ආරක්ෂාව වැඩියි.සමාජය ආශ්‍රේ කරන්න ඕන නම් සැමියා එක්ක පාටි වලට යන එකයි දවල් වෙලාවට අහල පහල ගෑනු එක්ක ඕපදූපයක් කතා කර කර හිටියා නම් ඉවරයිනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔය කියුවේ ඇත්තටමද කියලා.මට හිතෙන්නේ නම් ඔය බොරු කතන්දර කියලා.මම අවුරුදු 2ක් රැකියාවක් කරනවා ආරක්ෂාව පිලිබද කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.

      ඇයි අමතර ආරක්ෂාවක් ලබා දෙන්නේ ගැහැනු අයට විතරක්.එසේ ආරක්ෂාවක් ඇවැසිනම් එහි වරද කොයි පැත්තේද?තව දෙයක්.පිරිමි අය තරමටම ඉගන ගන්නේ දවල් වරුවේ අහල පහල ගැහැනු අය එක්ක ඕපාදූප කියන්නද?

      ඇයි ඔයාලා ඇත්තටම ඔහොම හිතන්නේ?තරහකට නෙමෙයි.

      Delete
    2. :) ඕපදූප කතා කරන්න කියලා මම කිව්වේ විහිලුවට.

      ආරක්ෂාව අතින් ඔයාට ප්‍රශ්නයක් ඇති නොවුනට බස් වල කෝච්චි වල වැඩට යන කාන්තාවන් කීයක්‌ දෙනා විවිධ අතවර වලට ලක්වෙලා සද්ද නැතුව ඉන්නවද?.වනචර මිනිස්සු තෙරපෙද්දී එහෙං අල්ලනවා මෙහෙන් අල්ලනවා.එතකොට තවත් පැත්තකින් බොස්ලා බලපෑම් කරන සිද්දි අහලා නැද්ද? ඒ වගේ පැති වලිනුත් හිතන්න.

      Delete
    3. මඩිස්සලේ නිශාන්
      කාන්තාවක් රැකියාවක් කිරීමේ වැරැද්දක් නෑ.බස්වල තියන අවුල් "සමාජ ප්‍රශ්න" මිස වෙනත් දේවල් නෙවේ. බස්වල යනකොට මෙහේ වගේ කරදර නොවන රටවල් තියනවනේ.

      Dasuni
      තමන්ගෙ දරුව බලාගැනීම (රැකියාවකට නොයා) නිසා කාන්තාවකට යමක් අහිමි වෙනවද? අපි සියළුම දේවල් කරන්නෙ වඩා හොඳින් ජීවත් වෙන්න. "දරුවන් හැදීම" කියන කාරණයත් ඒ තුල තියන දෙයක්. ජීවන වියදමට අවශ්‍ය කරන මුදල පිරිමිය උපයන තැනක කාන්තාව දරුවන් බලා‍ගැනීමෙන් එයාට අසාධාරණයක් වෙනවද? මම කියන්නෙ "කාන්තාවක්, ගේදොර වැඩ, දරුවන්ගෙ වැඩ කිරීම" කියනදේ අවතක්සේරු කරලයි ඔයාල කතා කරන්නේ. ඒක කොටුවීමක් විදියට දකින්න එපා. (ගෙදර ඉන්න කෙනෙකුට උනත් සමාජ ආශුයක් තියනව). එහෙම උනොත් ඒක රැකියාවක් නොකරන සියළුම අම්මලාට කරන අසාධාරණයක්. (වරදවා වටහාගන්න එපා මම කියන්නෙ කාන්තාවන් රැකියාවන් කරන්න එපා කියනඑක නෙවේ. මගේ නේන කරන්නෙ මටත් වඩා බිසී රැකියාවක්:))

