මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 14, 2012

රතු පුටුව

 

 

හරියටම නම කියන්න මතක නැති හංදියක තියෙනවා රතුපාට ප්ලාස්ටික් පුටුවක්.කකුල් කඩා ඉවත් කරන ලද හෝ කැමැත්තෙන්ම ඉවත්වෙන ලද කකුල් සහිත.මට හංදියේ නම අසා දැනගන්නට පුලුවන් කමක් තිබුනත් එයින් සිදුවෙන්නේ කතාව කියන්නට පමාවක් පමණයි.කොහොමටත් කතාවට හංදියේ නම එතරම් අදාල වන්නේ නැහැ.මොකද මේ ඕනෑම හංදියක සිදුවන්නට හැකි කතාවක්, රතුපාට පුටුවක් තිබෙන...

 

ඔය කියන රතුපාට පුටුවට තියෙනවා ඇස් දෙකක්.ඇස් දෙක තියෙනබව වසන් කරන්නට වගේ රතුපාට පුටුව හැම වෙලාවෙම තමන් මත ඉන්දවාගෙන ඉන්නවා ගැහැනියක්.සුදුපැහැ ලේස් හැට්ටයක් සහ චීත්තයක් අදින ලද.ඇගේ ඇස් විදිහට ඇත්තටම අපට පෙනෙන්නේ පුටුවේ ඇස්.ඒත් පුටුව හිතාගෙන ඉන්නවා අපිට ඒ බව නොතේරෙන බවක්.ඇත්තටම හුගක් අයට තේරෙන්නේ නෑ.මොකද කකුල් නැති පුටුවක් මත ඉදගෙන ඉන්න නාකි ගැහැනියකගෙන් වැඩක් නැහැ.ඔබටත් මටවත් ලෝකයටවත්.

 

මම දැනගෙන හිටියා ඔය කියන පුටුව කතන්දර එකතු කරනා බවත් ලගදීම කතා එකතුවක් පලකරන්නට හිතාගෙන ඉන්නා බවත්.කොහොමටත් දවස පුරාම හංදියක ඉදගෙන පාරදිහා බලාගෙන ඉන්නා පුටුවකට පුලුවන් කතන්දර රාශියක් එකතු කර ගන්න.සීතල කාමර ඇතුලේ ගල් සීතලෙන් වෙව්ලමින් පිටව යන්නට වෙලාව බලමින් ඉන්න මට වඩා.

 

මම ඉරිසියා කලා රතුපාට පුටුවට.ඒත් ඒ ඉරිසියාවත් එක්කම ඇතිවුනා හදුනා ගැනීමේ ආශාවක්....

 

දවසක් පුටුව ලගට කිට්ටුවෙන්නට පුලුවන් තරම් බොරුවක් හදා ගත්තා තදබල වීර්යකින් පසුව.

 

"ආත්තම්මෙ කොහොමද?"මට උවමනා වුනා පුටුවට පෙන්නන්න මම රැවටී ඇති බව.

 

මම පුටුවට රැවටී ඇති බව සබෑවක් වනවා මෙන්ම පුටුව මටත් රැවටී ඇති බව පසක් කරමින් වයසක කටහඩක් කතා කරන්නට පටන් ගත්තා.

 

"උඹ කවුද පුතේ?"

 

"මම මේ ලොන්ඩරියට රෙදි ටිකක් දෙන්න ආවා.දන්නෙ නැද්ද ආත්තම්මේ රෙදි හෝදන්න වෙලාවකුත් නෑනේ..."

 

"උඹ දන්නවද උඹ ලග බෙහතකට වත් ගන්න නැති,මාසෙ පුරාම මැරිලා මැරිලා අතට ගන්න පඩි පතෙන් කවදාවත් මිලට ගන්නට බැරි දෙයක් මගේ ලග තියෙනවා පුතේ..."

 

පුටුව මායාවකින් මවා පෙන්වන ගැහැනිය ඉතා වයසය.ඇය සතුව ඉතා විශාල වත්කමක් තිබෙන්නට බැරි නැත.මම පුටුව ආසන්නයේ බිම ඇණ තබා ඉද ගතිමි.ඇගේ මුහුණේ කපටි හිනාවක් ඇදින.දත් නැති කටවල් වලටද කපටි හිනා පාන්නට පුලුවන.

 

"ඉතින් ආත්තම්මා දවස පුරාම පුටුව උඩ ඉදගෙන මොනවද කරන්නේ?"

 

"පුතා දන්නවනේ ඔය ලොන්ඩරිය.ලොන්ඩරියට ගේන රෙදි ඔක්කොම එක පාරට හෝදන මැෂිමට දාන්න බෑ.කිළුටු කූඩෙට වෙලා ඉන්න කම්මැලි කමට සමහර රෙදි එනවා මා ගාවට.පුතා දන්නෙ නැති වුනාට හැම රෙද්දටම තියෙනවා පුතේ කතාවක්..." 

 

මම බිරාන්ත වී ගියෙමි.සලිත වී ගියෙමි.ආදරවන්තිය නොවන අන් ලදක් දුන් හාදුවකින් මෙන් මගේ ඇගේ හිරිගඩු පිපින.ඇත්තටම අප අපව රවටා ගනිමින් සිටිමු.පුටුවකට මේ තරම් බොරු කියන්නට පුලුවන්ද?නමුත් පරදින්නට බැරිය.තරගයට බොරු කිව යුතුය.සමහර විටක තරගයෙන් පුටුව පරාද වන්නටද ඉඩ තිබේ.

