මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, May 20, 2014

සසරමග අතරමග - දිනමිණ බද්දරමල්ල නෙල්ලි කතන්දර



පාලු මකන්න යාලු ඉන්න එක පිනක්.ඒත් වැඩිමනත් යාලු නැති හිත් තියෙන, තනිකම ජීවිතේ කරගත්ත උදවියට පොත් කියන්නේ හොද යාලුවෙක්.තනිකම යන්න පාලු මැකෙන්න විතරක් නෙමෙයි ජීවිතේම වෙනත් මානයකට ගෙනියන්නත් මේ පොත් සමත්.
පොතක් අතට ගත්තාම කියවලා ඉවරවෙනකල් පැත්තකින් තියන්න බැරි කුලකයෙන් මමත් කොටසක්.පුංචි දේටත් හිත කලකිරුණු කාලෙක,හැම වැහිකෝඩයක්ම සුලි සුළගක් තරමට හිත අනාථ කරපු කාලෙක මට මුණ ගැහුනා පොතක්.
අදටත් ඒ පොත මගේ යාලුවෙක්.හොදටම හිත රිදුනාම එහෙම නැත්නම් හිත රිද්දගත්තාම හිත හදන දිව ඔසුවක්.
“Many Lives Many Masters” කියන පොත ඉංග්‍රීසි පන්හිදකින් ලියවුන ලියවිල්ලක්. Brian.L.Weiss කියන මනෝ වෛද්‍යවරයා 1974 අවුරුද්ද වෙනකොට ඒ තරම් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙලා හිටියේ නැති වුනාට එහෙම වෙන්න එයාට දෛවය විසින් නියම කරලා තිබුනා. රෝගියෙක් වෛද්‍යවරෙයෙක්ට වෙද පඩුරු හැටියට ප්‍රසිද්ධිය තෑගි දෙන එක ටිකක් අපූරු කාරණයක් වුනාට ,කැතරින් කියන අවුරුදු විසි නමයක් වෙච්චි තරුණිය තමන්ගේ රෝගී තත්වයත් එක්කම බ්‍රයන් දොස්තර ලගට ප්‍රසිද්ධිය අරගෙන ආවා.
බ්‍රයන් දොස්තර බෙහෙත් දෙන්නේ හිතේ ලෙඩ වලට.ශරීරයේ ලෙඩ වලට වැඩියෙන් හිතේ ලෙඩ ශරීරය ලෙඩ කරනවා. කැතරින්ට හිතේ ලෙඩ හුගාක් තිබුනා.එයා කලුවරට බයයි.ගුවන් යානා වල යන්න බයයි,බෙහෙත් බොන්න බයයි,ඊටත් අමතරව එයා යාලු වෙලා හිටියේ ස්ටුවට් කියන එයා වැඩ කරන ඉස්පිරිතාලෙම හිටපු දොස්තර මහත්තයෙක් එක්කයි.ඒ දොස්තර මහත්තයාටත් කැතරින් හොදටම බයයි.ස්ටුවට් දොස්තර කසාදත් බැදලා ඒ වෙනකොට ළමයි දෙන්නෙකුත් හිටපු නිසා කොහොමටත් ඒ යාලුකමේ අසාමාන්‍යගතියකුත් තිබුනා. කැතරින් ස්ටුවට්ට බයෙන් හිටියා.ඒත් එක්කලම ආදරෙත් කලා.මේ හැමදෙයක්ම එයාගේ හිතට බරක් වෙලා ශරීර සුවතාවයත් නැතිවෙන්න පටන් ගත්තා.
දොස්තර බ්‍රයන් වගේම කැතරිනුත් උපතින්ම කතෝලික නිසා ඒ දෙන්නම පුනුරුප්පත්තිය විශ්වාස කලේ නෑ.දොස්තර මහත්තයා හිතේ ලෙඩ වලට ප්‍රතිකර්ම හැටියට රෝගීන්ව මෝහනය කලත් එයා කවදාවත් ඉපදීමෙන් එහාට මෝහනය ඔස්සේ රෝගීන්ව අරගෙන ගියේ නෑ.ඒත් වැරදීමකින් වගේ කැතරින්ගේ මෝහන ප්‍රතිගමනයේදී එයා තමන්ගේ කලින් ආත්මෙකට යනවා.ඒ වෙලාවේ දොස්තර මහත්තයා සෑහෙන්න කලබල වුනත් ඒ බවක් නොපෙන්වා කැතරින්ගෙන් විස්තර අහනවා.
