මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 3, 2012

හීන කුමාරයා....


මගේ ඉස්සර පුරුද්දක් තිබුනා කතන්දර පොත් ඇතුලට බැහැලා ඇවිදගෙන යන.ඔහොම ඇවිදගෙන යන අතර තුර පොතේ එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට හුගක් දුර වෙලාවල් එනවා.එහෙම උනාම ඒ හිස් ඉඩ පියව ගන්න හුගක් අමාරුයි.එක ජේදෙක ඉදලා අනිත් ජේදෙට ඇවිදගෙන යන අතරතුරේ දවසක් මට මහන්සියටද මන්දා ඇලවෙන්න හිතුනා. ජේද දෙක අතරෙ ඉඩ නිදාගන්න කියපුම තැන.

 


පිරිමි කෙනෙක් අවුරුදු විසි පහත් තිහත් අතර ලී පුටුවක ඉදගෙන හිටියා .එයාට තිබුනෙ ක්‍රේල් කොණ්ඩයක්.අතේ තිබුනා බොක්ස් ගිටාර් එකක්.එයා මාව දැක්කෙ නැති තාලෙට ඉන්ග්‍රීසි සින්දුවක් වාදනය කරමින් හිටියා.දිග ඇගිලි හරිම සුරුවමින් ගිටාරයේ සන්ගීත අකුරු වයමින් හිටියා.ඇත්තමයි එයා මාව දැක්කෙ නෑ.ඉදගෙන හිටිය පුටුවෙ ලී ඇන්ද හරිම උසයි .ඒකෙන් එයාගෙ උසට ලස්සනක් එකතුවෙලා තිබුනා.ඇත්තම කියනවා නම් මම කියලා කෙනෙක් මෙතන හිටියෙ නෑ.එයා කියලා  කෙනෙක් හිටියෙත් නෑ.තිබුනෙ අකුරු විතරයි.ඒත් මම එයාව දැක්කා.

ටිකකින් එයා ගිටාර් එක ගහන එක නවත්තලා පුටුව ලග තිබුන බිත්තියට හේත්තු කලා.ඊට පස්සෙ හිමීට නැගිටලා මම ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තට ඇවිදගෙන ගියා.කැන්වස් එකක් ආධාරකේක එල්ලලා තිබුනා.පාට පින්සල් සහ දිය සායම් පැත්තකින් තියලා තිබුනා.හදිසියේම එයාගෙ ඇදුම් වෙනස් වුනා.සුදුපාට සරුවාලයක් වගේ එකක් ඇදලා හිටියා.උස ඇගටත් දිගැටි මුහුණටත් ඒ ඇදුම හොදින්ම ගැලපුනා.ඒ එයාමද කියලා හිතන්න බැරි තරමට වෙනස් වෙලා හිටියා .ක්‍රේල් කොණ්ඩෙ කෙලින් ඉත්තෑකූරු කොණ්ඩයක් බවට පත්වෙලා තිබුනා.මම හිතුවෙ නැහැ මාව දැකලා ඇති කියලා ඒත් වැරදියි.මාව දැකලා.මට සතුටු හිතුනා.එයා මගේ දිහා බලාගෙන චිත්‍රයක් අදින්න පටන් ගත්තා.ඒකාලෙ අවුරුදු පහලොවේදී තිබුන කුලෑටි කමත් එක්ක මම බිම බලාගෙන හිටියා.



එයා මුකුත් කියුවෙ නෑ.හෙමින් මගේ දිහාට ඇවිත් නිකටින් අල්ලලා මූණ කෙලින් කලා එයාගෙ පැත්තට හැරෙව්වා.ඉම්රාන් හස්මිගෙ දුඹුරුපාට ඇස් දෙකෙන් මගේ දිහා බැලුවා.

 

මම හිතුවෙම මට කතා කරයි කියලා.කතා කරලා "මගේ දිහා බලන්න එතකොට චිත්‍රෙ අදින්න ලේසියි"කියාවි කියලා.

 

ඒත් එහෙම වුනේ නැහැ.මට කතා කලේ නැහැ.එයා දිගටම චිත්‍රෙ ඇන්දා.චිත්‍රෙ මාව ඇති කියලා මම හිතුවා .නැත්නම් මම ගැන එයා හිතන විදිහවත් ඇති.චිත්‍රෙ අදින කල් මම උස කකුල් තියෙන ස්ටූල් එකක ඉදගෙන හිටියා.එයා චිත්‍රෙ ඇදලා ඉවර වෙලා මට හිස නමලා ආචාර කරලා චිත්‍රෙත් රෝල් කරගෙන මට පිටුපස්ස හැරිලා යන්න ගියා.



