මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 8, 2014

නිදිකුම්බා මලකට හාදුවක් -දිනමිණ බද්දරමල්ල



මේ දවස්වල කොළඹට හෝ ගාලා වැස්ස...වැඩ ඇරිලා කලින් එන්න පුළුවන් වෙච්චි දවසක යහමින් කිරිදාපු කෝපි කෝප්පයක් හාන්සි පුටුවේ අත් ඇන්ද උඩින් තියාගෙන මම බැල්කනියෙන් එහාපැත්තේ පේන ලෝකේ දිහා බලාගෙන ඉන්නවා. ලෝකේ එච්චර ලොකු නෑ.හරිම පටුයි.දකුණු පැත්තෙත් ,උතුරු පැත්තෙත් ,බස්නාහිර පැත්තෙත් ඊටත් අමතරව ඈතින් පේන තව බිල්ඩිමකත් බෝඩින් තියෙනවා. බෝඩින් වල ගෑනු ළමයි,පිරිමි ළමයි වෙන වෙනම ඉන්නවා.
ගෑණු ළමයි,පිරිමි ලමයි එකට ඉන්න බෝඩින් නැත්තෙමත් නැති වුනාට,අපේ කුලීගෙදර කිට්ටුවෙ වගේ බෝඩින් නෑ. ගෑණු ළමයින්ගේ බෝඩින් පැත්තෙන් රෑට හින්දි සින්දු ලාවට ඇහෙනවා.එයාලගේ හීන්ලෝක උඩින් ෂාරුක් ඛාන් හරි රිතික් රෝෂන් හරි ඇවිදගෙන යන හැටි මට අතරින් පේනවා. පිරිමි ළමයින්ගේ බෝඩින් පැත්තෙන් පැදුරු සාජ්ජ,ක්රිකට් මැච් එකක් තියෙන දවසට නම් පපරෙ සද්ද එහෙමත් ඇහෙනවා.ඔය සද්ද දෙජාතියෙම මිහිරියාවක් තියෙනවා.
බෝඩින් ජීවිත කියන්නේ වෙනමම කතාකරන්න ඕන මාතෘකාවක් කියලා මට ඔහොම ඉන්න අතරෙ හිතෙනවා. දැන් මම ඉන්නේ බෝඩිමක නොවෙන හින්දා ,මම හිතන්නේ බෝඩින් ජීවිතේ ගැන ලියුවට අරෝගන්න කවුරුත් නෑ.
බෝඩින් ජීවිත ගෙවන හැමෝටම ජීවිතේ වෙහෙස නිවාගන්නත් එක්ක ගමන් සගයෙක් ඉන්නවා.හුගක් වෙලාවට සගයා තමන් ගේ කාමරේ හරි එහෙමත් නැත්නම් යාබද කාමරේ හරි ඉන්න පුළුවන්. දෙන්නා අතරේ රහස් නෑ.රහස් තියාගන්න ඕන වුනත් තියාගන්න හැටියකුත් නෑ.තමන්ගේ එහාපැත්තේ ඇදේ හරි තිනී බිත්තියකින් වෙන්වුනු එහා කාමරේ හරි ඉන්න සගයගෙන් හැංගිලා ඉන්න තරමට ජීවිතේ රහස් බලවන්ත නෑ.
මගේ එක බෝඩින් කාමරේක සිවිලිමක් නැති වුනාට උලු වහලක් තිබුනා.සිවිලිම වෙනුවට සුදුපාට ඉටි කොල සෙවිලි කරලා තිබුනා. ඉටිකොල මොනවාදෝ ක්රමේකට එකිනෙකට අලවලා තිබුනත් හයියින් වහින දවසට සුලන් සැරට ඉටි කොලේ එහාටයි මෙහාටයි පැද්දිලා ඉටිකොල උඩ ඉතිරි වෙලා තිබුනු කුණු රොඩු පොලවට වැටුනා."ඕවට සිවිලිම් ගැහුවම උගුඩුවෝ බෝවෙනවා.."කියලා බෝඩිමේ ඇන්ටි එහාට මෙහාට ඇදලා පැදලා ඇස් කරකවලා එහෙම දවසක කියුවා..
ඒවට උත්තර දීලා තවත් කන් පුරවගන්න  බෝඩිමේ කාටවත් ඕන නෑ.