      Delete
    4. මෙහෙමයි රාජ් ඔයා කියන කරුණු කාරණා බොහොමයකට මම එකගයි.අම්මා කෙනෙක් දරුවෙක් පලාගැනීම කිසිසේත්ම පහත් දෙයක් නෙමෙයි.කාන්තාව ඒ සදහා තමයි ජීවවිද්‍යාත්මකව හැඩගැහිලා තියෙන්නේ.අපි කියමු මෙහෙම දෙයක්.පිරිමියා ඇති වෙන්න සල්ලි හම්බ කරනවා.බිරිදට කියනවා දරුවන් බලාගෙන ගෙදර ඉන්න.බිරිදත් රැකියාවක් නොකර ඉන්න කැමතිනම් ප්‍රශ්නයක් නැහැ.කිසිම.ඒත් එයා රැකියාවක් කරන්න කැමතිනම් හරිම අසාධාරණයක් නේද වෙන්නේ?:)

      Delete
  7. අපොයි මමනම් කැමතියි ගෙදර ඉන්න තියෙනවනම් :-D
    මටනම් හිතෙන්නෙ ළමයි බලාගෙන උයාපිහාගෙන ඉන්නෙක තෘප්තිමත් දෙයක් කියල රස්සාවක් කරනවට වඩා.
    මට ඉරිසියා හිතෙනවා උදේට ළමයි ඉස්කෝලෙ එක්කගෙන ගිහින් ආයෙ ඇවිත් ගෙවල් මිදුල් අතු ගාන, රෙදි පෙරෙදි අව්වට දාන, ළමයි එනකොට උයල තියෙන අම්මල දකිද්දි :-D
    මටත් එහෙම ඉන්න ඇත්නම් කියල හිතෙන්නෙ.
    ඒ මිනිස්සු යහමින් මුදල් හදල් තියෙන මිනිස්සුත් නෙමෙයි.
    ගොඩාක් වෙලාවට ස්වාමි පුරුෂයා පෙදරේරු වැඩට, කුලී වැඩට යන අය.
    ඒ වුණාට ඒ මිනිස්සු සතුටින් ජීවත් වෙන බව පේනවා :-)

    ReplyDelete
    Replies
    1. සමහරු කැමතියි ගෙදර ඉන්න.ඒක පුදගලයා මත වෙනස් වෙනවා ඉතින්...:)

      Delete
  8. ඔය තත්ත්වෙ කාන්තාවොම උදාකරගන්න දෙයක් කියල මට පේන්නෙ. උවමනා නම් රස්සාවක් කරන්න පුළුවන්නේ.. පුරුෂයා ඒකට ඉඩ දෙන්නෙ නැත්තං ඒක වෙන ප්‍රශ්ණයක්. (කසාදෙට ‍කලින් ගොන් කතා කියවමින් ඉඳල කසාදෙන් පස්සෙද ජීවිතේ ප්ලෑන් කරන්නේ?) ගොඩක් ගැහැණු අය ස්ව කැමැත්තෙන්ම කසාදෙට පස්සෙ ගෙදර නවතිනවා. ඇයි කසාදෙට කලින් රූප සුන්දරියො වගේ ඉඳල කසාදෙන් පස්සෙ වේළුණු දර කෑලි වගේ වෙන එකත් ඕකෙම කොටසක්.

    කාර්යාලවල වැඩකරන කාන්තාවො ගැන රාජ්ගෙ අත්දැකීම මටත් තියෙනවා. එයාල හරි කැමතියි එහෙ මෙහෙ දුවන වැඩ පිරිමින්ගෙ ඇ‍ඟේ ගහන්න. ඇත්තම කිව්වොත් රාජ්‍ය සේවෙ පිරිමි ඉතිරි වෙලා ඉන්නෙත් ඕක නිසාමද කොහෙද :P හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ කාන්තා පිරිමි දෙපාර්ශවයේ උස් පහත් කමක් ගැන. ස්වභාවිකව උරුම වුණ තත්ත්වයන්ට හැඩගැහෙද්දි දෙපාර්ශවයේ වෙනස්කම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන තවමත් සමාජය නිරවුල් වෙලා නැති එකෙන්ම පේනවා අපි කොයි තරම් ගෝත්‍රිකද කියලා...