මෝහන ප්‍රතිගමන සැසිවාර බොහොමයක් පැවැත්වෙනවා.ඒ හැම ආත්මෙකින්ම කැතරින්ගේ හිතේ ලෙඩ වලට හේතු හෙලිවෙනවා.එක්තරා ආත්මයක කැතරින්ට සුවකල නොහැකි රෝගයක් වැලදෙනවා.ඒ ලෙඩේ වැලදෙන හැමෝම මිය යන්නටත් ඉස්සර ගල් ගුහාවකට දාලා එලියට එන්න බැරි වෙන විදිහට ගල්ගුහාව අවහිර කරනවා. කලුවරේ හිරවෙලා මියයන කැතරින් ඊට පස්සේ උපත ලබන හැම ආත්මෙකම කලුවරට බයවෙනවා.
එක්තරා ආත්මයක සේවිකාවක් විදිහට ගෙදරක බටර් නිශ්පාදනය කරන කැතරින් තවත් ආත්මයක ඊජිප්තුවේ මමී එම්බාම් කිරීමේ කර්තව්‍යයට සහභාගී වෙනවා. ඊටත් පස්සේ ආත්මයක එයා ප්‍රංශ ගුවන් යානා පදවන නිලධාරියෙක් වෙලා යුද්ධෙදී මියයනවා.සමහර ආත්මයක්දී ගණිකාවක් වෙනවා.මෝහන ප්‍රතිගමනයේදී ඊජිප්තුවේ මමී එම්බාම් කරන විදිහ අකුරක් නෑර කියුවත් පියවි සිහියට ආවට පස්සේ එයා බටර් හදන විදිහවත් විස්තර කරන්න දැනගෙන හිටියේ නෑ.
මේ ආත්මයේදී තමන්ගේ සමීපතමයින් කලින් ආත්මයක්දී හමුවුනත් ඒ කවුද කියලා කියන්න මෝහන ප්‍රතිගමනයේදී කැතරින්ට හැකියාව ලැබෙනවා.ඒ විදිහට සමහර ආත්ම වල ස්ටුවට් කැතරින්ගේ තාත්තා විදිහටත්,සමීපතම යාලුවෙක් විදිහටත් ඉදලා තියෙනවා.කැතරින්ගේ මේ ජීවිතයේ හොදම යාලුවා එක්තරා ආත්මයක එයාගේ චූටි දුව විදිහට උපත ලබලා කැතරින්ගෙන් අම්මා කෙනෙක්ගේ ආදරේ බලාපොරොත්තු වෙලා තියෙනවා.
මම මේ පොත කියවනකොට ලංකාවට සුනාමි ඇවිත් නෑ.ඒත් එක ආත්මයකදී හිටි ගමන් මුහුද ගොඩගලනවා.කැතරින් රළ පාරට දරුවා අහුවෙනවට බයේ දරුවව අත්දෙකින් උඩට උස්සගෙන ඉන්නවා.ඒත් රල පාර දරුවව එයාගෙන් උදුර ගන්නවා."මොනවා උනාද දන්නේ නෑ.මූද එකපාරට ගොඩට ආවා.."කියලා එයා කියනවා.සුනාමි ඇවිත් නොතිබුන ඒකාලේ මට මේ කතාව කියවනකොට කාවන්තිස්ස රජ්ජුරුවන්වයි විහාරමහාදේවියවයි මතක් වෙනවා.