 

"මමත් රෙදිටික හෝදලා දෙනකම් ඉන්න එකේ කියන්නකො බලන්න ආත්තම්මෙ ඔය රෙද්දක් කියපු කතාවක් එහෙම."

 

"හ්ම්ම්...උඹ දන්නවද රතුපාට ඇද රෙදි වලට තියෙන්න පුළුවන් බොහොම කතන්දර.දවසක් මම දැක්කා රතුපාට ඇද රෙද්දක් බොහොම කනගාටුවෙන් වගේ කිළුටු කූඩෙ උඩටම වෙලා ඉන්නවා.මම ඉතින් අතින් කතා කලා වාස දේස එහම කොහොමද අහන්න.එත් ඒ රෙද්දට තිබුනෙ කඩිසර ගමනක් එහෙම නෙමෙයි.කකුල් අද්ද අද්ද තමයි මේ පැත්තට ආවෙ."

 

"මොකෝ මේ කකුල අද්ද අද්ද..."මම ඇහුවෙ ලෙංගතු කමටමයි.

 

"ග්‍රෑන්ඩ්මා මට හරිම අමාරුයි..."මේකි ඉන්ගිරිස් විදියට හැදුනු එකියක් බව මට තේරුනා.

 

"මොකෝ කියපන්කො බං කාරණාව"

 

"ආත්තම්මා මම -----මිනිස්ටර් ගෙ ගෙදර පුතාගෙ රූම් එකේ ඇද රෙද්ද...එයා හරිම විසේකාරයා කොහොමත් සතියකට තුන්පාරක් වත් මගේ ඇගේ පැචස්...රෙඩ් කලර්මයි අනේ ඒවා..."



"ඒ මොකෝ බං ඌ දියසායම් කර්මාන්තයක් වත් කොරනවයි..."

 

"චීයා ඒ වගේ ලාබ වැඩ කරන්නෙ නෑ අනේ එයාලා.එයාට ඉන්න ගර්ල්ස් ලා හුගාක් අය වර්ජින්...ආත්තම්මට තේරෙනවනේ.හෙයාර් එක වයිට් කලර් වෙලා තියෙන්න නිකන් වෙන්න බෑනෙ නැද්ද ආත්තම්මා..."

 

"මගේ කෙස්ස ඉදිලා තියෙන්න අකාලෙට නොවුනට මෙහෙම විජ්ජුම්බර නම් මම දැකලා තිබුනෙ නෑ පුතේ.අපේ ජීවිත කාලෙටම රතු පාට පැල්ලමක් ඇද රෙද්දක් මට ඉන්නවා දැකලා තියෙන්න එක පාරයි.එහෙම නොවෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා පුතේ."

 

රතුපාට පුටුව උඩ ඉදපු වයසක ඇස්දෙක එහෙම කියුවෙ මට.

 

"අපිව තවත් ඕන වෙනවා ග්‍රෑන්ඩ්මා ප්‍රෙග්නන්ට් ලේඩීස්ලගෙ ඩිලිවරි වෙලාවට.ඒක හරි කැත ජොබ් එක ආත්තම්මා.අයි ඇම් වොරීඩ් ටු ඉන්වොල්ව් දෙයාර්..."

 

"මේකි මේ කොච්චර වැදගත් රස්සාවක් දාලද අර වගේ අසමජ්ජාති වැඩකට උදව් දෙන්න ගිහින් තියෙන්නෙ කියලා මට හිතුනා පුතේ"

 

ආත්තම්මා එහෙම කියුවා.

 

මේ ඔක්කොම බොරු කියලා තමයි මට හිතුනෙ.මුලින්ම පුටුවලට පුළුවන්ද කතා කරන්න.අනික ඇද රෙදි වලට.හැම අජීවී වස්තුවකම කතා කරන්න ගියොත් මොකද වෙන්නේ.මේ ලෝකෙ මිනිස්සුන්නට ජීවත් වෙන්න පුලුවන්ද?

 

"ආත්තම්මා ලග තියෙන මට සල්ලි වලට ගන්න බැරි වටිනම දේ මොකක්ද?"



මට තහවුරු කරගත් යුතුව තිබුනා මේ කියන්නේ ඇත්තක්ද යන වග.බොරු කියලා ඔප්පු
කරන්නට මට උවමනා වුනා.



"හං...හං....හා....කාලය පුතේ කාලය..."



මේ බොරුවක් බවත් කතා කරන්නේ පුටුවම බවත් මට පැහැදිලි වුනා.චීත්තයක් හැට්ටයක් ඇදි කෙස්ස සුදු පැහැ ගැන්වුන ගැහැණෛයකට මේතරම්  නැණවත් බවක් තිබිය නොහැකියි.සැබැවින්ම...



නමුත්,මග තොටදී හංදියක රතු පැහැ පුටුවක් දුටුවහොත් නැවතත් බලන්න.

 


එක්වරක්.....මහළු ඇස් සහිත මායාකාරී බවක් ඔබට පෙනේවි...

7 comments:

  1. ඔයාගේ කතා වලත් තියෙනවා මායාකාරී ගතියක්.. හරිම ආසා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මම ඒ මායාකාරී බවට හුගක් කැමතියි...බොහොම ස්තුතියි....:)

      Delete
  2. Replies
    1. ;)ස්තුතියි හුගාක්...

      Delete
  3. අමුතුයි
    ඒ උනාට ලස්සනයි

    ReplyDelete