    ReplyDelete
    Replies
    1. මේ කතාව හැමෝටම අදාල නෑ හරී..
      සමහර ක්ශේත්‍රවල මෙහෙම අදහස් තිබුනත් පෞද්ගලික ආයතනවලනම් කාන්තාවනුත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා..

      අනිත් අතට අමතක කරන්න එපා අපේ රටේ ආර්ථිකය වැඩි හරියක් බර කරට අරන් තියෙන්නෙ කාන්තාවන් කියන එක...(වලියක් දාගන්න නෙවෙයි මේක කිව්වෙ..)

      Delete
    2. පුද්ගලික ආයතන වල අය දෙපාර්ශවයම එක වගේ මහන්සි වෙනවා.තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ මගේ අත්දැකීම් තියෙන්නෙ.රූට මම එකගයි.

      Delete
    3. අනිත් අතට අමතක කරන්න එපා අපේ රටේ ආර්ථිකය වැඩි හරියක් බර කරට අරන් තියෙන්නෙ කාන්තාවන් කියන එක. -මෙය අසත්‍යයකි.

      Delete
    4. පුද්ගලික අංශයේ නම් ඒක ටිකක් අඩුයි තමයි. එතනදි රාජකාරි බෙදෙන්නෙ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සුදුසුකම් ේ ගොඩක් විට.

      Delete
    5. අපේ නම් මේ තරම් වෙනසක් ඇත්තේම නෑ. බලාගෙන ගියාම වැඩියම වැඩ කරන්නෙ කාන්තාවෝද කොහෙද... පිරිමියෙක් නියෝජනය කරන ආයතන වගේම ඒවත් එකම විදියට වැඩ කෙරෙනවා.

      Delete
  9. මම් නම් කැමති ගෑණු කෙනෙක් ජොබ් එකක් කරනව නම්.ගෑණු කෙනෙක් උනාම ආර්ථික හයියක් තියෙන්න ඕනේ එයාටම කියල.මනුස්සයගෙන් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේ නෑනේ එතකොට.අම්මලට අප්පච්චිලට සලකන්න, තමන්ට ඕනේ හිතන දේවල් ගන්න තමන් ලග කීයක් හරි තියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තවත් එක වැදගත් කරුණක්.සැමියාට කොයි තරම් මුදල් තිබුනත්,ඒ මත යැපීමක් සිද්ධ වෙනවා.සෑම දෙයටම මුදල් ඉල්ලන්න ගියොත් ඒ තනිකරම යැපීමක් බවට පත්වෙනවා.හදිස්සියේ හරි අම්මලට යවන්න මුදලක් ඉල්ලපු වෙලාවක අනේ මගේ ලග සල්ලි නෑ කියුවොත් මොකද වෙන්නේ?

      Delete
    2. ඔය කතාවට මම එකඟ වුනත් 100%ක් එකඟ නැහැ, මොකද පිරිමියෙක් ගැහැනියකව සරණ පාවා ගන්නවනම් ගැහැනියගෙ සියලු ඔනෑ එපාකම් තමන්ට හැකි ආකාරයෙන් ලබාදිය යුතුයි.... එක නිසා කාන්තාවක් ‍රැකියාවක් නොකලයි කියල එක පිරිමියගෙන් යැපිමක්, ණය විමක් නොවේ....