සංසාරේ පුරාවට අපිට හමුවුන අය මේ ආත්මෙදිත් අපිට හමුවෙලා ඉන්නවා.එයාලගෙයි අපෙයි අතරේ තිබුන සංසාර ගනුදෙනු තවමත් ඉවර වෙන්නේ නැතුව තියෙනවා.සමහර අය හමුවුනාම අපේ හිත් වලට අමුතු ලෙංගතු කමක් දැනෙන්නෙත්,තවත් සමහර අය හමුවුනාම අකමැත්තක් දැනෙන්නෙත් ඒ හින්දයි. ඒ වෙලාවට ඉඩ දෙන්න ඕනේ බුද්ධියට නෙමෙයි හදවතටයි.මට හිතෙන්නේ එහෙමයි.පෙර ආත්මේ සමහර පුරුදු වලින් අපිට මිනිස්සු හදුනගන්න පුලුවන්.කවුරු හරි මුලින් හමුවුනාම අකමැත්තක් හිතෙනවා නම්,කරදරයක් අකටයුත්තක් වෙයි කියලා දැනෙනවා නම් එහෙම අයට සමීප වෙන්න නරකයි.
කැතරින්ගේ මෝහන ප්‍රතිගමන බොහොම සිත් ඇදගන්නා සුළුයි.ඒ කතන්දර වලින් බ්‍රයන් දොස්තර මහත්තයා ලියලා තියෙන සටහනත් මිනිසුන්ගේ ජීවිතයම වෙනත් මානයකට හරවන සුළුයි. තමන්ගේ ආගමට එරෙහිව වුනත් බ්‍රයන් දොස්තර මහත්තයා ලියපු මේ පොත එයා ලගට ප්‍රසිද්ධිය අරගෙන එනවා.ඒ වගේම බොහොමයක් මිනිස්සුන්ට ජීවිතේ දිහා වෙනත් මානයකින් බලන්න උදව් කරනවා.
පුනුරුප්පත්තිය ගැන ලියවුන තවත් පොතක මෙහෙම සදහන් වෙනවා.පෞරාණික භාණ්ඩ ප්‍රශර්ශනයකට ගියපු කාන්තාවකට එක්තරා පෙන්ඩනයක් සහිත මාලයකට හිත යනවා.එය බොහොම හුරු පුරුදුයි වගේ දැනෙනවා.ප්‍රංශ භාෂාවෙන් මාලපෙත්තේ ලියවුන දේ නොතේරුනත් ඇය එය මිලට ගෙන පලදිනවා.ප්‍රංශ භාෂාව දන්නා ඇගේ මිතුරියක් හදිසියේ ඇයට හමුවෙනවා."ඔයාට පිස්සුද ඕක ගලවන්න කියලා"එයා කියනවා."ඇයි"කියලා ඇහුවාම,ඒ මාල පෙත්තේ ලියවිලා තියෙන්නේ "ප්‍රංශයේ අවසරලත් ගණිකාව"කියලා යාලුවා කියනවා.
සමහර අය අපේ ජීවිත වලට එන්නේ පෙර කල කර්ම පියවා ගන්නයි.ඒත් තවත් සමහර අය අපේ ජීවිත වලට එන්නේ උපදේශකවරු හැටියට ජීවිතය හැඩ ගස්සවා ගන්නට උදව් කරන්නයි.ඒ හිතේ සපිරුණු ආදරයත් එක්කයි.
මගේ තාත්තා දුරින් හිටියත් ළගින් නැති අඩුව මට දැනෙන්නේ හිතට තදබල දුකක් දැනුනා මයි.මම මූණ එල්ලගෙන බිම බලාගෙන ඉන්න වෙලාවට  එයා මගේ දිහා බලලා හිනා වෙලා “Don’t take arithmetic ” (ගණන් ගන්න එපා) කියලා කියනවා. ඒ වෙලාවට මට ඒ හිතේ පිරිලා තියෙන ආදරේ ආයෙමත් දැනෙනවා.
දුක හිතුනාම හිත හදන්නට “many lives many masters” පොත උදව් වෙන්නේ ඒ වෙලාවටයි.අපි අමරණීයයි.ජීවිතය කියන්නේ නවාතැන්පොලක් විතරයි.ජීවිතයේ හැම සබදතාවක්ම සතුටුදායක නොවුනත් සමීපතමයන්ට අවංකවම ආදරය කරන්න.හැම සබදතාවයකදීම නොවුනත් පුළුවන් හැම විටම අනෙකාට අවංක වෙන්න,සසර මග කොතැනකදී හෝ ඔවුන් නැවත හමුවෙනු නියතයි.

1 comment:

  1. පිස්සු හැදෙනවා.. මටත් මේ පොත ඕනේ..

    ReplyDelete