පවුලෝ කොයියෝ මිනිත්තු එකොලහ පොතේ ඉදන් මට කියුවා."චිත්‍රකාරයෝ ඔහොමයි හරිම  ගුප්තයි "කියලා.ගුප්ත මිනිස්සු ඇතුලේ තියෙන ලස්සන හරියටම ඇදිරුව කෙනෙක් නිසා මම කොයියෝ දිහා බලලා ලාවට වගේ හිනා වුනා. 

 

චිත්‍ර අදින්න පුලුවන් ගිටාර් ගහන්න පුලුවන් කෙනෙක්.අවුරුදු පහලොවේදී මම මගේ හීනෙ එහෙම අර්ථ කථනය කරගත්තා.

 

ගැස්සිලා ඇහැඇරුන මම පොතේ අනිත් ජේදෙට ඇවිදගෙන ගියා.හිත තෝන්තු වෙච්ච ගතිය එහෙමම තිබුනා.



 ඔය පොතේ හතරවෙනි කොටස එනකොට මට වයස විසිහයත් පිරිලා තිබුනා.එතකොට මම බොලද නැති.ගැහැණු ළමයෙක් කියලත් කියන්නට බැරි ගැහැණියක් වෙලා හිටියා.

 

මාසෙකට සැරයක් පොත් සාප්පුවල ඇවිද යන චාරිකාවෙදි මට ඔය පොතේ හතරවෙනි කොටස දකින්න ලැබෙනවා."ඔයා හරිම බොලදයි"කියන වචන හිතන්නට ස්වාමිපුරුෂයාට ඉඩ තබන්නට ඇති අකමැත්ත නිසාම මම ඔය හතරවෙනි කොටස සල්ලි දීලා ගන්නෙ නෑ.ඒත් මම පොත් රාක්කයක ඇතුලෙ මුළු ගැන්විලා කතාවෙ අන්තිම පිටුව කියවනවා.

 

"ඔහු තම සිහින ලෝකයේ පරිකල්පිත ගැහැණිය නැති සොවින් දුම්වලා අතර තම ජීවිතය අතරමන් කරගෙන සිටියේය. දුම් රොටු තුලින් නික්මෙන වලාකුළු අතර ඇයව දුටුවේය.ඇගේ කැරලි කෙස් කලඹ ඉන දක්වා හෙලා.බද නලවමින් බොලට තෙක් දිග රැලිසාය ඇද යනු දුටුවේය."


ඒ වෙනකොට මම මගේ කැරලි කොණ්ඩෙ බෙල්ල දක්වා කොටට කපලයි හිටියෙ.අනිත් කාරණේ ඇදගෙන හිටියේ සතියපුරාම වැඩට ඇදපු ඩෙනිම.ඉතින් එයාගෙ චිත්තරූප වලට මම ගැලපෙන්නෙ නෑ.එයා දුක් වෙන්නෙ නැති දෙයක් වෙනුවෙන්.අනිත් එක මමත් ආදරේ කලේ සෞන්දර්යවාදියෙකුට මිසක් බීලා ජීවිතේ නාස්ති කරගන්න මනුස්සයෙකුට නෙමෙයි.මම දුක්වෙන්නෙත් ඇත්ත පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි.

 

පොතේ හතරවෙනි කොටස කියවපු මම දෙවනි සහ තුන්වෙනි කොටස් වල නොසිට පලවෙනි කොටසින්ම කතාවෙන් ඉවත්වීම ගැන සතුටුවුනා.මොකද කොහොමත් කතාව ඉවර වෙන්නෙ හතරවෙනි කොටසෙ තියෙන විදිහටනෙ.



ඒත්,



තාමත් සමහර වෙලාවලට දුක නොදැනෙනවාමත් නෙමෙයි. 

 

 

6 comments:

  1. ම්ම්ම්.... කියන්නේ කාතාවක්ද නැතිනම් ඇත්ත දෙයක් ද කියලා මට එච්චර තේරෙන්නෙ නැ.. ඒත් කොහොම වුනත් ලස්සනට ගලාගෙන ගිහින් තියෙනවා.. ඒ කතාව ඇතුලේ මාත් ඇවිද්දා කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.මේ කතාවක්.ඇත්ත දෙයක් නෙමෙයි.ඒත් ඇත්ත වගේ දැනුනා නම් හොදයි.කොහොමත් මගේ හීන් කුමාරයො අතරෙ ගිටාර් ප්ලේයර් කෙනෙක් චිත්‍ර නිර්මාණකයෙක් හිටියා...ඒ හුගක් ඉස්සර දහසයේදි මo...:)

      Delete
  2. ඇත්තටම ලස්සනයි....ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.:)

      Delete
  3. ජේද අතරේ කම්මැලිකමට ඇලවෙන්න ගිහාම ඔහොම වෙනවා..
    කොහොම වුනත් එක හුස්මට කියවං ගියොත් හීන කුමාරයාගෙන් කිස් එකක් ලැබේවි...:)

    ReplyDelete
    Replies
    1. අපෝ කිසි එපා...සිගරට් බොන අය ගදයි...:P

      Delete