බෝඩිමේ කෑම දෙන්නේ නෑ.කෑම කඩ තියෙන්නෙත් බෝඩිමට සෑහෙන්න ඈතින්.ඉතින් සමහර රාත්රී කාලවල කෑම ගේන්න කඩේ යන්න එක බෝඩින් හිතකටවත් හිත් පහල වෙන්නේ නෑ.එහෙම දවසට ක්ෂණික නූඩ්ල්ස් පැකට් පිහිටට එනවා.හීටරෙන් රත්වෙන වතුර බාජනේ ඇතුලේ නූඩ්ල්ස් ඉදෙනවා.හිස්වෙච්ච නූඩ්ල්ස් කවර දකින බෝඩිමේ ඇන්ටිට අපිගැන දුක හිතෙනවා."ඔය ක්ෂණික කෑම ජාති කන එක ඇගට ගුණ නෑ දුවේ..."කියලා එයා එහෙම දවසට කියනවා. එයා අපිට "දුවේ" කියන්නේ එහෙමත් දවසක නිසා මේකේ මොකක් හරි අමුත්තක් තියෙන්න ඕනේ කියලා හිතාගෙන අපි මූණෙන් මූණ බලාගන්නවා. අපිගැන දුකට වැඩියෙන් මාසෙ අන්තිමට එන විදුලි බිල ගැන දුකක් විත්තිය බෝඩිමේ අපිට තේරෙනවා.ඒත් "ඔව් නේද ඇන්ටි" කියලා නොතේරුණු ගානට ඉන්න අපි හැමෝම  පරිස්සම්වෙනවා.
තවත් එක්තරා බෝඩින් නැවතුම් පොලකදී මට නුවර එළියේ ගෑණු ළමයෙක් මුණ ගැහෙනවා.කොළඹ රටේ එයාට රස්නෙ වැඩි හින්දදෝ මන්දා එයා දවසට දෙපාරක් ඇගසෝදනවා.සතියකට හතර පස්පාරක් නානවා. බෝඩිමේ ඇන්ටි අර ගෑණු ළමයා නාන්න ගිය වෙලාවේ ඉදලා නාන කාමරය දිහා රවාගෙන බලාගෙන ඉන්නවා.
පස්සේ දවසක බොරු වැරැද්දක් පටලෝගෙන අර ළමයට බෝඩිමෙන් යන්න කියනවා.එයා මගේ බෝඩින් සගයා වෙච්චි හින්දම මම එයත් එක්ක අලුත් බෝඩිමක් හොයන්න යනවා.සමහර බෝඩින් ගෙවල් වල සුනඛ පෝතකයෝ කවුරු හරි බෝඩිමක් හොයන්න එනකල් බලාගෙන හිටියා වගේ ගේට්ටුව දිහාවට බුරාගෙන එනවා.
වගේ බෝඩින් ගෙවල් වල අයිතිකාරයෝ,"ඇයි ගෑණු ළමයි දෙන්නෙක් විතරක් ආවේ?දෙමව්පියොත් ආවා නම් නේද හොද කියලා අහනවා."අපිට බෝඩින් මාරුකරන්න වෙන හැමපාරම ලංකාවේ ඈත දික්බාගවල ඉදලා දෙමව්පියොන්ට කොලඹ එන්න බෑ කියලා අපිට තේරුණාට එයාලට තේරෙන්නේ නෑ. එහෙම බලන්න ගිය සමහර බොඩින් කාමර ඇතුලේ හැරෙන්නවත් ඉඩ මදි.තට්ටු දෙකේ ඇදන් එකක් උඩ එකක් හිටගෙන තමන්ගේ පහස ලබන්න කවුරු හරි එනකල් බලාගෙන ඉන්නවා. කාමර වල විදුලි පේනුවක් වත් පේන්න නෑ. “තේ බොන්න වතුර උණු කරන්නේ කොහොමද?” කියලා ඇහුවම," උදේට ඇවිත් කුස්සියෙන් ඉල්ලුවොත් උණු වතුර කෝප්පයක් දෙන්නම්"කියලා කියනවා.එහෙම වෙලාවට බෝඩින් හොයන්න යන අයට "මේ මොන විකාරයක්ද?"කියලා හිතුනත් එහෙම කියාගන්න විදිහක් නෑ.
එක ගෙදරක බොහොම සුරුවමට හැදුනු ඉඩ පහසුකම් හුගක් තියෙන කාමරයක් තියෙනවා.මගේ නුවර එලියේ යාලුවා එක පාරටම කාමරේට කැමති වෙනවා.ඒත් මේ වගේ කාමරයක් මෙච්චර කාලයක් ඉතුරු වෙලා තිබුනේ කොහොමද කියලා මට හිතෙනවා. යාලුවා එයා තෝරගත්ත අලුත් බෝඩිමට යනවා.ඒත් එයාට පෙන්නපු කාමරේ එයාට ලැබෙන්නේ නෑ. කාමරේ අලුත් වැඩියා කටයුතු වගයක් කරන්න තියෙනවා කියලා බෝඩිමේ අංකල් කියනවා.
ලැබුන කාමරේ බොහොම ඉඩ පහසුකම් මදි. බෝඩිමට ආපු හැමෝටම පෙන්නලා තියෙන්නේ සැප පහසු කාමරය විත්තියත් ඒත් හැමෝටම ලැබිලා තියෙන්නේ අඩු පහසුකම් කාමර විත්තියත් තේරුම් ගන්න මගේ යාලුවට ටිකක් කල් යනවා. බෝඩිමේ අර පහසුකම් පිරිච්ච කාමරේ තාමත් පිලිසකර කරන්න නියමිතව තියෙනවා.