      Delete
  10. මගෙ රැකියාව ඉදිකිරිම් කෙශ්ත්‍රයට සම්බන්දයි. මගේ අනගත ස්වාමියා හා සමව මන් වැටුප් ලබනවා,සමාජ රැල්ලත් එක්ක මෙ ෆිල්ඩ් එකෙ ඉන්නවනම් කැත්තට පොල්ලවගේ ඉන්න වෙනවා.. එත්කොට ගෑනියකගෙ සියුමැලි බවනම් නැතිවෙනවා...විසම අසහන පිරිමින් නොමැතිනම් සත්තකින්ම මෙ රැකියව උචිතයි.. පිරිමින්ට ඇත්තෙ ලින්ගික ඉරිසියාව... අපි ඔවුන් හා සමවිම..
    අනගත ස්වාමියා මා හොදින් හදුනන නිසා බාහිර බලපැම් වලින් මිදිල ඉන්නවා, උගත් කමින් ප්‍රයොජනයක් ගත යුතුයි යන මතයෙ ඔහු ඉන්නවා..
    -නිලු-

    ReplyDelete
    Replies
    1. මගේ ස්වාමියාත් මට ගෙදර ඉන්න කියලා කවදාවත්ම කියන්නේ නැහැ.ඒක එක්තරා වාසනාවන්ත තත්වයක්

      Delete
    2. උවමනා වෙලාවලදි සියුමැලි වෙන්න පුළුවන් නම් ඕක ප්‍රශ්ණයක් නෙවෙයි‍ නේ :-)

      Delete
  11. දසුනි මතු කරන කාරණා ගොඩකට මමත් එකඟයි..අපි හැමෝම තම තමන්ගෙ බලාපොරොත්තු අශාවන් තියන මිනිස්සු කියලා හිතුවොත් මේ ප්‍රශ්නවලට මීට වඩා මානුශික පිළිතුරක් තියේවි..

    ඒත් අනිත් අතට මේ ප්‍රශ්නෙ dead lock එකක්.කිසිම පිළිතුරක් හරි පිළිතුරක් වෙන්නෙ නෑ...
    එක්කො ඔක්කොම විසඳුම් හරි..ඒත් ඔක්කොම එක පාර ක්‍රියාත්මක වෙන්නෙ නෑ..

    ගොඩක් මහන්සිවෙලා අවුරුදු ගාණක් ඉගෙන ගෙන දරුවෙක් බලාගන්න ගෙදර නවතින්න වෙනවා කියන එක කොච්චර අසාධාරණ වුනත් ඒක වෙන පිළියමක් තියනවද?

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් නවතිනවා නම් එතන හරිම අසාධාරණයක්.ගැහැනු අය හුගක් බලන්න....ඇයි ගෙදර ඉන්නෙ කියලා ඇහුවොත්,අනේ මගේ හස්බන්ඩ් කැමති නෑ කියලා කියනවා.

      Delete
  12. මම නම් කියන්නෙ හෑම ගෑනියක්ගෙම අවශ්යතා ප්‍රාර්තනා සිහින වගකීම් යුතුකම් මේවා , එකම එක සමීකරනෙකින් මනින්න බෑ. ඒ නිසාම මේ ලිපියට එකඟ නෑ. හේතුව මේක එක කෝණයක්. හෙවත් මේක පුද්ගලික කෝණයක්. මේක මේ ලිපිය ලිව්ව දසුනිගෙ මතය.

    ඒක ගෑනු මතය කියන්න බෑ.
    එක එක ගෑහෑනියගෙ සිතුම් පෑතුම් වෙනස්. සමහර ගෑහෑනුන් ඉන්නවා වෑඩ කරන්න අකෑමති. සමහර ගෑනු ඉන්නවා වෑඩ නොකර ඉන්න අකෑමති. සමහර උදවිය තවත් විදියක්.
    සහ
    මේ ගෑනු අයට ජීවත් වෙන්න ලෑබෙන එක එක පිරිමියාගෙ බලාපොරොත්තුත් වෙනස්.

    ඒ නිසා මේක තනිකරම ඒ ඒ කපල් එකට යුනීක් සිදුවීමක්.

    පිරිමියාගෙ තනි පඩිය පවුලක් රකින්න මදිනම්, ගෑනිට ගෙදරඉන්න ආස උනත් පොඩි කාලෙකට හරි කොම්ප්‍රෝමයිස් එකක් කරන්න වෙනවා/ දෙන්නගෙ අරමුනු, ටාගට්, ප්‍රාර්තනා සිහින ... බ්ලා බ්ලා...

