මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, August 27, 2012

සිනමා

 

 

කළුවරට ඇස් හුරුවන්නේ ඉබේමය.සමහර රූප වලටද එසේමය.තිරය මත සිනමා පටයක් දිගහැරේ .සුදුපාට බස් බෝඩ් එක මත ප්‍රධාන නළුවා නිල්පාට පින්සලකින් "කොළඹ" යනුවෙන් ලියයි.ඔහු රතුපාටට අකමැතිය.මමද...


යාබද අසුන නොපෙනෙයි.වම්පස අසුනේ හිදිනා ජීවිතයේ අලුත් සමීපතමයා අතකින් අල්ලා ගනියි.තිරයේ ආදර ගීතයකට කහපාට ගවුමක් තාලයට නොගැලපෙන නර්තනයක යෙදෙයි.සුදුපැහැති මුහුනෙහි රෝසපැහැ උඩුතොලට කලුපැහැති උපන් ලපයක් ආවරණ සලසයි.ඇය අවමානයට ලක්වී ඇත.නමුත් ඇය දිගටම නර්තනයේ යෙදෙයි.රගපෑම් පැසසීමට තරම් වන බව මගේ මනසට සිතෙයි.ඇයට ජීවිතය තවමත් ගීතයකි.


ආසන පේලි දෙකක් ඉදිරියෙන් අසුන්ගෙන සිටි යුවලක් හදිසියේ නැගිටියි.අළු පැහැති නොසැලකිලිමත් කමිසයක් සාමාන්‍ය කලිසමක දෙකකුල් වලින් වම්පස අසුන් පෙල දෙසට ගාටයි.'ඇය' පසුපසින් යයි.තිරයෙන් සුදු පැහැති ආලෝකය විහිදෙයි.'ඇය'ලාකොල පැහැති රෙද්දක සුදු පැහැති මල්වැටුනු චීත්ත ගවුමක් ඇද සිටී.කැරලි සහගතවූ කෙස්කලඹ මදක් උස්කොට කලු පැහැති ඉලාස්ටික් පටියකින් ගැටගසා ඇත.

 

ඇය පාද තබන්නේ නුහුරටය.දෙකකුල් එකිනෙකින් ඈත්වන්නටය.


"හරි අමුතුයි නේද ?"


"හ්ම්ම්...."


මුහුණ අදුරේ දකින්නට තරම් සුන්දර එකක් නොවුනි.ඇය ඔහුට සෑහෙන පිටුපසින් යුවලක් නොවන බව පෙනෙන්නට ඇවිද යමින් සිටියාය.නමුත් ශාලාව තුල අඩ අදුරේ එක්වර නැගීහිද එක පසකටම ගමන්කලෝ සියළු ප්‍රේක්ෂකයන්ට මේ යුවලක්ම බව පසක් කරමිනි

 

ප්‍රධාන නළුවා රතුපාට චිත්‍රය මත නිලපාට අතුල්ලයි.ඉතා විශාල සායම් පින්සලකින්..


චිත්‍රය විනාශ වී අවසන්ය...


නිළිය හඩාගෙන දිව එයි.


"ඇයි ඔයා චිත්‍රෙ නිල්පාට කලේ?අනේ මට ඒක රතුපාට කරලා දෙන්න...."


"මේක ආපහු රතුපාට වෙන්නෙ නෑ.දිගටම නිල් පාටටම තියෙයි."


දකුණු පස සහා මැද අසුන් පෙලවල් එලෙසින්ම පවතිද්දී වම්පස අසුන් පේලිය රතු පැහැ වනු පෙනේ.රක්ත වර්ණය.ලේ රතු පාට.වම්පස අසුන් පේලිය මත නිල්පාට තවරන්නට කවුරුත්ම නැත.


විවේකකාලයේදී මගේ දෑස වම්පස අසුන් පෙලෙ දෙසට යොමුවුනේ 'ඇය'ව හමු නොවුනි.ඔහුද නොසිටියේය.


චිත්‍රපටයේ අගබාගයේදී ප්‍රධාන නළුවා ජීවිතය පසක්කරගනී.

බස් රථයේ නාම පුවරුව රක්තවර්ණයට හරවයි."කොළඹ"...

 

කහපාට ගවුමේ ජීවිතයට මල් වැසි වසියි.සිනමා තිරය අදුරු වෙයි.

කොලපැහැති මල් වැටුන සුදු පැහැ ගවුම වැසිකිලියේ සිට කඩිනමින් දිව එයි.මගේ අතකින් අල්ලා පසකට කරයි.අතට සෑහෙන රළුබවක් දැනෙයි.'ඇය'කඩිමුඩියේ තරප්පු පෙල බසියි.


ටොක්...ටොක්...මම පසුපසින් බසිමි.


මට අපොයින්ට්මන්ට් නැත.


ඇගේ අත ගැටුනු මගේ අත අසාත්මිකතාවයකට ලක්වන්නට ඉඩ ඇත.රතුපාට පලු දමනු ඇත.අත විසබීජ නාශක දියරයකින් සේදිය යුතුව ඇත.ඉතාමත් තදින් ඇතිල්විය යුතුව ඇත.

මම අඩිය ඉක්මන් කරමි.

තරප්පු පෙල අග හරියේදී මම ඇයව පසු කරමි.

6 comments:

  1. //මේ හැම කතාවකම හැංගිච්ච කතන්දරයක් තියනවා//
    මම මේ හැංගුන කතන්දරේ හොයනවා...

    සිදුවීම පුංචි වුනත් ඒක හරි ලස්සනට අපේ අත්දැකීමක් බවට පත් කරලා තියනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...සොයන්නාට සම්බ වේ කියලත් කතාවක් තියෙනවා:)

      Delete
  2. කලර් ෆිල්ම් එක බලලා වගේ .....

    ReplyDelete
  3. ඔව් ඔව් බැලුවා

    ReplyDelete