ගෑණු ළමයින්ගේ බෝඩින් වලට එනවා නම් හවස හතට කලියෙන් එන්න ඕන. නීති පොත් වල ලියලා නෑ. වුනත් රහස් විදිහට නීති ක්රියාත්මක වෙනවා.එක බෝඩිමක් තිබුනා රාජකාරි කටයුත්තක් හින්දා එන්න ප්රමාද වුනත් එන වාහනේ බෝඩිමේ ගේට්ටුව ළගටම ඇවිත් නවත්තන්න ඕනේ.එහෙම නොවුනොත් ගෑනු ළමයා "හොර ගමනක් ගිහින්..." බෝඩිමේ ඇන්ටි හිතුවේ එහෙමයි.හිතුවා විතරක් නෙමෙයි එයා නවාතැන් අරගෙන ඉන්න අනිත් ගෑනු ළමයි එක්ක විත්තිය කිය කියත් ගියා.තවත් සමහර බෝඩින් වල රෑ නමය වෙනකොට ලයිට් නිවන්න ඕනේ.එහෙම නැතිවුනොත් බෝඩිමේ අයිතිකාර ඇන්ටි කාමර වලට ඇවිත් ලයිට් නිවලා ගියා.
“බෝඩින් ජීවිතේ ඉතින් ඔහොම තමයි,ගෙවල් වල වගේ සැප සාත්තු බලාපොරොත්තු වෙන්න බැහැනෙ” කියලා තතු දන්න උදවිය හිත හැදෙන්න කියලා හිතාගෙන කියුවත්,බෝඩින් ජීවිතේ තිත්ත ඇත්ත ඕකයි.ඒත් කටු උඩින් ඇවිදගෙන ගිය ජීවිතේ ඉද හිට නිදිකුම්බා මල් වගේ සුන්දර මල් මුණගැහුනේ නැතුවමත් නෙමෙයි.
මට නිදිකුම්බා මල් ගැන කියනකොට එක්තරා බෝඩිමක අංකල් කෙනෙක් මතක් වෙනවා.එයා හිටියේ තාත්තලා අම්මලාගෙන් වෙන් වෙලා මුලින්ම ගියපු බෝඩිමේ.තාත්තා කෙනෙක් දුවෙකුට උවමනා, නුවමනා සියල්ලෙන්ම සාරසොබාවට සලකනවා වගෙයි එයා බෝඩින් වෙච්ච ගෑනු දරුවන්ට සැලකුවේ.මීට මාස තුන හතරකට උඩදි එයා බෝඩින් ගෙදරම සාලෙ මැද අත්දෙක පපුව උඩින් අතැගිලි බැදගෙන තියාගෙන ඇස් වහගෙන නිදා ගෙන හිටියා. කාලෙ බෝඩින් වෙලා හිටිය හැම ගෑනු දරුවෙක්ම එදා අංකල් බලලා යන්න ආවා. හැමෝගෙම ඇස් වල නිදි කුම්බා මලක් වෙනුවෙන් පැන නැගුනු කදුලක් තිබුනා.
ගියපාර උපන්දිනේට ලස්සන සුවද මල්පොකුරක් ලැබුනා."ඉස්සර දවසක බෙදාගත් ජීවිතය වෙනුවෙන්..."කියලා ලියපු ලියවිල්ලක් මල්පොකුරේ ඇමිණිලා තිබුනා.ඊටත් යටින් බෝඩින් සගයෙකුටත් වැඩිය සහෝදරියක් විදිහට හිතට දැනුනු කෙනෙකුගේ නමක් තිබුනා. වෙලාවෙත් සතුටටද දුකටද මන්දා මගේ ඇස් දෙක යාන්තමට තෙත්වුනා.
ළගදි දවසක මම හීනයක් දැක්කා. හීනේ මම නිදිකුම්බාගාලක ඇවිදිමින් හිටියා.ඒත් මත්තේ නිදිකුම්බා මල් යායක් පිපිලා තිබුනා.මම හිමීට පහත්වෙලා නිදිකුම්බා මලකට හාදුවක් දුන්නා.

2 comments:

  1. mm nm kellek nemei kollek :D api enna bodin nm patta aethal :) bodime aunty la kollonata nithi enna enne ne. Apita oena deyak kragena enna puluwan current eka use krnna puluwan kisi awulak ne. Mey moda kellonwa tamai bodinwala auntyla baya kragena enne ;)

    ReplyDelete
  2. වෙන්නත් ඇති ඉතින්... :P

    ReplyDelete