    මෙහෙම පුද්ගල සහ පුද්ගලික මතයන් , ස්පෙසිෆික් තියරි හෑටියට ලියන එකට ලොකු පෑහෑදීමක් නෑ.
    සංවාදයට විවෘත කිරීම ඊට වඩා වටිනවා නේද? මම කිව්වේ සමබරව ලිපි ලිවීම..

    අම්මේ දෑන් මගෙ එල්ලෙන්න හෙම එපා. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් ඈ... :) :)

    ReplyDelete
  13. එක දෙයක් කියන්නට කැමතියි.සමාජ මතයන් ගොඩ නැගෙන්නේ පුද්ගලික මතයන් හරහා.පුද්ගලික මතයන් නැතිව සමාජ මතයන් ගොඩ නැගෙන්නේ නැහැ.

    මේ හරහා සoවාදයක් ගොඩ නැගීම ගැන මගේ බලාපොරොත්තුවක් තිබුනා.සoවාදයට විවෘතයි කියලා ලියුවෙ නැති වුනාට.(අනිත් දවසෙ එහෙම ලියන්නම්කෝ හොදේ...)

    මම ලියන්නට අදහස් කලේ පහත දැක්වෙන සරල කරුණ ගැන මගේ මතය.
    ගැහැණියක් රැකියාවකට යන්නට කැමතිනම්,සැමියා බිරිද රැකියාවකට යනවට කැමති නැත්නම්,බිරිදට ඒ නිසා සිදුවන අසාධාරණය ගැන...

    දැන් ඔන්න ඇගේ එහෙම එල්ලුනා නෙමෙයි හොදේ....මට හිතෙන දේ කියුවෙ :):)

    ReplyDelete
    Replies
    1. මොන තර්ක ගියත් අන්තිමේ හැමෝම තමන් කාලයක් විශ්වාස කරගෙන හිටපු මතයේම නවතිනවා නේද? මේක තමයි අළුත් නිදහස. හැමෝම තම තමන්ගෙ මතවාද වල... එහෙම කියලා තමන්ගෙ මතය තමයි අපි ප්‍රකාශ කරන්නෙ හැම වෙලේම නේ? මොකද මම දන්නෙ නෑනෙ වෙන කෙනෙක්ගෙ මතයක් ගැන කියන්න. එක එක්කෙනාගෙ අදහස් අනුව සමහර විට කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. ඉතිං වෙනත් කෙනෙක්ට වඩා හොඳ විධියට වෙනස් වෙන්න පුංචි කික් එකක් දෙන්න තමන්ගෙ මතයත් කියන එක හැම වෙලේම වැදගත්.

      කාන්තාව සම්බන්ධ මේ කතාව ඉතිං එහෙම තමයි නේ... අඹු සැමි දෙන්නගෙම අකමැත්තක් නැත්තං මොකක් වුණාම මොකෝ...

      Delete
  14. මම හිතන්නේ දසුනි කියල නැහැ කොහෙවත් හැම කාන්තාවක්ම රැකියාවක් කල යුතුයි කියල. රැකියා නොකර ගෙදර ඉන්න කැමති අය ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය වෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගෙන, උසස් රැකියාවක් කරන්න සිහින දැකපු ගැහැණු කෙනෙක් අකමැත්තෙන් සැමියාගේ කීමට ගෙදර ට කොටු වී ඉන්න එක.

