මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, November 25, 2011

සමහර කතා අසම්මතය....(කෙටි කථා)


සමහර දේ වලට හිත කැමතිම නැත.ඒත් ඇස ප්රියය.හිත බලන්නට එපාම කියුවත් අහන්නේ නැතිව ඇස් හොරෙන් බලයි.

"හොරෙන් බලනකොට තවත් ලස්සනයි"...

 වචන හතරකට පුලුවන්ද හිතක් චපල කරන්න.පුලුවන්,සමහර හිත් පුලුවන්....

සමහර වචන ජන්ගම දුරකතන තිරයක් මත ඉදන් වුනත් කතා කරනවා.ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.සමහරු කනට ලන්වෙලා කොදුරලා කියන දේත් හරියට පරණ පොතක ලියල තියෙන වචන ටිකක් වගේ.පොත පෙරලලා බලන්න හිතෙන්නෙත් නැති,අමාරුවෙන් බැලුවත් කිසිම හැගීමක් දැනෙන් නැති.

මම කියපු වචන හතර ඒ විදියට තිරේ මත ඉදන් මට කතා කලා.

හිතට...හදවතට...හැගීම් වලට...

හිත උනුසුම් වෙනවා දැනුනා.හදවත ස්පන්දන රිද්මය ලබ් ඩබ් නොවෙන වෙන හඩක් වගේ දැනෙන්න ගත්තා.

නිදහස සමහර වෙලාවට බලපත්රයක්.අයුතු/යුතු පරිහරනය තමන් සතු වැඩක්..

මගේ හිත පින්සල කැන්වසය මත ඔහේ ලිස්සා අරින පින්සල් පහරක් බවට හැරුනා.හිත කවදාවත්ම යුතු දේවල් කරන් නැහැ.ඉහත සදහන් වචන හතර හිත සැනකින් අයුතු බවට පත් කලා.කවියකුත් නොවෙන කතාවකුත් නොවෙන වෙන දෙයකින් හිත පිරෙන්න පටන් ගත්තා.
අවුරුදු දහසයේදී පන්ති යන්නට කලින් කණ්නාඩියට පෙන්වූ රූසිරි ආයෙමත් කන්නාඩිය බලන්න පටන් ගත්තා.මමත් කන්නාඩියට බලන්න දුන්නා.

මවිසින් පිලිතුරු නොසපයන ලද කෙටි පණිවිඩය වෙනත් නමකින් කෙටි පණිවිඩ ගොඩේ සැගවුනා.හිටි ගමන් අහඹු කුල්මත්වීම් වලට පත්වෙන හිත ඉදිරියේ අසම්මතයේ (කෙටි )පණිවිඩය පෙනීසිටියා.

ඉර ආහාරයට ගත් ක්ෂිතිජය,සදට පා පහරක් දී අහසට දැම්මා.හද හීතලත් අරගෙන කවුලුවෙන් කාමරය ඇතුලට රින්ගුවා.මම සාන්කාවේ පොරෝනාව පොරෝගෙන නිදාගත්තා.දෙසැම්බර් සීතල උනුසුම් කරන්නට බැරුව කෝපි කෝප්පය සීතල වුනා පරාජය පිලිගෙන. හදවත උනුසුම් කලා (කෙටි )පණිවිඩය,මුදල් අය නොකරම.ඔච්චම් කලා කෝපි කෝප්පයට.

හීනයේ පලවෙනි කොටස....

තවත් දවසක,උදේ...මා ඉදිරිපිට නැවතුනා බයිසිකලයක්.කෙටි පණිවිඩයේ හිමිකාර ඇස් දෙකත් අරගෙන.අසම්මත හිත ඒ සයිකලයේ පසු පස අසුනට ගොඩ වුනා."මම ඔයාට ආදරේ නැහැ"ඒත් දුඹුරු පාට ඇස් බෝල වලට ,ගැහැනු ළමයෙකුගේ වගේ දිග ඇස් පිහාටු වලට කැමතියි."අසම්මතයේ හිත එහෙම හිතුවට කියුවෙ නැහැ...

හීනය දෙක කොටස…

මල් පිපිලා තිබුනු වත්තක(පෙරාදෙණියේ නොවන )එකිනෙක හාපැටලුනු අත්දෙකක් ඇවිදගෙන ගියා.සිරුරු උනුසුම්ව තිබුනා එකිනෙකට ගෑවෙමින්.හිත් පිරී තිබුනා ප්රේකමයක් නැති රාගයෙන්.හදිසියේ උනුසුම් හාදු හුවමාරු වුනා.

මල් වත්තක ඇහෙන්නට බැරි ස්වරයකින් අවදි වුනා මම...

"ඔහ්හ්...මහ හයියෙන් කෑගහන මගේ එලාම් එක...."

දෙසැම්බර් මාසෙ සීතලට පරාදවෙන කෝපි කෝප්පයක් අරගෙන ආපහු ඇදට ගොඩවුනා මම....

“උනුසුම් සිරුරු හිමි අය සතු උනුසුම් හිත් නැත....උනුසුම් හිත් හිමි අය සතුව උනුසුම් සිරුරු නැත....”

කොහොමටත් දෙසැම්බර් හරි සීතලය....

4 comments:

  1. අක්කා බ්ලොග් අවකාශයේ මිතුරෝ කියන ගෘප් එකට එන්න.. එතන ඉන්නේ අපි ඔක්කොම බ්ලොග් ලියන අය...

    ReplyDelete
  2. කාලෙකින් ලස්සන කතාවක් කියෙව්ව Thanks

    ReplyDelete