මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 10, 2012

හූණාගේ මරණය

 

ඇස් දෙකත් පියාගෙන හූණෙක් මියගොස්ය.මිය ගොස් සිටියේ හරිම ශාන්ත  අයුරකිනි.ඒත් නිවස තුලම දිවිනසා ගැනීම .සමහර විටක බිරිද තවත් හූණෙක් සමග පලා ගොස් විය හැක.අනේ මන්දා යැයි ඇයට සිතින.මියගිය හූණා සර්ව සම්පූර්ණවම මිය ගොස් සිටියේය.වලිගය තිබූ තැනම ඒ විදියටම තිබුණි.වලිගය අහිමිවීම නම් දිවිනසා ගැනීමට කාරණයක් විය හැක.නමුත් සර්ව සම්පූර්ණව මිය යාම ප්‍රශ්නයකි.

ඇය සිතුවාය.සිතුවාය.මිය යනවා නම් තමන්ටද මිය යන්නට කරුණු කාරණා තිබේ.ඒත් නිදිපෙති පනහක් බොන්නට හිත හදා ගන්නට අමාරුය.කොහොමටත් මිය යාමේදී සිදුවන අහිමිවීම් විශාලය.ඇරත් ඔය කරුණු කාරණා එකින් එක සලකා බැලීමේදී මිය යන්නට තරම් බරපතල තීරණයක් ගන්නට තමන් තවමත් හදිසි වැඩිය.

කමිසයක දිගු කෙස්ගසක් හමුවීම අහඹුවක් විය හැක.තමන් ලග නොමැති කාන්තාවිලවුන් සුවදක් කමිසයෙන් හැමීමද නාසයේ ගන්ධ සෛල වල වැරදීමක් විය හැක.කොහොමටත් රෙදි සෝදන්න නියමිතව විවෘත කරගත් මුඛයෙන් යුතුව බලා හිදිනා මැෂිමට දැමීමට පලමු කමිසය සිඹීම ඇගේ වරදක් මිස ඔහුගේ වරදක් නෙමේය.

තමනුත් දිවිනසා ගන්නවා යයි තර්ජනය කල යුතුබව ඇය සිතුවාය.ඒත් බොරුවට අකමැත්තක් පෙන්වා ආහාර වලට වස මිශ්‍ර කර දෙන්නටද බැරි නැත.වරද ඔහු අත නොවේ යයි සිත සදා ගැනීමටද එවිට තමන් ඔහුට අත්වැලක් සපයා ඇත.ඔහු සිදු කරන්නේ තමන්ගේ අරමුණ වෙතට යාමට උදව් කිරීමකි.නමුත් සත්‍ය වශයෙන්ම තමන්ට දිවිනසා ගැනීමට උවමනා වක් නැත.

තමන්ට උවමනා ඔහු තමන් වෙත රදවා ගැනීමටය.දිනෙන් දින නෙරා එන උදරය ඔහුව තමන් වෙතින් තවදුරටත් ඈත් කරවයි.උදරය  නෙරා ඒම සමහර විටක ඈත් කිරීම ද  තවත් සමහර විටක ලං කිරීම්ද රැගෙන එයි.මේ ඈත් කරවීමක් ලං කරවන උදරය නෙරා ඒමකි.

සත්‍ය වශයෙන්ම කෙට්ටු කරවන් පෙතිද රාත්‍රී නිරාහාරව සිටීමද උදරය සිහින් කරවීමට උපකාරී නොවෙයි.දිග කෙස් ඇති නාදුනන විලවුන් සුවදේ හිමිකාරියට සිහින් උදරයක් තිබිය හැක.නැතුවා වන්නටද බැරි නැත.

ජනේලයෙන් පිටත ඇති කරපිංන්චා  ගස හූණාගේ මරණයට ශෝකය ප්‍රකාශ කරමින් රෑ වට වැස්සෙන් කදුළු සරිකරගෙන ඇත.තමන්ටද අඩන්නට හැක.ඒත් නොසලකා හැරිය යුතූ හූණාගේ මරණයට නොවේය.

 

හූණා මිය ගොස් ඇත්තේ සත්‍ය වශයෙන්ම බිරිද පලා ගිය ශෝකයෙනි.ඒ පිරිමි කමට පහරකි.හූණා දවස ගනනක් නිරාහරාව කල්පනා කරන්නට ඇත.තමන්ට වඩා බිරිද අන් පිරිමියෙකුගේ ආලිංගනය ඉවසනවා නම් පිරිමි කමට රිදේ.නමුත් තමුන්ගේ නොමනා ක්‍රියාවකින් සිත් රිදවාන ඇය මිය ගියොත් ඒ ආඩම්බර වීමට හේතුවකි.ඇයට තමන්ව නැතිවම බැරිබවට සාක්ෂියකි.

 

ඇය විසින් සිදු කල යුතුව ඇත්තේ පලා යාමය.නැත්නම් පලා යන බවට තර්ජනය කිරීමය.වඩාත් හොද තර්ජනය කිරීමය.ඔහුගේ ප්‍රතිචාර මත පලා යාම තීරණය වනු ඇත.නොදන්වා පලා ගියහොත් තවත් හූණු මරණයක් සිදුවිය හැක.

හදිසි පෙනී සිටීමක්.උකුල මත තැබිය යුතු පරිගණකය මේසය මත තබා විද්‍යුත් තැපෑලෙන් ආ ලියමනක් කියවන ඔහු අසල.

"ඇයි?උදේට ඕන දෙයක් කමු..."

"මම හිතුවා...මම හිතුවා ...පලා යනවා..."

ඇස් සහ ඇස් හමුවීමක්.තත්පර දෙකක නිසල තාවයක්.ශෝකය ප්‍රකාශ කිරීමකට විය හැකි.

"පලා යනවා නම් ගිහින් ගේන්න.කොහොමටත් සතියකට සැරයක් වත් පලා ටිකක් කන එක හොදයිනෙ..."

නිමිද???

10 comments:

  1. අර උදරය නෙරා ඒමේ තියරිය නම් මරු!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  2. අමුතුයි
    අපූරුයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි....

      Delete
  3. ම්ම්ම්... හරිම වෙනස් ඒත් හිතට හොඳටම වදින කතාවක්... බොහෝම අපූරුයි යාළු..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....යාලු...

      Delete
  4. හූනා කීවමයි මතක් උනේ දැං සතියකට කලිං දැකපු හූං සීං එක..
    හික්ස්...
    ලස්සනයි අක්කේ..
    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. හුගාක් ස්තුතියි මල්ලි

      Delete