    ReplyDelete
  15. රස්සාව කියලා රෝන්දෙ ගහන වෙලේ මිනිහා දෙන දෙයක් කාලා ලමයෙක් බලාගෙන හි‍ටියම මොකද වෙන්නෙ? අනික මනුස්සයා‍ට කන්න බොන්න දෙන්න හයිය තියේ නම්, මහ ලොකු අඩුපාඩුවක් නැත්තං ගෑනු රස්සාවට යන්න ඕනා නෑ.. ගොඩක් ගෑනු වරදට පෙලඹෙන්නේ ඔන්න ඔය අනවශ්‍ය ගමන් නිසා‍.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම කියන අය ගැනතමයි කතා කරන්න උත්සාහ කලේ...ඇයි ගෙදරින් පිට ගියාම ගැහැනු වරදට පෙලඹෙනවා නම් ...පිරිමි වරදට පෙලඹෙන්නෙ නැද්ද?එහෙම නැත්නම් පිරිමි වැරදි කලාට කමක් නැද්ද?තමන් කැමති දෙයක් ගන්නෙ නැද්ද?

      Delete
  16. මුලින්ම මේ බ්ලොග් එක ළඟ කාලෙක ඉඳන් අහුවෙලා රීඩරේ අස්සේ පිරෙන පෝස්ට් ඔක්කොම කියවනවා. ඒත් ලියන වේගේ එක්ක මට සමහර පෝස්ට් මගහැරෙනවා.
    කොමන්ට් නොකලට කියවනවා.

    කතාවට ආවොත් මට නම් ඕකේ වෙනසක් හිතෙන්නේ නෑ. විශේසයෙන්ම අද වෙනකොට අපේ ආර්ථික රටාව එක්ක රැකියාවක් නොකර පවුල් සංස්ථාවක් ගෙවන්න අමාරුයි. ඕක බොහෝ අය තේරුම් ගන්නේ නෑ. එතනදියි අවුල පටන් ගන්නේ. නැතිව දරුවෝ බලාගෙන රැකියාවක් කරගෙන ගෙදර කෑම හදාගෙන ස්වාමියාටත් ආදරෙන් ඉන්න ගැහැණු අඩු නෑ අද වෙද්දි. සමාජය විසින් බොහෝ වෙලාවට අනිත් අය වෙනුවෙන් තීරණ ගන්නකොට මේ වගේ ගැටළු එනවා.

    ගැහැණියක් විදියට මම මගේ රැකියාව ගැන සතුටුයි. මම ඔය පිරිමි කරන රස්සාවල් කරලාත් තියෙනවා. එහෙම කියලා මහ ලොකු වෙනසක් අපිට දැනිලා නෑ. සමහරවිට අපි ජීවත් එව්න වටපිටාව හින්දා වෙන්න ඇති. දැන් කාර් හෝදන්න පෙට්‍රල් පොම්ප වල කෙල්ලෝ ඕනෙ තරම් ඉන්නවා. ටැක්සි ඩ්‍රයිවර්ස්ලා බස් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා.
    මට නම් අනේ ඒක ගැහැනියක් කරන ජොබ් එකක් නෙමෙයි කියලා හිතිලාම නෑ..
    අනික ඉතින් සමහරවිට අපේ වයසට එද්දි අපේ ආශාවන් සන්තර්පණය කරගන්න අපිට නිදහස් ආදායම් රටාවක් අවශ්‍යම වෙනවා. මම නම් ඉගෙන ගත්තේ මගේ දැනුමෙන් ප්‍රයොජනයත් ගන්නත් එක්ක. ඒක ගෙයක් අස්සට ග්‍රහණියක් විතරක්ම වෙලා සතුටු වෙන්න මට බෑ.
    (මාසේ අන්තිමට මම ප්‍රසන්ල් ට්‍රීට් වලට වියදම් කරන සල්ලි ටික මගේ කොල්ලට දෙන්න උනා නම් ඌ කවදාවත් මාව ගෙදර තියාගන්න එකකුත් නෑ... හික්ස්. )
    මට නම් මගේ රස්සාව කියන්නේ පර්සනල් සැටිස්ෆැක්සන් එකක්. කොයි තරම් මහන්සි වෙලා ගෙදර ආවත් රෑ කීයට ආවත් මම මගේ යුතුකම් ඉටු නොකර ඉන්නෙත් නෑ.

    ReplyDelete